කැමරාව අමුතු විශ්ව කර්මයක් නෙවේ

ප්‍රවීණ රූපවාහිනී ඉංජිනේරු තුසිත මුනින්ද්‍රදාස
අගෝස්තු 29, 2019

වසර දෙකතුනකට පෙර සංස්කෘතික දෙපාර්තමේන්තුව මඟින් පැවැත් වූ රූපවාහිනී සම්මාන උලෙළක විනිශ්චය මණ්ඩලයේදි මට අපූරු චරිතයක් මුණගැසිණි. බැලු බැල්මට අපේ තාත්තලෑ වයසේ පෙනුමක් තිබුණත් ඔහු අපට වඩා කෙළිදලෙන් කණ්ඩායම හිනා ගස්සමින් ජවයෙන් කටයුතු කරන්නත්, විෂයය කරුණු ප්‍රායෝගිකව යොදාගන්නා ආකාරය පිළිබඳ අවධානය යොමු කරමින් විනිශ්චය සඳහා තීරණ ගන්නත් මහත් සේ උනන්දු විය. ඒ උලෙළේදීම ඔහු රූපවාහිනී ක්ෂේත්‍රයට කළ අතිමහත් සේවය වෙනුවෙන් රාජ්‍ය රූපවාහිනී යාවජීව සම්මානයෙන් පුද ලැබුවේය. ඇත්තම කීවොත් තිරයෙන් පිටුපස චරිත පිළිබඳ කතා කරන Behind the Screen ලිපි පෙළ ඇරඹෙන්නට නිමිති වූයේ ඔහුගේ සේවය පිළිබඳ ස්ටැන්ලි හෙට්ටිආරච්චි මහතා කළ විග්‍රහය සහ එවන් පිරිස ගැන රසික රසිකාවන්ගේ දුරාවබෝධය ගැන අප ඒ මොහොතේ කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් කීවත් නිවැරදීය. ඔහු තුසිත මුනින්ද්‍රදාස ය. රූපවාහිනී ක්ෂේත්‍රයේ ආරම්භක ආලෝකකරණ ඉංජිනේරුවරයෙක් වගේම කැමරා ශිල්පියෙක්, කාර්මික නිලධාරියෙක්, ඉංජිනේරුවෙක් ආදි ඕනෑම ආකාරයකින් ඔහු හඳුන්වා දිය හැකිය.

සතුට බෙදාගන්න කැමති ඔහු අප ඇවිස්සීමට නිතර කියන කතාවකින්ම ලිපිය අරඹමු.

'අපි 44 ඉපදිච්ච අයනේ. ඒ් කාලේ කෙල්ලො පස්සෙන් එන්නේ තුසිතගේ කොණඩෙ ලස්සනයි කියලා. ඉතින් මම කියනවා එහෙනම් කොන්ඩෙ බැඳගනියවු කියලා. මම ලෙඩ තියෙනවාද කියල බලන්නේ නැහැ. මොකටද දැනගත්තාම ලෙඩ වැඩිවෙනවා. ඇඟ වයස ගියාට හිත කොල්ලා. ඇයි අපි නිකං ගිවප් කරන්නේ? අපේ පවුලේ කොල්ලො 4යි මම තුන්වෙනියා. මට මතකයි පොඩි කාලේ මල්ලි හම්බෙන්න යද්දි මාව බලාගත්තේ අම්මාගේ බාල නංගි. මම හිතාගත්තා එයා තමයි මගේ අම්මා කියලා. මල්ලිව අරන් අම්මා ගෙදර එද්දි මම හපුයියා ගගා දුවලා අම්මේ කියලා එල්ලිලා තියෙන්නෙත් පොඩි අම්මගේ ඇඟේ. ඉතින් පොඩි අම්මා එදා ඉඳන්ම මගේ දිහා බැලුවා. පුංචි අම්මාට දැන් 103යි. සරත් කියන නම මට දැම්මේ එයා. මම නැවත ඉපදෙන්නේ නැහැ හැබැයි වැරදි කරන්නේ නැහැ. මේ ඉපදුණු ජීවිතේ සතුටින් නිවැරැදිව ජීවත් වෙනවා. සමහරු අරක්කු ටිකක් බොන්නේ නෑ. සිගරට් එකක් බොන්නේ නෑ, ආගම අදහාගෙන ඉන්නේ ඒත් කැන්සර්. ඉතින් මොකක්ද පුතා මේ ජීවිතේ.? අපි නම් ගුවන්විදුලියේ ඉන්න කාලේ සින්දුවක් රෙකෝඩ් කරනවා දාගන්නවා පොඩි ෂොට් එකක්. ආයේ හිනාවෙවී ගිහින් රෙකෝඩින්. අපි වැටෙන්න බොන්නේ නැහැ. මම දන්නවා මගේ ගාන. අදටත් බොනවා‍‍‍‍. හැබැයි මොනවා බීවත් පවුලේ අය අමාරුවේ දාලා වාත වෙලා නෑ.'

