සිනමාව හා එකිනෙකා හඳුනා ගැනීම

සැප්තැම්බර් 5, 2019

එක්තරා සිකුරාදාවක අලුයම කොළඹින් බස් රථයක් පිටත් විය. එහි ගමනාන්තය වූයේ රත්නපුර හිදැල්ලන තේ පර්යේෂණ ආයතනයයි. විස්සකට අධික සිනමා අධ්‍යක්ෂවරු පිරිසක් බසයේ සිටියහ. ඔවුනට අමතරව කැමරාව පිටුපස සිට වෙහෙස වන්නන් කිහිප දෙනෙක් ද සිටියෝය. සිනමා අධ්‍යක්ෂවරු සියල්ලම දැනට ක්ෂේත්‍රයේ එක ගමනකට එක්කාසු කර ගැනීම ලෙහෙසි නොවූ කටයුත්තක් විය. මේ සියල්ලෝ මේ යන්නේ තෙදින නේවාසික වැඩ මුළුවකටය. සංස්කෘතික නුවණ යනුවෙන් එය නම් කොට තිබිණ. මෙම වැඩමුළුව ජාතික සංස්කෘතික සම්පත් මධ්‍යස්ථානයෙන් සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයට ලැබුණු දායාදයක්ය. එම ආයතනයේ සුදත් මහදිවුල්වැව, නීල් කරුණාරත්න ප්‍රමුඛ පිරිස ඒ වනවිටත් එතැන සංස්කෘතික නුවණ සඳහා ලැහැස්ති කොට තිබිණ. වැඩමුළුව පිළිබඳ දැනුම්වත් කොට අවශ්‍ය පුද්ගලයින් එකතු කරන්නට වගකීම පැවරුණේ චිත්‍රපට අධ්‍යක්ෂ සුනෙත් මාලිංග ලොකුහේවාටය. ශමීර රංගන නාඔටුන්න ඔහුගේ සහායට සිටියේය.

නළු නිළියෝ ඕන තරම් දවස් තුනක වැඩකට හොයා ගන්න පුළුවන්. ඒත් කොහොමද ඩිරෙක්ටර්ලා ටිකක් සෙට් කර ගන්නේ. මේ අය හැමදාම වැඩනෙ.

සුනෙත්ට එහෙම සිතුණත් පසුබට වූයේ නැත. මෙම අගනා කාර්යය ගැන කියා ඔහු චිත්‍රපට අධ්‍යක්ෂවරුන් ඇමතීය. ඔය වැඩේ සාර්ථක වෙන එකක් නැති බවට සමහරු අකුල් හෙළුහ. එන්නම් කියා අවසාන මොහොතේ නොආ අය ද සිටියෝය. ඔවුන් මේ නැති කරන්නේ තවත් කෙනෙකුගේ අවස්ථාවක් යැයි කියා සිතුවේ නැත. නේක විවිධ බාධා මධ්‍යයේ සුනෙත් සහ ශමීර සැලකිය යුතු ප්‍රමාණයක් නිර්මාණකරුවන් මෙයට එක්කාසු කර ගත්හ. ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු, ජයප්‍රකාශ් සිවගුරුනාදන්, සංජය නිර්මාල්, අරුණ ජයවර්ධන, සුනෙත් මාලිංග, ශමීර රංගන නාඔටුන්න, රොහාන් පෙරේරා, හෙක්ටර් කුමාරසිරි, සිරිතුංග පෙරේරා, සුමිත් ගල්හේන, නුවන් ජයතිලක, තුෂාර තෙන්නකෝන්, නලින් රාජපක්ෂ, නිර්මාල් රාජපක්ෂ යන අධ්‍යක්ෂවරු සමඟ සහාය අධ්‍යක්ෂ විමල් දේශප්‍රිය, ජගත් ආනන්ද, දිනේෂ් ලක්දුසිංහ, අරුණ තිලකරත්න, කීර්ති රුවන් ලාල්සන්, අංග රචනා ශිල්පී තාරක අධිකාරී, සනීර දිනේෂ්, සංස්කරණ ශිල්පී ජගත් වීරතුංග, අජිත් රාමනායක, කලා අධ්‍යක්ෂ සංජීව දිසානායක, කැමරා අධ්‍යක්ෂ රුවන් කොස්තා, කෙටි චිත්‍රපට අධ්‍යක්ෂ ලංකා බණ්ඩාරනායක, කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක, ජාතික චිත්‍රපට සංස්ථාවේ දීප්ත බණ්ඩාර සංස්කෘතික නුවණ සඳහා එක් වූ නිර්මාණකරුවෝය. ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන වැඩමුළුවෙහි දේශකයාය.

