නිල් නුවන් සැඳැල්ලේ

මාර්තු 21, 2019

“ළා හිරු සෙවනේ මලකින් මල් පෙති විසිරේදෝ

සීතල සෙවණේ පිණි අතු පතරේ ඉසිරේදෝ

රෑ අහසේ තරු කැට නිවි නිවි දිලිසේදෝ"

ඔය හංසමාලී ගමේ සිට කරන දේවල්ය. හංසමාලිගේ පියාත් තරමක් අසනීපයෙන් සිටින නිසාත්, තවත් නංගියෙක් හා මල්ලියෙක් සිටින නිසාත් ,ගෙදරට ලැබෙන ආදායම ගෙදර වියදමට මදි නිසාත් හංසමාලි කොළඹ හොද රැකියාවකට යන එකට අකැමැත්තෙන් හෝ හංසමාලිගේ දෙමාපියන් ඇයට කැමැත්ත දුනී. හංසමාලී තනිවම කොළඹ ගියේ තම පාසැල් හිතමිතුරියක් වූ රැජිණිගේ නිවසේ දින කීපයක් සිට, පසුව කාමරයක් සොයායෑමේ අදහසිනි.

රැජිණි? කව්ද මේ රැජිණි?

"හිරු සඳු නොනිදා දෙපසේ පායා ආවාදෝ

සමනළ සිහිනේ මල් මංගල්ලය ලං වේදෝ

වත මඩලේ සිනහා ඡායා මැවුණාදෝ"

ඒ රැජිණය.

60, 70, දශකයට වඩා 80,90, දශකය තුළ ලාංකේය සිනමා ප්‍රේක්ෂකයන්ට සීනී සකර මොටයි චිත්‍රපට බහුලව නැරඹීමට ඉඩ ලැබුණේ වර්ණ සිනමාවට අප අවතීර්ණ වූ කාලය නිසාය. වෝටර් කලර්ස් පෙට්ටි වල තිබූ පාට මෙන් ඇඳුම් ඇඳ ගත් ලාංකේය පාට පාට නළු නිළියන්වත්, ඒ සීනී සකර මොටයි චිත්‍රපටත් ප්‍රේක්ෂකයන්ට ඉතාම ඉක්මනින් එපාම විය.

එහෙත් උදයකාන්ත වර්ණසූරියට මේ සීනි සකරමොටයි එකෙනුත් වැඩක් ගතහැකි යයි සිතුණි. ඔහු එයට පේස්ට්‍රියක් දමා, බටර් කර තව තවත් අයිසින් තට්ටු දමා හරී අපූරු වට නිර්මාණය කළේ හරියට පොල් රොටියක් පීසා එකක් කරන්නා වගේය. ප්‍රේක්ෂකයන්ට ඒ වැඩේ නම් ඇල්ලුවේය.

රැජිනි උසස් පැලැන්තියකට අයත් යොවුන් තරුණියකි. ඇය සෙල්ලම් කරන විටද කළේ ඒ උසස් පැලැන්තියට අයත් ටෙනිස් වගේ සෙල්ලම්ය . බලන්න ගියේ රගර් මැච්ය. ආශා කළේ රගර් ක්‍රීඩකයෙකුටය. උදය කාන්ත ඒවා හරි ලස්සනට ප්ලෑන් කළේය. යම් හෙයකින් මෙතැනට රගර් ක්‍රීඩකයෙක් නොදා වොලිබෝල් ක්‍රීඩකයෙක්ව දැම්මා නම් වැඩේ චොරය. රැජිණිගෙ කොලිටියට රගර් හැරෙන්න වෙන ක්‍රිඩාවක් තිබෙනවා නම් ඒ තියෙන්නේ ස්කොශ්ය. එහෙත් ජවය පෙන්වන්නටත්,එය උසස් සමාජයේ ක්‍රීඩාවක් ලෙස පෙන්වන්නට නම් එම ක්‍රිඩාව රගර් විය යුතුමය.

රැජිනිට අඛිලව මුණ ගැසුණේද රගර් මැච් බලන්න යන අතෙර්ය. අඛිල කොළඹ උසස් රගර් ක්‍රීඩා සමාජයක දක්ෂ ක්‍රීඩකයෙකි. ඇත්තෙන්ම රැජිණි අඛිලගේ ෆෑන් ⁣කෙනෙකි.