ඔහු අතීතයට යයි.

'ලොකු අය්යා අපට වඩා ගොඩාක් වැඩිමල්‍. අපි තුන්දෙනා එක වග‍ේ. අපි ගහගන්නවා අම්මා වටකරගෙන. ලොකු අප්පා ආනන්ද කොලිජියේ ලොකු සර්. එයා ඇහුවා මොකද මේ ළමයි රණ්ඩු කර කර ඉන්නේ ඉස්කෝලේ යන්නැද්ද කියලා. අම්මා කීවා තව කල් තියෙනවා කියලා. නෑ නෑ උඹත් ලෑස්ති වෙයන් කියලා මාව කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයට ගිහින් බාර දුන්නා. ඒ් කාලේ 8න් පස්සේ එස්එස්සීවලට විද්‍යාව කරන්න ලොකු තරගයක් තිබුණේ. අම්මලාට හරි සන්තෝසයි මම සයන්ස්වලට පාස්වෙලා කීවම. එයාලා කියන්නේ මට දොස්තර පෙනුමක් තියෙනවාලු. අම්මලෑ පවුලේ ලෝයර් කෙනෙක්, ඉංජිනියර් කෙනෙක් හිටියා. දොස්තර කෙනෙක් තමයි අඩු. ඒකයි මාව ජීව විද්‍යාව පැත්තට යොමු කළේ.

තාත්තාට ඕන වුණේ මට ක්‍රීඩා අංශෙන් ඉදිරියට යවන්න‍. එයා හොරෙන් අපට රනිං ෂූස් අරන් දෙනවා. අම්මා කියන්නේම පොතපත බලන්න කියලා. සත්තු කපන්න දෙන්න බෑ කියලා ඩොක්ට අදිකාරම් කීවට පස්සෙ අපි තමයි මුල්ම බැච් එක සත්තු කපපු‍. කොහොම හරි පළමුවෙනි පාර මම විභාගෙ ඉහළින්ම ෆේල්. දෙවැනි පාර තියරි පාස්. ප්‍රැක්ටිකල්වලට යන්න කම්මැළි නිසා ඒත් වැඩ දෙකයි පාස්. මගේ ඇඟේ නැහැ වෛද්‍ය විද්‍යාව. හැබැයි අපේ තාත්තා පෝට් කාගෝ එකේ වැඩ කළ නිසා අපට හරියට ටෝයිස් අරන් එනවා. මගේ ටෝයි එක අරගෙන හෙමීට ගිහින් ගලවලා බලන එක තමයි මගේ වැඩේ. තාත්තා වැඩට යද්දි මට කියලාම යන්නේ තුසිත.. රේඩියෝ එකට එහෙම අත තියනවා නෙමෙයි... කියලා‍‍. මට තිබුණේ ඒ පැත්තට ආසාව.

ඉස්සර ඉස්කෝල මාරු කළාම දාන්නේ පහළ පන්තියට. මම පහේදි අපේ ඉස්කෝලෙට එහෙම ගෑනු ළමයෙක් ආවා. හැමසැරේම පන්තියේ පළමුවෙනියා. කොල්ලො කට්ටිය කතාවෙලා පාඩම් කළා ඒ ළමයව පරද්දන්න. මම පන්තියේ දෙවැනියා වුණා. ඒ ගැම්මට තමයි විද්‍යාව කරන්න ලකුණු ලැබුණෙත්. අපි පාඩම් කළේ පෙට්‍රල් මැක්ස් ලාම්පුවෙන්. ඒ කාලේ විදුලිය නැහැ. අම්මා හෙදියන්ගේ හවුස් වෝඩ්න් කෙනෙක්. ඒත් මම රෑ 12ට නැඟිටලා උදේ වෙනකල් පාඩම් කරද්දි අම්මා ළඟට එනවා.

