අහංකාර ස්ත්‍රී තුළින් සිනමාවට පිවිසි ජුවානිස් වින්සන්ට් වාස්

මැයි 2, 2019

 

“ලෝකය පෙරළෙයි කාලෙ ගෙවී යයි

මරුව ළඟා වෙනවා

සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි

ලෝ දම් කැරකෙනවා”

මීට වසර 65 කට ඉහත 1954 තිරගත වූ ‘අහංකාර ස්ත්‍රී’ චිත්‍රපටයේ තම ජීවිතයේ ප්‍රථම රංගනය ලෙස ජුවානිස් නම් චරිතය රඟපාමින් ප්‍රේක්ෂක හදවත දිනූ වින්සන්ට් වාස් එක රැයකින්ම ජනප්‍රිය විය. වින්සන්ට් වාස් එතැන් සිට චරිතාංග නළුවකු ලෙස වසර 15 කට පෙර ජීවිත සිනමාවෙන් සමු ගත්තේ 2004 මැයි 06 වෙනිදාය.

වින්සන්ට් වාස් මට මීට වසර 45 කට ඉහත හමු වූයේ හැඳල විජය චිත්‍රාගාරයේ රූ ගත වෙමින් තිබූ ‘දෙවියනි ඔබ කොහිද?’ දර්ශන තලයේදීය. එහෙත් ‘අහංකාර ස්ත්‍රී’ චිත්‍රපටයේ ජුවානිස් ලෙස ලේ තැවරුණ මුහුණකින් කැත්තක් අතැතිව ඔහු රඟපෑ අයුරු තිරයෙන් දකින විට මා හත් හැවිරිදි දරුවෙකි. එදා මම ඔහුගේ දරුණු මුහුණ දැක තැති ගතිමි. ‘දෙවියනි ඔබ කොහිද’ චිත්‍රපටයේ රූපගත කිරීම් නැරඹීමට 1974 විජය චිත්‍රාගාරයට ගියේ ‘සරසවිය’ පත්‍රය වෙනුවෙන් කැමරා ශිල්පී බන්දු එස්. කොඩිකාර සමඟ ගිය ගමන දැනුත් මතකයට නැඟේ.

චිත්‍රපටයේ හැටියට වින්සන්ට්ගේ බිරිඳ ලෙස රුක්මණී දේවිත්, ඔවුන්ගේ දියණිය ලෙස මාලිනී ෆොන්සේකාත් රඟපෑහ. තම දියණිය කිසිවකු අතින් අනාථ වී ඇති බවත්, එය සැක කටයුතු පුද්ගලයා පල්ලියේ සෙබස්තියන් පියතුමා (ගාමිණී ෆොන්සේකා) බව කියමින් බීමත්ව තම දියණියටත්, බිරිඳටත් පහර දෙන දර්ශනයක් එදින රූපගත කෙරිණි. දර්ශනය නිමා කිරීමෙන් පසු මම වින්සන්ට් වාස් නම් විශිෂ්ට චරිතාංග නළුවා වෙත සමීප වීමි. තම රංගන ජීවිතය ඇරඹූ ‘අහංකාර ස්ත්‍රී’ චිත්‍රපටයේ තොරතුරු අපට කී ඔහු තමාගේ ජීවිතයේ අමතක නොවන රඟපෑම් දෙක ඉදිරිපත් කළේ ‘අහංකාර ස්ත්‍රී’ හා ‘සන්දේශය’ බව කියා සිටියේය. ‘අහංකාර ස්ත්‍රී චිත්‍රපටයේ මුල් නම පීඩිතයා. පසුව එය වෙනස් වුණේ.ඔහු රඟපෑ චරිතයට (ජුවානිස්) මුලින් තෝරා ගෙන හිටියේ ලැඩී රණසිංහ. ඒ වෙන කොට ලැබී ‘ප්‍රේම තරඟයේ’ රඟපාලා ජනප්‍රියව සිටියේ. මොකක්දෝ හේතුවක් උඩ උන්නැහේ රඟපෑවේ නැහැ. ඒ අවස්ථාව මට උදා වුණා. මේ චිත්‍රපටය නිපද වූ එස්. එම්. නායගම් මහත්තයාගේ චිත්‍රපටවල සංගීත අධ්‍යක්ෂවරයා ආර්. මුත්තුසාමි මාස්ටර්. මාස්ටර්ගේ රෙකමදාරුවෙන් තමයි මම චිත්‍රපට නළුවෙක් වුණේ.’

