‘කැලෑහඳ’ වෙළෙඳ තැටි නළු ජීවිතයට

කට්ටලයෙන් වාසනාව උදා කර ගත් සේනාධීර කුරුප්පු
ජූලි 18, 2019

 ‘කැලෑහඳ’ චිත්‍රපටය තිරගත වූ පසු ඒ චිත්‍රපටයේ ජනප්‍රිය වූ වෙළඳ ගීත තැටි උණු උණු කැවුම් සේ විකිණී ඇත. එකල ග්‍රැමෆෝන් යන්ත්‍රයක් නිවසක තිබීම වරප්‍රසාද ලැබු පන්තියේ සංකේතයක් ලෙස සැලකිණ. වසර 1954 ය. ‘කැලෑ හඳ’ තිරගත වූයේ 1953 දීය. ගෙදරට ග්‍රැමෆෝන් යන්ත්‍රයක් මිල දී ගත් තරුණයෙක් කඩිමුඩියේ කාර්ගිල්ස් සාප්පුවට දුව ගියේ ‘කැලෑ හඳ’ චිත්‍රපටයේ තමා ප්‍රිය කරන ගීත ඇතුළත් එච්. එම්. වී. තැටි කට්ටලයක් මිල දී ගැනීමටය. තැටි කට්ටලය මිල දී ගෙන එළියට යාමට ගිය ඔහු තිගැස්සී නතර වූයේ ජනප්‍රිය නළුවකු හා විකට ගී ගායකයා වූ එඩී ජයමාන්න තවත් අමුත්තෙකු සමඟ එහි පැමිණීම නිසාය. එතන සිටි කාර්ගිල්්ස් සාප්පුවේ ග්‍රැමෆෝන් තැටි අංශයේ ප්‍රධානියා වූ ගේබ්‍්‍රයල් ගුණරත්න මහතා දුටු එඩී සුපුුරුදු සිනා රැල්ලෙන් මෙසේ කීය.

‘අයිසේ ග්‍රේබ්රියල් මට ‘කැලෑ හඳ’ තැටියක් දෙනවකෝ. ගෙදර ගේන තැටි යාළුවෝ, නෑයෝ ඇවිත් ගෙනිහිල්ලා.’

‘එඩී බොහෝම කනගාටුයි, අන්තිම සින්දු සෙට් එක මේ මහත්තයා දැන් ගත්තා. ආයිත් ඉන්දියාවෙන් තැටි එනකොට මාසයක් විතර යාවි.’

‘ෂඞ මළ ජූලියයි . . . දැන් මොකද කරන්නේ’

එඩී ළතවෙමින් තමා සමඟ පැමිණි නාට්‍ය රචක ස්ටීවන් සිල්වාට කීවේය. ‘මතභේදය’ නාට්‍යයේ රචකයා ඔහුය.

තැටි කට්ටලය මිල දී ගත් තරුණයා එඩී ගාවට සමීප විය.

‘ජයමාන්න මහත්තයා, මේක ගන්න. මට වඩා ඔබටයි මෙය අවශ්‍ය වන්නේ. මට පසුව මේවා මිලදී ගත හැකියි. කරුණාකර මේක ගන්න, මම මෙය ඔබට තෑගි දෙනවා.’

‘ෂඞ තමුසේ පුදුම මිනිහෙක්නෙ. මට කළේ ලොකු උදව්වක්. මේවට මුදල් . . .’ එඩී මුදල් පොකැට්ටුව ඇද්දේය.

‘මට මුදල් එපා ජයමාන්න මහත්තයා. ඔබ මගේ ප්‍රියතම නළුවෙක්’

‘ඇත්තද? තමුසෙ නං යකාගේ මිනිහෙක් නොවැ.’ එඩි කොක් හඬ දී සිනාසුණේය.

එතැනින් නොනැවතුණු එඩී තරුණයාගේ හිසේ සිට පහළට විමසුම් බැල්මක් හෙළීය.

‘අයිසේ තමුසේ ස්මාට් හාදයෙක්නෙ. කැමති නැද්ද චිත්‍රපටයක රඟපාන්න.’

තරුණයා කිසි පිළිතුරක් නොදී සිටියේ තමාට නළුවකු වීමට ගොස් අමාරුවේ වැටී රැකියාව ද අහිමි කර ගත් නීරස අත්දැකීමක් තිබූ නිසාය. ඔහු මේ අත්දැකීම එඩීට විස්තර කිරීමෙන් පසු ඔහුට කනගාටුවක් ඇති විය.