මම කළේ සිංහල සාහිත්‍යය, උද්භිද විද්‍යාව, සත්ත්ව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව වගේ විෂයන්.

අපේ පවුලේ ඉංජිනේරුවෙක් ඉන්නවා කීවානේ. ඒ අය්යා මට කීවා මල්ලි ජීව විද්‍යාව අතහැරලා ඉංජිනියරිං කරන්න කියලා. මාව රස්සාවකටත් දැම්මා. රුපියල් 150යි පඩිය. ඒ ගමන්ම කටුබැද්දේ කාර්මික විද්‍යාලයට ඉල්ලුම්පතක් දාලා විභාගෙ ලියන්නත් කීවා. මම ලිව්වා. මම කළේ විදුලි ඉංජිනේරු පාඨමාලාව. මම සහතිකය ගනිද්දි ඒක කටුබැද්ද විශ්වවිද්‍යාලය බවට පත් වුණා. පස්සේ වරලත් ඉංජිනේරුවරයෙක් වෙන්න ඒ්ක මට වාසියක් වුණා. හැමෝම ඒ විෂයයට අදාළ දේවල් හොයාගෙන යද්දි මම ගියේ ගුවන් විදුලියට. ඒකත් අර මගේ පුංචි අම්මාගේ උදව්වෙන්.

ගුවන් විදුලියේ මම බොහොම සතුටින් හිටියේ. රදැල්ල, දියගම, මහව, පටිගත කිරීමේ මැදිරිවල බොහොම විශාල අත්දැකීම් රැසක් ලැබුණා. නඩත්තු අංශෙ, අභ්‍යාස ආයතනයේ හැම තැනම හිටියා අවුරුදු අටක් විතර. අපේ ඉංග්‍රීසි හොඳ වුණේ ගුවන්විදුලියේ ජ්‍යෙෂ්ඨයො නිසා. ඒ අය අපට උත්තර දුන්නෙ ඉංග්‍රීසියෙන් ඇහුවොත් විතරයි. ඒකෙන් ඉංග්‍රීසියට තිබුණ බය නැති වුණා. ජපනුන් එක්ක ශාන්ති ෆොන්සේකා තමයි රූපවාහිනී ව්‍යාපෘතියට ගියේ පිදුරුතලාගල. ඒ1978 කාලේ. අපේ බොස් දන්නවා මම ජපන් ඉගෙනගන්නවා කියලා. ඒ නිසා ඔහු මට කීවා ජපන් සින්දු ටිකක් දාන්න කියලා. මුලින්ම රූපවාහිනිය සඳහා මම සහභාගි වුණේ එහෙමයි.‍

දවසක් කේ එන් ගුණවර්ධන ප්‍රධාන ඉංජිනේරු මහත්තයා කීවා අපට අයිටීඑන් එක බාරගන්න වෙනවා කියලා. මම පොඩි කාලෙත් අපේ අයියා කෙනෙකුට තිබුණු බොක්ස් කැමරාවෙන් පින්තූරු ගත්තාම අනෙක් අයට වඩා හොඳට තියෙනවා කියලා අපේ ලොකු අම්මා මට ඒ කැමරාව අය්යාට රුපියල්150ක් දීලා අරන් දුන්නා. ඉතින් ඒ පුරුද්ද නිසා කැමරාව අතට ගන්න බය වුණේ නැහැ.

රජයේ චිත්‍රපට අංශයෙන් සනත් ලියනගේ සහ විමල් පෙරේරත් ආවා අයිටීඑන් එකේ කැමරාව බලන්න. ඒ අය ගියාට පස්සේ ගුණවර්ධන මහත්තයා මට කැමරාව බාරදුන්නා. ඒකෙ බැටරියේ පොඩි ප්‍රශ්නයක් තිබුණා‍. මම ඉතින් ඕවාට හරි ආසයිනේ. තව පුහුණුවන අයත් එක්ක එකතු වෙලා අතේ තියෙන සල්ලිත් දාලා චාජරෙන් වැඩ කරන විදිහට හදාගත්තා දුවලා පැනලා.