වින්සන්ට් වාස් කිියූ පරිදි ‘අහංකාර ස්ත්‍රී’ චිත්‍රපටයේ තමා විසින් සෙරා ගන්නා කුඩා පිරිමි දරුවා ලෙස රඟපෑ මාස තුනක පමණ දරුවා කැලයට ගෙන ගොස් දමන්නේ දරුවාගේ මව වූ ‘අහංකාර ස්ත්‍රී’ හා ඇගේ සැමියා වූ මසුරු මුදලාලිගේ අයුක්තිය උදෙසාය. කැලයේ දමා වින්සන්ට් වාස් හැරී යන විට කුඩා දරුවා හඬයි. හිත උණු වූ ඔහු නැවත එතැනට එන විට සර්පයෙක් දරුවා අසල සිටිනු දැක දරුවා ඔසවාගෙන දරු සෙනෙහසින් හදා ගනී. ඒ චරිතය ගැන වින්සන්ට් තවදුරටත් එදා මෙසේ කීය.

‘මා මේ දර්ශනය රඟපෑවේ දරු සෙනෙහස උපරිමව ඇති දරදඬු මිනිහෙක් හැටියට. මේ දරුවා මගේය යන හැඟීම ඇති වී මට හැඬුම් ආවා. එදා මේ කුඩා දරුවා ලෙස රඟපෑවේ අද සම්මානනීය නිළියක්ව සිටින වීණා ජයකොඩි ඇගේම මව වූ ‘අහංකාර ස්ත්‍රිය’ වූ රෝහිණී ජයකොඩිගේ සැබෑ දියණිය වීම විශේෂයක්. මේ චිත්‍රපටයේ වීණා මාස තුනේ සිට අවුරුදු එකහමාර වියට එළඹෙන තෙක්ම මා සමඟ රඟපෑවා. මෙහි විශේෂය වීණා රඟපෑවේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ රවින්ද්‍ර රූපසේනගේ ළමා චරිතය රඟපෑමයි.’

කවුද මේ වින්සන්ට් වාස්?

1922 නොවැම්බර් 07 වෙනිදා බේරුවල උපන් අන්දර වාස් පටබැඳිගේ වින්සන්ට් සහෝදර සහෝදරියන් නව දෙනෙකුගේ පවුලක හත්වැනියාය. ඔහුගේ පියා ලියොන් වාස්ය. ඔහු දක්ෂ වයලින් වාදකයකි. මවගේ නම මොනික ප්‍රනාන්දුය. බේරුවල රෝමානු කතෝලික විද්‍යාලයෙන් ඉගෙනීම ලබන කාලයේ සිටම කලාවට ඇලුම් කළේය. නත්තල් කැරොල්වල ගීත ගායනා කරමින් වීථි සංචාරය කළ ඔහු ක්‍රමයෙන් ගමේ පොල්අතු මඩුවල වේදිකා ගත වූ නාට්‍යවලින් කැපී පෙනෙන නළුවකු වී ඇත. මාරක දායාදය, සිංහල කොල්ලා, යුද්ධ භූමිය, වැනිසියේ වෙළෙන්දා නාට්‍යවලින් ඔහු තම කුසලතා විදහා පා ඇත. නාට්‍ය පිස්සුව වැලඳී සිටි තම පුතා එයින් මුදා ගැනීමට පියා කල්පනා කොට ඔහු බලන්ගොඩ සිල්ලර කඩේකට යැව්වේ සිල්ලර වෙළදාම ගැන අත්දැකීම් ලබාදීමටය.

