සුරතල් නංගියේ අපි දෙන්නා ගයා මනමේ කුමරිය වූ ගම්පෙරළියේ අනුලා

මැයි 23, 2019

 

“සුරතල් නංගියෙ අපෙ අම්මා

 

ඇඟ ලේ කැටි කිරි කර නිම්මා

පොඩි අවිදියෙ අප හට පෙව් හින්දා

අම්මට මම වැන්දා”

ගුවන් විදුලියේ ළමා තීරයේ ප්‍රචාරය වූ මේ ගීතය නෑසූ කෙනෙකු සිටී නම් එය ‘ලෝකයේ පුදුම’ අතරට එක් වනු නොඅනුමානය. මේ ගීතයට දශක අටක ඉතිහාසයක් ඇත. 1938 වසරේ මේ ගීතය ගැයුවේ ට්‍රිලීෂියා අබේකෝන් (නංගී) හා ඩබ්ලිව්. ඒ. විජේපාල (අයියා) ය. ලංකාවේ මුල් වරට ග්‍රැමෆෝන් තැටියට නැං වූ ළමා ගීතයත් මෙය විය. මේ එච්. එම්. වී. ග්‍රැමෆෝන් තැටියේ පිටපත් 1000 ක් අලෙවි වු බව ද වාර්තා වේ. ට්‍රිලීෂියා නම් ළමා තාරකාව බිහි වුණේ මීට වසර අසූවකට පෙරය. එදා ඒ ගීතය රචනා කොට සිරි අයියා ලෙස ගායනා කර ඇත්තේ යූ. ඒ. ඇස්. පෙරේරාය.

ට්‍රිලීෂීයා අබේකෝන් ඩබ්ලිව්. ඒ. විජේපාල ‘සුරතල් නංගියේ අප අම්මා’ ගීත තැටිගත කිරීමට ප්‍රථම මේ ළමා ගායක ගායිකා දෙදෙනා සංගීතඥ මොහොමඩ් ගවුස් මාස්ටර් ඉදිරියේ ගී ගයා අනුමැතිය ගත යුතුව තිබිණි. ඒ අනුමැතියෙන් පසු සංගීතඥ ආර්. ඒ. චන්ද්‍රසේන මාස්ටර්ගේ සංගීත මෙහෙයවීම යටතේ මේ ගීතය පටිගත වී ඇත. එසේ නිකුත් වූ ග්‍රැමෆෝන් තැටියේ කවරයේ ට්‍රිලීෂියා හා විජේපාලගේ පින්තූර දෙකක් ද එයට ඇතුළත් විය. ගීතයේ පදමාලාව සහිත සින්දු පොතක් ද නිකුත් කළ බව පැවසේ.

කවුද මේ ට්‍රිලීෂියා?

ට්‍රිලීෂියා අබේකෝන් 1934 ඔක්තෝබර් 14 වෙනිදා කොළොන්නාවේ උපත ලබා දෙමටගොඩ සාන්ත ඇන්තනි ගර්ල්ස් ස්කූල් හා කොළඹ මියුසියස් විද්‍යාලයේ ඉගෙනීම ලබා පේරාදෙණියේ ලංකා විශ්ව විද්‍යාලයට ඇතුළත් වූවාය. ට්‍රිලීෂියාගේ කලා ජීවිතයේ තවත් පෙරළියක් ඇති වන්නේ සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’ නාට්‍යය මනමේ බිසගේ චරිතය තුළිනි. ඇයව විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් අතුරින් ඇය තෝරා ගැනීම තමන්ට දුෂ්කර කාරියක් වූ බව මහාචාර්ය සරච්චන්ද්‍රයන් තමා ලියූ ‘පිං ඇති සරසවි වරමක් දෙන්නේ’ කෘතියේ සඳහන් වෙයි.

‘විශ්ව විද්‍යාලයකට පිවිසීම සඳහා ශාස්ත්‍රඥානය පසුපස එළවන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කලා ශිල්ප ක්ෂේත්‍රයෙහි සහජයෙන් පිහිටන හැකියාවල් දියුණු කිරීමට අවස්ථාව ලැබෙන්නේ කලාතුරකිනි. කලක් මුලුල්ලේ සොයා කෙළවර තෝරා ගත් ට්‍රිලීෂියා අබේකෝන් හා බෙන් සිරිමාන්න ඕපපාතික අය නුවූහ. ට්‍රිලීෂියා අබේකෝන් පාසල් සිසුවියක කාලයේ පටන් රේඩියෝවේත් ගී ගයා පුරුදු වූ ශිල්පිනියක් වූවාය. ඈට නිවැරැදි ස්වර ඥානයක් හා කලා ඥානයක් පිහිටා තිබුණේ කවර හේතු වාසනා නිසාදැයි සොයා බැලූ මම ඇගේ පියා නාඩගම් හා නූර්ති සංගීතය ප්‍රිය කළ රසිකයකු වූ බවත් ඇගේ ගෘහ්‍ය පරිසරයෙන් ඈට රුචිකත්වයක් ලැබී ඇති බවත් දැන ගතිමි.’