ඊට පස්සේ 1980දි හිටාචි එෆ්පී20 කියන කැමරාව ගෙනාවා. ඒ තමයි ලංකාවේ පළමුවරට රූපවාහිනී වැඩසටහන් කළ කැමරාව. මම තමයි ඉස්සෙල්ලාම ඒක පාවිච්චි කළේ. මැලේෂියාවෙන්, පකිස්තානෙන්, බංගලාදේශෙන් අපිත් එක්ක පුහුණුවෙන්න පිරිස ආවා. ස්මෝල්ගේජ් වීඩියෝ ට්‍රේනිං කියලයි ඒකට කියන්නේ. දයා තෙන්නකෝන් තමයි මුල්ම නිෂ්පාදක. ක්ලෝඩ් බර්කොවිච් බෙල්ජියම් පුහුණුකරු හරි සැරයි. අපි වරද්දනකොට එයා පුංචි ගල් කැට තියාගෙන ගහනවා. ඉතින් අපි සුද්ද සිංහල කියනවා. හැබැයි ඒ පුහුණුව නිසා තමයි අපි හැදුණේ.

‍තේවිස් ගුරුගේ තමයි අපේ හැකියාවන් හඳුනාගත්තෙ. අලුත් සහල් මංගල්‍යය ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලේ වීඩියෝ කරන්න කීවා. අපි අරගෙන ආවා. ඉතින් දැන් එඩිට් කරනවා කීවා. අපි බයේම සංස්කරණයත් කළා. දැන් අපි අහනවා සර් නැරේෂන්. ඉතින් තමුන්ට පුළුවන්නේ පිටපත ලියන්න. අපි ලියාගෙන ආවාම එයා හොඳ කීවා. ටිකක් හැදුවා. එතකොට මම නිදහස් නිවේදකයෙක් ගුවන්විදුලියේ. ඒත් මම කීවා පටිගත කිරීමත් එක්ක කථනය නම් කරන්න බැහැ කියලා. පස්සේ වෙන කෙනෙක් ලව්වා කථනය කරවලා ගුරුගේ මහත්තයාට පෙන්නුවා. ආ ඔය තියෙන්නෙ හොඳට දැන් ඒ ඔක්කෝටම තමුන්ගෙ නම දාගන්නවා. කීවා. අපි ඒ වෙලාවේ හිතෙන් බැන බැන වැඩ කළත් මම අදටත් මිස්ට ගුරුගේට පින් දෙනවා. මට පිටපතක් තනිව ලියාගන්න පුළුවන් වුණේ එදායින් පස්සේ.ජීවිතේට අමතක වෙන්නෙ නැහැ ඒවා.

අපට තිබුණේ එක කැමරාවයිනේ. ඉතින් එකක් ඉවර වෙලා යද්දි අනෙක් උත්සවේ ඉවරයි. ඉතින් අපි ආයේ පොල්තෙල් පහන් පත්තු කරවනවා. ඇතුලත්මුදලි ඇමතිතුමාටත් කියලා දවසක් ආයේ පොල්තෙල් පහන පත්තු කෙරෙව්වා. හැබැයි ඉතින් හැමෝම කැමතියි රූපෙ පේනවානේ ටෙලිවිෂන් එකේ. දවසක් ටොම් පද්මනාදන්ගේ නෝනා දිවුරුම් දුන්නා ඊඑල් සේනානායක කථානායකවරයා ඉදිරිපිට. අපි යද්දි වැඩේ ඉවරයි. ආයෙත් කාර්යාල කාමරේ ඉඳන් දිවුරුම් දෙන්න කියලා අපි කිවුවා. අයිසේ කවදාවත් මෙහෙම කරලා නැහැ. මේවා වැරැදි වැඩ කිය කියා අයේ දිවුරුම් දුන්නා. අපි ඒක පටිගත කරගෙන ගියා. අපරාදෙ කියන්න බෑ ඒ ඇමතිවරු හරිම සහයෝගයක් දුන්නෙ.'

මේ කාලෙත් එහෙම තමයි. ඇමතිවරු කැමරා ශිල්පීන්ට මාර සහයෝගයක් දෙන්නේ. මම කීවෙමි. එය සිනා කතා සාගරයකට මුල පිරීය.

