“මා මියගියදාක සිනමාශාලා වසා දමාවි”

අගෝස්තු 29, 2019

“මා ලේක්හවුස් ආයතනයේ සේවයට පැමිණි කාලයේ මට මුලින්ම හඳුනා ගැනීමට ලැබුණු මගේ සමීප මිතුරා වූයේ ජයවිලාල් විලේගොඩ. ඔහු අකාලයේ වියෝ වූ බව ඔබ දන්නවා. ඒ කාල වකවානුවේ වරින් වර ජයවිලාල් රෝගාතුර වුණා. අන්තිම වතාවට ඔහු බැලීමට මා රෝහලට ගියාම සිනහමුසු මුහුණින් පැවසූ අනාවැකිය තවමත් මට මතකයි.

විශිෂ්ටයන්ගේ ඇසින් විරලව දුටු විශිෂ්ටයන්ගේ හැටි විග්‍රහ කරමින් ම විසින් ලියනු ලබන ලිපි පෙළෙහි තවත් දිගුවක් මෙවරත් මම ගෙන ආවෙමි. “අපේ රටේ මහා ගද්‍ය රචකයන් බිහි විය හැකියි. ඒ අපේ ඉතිහාසයේ විද්‍යා චක්‍රවර්තීලා, ගුරුළුගෝමීලා ජීවත් වී තිබෙන නිසයි. මහා කවීන් පහළ විය හැකියි. ඒ අපට තොටගමුවේ රාහුල, වෑත්තෑවේ, වීදාගම වැනි කවීන් සිටි නිසයි. මහා නරපතීන් බිහි විය හැකියි. ඒ දුටුගැමුණුලා, පරාක්‍රමබාහුලා අපට සිටි නිසයි. එහෙත්, අපේ පොළොවේ මහා සංගීතඥයෙක් පහළ විය නොහැකියි. මන්ද යත් විසිවැනි සියවස මුල් භාගය වන තුරුත් සංගීත නිර්මාණයක් අරභයා තබා සංගීතඥයකුගේ නාම මාත්‍රයක්වත් අපේ වංශ කතාවේ සඳහන් නොවන නිසාය. අමරදේව, විජයාගමනයේ පටන් මේ දක්වා ලංකා ඉතිහාසයේ පහළ වූ විශිෂ්ටතම සංගීතවේදියා වන්නේ ඒ නිසයි.”

මේ වූ කලී පණ්ඩිත් අමරදේවයන්ට 2001 වසරේ මැග්සෙසයි සම්මානය පිරිනැමීම වෙනුවෙන් මෙරට අති උත්කර්ෂවයෙන් සංවිධානය කෙරුණු “අමරගුරු හරසර” ප්‍රණාම උලෙළෙහිදී මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පැවසූ කියුමකි. අමරදේවයන්ට පසුව මෙරට වඩාත් සම්භාවනීයත්වයට පාත්‍ර වූ මහා ගාන්ධර්වයා ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ය. මහා ගාන්ධර්ව අමරදේව, මහා ගාන්ධර්ව කේමදාස මාස්ටර් ගැන වරක් සංක්ෂේපයෙන් කළ මේ විග්‍රහයෙහි පුළුල් අරුතක් තිබේ.

“ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මේ භවයේ කිසිදු සංගීත විභාගයක් සමත් වී නොමැති වුවත් පසුගිය භවයේ ලොව පවත්නා සියලු සංගීත විභාග සමත් වී ඇත.”