‘මේ පාර තමුසෙට වරදින්නේ නැහැ. හෙටම එනවා මීගමුවේ අපේ ගෙදරට. මම ඇලෝ අයියාට (බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න) කියන්නම් තමුසෙට රඟපාන්න චාන්ස් එකක් දෙන්න කියලා. තමුසෙට කොහොමටත් ජොබ් එකක් නෑනේ. අපි ට්‍රයි එකක් දෙමු.’

එඩීගේ කතාව විශ්වාස කළ තරුණයා පිටව ගියේ දහසක් සිතුවිලි මවමිනි.

මේ තරුණයාගේ නම කුරුප්පුගේ දොන් සෝමපාලය.

ඔහු කොළඹ කිරුළපනේ උපන්නේ මීට වසර අනූවකට පෙර එනම් 1929 නොවැම්බර් 12 වෙනිදාය. දෙමටගොඩ ශාන්ත මැතිව් විද්‍යාලයේ සහ රජයේ අභ්‍යාස විද්‍යාලයේත් සිංහල හා ඉංග්‍රීසි ජ්‍යෙෂ්ඨය දක්වා ඉගෙන ගත් ඔහු වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙක් ද සහෝදරයන් දෙදෙනකු ද බාල සොහොයුරෙක් ද සහිත පවුලක පස්වෙනියා විය. පාසල් යන කාලයේ සිටම කලාවට, නාට්‍ය රඟපෑමට ආදරය කළේය.

ඔහු මට සමීපව ඇසුරු කිරීමට අවස්ථාව ලැබුණේ මීට වසර 40 කට පෙර රාජගිරියේ ධර්මපාල මාවතේ නිවසට ගිය පසුවය. ඒ 1979 වසරේ මරදානේ ටවර් රඟහලේ පැවැත් වූ ‘රුක්මණී දේවි උපහාර චිත්‍රපට උලෙළේ 1979 අගෝස්තු 25 වෙනිදා තිරගත වූ ‘දෛවයෝගය’ චිත්‍රපටයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි කරවා ගැනීමට ආරාධනය කිරීමට ගිය අවස්ථාවේ සිටය. ඔහු නිවෙසේ සිට ටවර් රඟහලට ගෙන යන ගමන් ලේක්හවුස් වාහනයේදී මට නොයෙක් දේ කීවේය.

‘ඔබ වේදිකා නාට්‍යවලත් රඟපෑවාදැයි’ මා ඇසූ ප්‍රශ්නයට මෙසේ පිළිතුරු දුන්නේය.

‘ඔව් මම ප්‍රසිද්ධ වේදිකාවේ රඟපෑවා. උපාලි වනසිංහ නිෂ්පාදනය කළ ‘දස්කොන්’ නාට්‍ය දස්කොන් ලෙස. ප්‍රමිලා බිසවට රඟපෑවේ ජී.එස්. බී රාණි. නරේන්ද්‍රසිංහ රජු ලෙස හර්බට් එම්. සෙනෙවිරත්න රඟපෑවා. 1940 වසරේ මම ලංකා ගුවන් විදුලියේ සිරි අයියා මෙහෙය වූ ළමා පිටියේ ගුවන් විදුලි නාට්‍යයක රඟපෑවා. ‘කොටුවේ ගැට කපන්නා’ ඒ නාට්‍යයේ නම. මුලදී මම අතරමං වූ චිත්‍රපට නළුවෙක්. 1952 වසරේ මගේ වයස අවුරුදු 23 යි. හොඳ කඩවසම් නළුවෙක්. දවසක් මම පුවත්පතක දැක්කා රඟපෑමට නළු නිළියන් ඕනෑ කියන දැන්වීමක්. මම මේ සඳහා ඉල්ලුම් පත්‍රයක් දැම්මා. කඳානේ සුන්දර සවුන්ඩ් චිත්‍රාගාරයේ පුදුම පෝලිමක්. පෝලිම දැක්කම මම බය වුණා. මම ආපසු හැරුණා. කවුද මහත්තයෙක් මාව නතර කරලා ‘ඔබ යන්න එපා. අපේ ලොකු මහත්තයා එන්න කිව්වා.’

