රංගනයට ආදරය කරන ඩග්ලස් දෙද්දුවගේ

අගෝස්තු 15, 2019

ඔහු ඩග්ලස් දෙද්දුවගේ. ඩග්ලස් ගොඩගම පදිංචිය. ඉගෙනුම ලැබුවේ සිරි සාරිපුත්ත විදුහලෙන් සහ හුණුපිටිය ගංගාරාම විහාරයේ ශ්‍රි ඥානේශ්වර පිරිවෙනේ. මේ වන විට ඩග්ලස් රංගන ශිල්පියකු ලෙසට කටයුතු කරනවා.

මම 60 දශකයේ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ළමයෙක් වුණා. ඒ ගුවන් විදුලි රසිකයෙක් වූ නිසා. ඔබේ තීරයෙන් සින්දු ඉල්ලීම, රේඩියෝ සඟරාව, සරස්වතී මණ්ඩපය වැනි වැඩසටහන්වලට නිර්මාණ ලිවීමෙන්. වෑකන්ද පාරේ ඩී. ඩග්ලස් යන නම දිනපතාම වෙළඳ සේවයෙන් ප්‍රචාරය වුණා.

මට රඟපෑමේ පිස්සුව හැදුණේ පුංචි දවස්වල. අම්මත් එක්ක තමයි සම්මුඛ පරීක්ෂණවලට ගියේ. ඒ අනුව හෙන්රි චන්ද්‍රවංශ මහතාගේ ‘ඈ’ චිත්‍රපටයේ රඟපෑමට අවස්ථාවක් ලැබුණා සමූහ දර්ශනවලට. ‘කලණ මිතුරෝ’ චිත්‍රපටයේ රඟපෑමට අවස්ථාව ලැබුණේ උසස් පෙළ හදාරන කාලයේ. මුන්නා අංකල් තමයි අවස්ථාව ලබා දුන්නේ. සෙනසුරාදා දවසක ලංකා චිත්‍රාගාරයේ ෂූටිං තිබ්බේ. කිංස්ලි රාජපක්ෂ මහතා අධ්‍යක්ෂක. දයා විමලවීර මහතා කැමරාව. සරත් නමින් වික්‍රම බෝගොඩගේ පංතියේ සිසුවකුගේ චරිතයක්. අමතක නොවන රසවත් සිදුවීම් වුණා එදින.

ඔය කාලයේ මම සරස්වතී මණ්ඩපයට සින්දු කියන්න ගියා. සමූහ ගීත තමයි. සරත් අයියා තමයි (සරත් විමලවීර) මුලුගැන්විලා හිටිය මාව ඉස්සරහට ඇදලා ගත්තේ. නිර්මාණ කියවන්නට දුන්නා. වැරදුනහම කන මිරිකලා තියෙනවා. සමූහ ගීතයක පිරිමි කොටස ගායනා කරන්න අවස්ථාවක් දුන්නා. ගැහැනු කොටස් ගායනා කළේ ආර්. චිත්‍රා සහ බී. එස්. මාලිනී (මාලිනී බුලත්සිංහල) ‘ප්‍රදීපයක් ලෙස ඝන අඳුරේ සදා එළිය දෙමු ජය මැදුරේ’ ඒ ගීතයයි. තවත් දවසක වික්ටර් දළුගම අයියගේ තනුවකට සරත් අයියා වචන දැම්මා. ඒ ගීතය ගායනා කරන්න දුන්නේ පුන්සිරි සොයිසාටයි මටයි. ‘රිදී මලක් පිපීයන් – රනින් මලක් පිපීයන් රිදී මලයි රනින් මලයි එක ඉත්තක පිපීයන්’ එම ගීතයයි. සරත් විමලවීර, ඩී. ඩී ඩැනී, සිරිල් රාජපක්ෂ, වික්ටර් දළුගම ගෞරවයෙන් සිහි කරනවා. සරස්වතී මණ්ඩපයේ මගේ යහළුවන් වුණේ රෝහණ සිරිවර්ධන, පරාක්‍රම පෙරේරා, සේනානි කොළඹගේ, වසන්ති කොළඹගේ යන අය.