තවමත් ‘මනමේ’ හී මේ ගීතය ඇසෙන විට ඇය රඟපෑ මුල් ගීතය සිහි වේ.

‘ලප නොමවන් සඳ සේ සොමි ගුණෙනා

ආදර දිනෙනා සිසු සැවොමා - රාජ ගුරුන්ගේ සිත් නැණ බෙලෙනා

වෙමි මම සුවචා දූ කුමරි’

ට්‍රිලිෂියා ගැන තවත් නොදන්නා තොරතුරු වසර 10 කට පෙර ඇය සමඟ ‘සුරතල් නංගියේ’ ගීතය ගැයූ විජේපාල මහතා මට පැවසුවේය. ඒ ගැන මම එකල පුවත්පතකට ලියා තිබුණි. විජේපාල මහතාගේ දියණියක් චන්ද්‍රිකා හා මගේ බිරිඳ දමයන්ති ජයසූරිය සමඟ ගල්කිස්සේ උසස් බාලිකා විද්‍යාලයේ එකම පන්තියේ ඉගෙන ගත් මිතුරියකි. අද ජීවතුන් අතර නැති විජයපාල මහතා 2009 වසරේ මට කීවේ ඔහු එදා පදිංචිව සිටි මොරටුවේ කටුබැද්දේ කොස්පැලෑනේ බණ්ඩාරනායක මාවතේ නිවෙසේදීය.

‘ට්‍රිලීෂියා කියන පුංචි නංගිට ඒ වන විට වයස 5 ක් විතර ඇති. අප දෙදෙනාම පදිංචි වෙලා හිටියේ කෙළොන්නාවේ මිතොටමුල්ලේ. අපේ ගෙවල් කිට්ටුවමයි ‘සිරි අයියා’ (යූ. ඒ. එස්. පෙරේරා මහතා) පදිංචිව සිටියේ. ට්‍රිලීෂියාවත්, මාවත් ළමා තීරයට එක් කරගෙන ගියෙත් සිරි අයියා. ඒ කාලයේ ‘ළමා තීරය’ බාරව හිටියේ චන්ද්‍රා ගොඩකුඹුර (ආචාර්ය චාල්ස් ගොඩකුඹුරගේ බිරිය) ගොඩකුඹුර මහත්මිය ‘දමයන්ති අක්කා’ හැටියටත්, යූ. ඒ. එස්. පෙරේරා ‘සිරි අයියා’ නමිනුත් ‘ළමා තීරය’ මෙහෙය වූවා. ‘ළමා තීරයෙන්’ දමයන්ති අක්කා ඉවත්වීමෙන් පසු ට්‍රිලීෂියා සොමී අක්කා ලෙස ළමා තීරය මෙහෙය වූවා.’

ට්‍රිලීෂියා අතිනත ගත්තේ ඉංග්‍රීසි කලා විචාරකයකු හා එවක විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ (කැලණි) ඉංග්‍රීසි අංශයේ කථිකාචාර්ය ආචාර්ය ඒ. ජේ. ගුණවර්ධන සමඟය. ඇය මහාචාර්ය සරච්චන්ද්‍රගේ ‘හස්තිකාන්ත මන්තරේ’ වාසුලදත්තා බිසව, දයානන්ද ගුණවර්ධනගේ ‘ ‘නරිබැනා’ හා මහගමසේකරගේ ‘කුණ්ඩලකේශී’ නාට්‍යවල රඟපෑවාය.