‘කවුද ලොකු මහත්තයා’

‘නායගම් මහත්තයා. මේ චිත්‍රාගාරය අයිති ලොක්කා’

ඔහු මාව චිත්‍රපටයේ නිෂ්පාදක එස්. එම්. නායගම් ළඟට එක්ක ගියා. එතැන සිටි පිරිසෙන් මා දැක තිබුණේ හියුගෝ ප්‍රනාන්දු පමණය. හියුගෝ මාස්ටර් එක පාරටම නායගම්ට කිව්වා ‘සර් මෙයා දක්ෂ ස්ටේජ් ඇක්ටර් කෙනෙක්. අපි මෙයාව තෝර ගමු’ කියලා. නායගම් ඒ අදහසට කැමති වෙලා මට ලිපියකින් දන්වන්නම් කිව්වා. කරන රැකියාවෙන් අස් වී මදුරාසියට යන්න ලෑස්ති වෙන්නත් කිව්වා. මම එතකොට රැකියාව කළේ ෆෝබර්ස් ඇන්ඩ් වෝකර්ස් කොම්පැනියේ ක්ලාක් කෙනෙක් හැටියට.

මෙන්න බොලේ මට ලියුමක් එනවා ශ්‍රි මුරුගන් නව කලා චිත්‍රපට සමාගමෙන්. ‘පුදුම ලේලි’ චිත්‍රපටයේ මා රඟපෑමට තෝරා ගත් චරිතයට සුදුසු නැති බවත් වෙනත් නළුවෙක් (ධර්ම ශ්‍රී රණතුංග) ඒ සඳහා තෝරා ගත් බවත් කියලා.’ මේ පසුබිම යටතේ මට එඩී ජයමාන්න කළ යෝජනාව ගැනත් කුකුසක් ඇති වුණා’.

සේනාධීර මේ අයුරින් අතීත වගතුග කීවේය.

එඩි ජයමාන්න සේනාධීරව බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නට හඳුන්වා දීමෙන් ඇසූ ප්‍රථම ප්‍රශ්නය මෙය විය.

‘මොකක්ද නම . . .?

‘සෝමපාල කුරුප්පු’

‘ඒ නම හරි නෑ. අපි අද ඉඳලා සේනාධීර කුරප්පු කියමු’

‘ඔබේ කැමැත්තක්’

එදා සිට සෝමපාල ‘සේනාධීර කුරුප්පු’ විය. මේ අනුව ඔහු බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ ‘මතභේදය’ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වූ අතර ඔහු රඟපෑවේ රුක්මණී දේවිය සමඟිනි.

‘මම ජීවත්වන තෙක් ජයමාන්න මහතාට ණයගැතියි’ සේනාධීර කියා ඇත.

තම ප්‍රථම රඟපෑම සඳහා සේනාධීර කැමරාව ඉදිරියට ගියේය. ඔහු රඟපාන්නේ නිළි රැජින රුක්මණී දේවි සමඟය. ඔහුට දෙබස් කියා ගන්නට බැරි තරමට දෙතොල් වෙව්ලන්නට විය. ඔහුට ඇත්තේ පෙම් ජවනිකාවක් රඟපෑමටය. දෙබස් ලියූ පොතක් ඇතිව බී. ඒ. ඩබ්ලිව්. ගැඹුරු කල්පනාවකය. ඔහු දකින විට සේනාධීර තමා හොඳින් කටපාඩම් කරගෙන සිටි දෙබස් පවා අමතක විය. කෝකටත් සේනාධීර රුක්මණීගේ අත දැඩිව අල්ලා ගත්තේය. ඒ ඔහුගේ රඟපෑමේ කොටසකි. මේ නවක තරුණයා හොඳටම තිගැස්සී සිටින බව රඟපෑමේ කලාව පරතෙරට දත් රුක්මණී දේවි දැන ගත්තාය. ජවනිකාව යකාට යද්දෙන්! ඈ ඔහුට රඟපෑමේ මූලික ගුරුකම් කිහිපයක් බී. ඒ. ඩබ්ලිව්ටත් නෑසෙන්න කෙඳුරුවාය. රුක්මණීගේ මාහැඟි උපදෙස ඇයට පින් දෙමින් මෙසේ විස්තර කළේය.

‘මොකද සේනාධීර මේ? බය වෙන්න එපා. මොහොතකට මං ඔබේ ඇත්ත පෙම්වතිය කියා හිතන්න. වැරදුණාට කමක් නෑ. සිය සැරයක්වත් මම ලෑස්තියි සේනාධීර සමඟ මේ ‘පාට්’ එක රඟපාන්න. මිනිත්තුවෙන් ඔය බය ගතිය මඟහැරිලා යයි’.