ජයවිලාල් විලේගොඩ මෙරට සිනමා විචාර කලාවේ එක් පුරෝගාමියෙකි. චිත්‍රපට විචාරය ප්‍රේක්ෂකයාට මතු නොව අදාළ නිර්මාණකරුවා ප්‍රමුඛ ඊට විවිධ අංශවලින් දායකත්වය ලබා දුන් සියල්ලන්ටම තීරණාත්මකව බලපාන විෂයක්, කලාවක් බවට පත් වූයේ ඔහුගේ පුරෝගාමීත්වයෙනි. දේශීයත්වය, අදීනත්වය එහි ආත්මය විය. ජයවිලාල්ගේ නිර්දය විචාර දක්නා ලැබුණේ චිත්‍රපට අරභයා පමණක් නොවේ. පාඨකයන් පුවත්පත හරහා විමැසූ ඇතැම් ප්‍රශ්නවලට ඔහුගෙන් පිළිතුරු ලැබුණේ ද මෙකී නිර්දය ස්වරූපයෙනි. එක් එක් පාඨකයන් සතු වූ රුචිකත්වය, දැනුම මත මේ පිළිතුරු රඳා පැවතිණ. උපහාස රසයෙන් ද හෙබි ඒවා වරෙක කර්කශ විය. “ඔබගේ නිවසේ කාමරයේ චිත්‍රපට නළු නිළියන්ගේ ඡායාරූප එල්ලා නැත්දැයි” වරක් පාඨකයෙක් ඔහුගෙන් ඇසුවේය. ජයවිලාල් ඊට ලබා දී තිබූ පිළිතුර මෙසේ බැව් මට මතකය.

“වසර 10 කට පෙර මියගිය මගේ සුරතල් සුනඛයාගේ ඡායාරූපයක් එහි එල්ලා ඇත. වෙනත් ඡායාරූප එහි ඇලවීම ඌට අපහාසයකි”. “Insaniyat” (1955) හින්දි චිත්‍රපටය සිංහල දෙබස් කවා “මනුෂ්‍යත්වය” නමින් තිරගත කළ අවස්ථාවේ ජයවිලාල් පැවසූ කියුම ද අමතක කළ නොහැකිය. එනම් මෙහි සිප්පි ලෙස රඟන චිම්පන්සියාගෙන් මෙරට නළු නිළියන් රඟපෑම උගත යුතු බවය. මේ කියුමෙන් ප්‍රකෝපයට පත් එවක (50 දශකයේ මැද) නළු නිළියෝ ඔහුට විරුද්ධව ජයවිලාල් සේවය කළ ලේක්හවුස් ආයතනයේ පාලන අධිකාරියට පැමිණිලි කළහ. ජයවිලාල් අරභයා කිසිවකුත් නොදන්නා මේ සිදු වීම දශකයකට පමණ ඉහත දී මා හට පැවසුවේ මෙරට චිත්‍ර කතා කලාවේ පතාක යෝධයකු වූ ප්‍රවීණ චිත්‍ර ශිල්පී බන්දුල හරිශ්චන්ද්‍ර සූරින්ය. ඒ මෙලෙසිනි.

“මා ලේක්හවුස් ආයතනයේ සේවයට පැමිණි කාලයේ මට මුලින්ම හඳුනා ගැනීමට ලැබුණු මගේ සමීප මිතුරා වූයේ ජයවිලාල් විලේගොඩ. ඔහු අකාලයේ වියෝ වූ බව ඔබ දන්නවා. ඒ කාල වකවානුවේ වරින් වර ජයවිලාල් රෝගාතුර වුණා. අන්තිම වතාවට ඔහු බැලීමට මා රෝහලට ගියාම සිනහමුසු මුහුණින් පැවසූ අනාවැකිය තවමත් මට මතකයි. “ඔන්න බලපං, මං මළ දාට මේ රටේ සිනමා ශාලා දවසක් වසා දමාවි”. 1971 අගෝස්තු 4 වැනිදා ඔහු මිය ගියා. පුදුමය නම් එදින පසළොස්වක පොහොය දවසක්. ඉතිං කොහොමත් එදාට සිනමා ශාලා වහලා”.

ලොව කීර්තිමත් සිනමාවේදියකු වූ ඇල්ෆ්‍රඩ් හිච්කොක් අරභයා බොහෝ පොත පත ලියැ වී තිබේ. එහෙත් ඔහු පිළිබඳ පරිසමාප්ත විග්‍රහය ලියැවුණේ තවත් විශිෂ්ට සිනමාවේදියකු වූ ප්‍රංශයේ ප්‍රංශුවා ටෲෆෝගේ පන්හිඳෙනි. “Hitchcock” නම් වූ මේ මාහැඟි කෘතිය 1966 දී පළ කෙරිණ. එහි දක්නා ලැබෙන කියුමක් මේය.