'මට පුතා බලන්න ඕන වුණාම මම අපේ ඊළඟ පරම්පරාවේ අයට කැමරාව ඉගෙන ගන්න අවස්ථාව දුන්නා. මට දෝස්මුරේකුත් ආවා ආධුනිකයන්ට කැමරාව දෙනවා කියලා. ටෙලිවිෂනය ආවට පස්සේ ඇත්තෙන්ම කැමරාව අමුතු විශ්වකර්ම දෙයක් නොවේ කියන එක මිනිස්සු දැනගත්තා. ජනතාව දැනුම්වත්වෙන්න රූපවාහිනිය, රාත්‍රී ප්‍රවෘත්ති බොහෝ සෙයින් බලපෑවා.'

ඔහුට තවත් රස කතාවක් මතක් වේ.

'ළාහිරු දහසක් කරද්දි ඔන්න ඒම්සීආර්.(මේන් කන්ට්‍රෝලිං රූම්) එකට කෝල් එකක් එනවා. මහත්තයා, ලකී ඩයස් ගෙයි ඉද්දි ඇඳගෙන හිටපු තුවායේ පාට ළිඳ ළඟට යද්දි වෙනස් වුණේ කොහොමද? ගෙදරින් ගෙනිච්ච කබල් බාල්දිය ළිඳ ගාවදි අලුත් වුණේ කොහොමද? කියලා. අඛණ්ඩතා ගැන එහෙම අපට අවධානය යොමු කරන්න ඒක බොහොම හේතු වුණා. මම තමයි ළාහිරු දහසක්, යශෝරාවය, පළිගු මැණිකේ, එරබදු මල් වගේ පරාක්‍රම නිරිඇල්ලගේ, ධම්ම ජාගොඩගේ බොහෝ ටෙලි නාට්‍යවල ආලෝකකරණය කළේ. ධම්ම නැති වුණු එක රූපවාහිනී ක්ෂේත්‍රයට බොහොම පාඩුවක්. ‍

අපි වේදිකා නාට්‍ය බොහොමයක් ටෙලිවිෂනයට ගත්තා‍. ධම්ම සැරයක් කීවා මූදු පුත්තු පටිගත කරන්න මුහුද යට වගේ පෙනුමක් ලයිටින්වලින් ඕනා කියලා. මම ගිහින් මුහුද දිහා බැලුවා. හැමෝම මුහුද නිල් පාටයි කීවට ඇත්තටම මුහුද නිල් මිශ්‍ර කොළ පාටයි. මම පර්යේෂණ කරන්න ආසයි. උදව්වටත් ඔක්කෝමලා එනවනේ. ඉතින් රැල්ල එනවා වගේ ගන්න අපි ෆේඩර් එකෙන් කොළ පාට පැත්තකට යද්දි නිල්පාට අනෙක් පැත්තට අඩුවැඩි කරලා ආලෝකකරණය කළා. ඒ ගැන ප්‍රශංසා කරලා ධම්ම මට දීපු ලියුමක් තාම මා ගාව තියෙනවා.

මේ දේවල් නිසා එකක් වුණා. චිත්‍රපටවලට සෙනඟ අඩු වුණා. මොකද ඒවායේ ලයිටින් අමාරුයි. ඒ නිසා ආලෝකකරණය අන්තිමයි. මේවා මිනිසුන්ට දැනෙන්න ගත්තා. මිනිස්සු ටෙලිනාට්‍යවලට බැඳුණා. රසිකයන් චිත්‍රපටවලින් අයින් වුණා.'