විවාහවීමෙන් පසු ට්‍රිලීෂියා ගුණවර්ධන වූ ඕ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘ ගම්පෙරළිය’ චිත්‍රපටයේ අනුලා වූවාය. මුලදී ඇගේ රංගනයෙන් වේදිකාවේ රඟපෑම් ශෛලිය මතු වූ බව දුටු ලෙස්ටර් පවසා ඇත්තේ දින දෙකකින් නන්දා ලෙස රඟපෑ පුණ්‍යා හීන්දෙනිය හා කරට කර රඟපෑ බවය. ‘ගම්පෙරළිය’ නැරඹූ ප්‍රේක්ෂකයාට අනුලා අමතක කළ හැකිදැයි ලෙස්ටර් මහතා අප සමඟ පැවසුවේය. ට්‍රිලීෂියා එම චිත්‍රපටයේ රඟපෑ ප්‍රබලම දර්ශනය ඇය නන්දාට මෝල්ටඩ් මිල්ක් කෝප්පය ගෙන ආ අවස්ථාව. නන්දා සිටියේ හොඳ හැටි උණ ගැනිලාය.

‘කොයින්ද අනු’

‘කොහෙන් උණාම මොකද නංගි බොන්න’

‘මම බොන්නම්, කියන්න, කොයින්ද කියා.’

‘පියල් එවා තිවුණා බෝතල් දෙකක්’

නන්දා මෝල්ටඩ් මිල්ක් කොප්පය බිත්ති මුල්ලට වීසි කරයි.

‘ඔක්කොම කරන්නේ බොරු! පියල් ගැන හිත හිතා ඉඳලයි ලෙඩ උණේ. දැනුත් හිතන්නේ පියල් ගැනමයි. බොරුවට පෙන්වන්න හදනවා පියල්ට අකමැති බව. පියල් එක්ක තරහ බව!

අනුලා කෝපයෙන් අසයි.

ට්‍රිලීෂියා ඉන්පසු මඩොල් දූව (කුඩම්මා), බැද්දේගම, නිධානය, ගැහැනු ළමයි, නොමියන මිනිසුන්, තරණය, ලොකු දුව චිත්‍රපටවල රඟපෑවාය. ඒ අතුරිනුත් ‘කලියුගය’ චිත්‍රපටයේ අනුලාගේ චරිතය ගම්පෙරළිය චිත්‍රපටියේ දෙවන කොටස එනම් වයෝවෘධ චරිතය විශිෂ්ට ලෙස රඟපෑවාය. ට්‍රිලීෂියාගේ විශිෂ්ට රංගනය ලෙස චිත්‍රපට විචාරකයන් හැඳින් වූයේ ඇගේ ‘කලියුගයේ’ මේ චරිතයයි. 1984 හොඳම සහාය නිළිය ලෙස සරසවිය සම්මානයත්, ජනාධිපති සම්මානයත්, ඕ. සී. අයි. සී උත්තමාචාර උලෙළේදී සජීවි සිනමාත්මක කුසලතා සහතිකයත් හිමි කර ගැනීමට ඇයට හැකි විය.

 

ට්‍රිලීෂියා සමඟ ගුවන් විදුලියේ ‘ළමා තීරයේ’ සිටම හඳුනන පසුව ‘මනමේ නාට්‍යයේ ඇය සමඟ ධනුද්ධර කුමාරයා ලෙසද, ගම්පෙරළිය චිත්‍රපටයේ ද රඟපෑ හෙන්රි ජයසේන අප හා මෙසේ පැවසුවේය.

‘මමයි ට්‍රිලිෂියා කුඩා කල සිටම හඳුනනවා. පසුව අපි වේදිකාවේත්, සිනමාවේත් රඟපෑවා. ඇය විශිෂ්ට ලෙස රඟපෑ ‘ගම්පෙරළිය’ චිත්‍රපටයේ අනුලාගේ චරිතයට කිසියම් අසාධාරණයක් වුණා කියලා මම හිතන්නේ. ඒ කාලේ සම්මාන උලෙළවල සහාය නිළියට සම්මාන පිරිනැමූවේ නැති නිසයි මේ අසාධාරණය සිදු වුණේ. ගම්පෙරළියේ නන්දා ලෙස පුණ්‍යා මතුවුණා සේම අනුලාගේ චරිතය නිසා ට්‍රිලීෂියා ද මතු වුණා. ඇය මේ චරිතය රඟපෑවේ සංවේදිතාවයකින්. ‘මනමේ’ නාට්‍ය රඟපාන විට ගුරුවරියක් ලෙස ඇය මට උදව් කළා. ‘ගම්පෙරළිය’ට විදේශීය සම්මාන උලෙළවලදී ඇය අගය නොකිරීමට වන්දි වශයෙන් ‘කලියුගයේ’ එම චරිතයට ඇයට සම්මාන පිට සම්මාන ලැබුණා.