“හිච්කොක් ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කොට තබා ගනුයේ ඔහු ශූර ලෙස සිනමා මාධ්‍යය භාවිත කරන නිසා නොවේ. කතන්දරයක් ගෙතීමේදී ඔහු සතුවන අද්විතීය ප්‍රතිභාව හේතු කොට ගෙනය. ඔහුගේ කතා කලාවේ ආත්මය ආතතිය වේ. ආතතිය පිළිබඳ විශේෂඥයකු වීම ගැන හිච්කොක්ට දොස් නැඟීම වූ කලී රහට කතන්දරයක් කීම දෝෂ දර්ශනයට ලක් කිරීමක් වැන්න. ගැහැනියක් සමඟ සම්භෝග රතියෙහි යෙදෙන්නකු හුදෙක් තමාගේ ආස්වාදය පමණක් නොසිතා ගැහැනිය ගැනත් සිතීම වරදක්ද? හිච්කොක්ගේ සිනමාවේ විශේෂත්වය වූ කලී ප්‍රේක්ෂකයා සාකල්‍යයෙන්ම වෘත්තාන්තය මඟින් ග්‍රහණය කොට ගැනීමය. එය කෙතරම් ප්‍රබල ද යත් අරාබි ප්‍රේක්ෂකයා රටකජුවල පොත්ත ගැලවීමට අමතක කිරීමක් වැන්න; ප්‍රංශ ජාතිකයාට අසල අසුනේ සිටින තරුණිය අමතක කිරීමක් වැන්න; නොඑසේ නම් ඉතාලි ජාතිකයාට දුම්වැටියක් දල්වා ගැනීමට අමතක වූවා වැන්න. නිතර කහින මිනිසාට කැස්ස අමතක වන අතර ස්වීඩන් ජාතිකයෝ පුටු පෙළ අතර අවල කෙළිය නවත්වති. එම කතා කලාව ඔහුට උරුම වූයේ සාහිත්‍යයෙන් විය යුතුය.”

ටෲෆෝ මෙසේ පැවසුවත් සාහිත්‍ය හා වේදිකා නාට්‍ය ලකුණුවලින් මුළුමනින්ම විනිර්මුක්ත සිනමාවේදියකු ලෙස බොහෝ විචාරකයෝ හිච්කොක් හඳුන්වති.

“මගේ ඊප්සිතාර්ථය පුරා දෙපැයක කාලයක් ප්‍රේක්ෂක දෙනෙත් එක තත්පරයකටවත් තිරයෙන් ඉවතට නොගැනීමට වග බලා ගැනීමය” යනුවෙන් වරක් හිච්කොක් පැවසුවේය.

මෑතකාලීන උපහාර උත්සවයකදී දකුණු ඉන්දියාවේ සුපිරි තරුව වූ රජ්නි කාන්ත්ගෙන් මාධ්‍යවේදියෙක් මෙසේ ඇසුවේය.

“ඉන්දියානු සිනමාවේ රජුන්ගෙත් රජු (SHAHENSHAH) ඔබතුමා යැයි මා සිතනවා”.

“නැහැ, නැහැ මා නොවෙයි, ඉන්දියානු සිනමාවේ රජුන්ගෙත් රජු හෙවත් “ෂාහෙන්ෂා” අමිතාබ් භච්චන් මහතායි”.

සුජාතා අත්තනායක අපට සිටින ජාතික වස්තුවකැයි සඳහන් කිරීම කිරෙහි සුදු පැහැ වැනීමක් වැන්න. භාරතීය සංගීතවේදිනී මහාචාර්ය දීපාල් නාග් මහත්මිය 1979 දී ලංකාවට පැමිණ මෙරට එවක ගුවන් විදුලි ගායන ශීල්පි ශිල්පිනීන් වර්ගීකරණය කළාය. එහිදී 96% ක් ලබා ගනිමින් මෙරට එවක විසූ ප්‍රමුඛ පෙළේ ගායන ශිල්පි, ශිල්පිනීන් දෙපිරිසෙන්ම විශිෂ්ට ගායන ශිල්පිනිය ලෙස තෝරා පත් වූයේ සංගීත වෙසරද සුජාතාවන්ය.

ඉතිරි කොටස ලබන සතියේ...

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.