‘මම සිල්ලර කඩේ නීරස ජීවිතය ගැන කලකිරී මාස 10 කට පස්සේ මගේ රඟපෑම ඉටු කර ගැනීමට ආයෙත් ගමට ආවා. ගමේ යාළුවොත් එක්ක සින්දු කියමින් කාලය ගත කළ මා ප්‍රසිද්ධ වේදිකාවේ රඟපෑමට යොමු කළේ බෙනඩික්ට් ප්‍රනාන්දු මාස්ටර්. ඒ කාලේ බෙනඩික්ට් මාස්ටර් කිව්වාම නාට්‍ය ලෝකයේ වීරයෙක්. මට අවස්ථාව ලැබුණා බෙනඩික්ට් මාස්ටර් හා මතායස් ප්‍රනාන්දු (සරදියෙල්, පිටිසර කෙල්ල චිත්‍රපටවල රඟපෑ) සමඟ නිෂ්පාදනය කළ ‘භයානක මංකොල්ලය’ නාට්‍යයේ රඟපෑමට අවස්ථාව ලැබුණා. මේ කාලයේම මම ගායකයෙකු ලෙස මතු වුණා. ගුවන් විදුලියේ මා ගැයූ ‘නාදේ . . නාදේ . . සාධු නාදේ’, ‘විදා සටන මාලා’, ‘ඒ මල් උයනේ’, ‘නිමල ශ්‍රී සාර රන් නෙවී’ මා ගැයූ ගීතය. මට එදා අත හිත දුන්නේ එච්. ඩබ්ලිව්. රූපසිංහ මාස්ටර්, තබ්ලා විශාරද ජේ. ඒ. පොඩි අප්පුහාමි (සම්මානනීය ගායක මිල්ටන් පෙරේරාගේ පියා) දෙදෙනා. මේ දෙදෙනා මට කිසි දිනෙක අමතක වෙන්නේ නෑ. ආර්. මුත්තුසාමි මාස්ටර් මා මුලින්ම සිනමාවට හඳුන්වා දෙන්නේ. එතනදි බෙනඩික්ට් මාස්ටර් තල්ලුවක් දුන්නා.’

වින්සන්ට් වාස් නම් චිත්‍රපට නළුවා යළි උපන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ ‘සන්දේශය’ චිත්‍රපටයෙන් බවයි ඔහු පවසා සිටියේ. මේ චිත්‍රපටයේ මා රඟ පෑ කත්කාරයෙක් ලෙසත් පෘතුගීසීන්ගේ සිරකාරයෙකු ලෙස රඟපෑ චරිතයට දස දුක් වින්ඳා. ඒ දුක ගැන තමාට වධයක් නොවූයේ මෙරට විශිෂ්ට සිනමාකරුවා වූ ලෙස්ටර් යටතේ කළ මේ රඟපෑමේදී ‘රඟපෑම’ යන්න කුමක්දැයි තමා මුල්වරට හඳුනා ගත් බවය. දකුණු ඉන්දියානු සිනමාකරුවන්ගේ ගොරහැඩි ශෛලියෙන් මිදීමට අත්පොත තැබුවේ ලෙස්ටර් මහතා නිසා බවයි ඔහුගේ මතය වූයේ.

‘මම තමයි ‘සන්දේශය’ චිත්‍රපටයේ ‘සන්දේශය’ ගෙන යන කත්කාරයා. රට ජාතිය වෙනුවෙන් දිවි පිදීමට සූදානම් කත්කාරයකු ලෙස වෙස් මාරු කර ගනිමින් වීරෝදාර ඔත්තුකරුවෙක් ලෙස මම රඟපෑවේ. සිංහලයේ නිදහස පතා එකී ඓතිහාසික සන්දේශය නිරුපද්‍රිතව කන්ද උඩරට නරේන්ද්‍රයා වෙත ගෙන යාමේ දුෂ්කර කටයුත්ත පැවරුණේ නිලමේ කෙනෙකුට. මට සන්දේශය සහිත ජීවහන් කරන ලද සුරය ගැට ගසාගෙන පලතුරෙන් පිරී තිබුණ ගැලක කත්කරුවකු ලෙස මාව පාතුගීසි කපිතාන්වරයාට හසු වෙනවා. සිංහල විදානේ දැක මාව අල්ලා ගත් පසු කලබලයට පත් මාගේ සුරය කැඩී විසි වෙනවා.