නූතන ඉන්දීය සාහිත්‍යයේ විශිෂ්ටම කෘතියක් ලෙස ඉන්දියාවේ ඉහළම සාහිත්‍ය සම්මානය වන ‘ඥනන්ජිත්’ සම්මානයෙන් පිදුම් ලත් යු. ආර්. අනන්තමූර්ති ලියූ කණ්නඩ නවකතාව වූ ‘සංස්කාර’ නමින් සිංහලයට පරිවර්තනය කළේ ට්‍රිලීෂියාය. මේ කෘතිය පරිවර්තනයක් යයි කිව නොහැකි තරමටම රසවත්ය.

ඇය ටෙලි නාට්‍යය කිහිපයක ද රඟපෑවාය. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘ගිරය’ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය වූ ලුසිහාමිගේ චරිතය රූපවාහිනී ප්‍රේක්ෂකයින්ට කිසිදා අමතක නෙවෙනු ඇති. සති 10 ක් නොකඩවා රූපවාහිනියෙන් විකාශය වූ මේ ටෙලි නාට්‍යය පුණ්‍යාකාන්ති විජේනායකගේ නවකතාව ඇසුරෙන් නිපදවුවකි. සුදත් රෝහණ අධ්‍යක්ෂණය කළ ‘බැද්දේගෙදර’ ටෙලි නාට්‍යය ඇය රඟපෑ මවගේ චරිතයට ඕසීඅයිසී සම්මානයක් හිමි කර ගත්තාය. පසුව ඉංග්‍රීසි නාට්‍යවලට එක් වූ ඇය බෙල්ජියම් ජාතික මහාචාර්ය රූඩි කොරෙන්සේගේ ‘කලිගියුලා’ නාට්‍යයේ රඟපෑවාය. විවාහයෙන් පසු ඕතෙමෝ ඇමරිකාවේදී නාට්‍ය කලාව ගැන වැඩිදුර හැදෑරුවාය.

පේරදෙණිය ලංකා විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය දිනා ගත් ඇය කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ ගුරුවරියක් ලෙස කටයුතු කළ කාලේ තම පන්තියේ නිතරම ගී ගැයීමට දක්ෂ සිසුවෙකුට දඬුවම් කළාය. එය හිතකින් නොවේ.

‘මම සින්දුවලට ආසයි. මමත් සින්දු කිව්වා. ඒ වුණාට ඉස්සෙල්ලා ඉගෙන ගන්න. දෙවනුව ගීත ගයන්න. අපි සින්දුත් කිව්වා. ඉගෙනත් ගත්තා. ඔයාට හොඳ අනාගතයක් තියෙනවා. ඒක හිතට ගන්න.’

පසු කලෙක 1984 වසරේ සරසවිය චිත්‍රපට උලෙළේදී මේ ගුරුතුමිය හොඳම සහාය නිළිය ලෙස සරසවිය සම්මාන ලබද්දී එදා පන්තියේ ගී ගයා ගුරුතුමීගෙන් දඩුවම් ලැබූ ශිෂ්‍යයා හොඳම ගායකයා ලෙස සරසවිය සම්මානය එකම වේදිකාවේ ලැබීම පුදුමයක් නොවේද? මේ සිසුවා මිල්ටන් මල්ලවාරච්චිය.

‘මිල්ටන් ඔයා දක්ෂයෙක් බව මුලින්ම දැන ගත්තේ මම.’ ට්‍රිලීෂියා තම ගෝලයාට සුබපතමින් කීවාය.

ට්‍රිලීෂියා සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි උපදේශිකාවක් ලෙස කටයුතු කළාය.

ට්‍රිලීෂියා විනෝදයට කැමැති රංග ශිල්පිනියකි. මා ඇය ගැන හොඳ හැටි දැනගත්තේ ‘කලියුගය’ චිත්‍රපටයේ රූගත කිරීම් අතරය. කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ කොළඹ විශ්වවිද්‍යාලයේ ‘කොලේජ් හවුස්්’ එක අසළ තිබෙන දැවැන්ත නිවසේය රූපගත කිරීම් කෙරුණේ. පුණ්‍යා හීන්දෙනිය, ට්‍රිලීෂියා විවේකීව සිටින අවස්ථාවල ඊට වසර 20 කට පෙර බලපිටියේ මහ කප්පින වලව්වේ දී කයිසාරුවත්තේ මුහන්දිරම් මිය යන අවස්ථාවේ දර්ශනය රූගත කරද්දී ලෙස්ටර් මහතාගෙන් මුල්වරට බැනුම් ලැබූ අවස්ථාව මට සිහිපත් කළහ.