තවත් රස කතාවකට ඔහු මුලපුරයි

'ජයන්ත චන්ද්‍රසිරිගේ අත් නාට්‍යයත් රූපවාහිනී පටිගත කිරීමට ගත්තා. ඒ ගෙදර අය නිදා ඉද්දි එදිනෙදා කළ දේවල් ලියමින් මම වෙනම අධ්‍යයනයක යෙදිලා තවත් දැනුම වර්ධනය කරගන්න සෑහෙන උනන්දු වුණ කාලයක්. ඒ නිසා ජයන්තට ඕන විදිහට ආලෝකකරණය කළා. එම් ජේ පෙරේරා ඒ කාලෙ සභාපති ආවා කට්ටියක් එක්ක. මාවත් ඒ අයට හදුන්වලා දුන්නා 'වන් ඔෆ් ද බෙස්ට් ලයිටින් ඩිරෙක්ටර්ස් ඉන් රූපවාහිනී' කියලා. (රූපවාහිනියේ හොඳම ආලෝකකරණ අධ්‍යක්ෂවරුන්ගෙන් කෙනෙක්) ඒ එක්කම සභාපති ඉංග්‍රීසියෙන් කීවා තුසිත මම මගේ ප්‍රකාශයක් ඉල්ලා අස්කරගන්නවා කියලා. මොකද ආලෝකකරණ ශිල්පීන් ඉල්ලීමක් කරලා තිබුණා එයාලට සලකනවා මදි කියලා. ඒ වෙලාවේ සභාපති කියලා තිබුණ අයිසේ මොකක්ද ඔය ලයිට් දානවා කියන්නේ අපේ ගෙදර ආයම්මත් ලයිට් දානවානෙ කියලා. ඒ ප්‍රකාශය තමයි අර ඉල්ලා අස්කර ගන්නවා කීවේ. ඒ අතර රුක්මින් විජේමාන්න කියන මේ රටේ රූපවාහිනිය පටන්ගන්න මූලික වුණු ප්‍රධාන ඉංජිනේරුවෙක් ඇවිත් කීවා ඒ නාට්‍යය හොඳ වීටීආර් කැසට්වල පටිගත කරන්න කියලා. හැබැයි ජයන්ත ම‌ට වැඩිය මුකුත් කීවේ නැහැ. පස්සේ දවසක මට විසිටර් කෙනෙක් ආවා. බලද්දි රංජිත් පීරිස් කියලා පත්තරේට ලියන කෙනෙක්. මමත් එච්චර හිතුවේ නැහැ. මගෙන් ඇහුවා ඉදිරියේ මොකද කරන්නෙ කියලා. මම යුනියන් එකෙත් නිසා ඒ වෙලාවේ හිටපු ඉංජිනේරුවෙක් අපිව ටෙලි නාට්‍යවලට යවන්නේ නැති කතාවක් තිබුණ නිසා ඒ ගැන කීවා. මගේ බිරිඳ රංජනීට හෝටලයක් තියෙනවා. ඒකෙ එක්කෙනෙක් අපිව දැකලා කෑගහනවා මහත්තයා පත්තරේ ඉන්නවා කියලා. බලද්දි ජයන්තලෑ පත්තරේ මැද පිටුවක ලොකුවටම තියෙනව 'රූපවාහිනියට අලෝකකරණ ශිල්පීන් එපාද' කියලා මගේ සාකච්ඡාව. එම්.ජේ. පෙරේරා මහත්තයා සැර වුණාට හරි හොඳයි. ඉතින් රස්සාව නැති නොකර චක්‍රලේඛයක් එව්වා සභාපතිගෙන් නොඅසා පුවත්පත් සාකච්ඡා දීම තහනම් කියලා.

මහාචාර්ය තිස්ස කාරියවසම් රූපවාහිනී සභාපති කාලේ මම සේවක සංගමේ සභාපති. අපි සටන් කළා තාක්ෂණ ශිල්පීන්ටත් අනෙක් අය භුක්තිවිඳීන සියලු පහසුකම්, පැය අටේ වැඩ සීමාව ඕනෙ කියලා. මොකද නිෂ්පාදන කණ්ඩායම්වලට වැඩ කරන වෙලාවේ සීමාවක්, අවුරුදු, නත්තල් නැහැ වැඩ. ඒත් කාර්යාල සේවකයන්ට සියලු පහසුකම් එක්ක පැය අටයි. අපි ඒ සටනින් දිනුවා. මට ඒ ගැන හරිම සතුටක් තියෙන්නේ.'

මොහොතක් කල්පනා කරන ඔහු යළිත් අතීතයට යයි.