ඔහු දක්ෂ නළුවෙකියි සිනමා රසිකයෝ කීහ. ඊළඟට සේනාධීර දෛවයට ගොදුරු වූ තරුණයකුගේ චරිතයක් රඟපෑවේය. ඒ ‘දෛව විපාකය’ චිත්‍රපටයෙහිය. ‘ජනතා’ පත්‍රය මඟින් පැවැත් වූ චිත්‍රපට කතා තරගයකින් මුල් තැන ගත් සිසිර කුමාර මානික්කආරච්චිගේ ‘දෛව විපාකය’ චිත්‍රපටයේ කිත්සිරිගේ චරිතයෙන් පසු සේනාධීර එක රැයකින් ජනප්‍රිය විය.

ඊට පසු සේනාධීර කැතරින්ට ආලය කළේය. ඒ ප්‍රේමය කඩාකප්පල් විය. ටියුඩර් සිරිපා අඩවියේ මැණික් ගරන්නට ගියේය. කැතරින් යළිත් ඔහුට මුණ ගැසුණි. යටපත් වී තිබුණු ආලය මතු විය. එහි කෙළවර වූයේ ඛේදවාචකයකි. ඩබ්ලිව්. ඒ. සිල්වාගේ ‘දෙයියන්නේ රටේ’ දී සේනාධීරට වූ හදියකි මේ. කැතරින් ලෙස රඟපෑවේ පුණ්‍යා හීන්දෙනියයි. ඊළඟට ඔහුගේ චිත්‍රපටය ‘සිහිනයයි’. එය ඔහුට ද සිහිනයක් විය. ඊළඟ චිත්‍රපටය ‘දෛවයෝගය’යි. මහානාද සෙනෙවියා ඔහුය. ඔහු පෙම් කළේ රුක්මණී දේවි රඟපෑ ශීලා කුමරියටයි. ඒ ප්‍රේමය දෛවයෝගයකින් කෙළවර විය. ‘දරුවා කාගේද’ චිත්‍රපටයේ ඔහු මේජර් කෙනෙකි. ඔහුගේ බිරිඳ ෆ්ලොරිඩා ජයලත්ය.

එතැන් සිට සේනාධීර කුරුප්පු මංගලිකා, හතර මහා නිධානය, සම්පත, හතර කේන්දරේ, හදවත් නැත්තෝ, කාක්කුම් පෙන්, ආදරෙයි මං ආදරෙයි, අප්සරා, සත්කුළු පව්ව, දයාබර නිලූ, සඳා, දුශ්‍යන්ති චිත්‍රපටවල රඟපෑවේය.

ඔහු මෙරට රාජ්‍ය චිත්‍රපට සංස්ථාව පිහිටුවීමට පෙරමුණ ගත් අවංකව කැප වූ ක්‍රියාශීලී නළුවෙකි.

තම චිත්‍රපට ජීවිතයේ අමතක නොවන සිදුවීමක් ඔහු අපට විස්තර කළේ මෙසේය. ඒ ‘දෛව විපාකය’ චිත්‍රපට ගත කිරීමට ඉන්දියාවට ගොස් සිටි අවස්ථාවක සිදුවීමකි.

සේනාධීරගේ විවාහය සිදු වන්නේ සත් වසක ප්‍රේම සම්බන්ධයකිනි. ඇගේ නම මාලා සමරවීරය. ඇය කාසල් වීදියේ කාන්තා රෝහලේ හෙදියකි. මේ දෙදෙනා විවාහ වීමෙන් පසු මාලාට ප්‍රථම දරු ප්‍රසූතිය ලැබීමට ආසන්නව සිටි අවස්ථාවකයි ‘දෛව විපාකය’ චිත්‍රපටය සඳහා ඔහුට ඉන්දියාවට යාමට තිබුණේ. බී. ඒ. ඩබ්ලිව්ට අවශ්‍ය වුණා මේ චිත්‍රපටය වෙසක් සමයේ ප්‍රදර්ශනය කිරීමට. එසේ ඉලක්ක කර ගත් නිසා නළු නිළි පිරිස කඩිමුඩියේ ඉන්දියාව බලා ගියහ. සේනාධීර මේ ගමන ගියේ සිතකින් නොවේ.

‘ඔයා හිත හදාගෙන ඉන්දියාවට යන්න. කාසල් එකේ මගේ යාළුවෝ මාව බලාගනීවි’ මාලා තම සැමියා සනසමින් කීවාය.