‘ඒ දර්ශනය ශෝකී අවස්ථාවකි. තම පියා ලෙස රඟපෑ ඩේවිඩ් ධර්මකීර්තිගේ පපුවට පහනේ එළියෙන් බුලත් කොළයක් නවා සිද්ධාර්ථ තෛලය අනුලා ලෙස රඟපෑ ට්‍රිලිෂීයා තවයි. චරිතයේ හැටියට පණ අදිමින් සිටින ඩේවිඩ් තමා අසළ සිටින දූන් දෙදෙනාට (පුණ්‍යා හා ට්‍රිලීෂියා) හෙමින් මෙසේ කියා ඇත.

‘තව පල්ලෙහාට තවපල්ලා එතකොට පණ එයි’

ප්‍රණ්‍යාටත් ට්‍රිලීෂියාටත් හිනාව නතර කර ගැනීමට නොහැකි විය.

‘අයිසේ මේ ශෝක අවස්ථාවක්. මොකද හිනා වෙන්නේ’ ලෙස්ටර් කියා ඇත්තේ තරමක කෙන්තියෙනි.

පසුව සිනහව මැඬගෙන ඒ ශෝකී අවස්ථාව නිරූපණය කිරීමෙන් පසු දෙදෙනාම ලෙස්ටර් මහතා අසළට ගියහ.

‘හොඳට සීන් එක ආවා. මොකද වුණේ හිනා යන්න තරම් . . .’

‘සොරි මිස්ටර් පීරිස්, ඩේවිඩ් මහත්තයා මැරෙන ගමන් කොලොප්පන් කළා.’

‘ඩේවිිඩ් එහෙනම් නරක වචනයක් කියන්න ඇති’

ට්‍රිලීෂියාගේ සැමියා මහාචාර්ය ඒ. ජේ. ගුණවර්ධන ද තිර නාටක රචකයෙකි. කලියුගය හා බැද්දේගම චිත්‍රපට තිර නාටක රචකයා ඔහුය. තම සැමියාගේ අපූරු දස්කමක් ගැන ට්‍රිලීෂියා වරක් අපට පැවසුවාය.

‘ඒ. ජේ. එයාගේ කාර් එකට පුදුම ආදරයක් තිබුණේ. ඒක වොක්ස්වෝගන් කාර් එකක්. මේ කාර් එක ගත්ත දවසේ ඉඳලා කිසි දිනක රෙපයාර් එකකට ගරාජයකට දැම්මේ නෑ. එයාම මුළු කාර් එකම ගලවනවා. හැම ඇණ මුරිච්චියක්ම ගලවනවා. එයාම ඇණ මුරිච්චි නිසි තැනට යොදා හයි කරනවා. ඉන් පස්සේ කාර් එකට පණ එනවා. ඒක බලන් ඉඳීමට මම කැමැතියි. එයාට ඒ තරම්ම කාර්මික ඥානයක් තියෙනවා. ඉංග්‍රීසි මහාචාර්යවරයකු නොවුණා නම් එයා හොඳ ගරාජ් බාස් කෙනෙක්’ ට්‍රිලීෂියා වරක් මා සමඟ පැවසුවාය.

මේ අග්‍රගණ්‍ය රංගවේදිනිය ජීවිත රංගනයෙන් සමු ගත්තේ 1999 අප්‍රේල් 27 වෙනිදා එනම් මීට වසර 20 කට පෙරය.

ට්‍රිලීෂියගේ වියෝවීම නිසා ඇගේ හොඳම මිතුරකු වූ හෙන්රි ජයසේනයන් ලියූ කවි පද කිහිපයකින් මේ ලිපිය මම සමාප්ත කරමි.

ඔබත් ගිය පසු කුමරිය

ඉතිරි වූ සුවඳක් නැත

අපේ සිත් තුළ

ඒ මනමේ පුෂ්පයෙන්

ඔබත් ගිය පසු කුමරිය

නැත දෙසවන නින්නාද වන්නේ

මියුරු පදස

ඒ සොඳුරු අතීතයෙන්

 

ඔබ ද ගිය පසු කුමරිය නිමාවට

අප කවුරුත් යන ගමන් මඟ

නිදන්න කුමරිය සුවසේ

දිව ගදඹුන් වසන අසපුවක

විඩාබර ගමනකින් පසුව

 

ඒ.ඩී.රන්ජිත් කුමාර

 

ලාල් සෙනරත්

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.