දැං හංසමාලී රැජිණිගේ ගෙදර සිට රැකියාවට යයි. ඇය වෙනත් තැනක් සොයා යාමට උත්සහා කෙරුවද, රැජිණි ඇයට යන්න නොදුන්නේ හංසමාලී තමාගේ හිතවත්ම යෙහෙළිය නිසාත්, ඇය මෙහී නවාතැන් ගැනීමෙන් රැජිණිගේ පාලුවත් මඟ හැරෙන නිසාය. ඇය රගර් මැච් බලන්න යන විට, දැං හංසමාලිවත් රැගෙන යයි. හංසමාලිට නම් මේවා මැජික් වගේය.

දිනක් රැජිණිට හා හංසමාලිට කූල් ස්පොට් එකකදී අඛිලව මුණ ගැසුණි

රැජිණි පෙරුම්පුරා සිටියේද අහම්බෙන් හෝ මෙවන් අවස්ථාවක් එන තෙක්ය.

එදා තිදෙනාම හරි හැටි එකිනෙකා හඳුනා ගතී. එලෙසම රැජිණි අඛිල ගැන බලාපොරොත්තු තබා ගනිමින් සිහින මවන්නට පටන් ගත්තේද එතැන් සිටය.

"නිල් නුවන් සැදැල්ලේ-

මල් උයන් තුරුල්ලේ

සෙනෙහස බලා- ලොව සරසලා

සිහිනයක මල් පිපිලා

උදය කාන්ත වර්ණසූරිය ශාන් පෙරේරා යොදා ලාංකේය සිනමාවේ නැටුම් සම්ප්‍රදාය මුලුමනින්ම වෙනස් කළේය. සමුහ නැටුම් ගැන සුවිශේෂිත අවධානයක් යොමු කළ අතර එම සමූහයේ හැම නැටුම් ශිල්පියෙක්, ශිල්පිනියකට වෘත්තිය මට්ටමේ ශිල්පීන් ගැනීමට උත්සහා කර තිබුණි. එමෙන්ම ඇඳුම් පැලඳුම්, කොන්ඩ මෝස්තර මෙන්ම එම නැටුම් දර්ශනය ඉදිරිපත් කෙරු නවීන එළිමහන් පසුතලද විචිත්‍රවත් වී තිබුණි. බොලිවුඩ්, හා කොලිවුඩ් නැටුම් දර්ශන මට්ටමට කිට්ටු වන්නට ශාන් පෙරේරා හා උදයකාන්ත සුසංයෝගයට 'රෝස වසන්තය' හරහා හැකිවීම තුළින් ලාංකේය සිනමාවට නවීන ගීත හා නැටුම් සම්ප්‍රදායක් එකතු වුණි.

"සැලෙන දෙතොලඟ

නොසැලෙන දැහැනේ

මල් වරයි මල් බර සිහිනේ

දිලෙන නෙතු අඟ නොදිලෙන සහනේ

දඟ කරයි මල්සර යහනේ"

දඟකාර, හැඩකාර, නවීන පන්නයේ පොහොසත් කෙල්ලක් වූ රැජිණිට අනිවාරයෙන්ම අතීශය කඩවසම් ,උසස් රැකියාවක නියුතු එමෙන්ම රගර් ක්‍රීඩකයෙකු වූ අඛ්ල කැමති විය යුතුමය.

රැජිණිද අඛිල ගැන තබාගත්තේ ඉමහත් බලාපොරොත්තුවකි.

එසේනම් හංසමාලි වැඩ කරන මාධ්‍ය ආයතනයේ බස්හෝල්ට් එකට පෙනෙන නොපෙනෙන තැනක තම රථය නතර කර අඛිල හොර ගල් අහුලන්නෙ ඇයි?

උදයකාන්ත තම කථාව උඩු අතට හරවන්නේ මෙතැන් සිටය. කථාව උඩුකුරු යටිකුරු වන්නේත් මෙතැන් සිටය. ඒ අඛිල අර පොහොසත් සංකර රැජිණිට වඩා ඇල්මක් හංසමාලි වෙත දක්වන්නට පටන් ගැන්මය.

හංසමාලිට කිසිලෙසකත් අඛිල සමඟ මිතුරු වීමට නම් අවශ්‍යතාවයක් තිබුනේ නැත. ඇයට අවශ්‍ය වී තිබුනේ කෙසේ හෝ අඛිල හා රැජිණි එක්වෙනවා දකින්නටය. එහෙත් දැන් එන පොට වෙන මොකක්ද එකක්ය. හංසමාලී උපරිම උත්සහය දරා අඛිලගෙන් බේරීමට තැත් කළද, වැඩේ හරි ගියේ නැත. අවසානයේදී ඇය කළේ උප්පරවැට්ටියකින් අඛිල හා රැජිනිට හමුවීමට මඟක් සාදා දීමය. එයින් වාසිය වූයේ අඛිලටය. ඔහු කෙළින්ම රැජිණිට කීවේ, ඔහු ගැන බලාපොරොත්තු තබා ගන්නට එපා කියාය. එපමණක් නොව ඔහුගේ සිතේ වෙන කෙනෙක් ගැන බලාපොරොත්තුවක් ඇති බවද කීය. එහෙත් ඒ කෙනා කව්දැයි කීවේ නැත.