සේනාධීර සිත සනසාගෙන මදුරාසියේ සේලම් චිත්‍රාගාරය බලා සෙසු පිරිස සමඟ පිටත්ව ගියේය. දිනක් සේනාධීරට විදුලි පුවතක් ලැබිණ. එයින් කියවුණේ අසුබ ආරංචියකි. ප්‍රසූත කළ අවස්ථාවේම දරුවා මියගිය බවය. සේනාධීර අන්දමන්ද විය. ඔහු ශෝකයෙන් අඬන අයුරු දුටු සහෝදර නළු නිළියන් වූ මේබල් බ්ලයිත්, ෂර්ලි බ්ලයිත්, ධර්ම ශ්‍රී රණතුංග, රුබී ද මැල්, ග්‍රේස් ජයමාන්න ද හඬා වැලපී ඇත්තේ සේනාධීර නම් මේ නළුවා උතුම් මානුෂික ගති පැවතුම්වලින් යුත් මිනිසකු නිසාය. සහෝදර නළු නිළියකට අසනීපයක්, කරදරයක් වූ විට පෙරමුණ ගන්නේ සේනාධීර නිසාය. මේ අතර කිසිදු කලබලයකින් තොරව අධ්‍යක්ෂ බී. ඒ. ඩබ්ලිව්. සේනාධීරට කියා ඇත්තේ ඉක්මනින්ම සේනාධීරට ලංකාවට යාමට සූදානම් වන ලෙසය. තවදුරටත් කල්පනා කළ ඔහු වහාම ලංකාවේ සිටින තම චිත්‍රපටයේ රඟපාන ඩඩ්ලි වානගුරුට ටෙලිෆෝනයෙන් කතා කළේය. ඩඩ්ලි සිලෝන් තියටර්ස් සමාගමේ කළමනාකරුවකු ලෙස සේවය කළේය.

‘ඩඩ්ලි ඉක්මනට සේනාධීරගේ ගෙදර ගිහින් මට තොරතුරු වාර්තා කරන්න. එයාගේ වයිෆ්ට කරදරයක්. එයාට උදව් කරන්න, සේනාධීර එනකන්.’

‘හොඳයි ඇලෝ අයියා’

ඩඩ්ලි ඉක්මනින් සේනාධීරගේ නිවසට ගොස් විපරම් කළේය. සේනාධීරගේ ගෙදර නෑයන්ගෙන් පිරී සිටිනු දුටු බවත් ඔවුන් සිනාමුසු මුහුණින් සිටි බවත් දුටු ඩඩ්ලිගේ සිතට සතුටක් දැනී ඇත.

‘ආ . . . ඩඩ්ලි, මාලාට පුතෙක් ලැබුණා. අම්මයි පුතයි හොඳ සනීපෙන් කියලා සේනාධීරට කියන්න. ඩඩ්ලි හොඳ වෙලාවට ආවේ’ සේනාධිරගේ ඥාතියෙක් කියා ඇත.

දරුවාටත්, මවටත් ආශිර්වාද කිරිමට වේල් පිරිතක් සජ්ජායනා කිරීමට සංඝයා වහන්සේලා වැඩි විට ඩඩ්ලි මාලාට සුබපතා සතුටු කඳුළු පිරි දෙනෙතින් ඩඩ්ලි තම කාර්යාලයට ගොස් ඇත්තේ මිටින් හළ කුරුල්ලකු මෙනි.

‘ඇලෝ අයියා කවුදෝ බොරුවක් කියලා තියෙන්නේ. මම ඇස් දෙකටම දැක්කා. අම්මයි පුතයි සනීපෙන් ඉන්නවා. සේනාධීරට මම සුබපැතුව කියන්න’ ඩඩ්ලි කියා ඇත.

‘ගුඩ් නිවුස්. සේනාධීර දැන් ලංකාවට එන්න ලෑස්ති වෙලා. මම මේ සුභ ආරංචිය කියන්නම්.’

සේනාධීර ආරංචිය අසා සක්වනක් ප්‍රීතියට පත් විය. සතුටු කඳුළු දෝර ගැලුවේය. සහෝදර නළු නිළි පිරිස ද සතුටු කඳුළු සහිත මුහුණින් සේනාධීරට සුබපතා ඇත.

‘ලංකාවේ ඉන්න කඩාකප්පල්කාර ඊර්ෂ්‍යාකාරයෝ යොදපු උගුලක්. මම මොන තරම් මේ වගේ දේවල්වලට මුහුණ දී තියෙනවද’ බී. ඒ. ඩබ්ලිව්. සේනාධීර සනසමින් කියා ඇත.

සේනාධීර කුරුප්පු 1984 මාර්තු 05 වෙනිදා වසර පනස් පහක් ආයු වළදා මියගියේය. කුරුප්පු යුවළට මාලතී, උපුල්, ප්‍රීතිරාජ්, චම්පා, එරංග මංගලි යන දූ දරුවන් සිටි අතර ඇතැමුන් විදේශගත වී ඇත.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.