'උපාලි අරඹේවෙල ප්‍රධාන ඉංජිනේරු ලෙස ඉන්න කාලෙ මම පුහුණුවකට මැලේසියා ගිහින් ආවා. රාජකාරියට වාර්තා කරන්නත් කලින් මට උපාලි කියනවා අපේ යාපනේ සම්ප්‍රේෂණාගාරෙ කැඩිලා යන්න කෙනෙක් නැතුව සභාපති බනිනවා කියලා. රිවිරැස දිනපු කාලේ. කොටි අපේ ප්ලේන් දෙකක් බිම දාලා නිසා කවුරුත් යන්නේ නෑ. මම එකපාරට කීවා මම යන්නම් කියලා. තිස්ස මහත්තයා ඇහුවා ඇත්තටම උඹ යනවාද කියලා. මම ගෙදර ඇවිත් කීවාම රංජනී ගල් ගැහිලා වගේ හිටියා. මමයි තව එහේ නවතින්න කැමති පිරිමි ළමයෙකුයි විතරයි ගියේ. අපට මේජර් කෙනෙක් දුන්නා ආරක්ෂාවට. ප්ලේන් එකේ යද්දි මාත් එක්ක ඉස්කෝලෙ ගිය කර්නල් කෙනෙක් කීවා 'තුසිත උඹ බිම බලන්න එපා' කියලා. එපා කියන දේම කරන්නෙ ආසා නිසා මම ටක් ගාලා බිම බැලුවා. වීරයා වගේ ගියාට ඒ වෙලාවෙ තමයි මගේ බඩපපුව ඩග ඩග ගාන්න ගත්තේ. අපි යන්නේ මුහුදු වතුරේ ගෑවි නොගෑවී පහළින්. අපේ වටේට කළු පාටට නාවික හමුදාවේ නැව්. මොකද කොටි රේඩාර්වලට අපේ ප්ලේන් එක අහු නොවෙන්න. මම කැමති නැහැ මූදු වතුරෙ ගිලිලා මැරෙන්න. මට පුතයි, රංජනීයි මතක් වුණා. කොහොමහරි මම වැඩේ ඉවර කළා. ඔෆිසස් මෙස් එකෙන් කෑමකුත් දීලා මාව පලාලි ගුවන්තොටුපළට ගෙනාවා. ම‌ට සසර එපා වුණේ අපිත් එක්ක හමුදාවේ කොල්ලන්ගේ බොඩීස් එවනවා දැකපු වෙලේ. එකට සටනේ ගිය අනෙක් කොල්ලන්ට යාළුවන්ගෙ බොඩීස් පටවද්දි ඇ‌‌ඬෙනවා. තහනම් නිසා කඳුළු හංගගෙන යනවා. ඉවසගෙන මාත් ආවා. රත්මලානෙන් බැස්සා. බස් එකක නැගලා ගෙදර ඇවිත් දොරට තට්ටු කළා. රංජනී දොර ඇරලා පුදුමෙන් වගේ බලලා හානේ ඔයා ආවද? කියලා ඇහුවාමයි මටත් ගමනේ බරපතළකම තේරුණේ.

ඉස්කෝලෙ ගිය අන්තිම කාලේ රංජනී කාරියවසම් එක්ක මම යාළු වුණේ. කොල්ලො විහිළු කරනවා බ්‍රෝඩ්වේ කිය කියා. බලද්දි මෙයා දෙහිවල ඒ ව්‍යාපාරය අයිති ලොකු මුදලාලි කෙනෙක්ගෙ දුවෙක්. පස්සේ ඒක හරියන්නෙ නැහැ කියලා අපි අයින් වෙලා ඉන්න හැදුවා. ඒත් ආයෙ බලද්දි යාළු වෙලා. ඒ ගමන තමයි මා එක්ක ඔය සැපදුක් උහුලගෙන දිගටම එන්නේ. අපේ පුතා දිනේන්ද්‍ර සසංක මුනින්ද්‍රදාස ඉංජිනේරුවෙක්. දැන් ඇමෙරිකාවේ යුනයිටඩ් එයාර්ලයින්ස්වල ප්‍රොකියුමන්ට් මැනේජර්. මං සිටි ඇන්ඩ් ගිල්ඩ් මුල් විභාග තුනම කළා. පස්සේ කම්මැළි වෙලා ඉද්දි ස්ටැන්ලි (හෙට්ටිආරච්චි) තමයි කීවේ තුසිත ෆුල්ටෙක් විභාගෙ කරන්න ඒක ගන්නේ ඔයාට නෙවෙයි පුතාට කියල. ඒක ඇත්ත කියලා තේරුණේ පුතාගෙ උපාධි ප්‍රදානෝත්සවයට මමත් ලෝගුව දාලා ගියාම අනෙක් අය ඒ ගැන කතාවෙද්දියි.' ඔහු කීවේ හැඟුම්බර හඬිනි. යළිත් සුපුරුදු විනෝදකාමී පුරුද්දට එයි.