වේදනාවෙන් හෝ රැජිණි අඛිලව අමතක කළද රෑ හතට පමණ අඛිලත්, හංසමාලිත් බස් හෝල්ට් එකේ සිටිනවා රැජිණිගේ අතට අහුවුණු පසු, අවසානයේ සිද්ධ වූයේ හංසමාලිට රැජිණිගේ ගෙදරින් අයින්වී තම කාර්යාලයේ වැඩ කරන මිහිරිගේ ඇනෙක්සියට යාමය. ඇත්තෙන්ම එදා බස් හෝල්ට් එකේ සිදුවුයේ හංසමාලි විසින් අඛිල තමා සොයා ඒම ගැන බැන වැදීමය . එහෙත් රැජිණි සිතුවේ එදා අඛිල තවත් කෙනෙක් ගැන කීවේ ඒ හංසමාලි ගැන කියාය. ඔයින් මෙයින් පාර කැපුණේ අඛිලටය. අවසානයේ එය අඛිල හා හංසමාලිගේ විවාහය දක්වා දුර ගියේය.

"තිසර විලේ පියුම නෙළු සිනාවේ

එළිය මගේ අරණ දොවා ගලා ඒ

ඒ සිනාවේ සැඟවුනාවේ

පෙර ඔබත් මමත් හෙළු කදුළු දුමාරේ"

"රෝස වසන්තය" තුළ වසන්තයත්, ගිමිහානයත්, සරත් සහ සිසිර යන ඍතු හතරම සමිශ්‍රවී හමන්න පටන් ගන්නේ මෙතැන් සිටය. දෙපාර්ශයෙන්ම කැමැත්ත ඇතිව අඛිල හා හංසමාලි විවාහ විය. දෙපැත්තේම දෙමාපියන්ගේ කැමැත්ත එක තප්පරයකින් උදය කාන්තවර්ණසූරිය විසින්ම අරන් දුනි. එහෙයින් එතැන කිසිදු අවුලක් නැත. මෙතෙක් ප්‍රධානතම චරිතයක් වී තිබූ රැජිණිව 'බ්ලාස්ට්' වී ගොස්ය. එහෙයින් අඛිල හා හංසමාලීට සුන්දර ජීවිතයක් නිදහසේ ගත කිරීමට උදයකාන්ත සියල්ල සැලසුම් කර තිබුණි.

නමුත් එතැන පොඩි අඩුවකුත් තිබුණි.

ඒ හංසමාලිට දරුවෙක් ලැබීමේ ප්‍රමාදයය. එය දෙදෙනාම තරමක් කලකිරීමට හේතුවක් විය.

අඛිල දැන් රගර් ක්‍රීඩාව නොකෙරුවාට, ඔහු එහී උපදේශකයෙක් විය. එහෙයින් ඔහු නිතරම රගර් මැච් බලන්නට යයි. 'බ්ලාස්ට්' වුණු රැජිණිව යළි මතුවෙන්නෙ මෙතැනදීය. උදයකාන්ත තවත් ලොකු කථාවකට මුල පුරන්නට විය. රැජිණිගේ කාරයේ ටයරයේ හුලං යෑම, එය හදිසියේ දුටු අඛිලට කියා අතිරේක ටයරය දමා ගැනීම වැනි දේ උදයකාන්තගේ 'ප්ලෑන්ය'. එහෙත් ඔහු ඒවා රැජිණි හරහා කෙරවීය. ඒ ටයර් දැමීම දුර දිග යන්නට විය. ඒවා රෙස්⁣ටූරන්ට් එකට ගොස් නැවතුනේ රැජිණිගේ ගෙදරය. ඒ වන විට රැජිණි විවාහ වී සිටියද, අඛිල රැජිණිගේ ගෙදරට රිංගන විට, රැජිණිගේ සැමියා වූ ගිහාන්ව ගෙදරින් වාෂ්ප කරන්නට උදයකාන්ත සැලසුම් කර තිබුණි.