‘විදානේ මේකේ මොකක් හරි හොරයක් තියෙන බව මට පේනවා’

‘වැදූ අම්මපා, මගේ නේත්‍රා දෙක පල්ලා, තිබිච්ච සේසතත් ඔක්කොම දිය කරලයි ඕක ජීවං කරේ. මං අහිංසක කත්කාරයෙක් උතුමාණෙනි’.

මේ දර්ශනය රූපගත වුණේ බෙලිහුල්ඔයදී. බර කදක් කරේ තබානෙ යාමට, කළුගල් පුරවන ලද කදක් කරේ තබාගෙන සැතපුමක් පමණ දුර එහාට මෙහාට ගෙන යමින් මම පුහුණු වුණා. සන්දේශය රැගත් සුරය පෘතුගීසින්ට හසුවීමෙන් පසු මා දඬුකඳේ දමා දුක් දෙන දර්ශනයේදී මා සැබවින්ම දුක් විඳිනවා. අදත් මා ‘සන්දේශය’ බලන විට එයින් මා එහි රඟපෑ අසීරුම අවස්ථාවක් දැක මවිත වෙනවා මා එය රඟපෑවේ කෙසේද කළේ කෙසේද කියා. ඇන්. ආර්. ඩයස් රඟපෑවේ වදකයාට. ඔහු මාව දඬු කරනවා. රාත්‍රී 7 සිට පාන්දර 5.30 වනතුරු තද කරනවා. කඹයට අත කැපී නිරතුරුව වේදනා දුන්නා. මට උණත් ගත්තා. කඹයට කැපුණු මගේ අත ලෙස්ටර් මහත්තයා අත ගාලා ‘වින්සන්ට්ට හුඟක් අමාරුද? අපි ඉස්පිරිතාලෙකට යමුද?’ කියලා ඇහැව්වා. ‘ඒකට කමක් නෑ සර්, සීන් එක හොඳට ආවා නම් මට ඒ ඇති’ මම කිව්වාම එතුමා මගේ හිස අතගෑවා.’

වින්සන්ට් චිත්‍රපට රැසක විවිධ චරිත රඟපා ඇත. ‘දුප්පතාගේ දුක’ හි මම පොලිස්පති, වනමෝහිනී හි පියෙකු ලෙස ද, ‘රන්මුතු දූවේ’ බෝට්ටු හිමිකරුවකු වූ මුත්තුසාමි ලෙස ජීවරාණිගේ පියා ලෙස ද, ගැටවරයෝ හි බන්දුසේන නම් ධීවරයකු ලෙස සෝබනීගේ සොහොයුරෙකු ලෙස ද ‘එයා දැන් ලොකු ළමයෙක්’ හි විජයගේ අයියා ලෙස ද ‘ක්‍රිස්තු චරිතයේ’ නඩේ ගුරා ලෙසද ‘වජිරා’ හි නදීකාගේ පියා ලෙස ද, ‘පොඩි විජේ’ හි කලංගේ පියා ලෙස ද, ‘වරදට දඬුවම් හි විජයගේ තාත්තා ලෙස ද රඟපෑ ඔහු 1954 සිට 2004 තෙක් චිත්‍රපට . . . . . . රගපා ඇත.

වින්සන්ට් වාස් කාටත් කතා කළේ ‘හලෝ’ කියාය. ‘හලෝ කොහොමද සැප සනීප’ ‘හලේ කාලෙකට පස්සේ දැක්කේ’ ‘හලෝ ආයෙත් දවසක එන්න’ ඔය විදිහට.

‘මොනවද හලෝ ‘අහංකාර ස්ත්‍රී’ ආපු දවස්වල මට පාරේ බැහැල යන්න බැහැ. ඒ කාලේ මම දිගටම චිත්‍රපටවල වැඩ. අධ්‍යක්ෂවරු කිව්වා ‘අපි වින්සන්ට්ව චිත්‍රපටවලට ගන්නම් හැබැයි බේරුවලට නම් ගෙනි යන්න එන්න බැහැ කියලා.’ පස්සේ හලෝ මම බැරි තැන බම්බලපිටියේ බෝඩිමක පදිංචි වුණා. හලෝ කිව්වට විශ්වාස කරන්න ‘අහංකාර ස්ත්‍රී’ රඟපෑවට ලැබුණේ රුපියල් දෙසිය පණහයි. ඊට පස්සේ 1000 යි, 2000 යි. වැඩිම ඒ කියන්නේ හලෝ රුපියල් 15,000 ලැබුණේ විජය කුමාරතුංග මහත්තයා නිසා එයාගේ තාත්තා ලෙස රඟපෑම වෙනුවෙන්.’