'ලංකාවේ පළමුවෙනි වෙඩින් වීඩියෝ එක කළේ මමයි අනුර වීරසිංහයි එයාගෙ නංගිගෙ. 1981 දෙසැම්බර් 12. අකායි කැමරාවකින්. එදා ඉඳන් මම හොඳට වෙඩින් කවර් කළා. හම්බ කළා. රටරටවල ගියා. ජපානෙත් ගියා පුහුණුවකට. ඒ පුහුණුවට තමයි එම්.ඩී. මහින්දපාලලා එකතු වුණේ. අපි වැඩ කරද්දිත් යක්කු වගේ වැඩ කරනවා. කාටවත් බය නැහැ මොකද හරියට වැඩ කරන නිසා.

තුසිත මහත්තයා නිශ්ශංක දෙස බලා කියයි.

ආලෝකකරණය කියන්නේ තාක්ෂණය මුසු කලාත්මක දෙයක්. තාක්ෂණය නොදැන කලාව කරන්න බැහැ. ටෙලිවිෂනය කියන්නේ 80% තාක්ෂණය. අපි ඇමෙරිකන් ක්‍රමයට නෙවෙයි ලයිටින් කරන්නෙ. අපට ලයිට් ඇන්ඩ් ෂේඩ්ස් ඕනා හැටියේ තියෙනවා. අපේ මිනිස්සු හරිම කලාත්මක සිතිවිලි තියෙන අය. වැරැදියට ආලෝකකරණය කළොත් ඒ අයට ඒ අඩුව දැනෙනවා.

කැමරාවක් අතට ගත්තාම ඒකේ විස්තර හොඳට කියවා ගන්න. ඊට පස්සේ අපට පුළුවන් ඒකෙ තියෙන දේවල් අනුව අලුත් අලුත් දේ හිතලා හදාගෙන වෙනස් දෙයක් කරන්න. තිස්සෙම අත්හදා බැලීම් කරන්න ඕනා‍. අද තාක්ෂණය දියුණුයි. ලැබෙන ආලෝකයෙන් වැඩ කරන්න දැනුම තියෙනවා නම් පුළුවන්.

ලංකාව අයිටීඑන් එක බාරගත්තට පස්සේ ගෙනා හොඳම ත්‍රීටියුබ් කැමරාව කරේ තියාගත්තේ මම. ලංකාවේ මම දකින වැරැද්ද තමයි ඉංජිනේරුවෙක් කීවාම පුටුවක් උඩ ඉන්දලා කොළ අත්සන් කරන්න දාන එක. ජපානයේ සැටිකොන් ටියුබ් එක හදපු ඉංජිනේරුවාට මහාචාර්ය පදවියක් දීලා ඒ පර්යේෂණ කටයුතුවලම යෙදෙන්න ඉඩ දුන්නා. මිනිස්සුන්ගෙන් වැඩගන්න ඕනා එහෙමයි. ඩිරෙක්ටර් ඉංජිනියරින් වුණාට මම ටයි දැම්මෙ නැහැ ජීවිතේට. කන්තෝරු කාමරේ ඒ සී කරන්න මම ඉඩ දුන්නේ නැහැ. නිවාඩු කොළ අස්සන් කරනවාට වඩා ම‌ට ඕනාවුණේ වැඩ කරන්න හැබැයි 55න් විශ්‍රාම යැව්වා.'

ඔහු ජීවිතේ පහසුවෙන් ගෙවන්නට අපට කියා දුන්නේය. ඒ ඔහු නිසගයෙන්ම පතන ලෝකයයි.

මම ජනක මල්ලිමාරච්චිගේ, ගිවන්ත අර්ථසාද්ගේ, චන්ද්‍රරත්න මාඉටිපේගේ නාට්‍ය තුනක රඟපෑවා,. මම දැන් සංගීතය ඉගෙන ගන්නවා. පුළුවන් හැම විටම ඉගැන්වීම් කරනවා. මගේ පොත රූපවාහිනී කැමරා ශිල්පය අලුත් මුද්‍රණයක් ළඟදි එනවා. මම දැන් බහු කැමරා නිෂ්පාදන ගැන පොතක් ලියමින් ඉන්නේ. මම හිනා වෙවි ඉන්න තමයි කැමති. රණ්ඩුත් වෙනවා උපරිමෙන්ම. ඒත් විනෝදෙන් ඉන්නේ. ප්‍රශ්න ගණන්ගන්නේ නැහැ. ඉන්නකල් සතුටින් ජීවත්වෙනවා.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.