මේ අතර හංසමාලි වැඩ කරන විද්‍යුත් මාධ්‍ය ආයතනයේ ප්‍රධානිහු හංසමාලිව මාස 3කට මැලේසියාවට යැවීමට තීරණය කළහ. උදයකාන්ත හරි ලස්සනට මේ ⁣'ප්‍රෝග්‍රෑම්' එක සෙට් කළේ ඉදිරියෙදි ලොකු 'ත්‍රිලක්' දීමටය. හංසමාලිට අඛිල නැතිව පැයක් ගතකිරීමට බැරි එකේ ඇය මාස 3ක් ගත කරනුයේ කෙසේද?. මේවා හරි අහිංසක, ආදර, සංවේදී 'ප්‍රොබ්ලම්ස්'ය. හංසමාලී නැතිව අඛිල විඳීන දුක උදය කාන්තට තේරෙන්නේ නැත. එහෙයින් ඔහු අඛිලට මාස 3ක් තනියෙන් ඉන්නට හැර හංසමාලීව රට යැව්වේය.

ඒත් කථාන්තරය එහෙම නොවීය. හංසමාලි මැලේසියා යෑම අඛිලට පනින රිළවුන්ට ඉණිමං තිබ්බා වැනිය. ගිහාන් නැති අතරේ අඛිල රිංගන්නේම රැජිනිගේ නිවසටය.

ප්‍රශ්නය උග්‍රවූයේ රැජිනිට අඛිල ගෙන් දරුගැබක් පිහිටූ පසුය. අඛිල උත්සහා ගත්තේ හංසමාලී ඒමට ප්‍රථම කෙසේ හෝ රැජිනිව කැමති කරවා ගෙන මෙම දරු කලල නැති කර දැමීමටය. එහෙත් රැජිණිට අවශ්‍ය දරුවාය.

මේ අතර දිනක් අඛිල රැජිනිගේ නිවසේ සිටින විට, ඇයගේ සැමියා ගිහාන් නොසිතූ වේලාවක පැමිණියේය. අඛිලට සිද්ධ වනුයේ වතුර බටේ දිගේ හෝතඹුවෙක් මෙන් බිමට බැසීමටය. බිමට බැස්සද, එතැන රේක්කයකුත් අතේ තබාගෙන සිටියේ ගිහාන්ය. එදා අඛිල ගිහාන්ගේ රේක්කෙන් අම්බානෙකට කෑවේය. ඒ වනවිට හංසමාලිද නැවත ලංකාවට පැමිණ තිබුණි. අඛිලට ඇඟ තවා ගන්න සිද්ධවූයේ හංසමාලිට කියාය. ඇත්ත කථාව සඟවා ඔහු කීවේ ගෝරියකට පැටලුණා කියාය.

කෙසේ හෝ අඛිල අවසානයේදී රැජිනිව දරු කලල විනාශ කිරීමට කැමැත්ත ගෙන ඇයව තම රථයේ දමාගෙන දොස්තර ළඟට යන අතර, ඔවුන් අනතුරකට මුහුණ පායි. එයින් රැජිනිගේ දරු කලල ඉබේටම විනාශ වූ අතර, එම සිද්ධියෙන් පසු, අඛිලගේ රථයේ රිය අනතුර වන අවස්ථාවේ රැජිනිද සිටි බව හංසමාලි දැන ගතී.

උදය කාන්තගේ මේ ප්ලොට් එක බූ වල්ලෙකුගේ අඬු මෙන් දික්වෙවි හැම අතටම විහිදුනේ එසේය.

මාස කීපයක් ගතවූ පසු දිනක් හදිසියේම අඛිල සාප්පු සංකීර්ණයකදී රැජිනිව දකී. පුදුමයකි, ඇයගේ කුස මෝරා තිබුණි. රිය අනතුරෙන් දරු කලල විනාශ වූ බව ඇය කියා තිබුණේ බොරුවකි. රැජිනි අඛිලව දුටුවේ නැත. අඛිලද රැජිනිට කථා කළේ නැත. නිශ්ශබ්ද වී එතැනින් මාරු වෙනවා හැරෙන්නට අඛිලට වෙන විකල්පයකුත් නැත. අඛිල ගෙදර යන විට ගිහාන් ගින්න අවුලවා, රට ගොස් තිබුණි. රැජිනිට ලැබෙන්නට යන දරුවා අඛිලගේ බව ගිහාන් හංසමාලිට දුරකථන⁣යෙන් කියා තිබුණි. තවත් ගිනි කුමටද?

හංසමාලි ඒ මොහොතේම රැකියාවෙනුත් අයින් වී සියලු දෙයම 'පැක් 'කරගෙන ගමේ තම නිවසට ගියේ අඛිලට රැජිනිටත් ලැබෙන්නට සිටින දරුවත් සමඟ සතුටින් සිටින්නට කියා ලියුමක් තබාය.