වින්සන්ට් විවාහ වුණේ 1959 වසරේ මතුගම ඇග්නස් කුරේ සමඟ. ඔහුට ඇය මුලින්ම හමුව ඇත්තේ වාද්දුව දේවස්ථානයේදීය. දුටු මුල් දිනයේම ඔහු ඇයට පෙම් බැන්දේය. ඇග්නස් ඒ වන විට වාද්දුවේ ආච්චිලගේ ගෙදර සිටියේලු. යාළුවෙකුගේ මාර්ගයෙන් ආච්චිට මේ යෝජනාව වින්සන්ට් යවා ඇත. වින්සන්ට් හා ඇග්නස්ගේ වයස පරතරය අවුරුදු 18 ක් පමණය. කිසි දිනක තම සැමියා තමාගේ හිත රිදෙන වචනයක් කියා නැති බව කියන බිරිඳ ඔහු ලද දෙයකින් සතුටු වූ පවුලට හිතවත් සැමියෙකු බව කියා ඇත.

‘මම ගත කළේ දුක්ඛිත ජීවිතයක් හලෝ. මට අංගොඩ ගෙය හදාගන්න ගාමිණී ෆොන්සේකා මහත්තයා උදව් කළා. විජය මහත්තයත් වරින් වර උදව් කළා. අපි හිටපු ගේ ගංවතුරට යට වුණා. මඟුල් පින්තූරත් පරණ මම රඟපෑ චිත්‍රපටවල පින්තුරත් ගඟේ ගහගෙන ගියා හලෝ’ වින්සන්ට් දුකෙන් කීවේය.

දුක කඳුළු උරුම කර ගත් වින්සන්ට්ට කඳුළු එන දර්ශනවලදී ග්ලිසරින් දැමීමට අවශ්‍ය වූයේ නැත.

‘ගාමිණී ෆොන්සේකා මහත්තයා අධ්‍යක්ෂණය කළ ‘උතුමාණෙනි’ කියන චිත්‍රපටයේ මම රඟපෑවේ ඇඳකටම වී සිටි අංශභාග රෝගියෙකු හැටියට. ගාමිණීගෙයි, ෆරිනාලායිගේ පියා හැටියට. මම මේ චිත්‍රපටයේ එකම එක වචනයක් කතා කළේ නෑ හලෝ. හලෝ විශ්වාසයට ගන්න මගේ ඇහැට කඳුළු එන සමීප රූපයක් ගන්න තිබුණා. වේශ නිරූපණ ශිල්පියා ග්ලිසරින් අරන් ආවා. ගාමිණී මිනිහව එලවා ගත්තා ‘වාස්ට කඳුළු එන්න ග්ලිසරින් ඕනෑ නැහැ’ කියලා. ගාමිණී මා නිදා සිටි ඇඳ උඩ පැත්තකින් ඉඳගෙන මට රඟපාන අවස්ථාව විස්තර කරන විටම මගේ ඇහෙන් කඳුළු වැටෙන්න පටන් ගත්තා. ගාමිණී එක පාරට නැගිට්ටා.

‘වෙල්ඩන් වින්සන්ට්’ ගාමිණී කිව්වා.

එදා තිබුණේ මං ඇඳට වෙලාම රඟපෑ දුක්මුසු දර්ශන හලෝ. ෂූටිං ඉවර වුණේ හුඟාක් රෑ වෙලා. මම මේක් අප් හෝදගෙන ආවාම ගාමිණියි, නිෂ්පාදක ආරියරත්න පෙරේරායි කාමරයක කතා කර කර හිටියා.

‘අද මෑන් ඔෆ් ද මැච් වින්සන්ට්. කම් හියර් වින්සන්ට් කියලා මට විස්කි බෝතලය ළං කළා. හලෝ විශ්වාස කරන්න මම ගාමිණී එක්ක සන්දේශය, රන්මුතුදූව, ගැටවරයේ, දෙවියනි ඔබ කොහිද චිත්‍රපටවල රඟපාලා තියෙනවා. ‘උතුමාණෙනි’ මගේ රඟපෑම ගැන එදා අපි බොහෝ වෙලා කතා කර කර හිටියා.’