උසස් පෙළ සමත් වූ මට රත්මලානේ කර්මාන්ත ආයතනයක ගබඩා පාලකවරයෙකු ලෙස රැකියාව ලැබුණා. ඒ සමඟම කලා කටයුතුවලින් ඈත් වුණා. එහෙත් සිනාමා සඟරා නොකඩවා මිලදී ගත්තා. ආරියරත්න කහවිටගේ කලා, චලන චිත්‍ර, සරසවිය. මම සත 25 ටත් සරසවිය ගත්තා. සරසවියට මම එදත් ආදරෙයි, අදත් ආදරෙයි, මම සරසවිය රසිකයෙක්.

මේ වන විට කොළඹ ඝෝෂාකාරි පරිසරයට මගේ කැමැත්තක් තිබුණේ නැහැ. එම නිසා මාපියන්, සහෝදරයන් කොළඹ සිටිද්දී වෑකන්දට සමු දී ගමේ පදිංචියට ආවා. ඒ හෝමාගම, මාලපල්ල සුන්දර ගමට. මාලපල්ල ගමේ සිට නැවතත් මම ගුවන් විදුලියට ලිව්වා. ගී ඉල්ලීම් , සෙලාන් ගී සාදයට නිර්මාණ ලිවීම ආදිය. කමල් දේශප්‍රිය, ටී. ඩී. කේ. ජයන්ත එම වැඩ සටහන ඉදිරිපත් කළා. එයින් මගේ නිර්මාණ හැකියාවත් දියුණු වුණා.

නැවතත් මගේ සිත රඟපෑම කෙරෙහි යොමු වුණා. මම රෝයි ද සිල්වා මහතා සමඟ දුරකථනයෙන් කිහිප වතාවක්ම කතා කර තිබුණා. දිනක් රෝයි මහතාගෙන් තැපැල් පතක් ලැබුණා. එහි සඳහන් වුණේ ‘මේ දිනවල උදයකාන්ත වර්ණසූරිය චිත්‍රපටයක් කරනවා. ඩග්ලස් දැන්ම කතා කරන්න’ කියලා. දුරකථන අංකයත් සහන් කර තිබුණා. මම උදයකාන්ත වර්ණසූරිය මහතාට කතා කළා. බන්ධනය චිත්‍රපටයේ මරණ පරීක්ෂකගේ සුළු චරිතය ලැබුණේ ඒ අන්දමටයි. රෝයි ද සිල්වා මහතා පින්දීමෙන් සිහි කරන අතර, උදයකාන්ත මහතාට මගේ භක්ති ප්‍රණාමය පිරිනමනවා. ඉන් පසු දිනේෂ් ප්‍රියසාද් මහතාගේ දෙමෝදර පාලම 2, ලලිත් රත්නායක මහතාගේ විෂමභාග, උදයකාන්ත වර්ණසූරිය මහතාගේ ගින්දරී 2, ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්, සනත් අබේසේකර මහතාගේ ගුත්තිල, බෙනට් රත්නායක මහතාගේ ව්ධ ඕධඤර ම්දධඹඵ චිත්‍රපටවලට රංගනයෙන් දායක වුණා. ඒවා ඉදිරියේදී තිරගත වෙයි.

කොළඹ පරිසරයේ හැදී වැඩුණු මට දෙමළ බස හොඳින් කතා කරන්න පුළුවනි. මගේ මව් බස හැරුණාම තෙළිඟු බසට මම කැමතියි. තෙළිඟු බස හා බැඳුණු රසවත් සිදුවීම් එමටයි. ඒවා සුන්දර මතකයන්. මම දෙමළ හෝ තෙළිඟු චිත්‍රපටයක රඟපෑමට කැමැතියි. ඒ වාගේම අශෝක හඳගම, හෙක්ටර් කුමාරසිරි, කල්‍යාණ චන්ද්‍රසේකර, ප්‍රසන්න ජයකොඩි, ශ්‍රී ලාල් ප්‍රියදේව යන අධ්‍යක්ෂ මහතුන්ගේ නිර්මාණවලට අවස්ථාවක් ලැබේ යයි බලාපොරොත්තුවක් තිබෙනවා.

මම මේ ගමන යන්නට පටන් ගත්තේ හුඟක්ම පමා වෙලා. පුළුවන් තරම් දුර ගිහින් හති වැටුනාහම නතර වෙනවා.

0758329270 – 0785774671 මේ ඩග්ලස්ගේ දුරකතන අංකයන්ය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.