වැඩේ 'ක්ලොස්' යැයි බලා සිටි අප සිතුවද, උදය කාන්ත එහෙම ඉක්මනට 'ක්ලොස්' කළේ නැත. ගෙදර ගිය හංසමාලිටත් ඔක්කාරයක් හැදුණි. අවුරුදු ගනනාවක් බලාපොරොත්තුවෙන් සිට් උතුම්ම දෙය හංස මාලිට ඉටුවෙමින් තිබුණි.

ඒ අතර රැජිණිට දරුවෙක් ලැබුණි. එහෙත් දරුවා ලැබුණු පසු ,රැජිණි මිය ගොස් තිබුණි. දරුවාව අඛිල භාර ගති. ඔහු දරුවත් රැගෙන හංසමාලිගේ ගමට ගියේය.

උදය කාන්ත ' රෝස වසන්තය" නිමි කළේ හරි 'ක්‍රියේටිව්' අන්දමටය. කුඩාළමුන් දෙදෙනෙක්ව එකම අන්දමට අන්දවා, අඛිල හා හංසමාලිගේ අත් අල්වාගෙන පයින් යන්නට ඉඩ සැලසීය. ඒ එන පාර ඉස්සරහ ඔවුන් දෙස බලා සිටින රැජිණිය. අඛිල එක් දරුවෙකුට දුර සිටින රැජිණිව පෙන්නයි. රැජිණි පොඩි නැටුමක් නටයි, අර පොඩි කෙළි පැටික්කිද ඒ විදියට නටයි, යළි රැජිණි වෙනස් විදියකට නටයි. කෙළි පැංචිද ඒ අන්දමට නටයි. යළි රැජිණි අලුත් නැටුමක් නටයි. එවර නම් නටන්නේ එය බලා සිටි අපය.

හැම දර්ශනයක්ම සුන්දර කමිනුත්, චමත්කාරයෙනුත්, සෞන්දර්යනෙුත්, දේදුණු වර්ණයෙනුත් හැඩ වුණු උදය කාන්ත වර්ණසූ⁣රියගේ 'රෝස වසන්තය'

ආකර්ශනීය සිනමා පටයක් විය. එය ලාංකේය සිනමාව "ෆුල් ග්ලැමර්" යන ධාරාව ඔස්සේ බිහිවූ චිත්‍රපටයකි. සියලුම දර්ශන ප්‍රාණවත් බවකින් සපිරි තිබුණි.

අඛිල ලෙස රඟපෑ රන්ජන් රාමනායක තුල කිසිදු චිත්‍රපටයක නොතිබූ 'පොෂ්' පෙනුමක් තිබුණි. ඔහුට අමුතුම කොණ්ඩා මෝස්තරයක් දමා තිබූ අතර, එය තුලින් ඔහුගේ තාරුණ්‍ය හා කඩවසම් බව කැපී පෙනෙන්නට විය. ඔහු චරිතය මනාලෙස පාලනය කරගෙනය රඟපෑවේ. හංසමාලි ලෙස කාන්චනා මෙන්ඩිස් රඟපෑහ. ඇය එම චරිතයට හොද නේද යැයි නොසිතුණාම නොව. නවක නිළි නිසංසලා ජයතුංග රැජිණිගේ චරිතය හොද හැටි තේරූම් ගෙන තිබූ අතර, සුළු චරිතයක් රඟපෑ බුද්ධික ජයරත්න වඩාත් කැපී පෙනුනි.ජයනාත් ගුණවර්ධන කැමරාවෙන්ද, රෝහණ වීරසිංහ සංගීතයෙන්ද විස්කම් දක්වා තිබුණි. බණ්ඩාර ඇහැලියගොඩ('ලා හිරු සෙවනේ'), කුලරත්න ආරියවංශ("නිල් නුවන් සැඳැල්ලේ") බන්ධුල නානායක්කාරවසම් ("තිසර විලේ) ගීත රචනා කළ අතර, ග්‍රේෂන් ආනන්ද , නිරෝෂා විරාජිණි , සමීතා මුදුන්කොටුව, ගීත ගයනා කළෝය.

උදය කාන්ත වර්ණසූ⁣රියගේ ⁣"රෝස වසන්තය" සෝමා එදිරිසිංහගේ නිශ්පාදනයක් විය. එය 2001 දෙසැම්බර් 19වෙනිදා තිරගත කිරීම ආරම්භ කළ අතර "රෝස වසන්තය" චිත්‍රපටය ලාංකේය ප්‍රේක්ෂකයන් අතර ඉමහත් ලෙස ජනාදරයට පත්විය.

(තවත් චිත්‍රපටයක් ලබන සතියේ)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.