ජීවිතයේ අන්තිම කාලේ වින්සන්ට් ඇතුළු පවුල ජීවත් වූයේ මහබුද්ගමුවේ පුංචි ගෙයකය. ඔහු 2004 මැයි 06 වෙනිදා මියගිය පසු ඇග්නස් ඇතුළු පවුල තනි විය. ඔහුගේ බිරිඳ ඇග්නස් වරක් ‘සරසවිය’ පුවත්පතේ තුෂාරි වික්‍රමසිංහට මෙසේ කියා තිබුණේය.

‘මට මගේ මහත්තයගෙ රූපෙම තියෙන පුතෙක් ඉන්නවා. මගේ හැම දෙයකදිම පුතා මට ශක්තියක්. අපේ නිවසේ සෙවණැල්ල මගේ පුතා. මහත්තයා මියයන තුරුම මහත්තයාගේ සෙවණැල්ල වගේ බලා ගත්තේ චින්තක පුතා.’

චින්තක වාස් තම පියාගේ අඩි පාරේ යමින් චිත්‍රපට හා ටෙලි නාට්‍යවල රඟපායි. අබා, ඇඩ්රස් නෑ, උසාවිය නිහඬයි, ගින්නෙන් උපන් සීතල ආදී චිත්‍රපටවල රඟපෑ ඔහු ඉදිරියට තිරගතවීමට නියමිත අයිස්ක්‍රීම්, දඩඉම චිත්‍රපටවල ද රඟපායි. මෝදර බඹරු, දෙයියන්නේ රටේ ඔහු රඟපෑ ටෙලි නාට්‍යය. චින්තක ලේක්හවුස් ආයතනයේ සේවය කරයි.

‘මගේ තාත්තාට ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ලද දෙයින් සතුටු වෙලා, අනුන්ට කරදරයක් නැති ජීවිතයක් ගත කළේ. අපේ පවුලම එයාගේ ජීවිතේ. මගේ අම්මා මේ දවස්වල ඉන්නේ මා එක්ක වැල්ලම්පිටියේ පරණ විලාසිනි සිනමා අසල නිවසක. අපේ පවුලෙ වැඩිමලා විරාණි ඉන්නේ කැස්බෑවේ. ලොකු අයියා මිලාල් ගරාජ් එකක් කරනවා. ජානකී අක්කා ඉන්නේ රාජගිරියේ. ඊළඟට මම. නංගී ඉනෝකා ඉන්නේ පූගොඩ. මට කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයේ ඉගෙනීම අවස්ථාව ලැබුණේ ඒ විද්‍යාලයේ දුප්පත් දක්ෂ කතෝලික ළමුන්ට දෙන ශිෂ්‍යත්වයකින් සමත් වෙලා.

මම මුලින්ම ශාන්ත ජෝසප් විද්‍යාලයට ඇතුල් වුණදා පාසලේ ‘ක්‍රිස්තු චරිතය’ රූගත වෙනවා. එදා තාත්තා මාව විජය කුමාරතුංග මහත්තයා ළඟට එක්ක ගිහින් ‘මේ මගේ පුතා’ කියලා ආඩම්බරයෙන් හඳුන්වලා දුන්නා. විජය මහත්තයා මගේ ඔළුව අතගාලා ‘පුතා හොඳට ඉගෙන ගන්න කියලා’ ඔළුව අත ගෑවා’ චින්තක කීවේය. වින්සන්ට් වාස් සරසවිය රණතිසර සම්මානයෙන් පිදුම් ලද්දේ 2002 වසෙර්ය.

වින්සන්ට් වාස් නම් විශිෂ්ට චරිතාංග නළුවා අසූ දෙහැවිරිදි වියේ එනම් මීට වසර 15 කට ඉහත 2004 මැයි 06 වෙනිදා ජීවිත සිනමාවෙන් සමු ගත්තේය.

 

 ඒ.ඩී.රන්ජිත් කුමාර

ලාල් සෙනරත්

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.