බොහෝ දෙනා සිතුවේ මෙය සිනමාව හා සබැඳි වැඩ මුළුවක් බවය. එහෙත් එසේ නොවීය. ඊට හාත්පසින්ම වෙනස් මාතෘකා රැසක් යටතේ ආචාර්යවරු දෙසුම් පැවැත් වූහ. සමාජීය සබඳතා සහ විෂමතාවයන්, මෙතෙක් රට ගමන් කළ ක්‍රමයේ වැරැදි සහ සාමාන්‍ය ජීවිතයට වැදගත් වන කරුණු කාරණා මෙහිදී කතාබහ කරන ලදී. ප්‍රවීණයෝ රැසක් සහභාගී වුව ද මෙතැනදී ඔවුන් ශිෂ්‍යයන් ලෙස ක්‍රියා කළේ ප්‍රවීණත්වය පසෙක තබමිනි. ක්‍රියාකාරකම්වලට ද ඒ ප්‍රවීණයන් යුහුසුළුව සහභාගී වූහ. ඒවාහි ඔවුනට රඟපාන්නට ද තිබිණ. බොහෝ අධ්‍යක්ෂවරු රංගනයට උපන් හපන් බව ද මෙහිදී පසක් කරන ලදී.

පළමු දින සවස මිස්ටර් ඇන්ඩ් මිසිස් අයියර් චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරිණ. ඊට අවැසි පහසුකම් ද එම ආයතනයේ තිබිණ. පසුවදා උදෑසන වැඩමුළුව ආරම්භ වූයේ චිත්‍රපටය පිළිබඳ වූ රසවින්දනාත්මක වැඩ සටහනකිනි. දෙවැනි දින අවසනදී පැදුරු සාජ්ජයක් සංවිධානය කොට තිබිණ. කවුරු කවුරුත් පුදුමයට පත් කරමින් එතැන තිබූ ඩොලැක්කිය අතට ගත්තේ ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුය. ඔහු ඉතාම දක්ෂ අන්දමින් එය වාදනය කළේය. නිර්මාල් සහ නලින් වරින්වර ගිටාරයෙන් මියුරු ස්වර මැවූහ. සුනෙත් මාලිංග ද ගිටාරය ඉල්ලූ නමුදු අපි එය නුදුන්නේ සුරක්ෂිතව එය යළි බාර දිය යුතු බැවිනි. වැඩමුළුවට අමතරව මෙහිදී තවත් දෙයක් සිදු විය. ඒ නමින් පමණක් දැන සිටි නිර්මාණකරුවෝ එකිනෙකා සහ ඔවුන් කළ නිර්මාණ ඉතා හොඳින් දැන සිටියත් හමු වුණේ මෙතැනදීවීමය. එය ද සතුට දනවන කරුණක් විය. එකම පවුලේ උන් මෙන් දවස් තුනක් කාලය ගත කරමින් සිටි පිරිස වෙන්වන මොහොත උදා විය. ඒ කාලයේදී වැඩි දෙනෙකු සංවේදී වෙමින් සඳහන් කළේ වසරක් පාසා හෝ මෙවැනි කර්තව්‍යක් සංවිධානය කිරීම වටී යන්නය. මම ද මෙම වැඩ මුළුවේ කොටස්කරුවකු වූ බව මෙහිදී සඳහන් කරමි.

ආපසු කොළඹ බලා පිරිස පිටත්ව එද්දී සිදුවුණු අපූරු සිදුවීමකින් මෙම සටහන අවසන් කළොත් හොඳ යැයි හැඟේ. එය වැඩමුළුවට අදාළ කාරණයක් නොවුණ ද රසවත් සිදුවීමකි. අවිස්සාවේල්ලට කිට්ටුව තැනකදී පොලිස් මාර්ග බාධකයකදී පොලීසිය විසින් බස් රථය නවත්වන ලදී. ඒ වන විටත් අධ්‍යක්ෂවරු පිරිස සිනමාවේ අර්බුද ගැන මහ හඬින් කතා කරමින් තර්ක විතර්ක මැද බස් රිය දෙවනත් කරමින් සිටියහ. සියල්ලම හිතුවේ මොකක් හෝ වැරැද්දක් කිරීම නිසා බස් රිය පොලීසියෙන් නැවැත් වූවා කියාය. එසේ නොව එතැන සිටි පොලිස් නිලධාරියකුට සිය ගමනාන්තයට යාමට බසය නවත්වා තිබිණ. ඔහු රියට ගොඩ වූයේ මහත්තයලා යන ගමන් මාව කොට්ටාව හරියෙන් බස්සන්න කියාය. නැංග පොලිස් නිලධාරියාට වාඩිවෙන්නට පවසා පිරිස නැවතත් සුපුරුදු කතාබහ ඇරැඹූහ. බසය හෝමාගමට කිට්ටු විය. පොලිස් නිලධාරියා බසයේ නැත. රියෙහි පිරිසගේ මහා ඝෝෂාව ඉවසා ගත නොහැකිව ඔහු රියෙන් බැස ගිය බව බස් රියේ සහායකයා පැවසීය. රාළහාමි නැංග තැන සිට කිලෝමීටර් කිහිපයක් ගත වූ තැන ඔහු බැස ගොසිනි. ඔහු පසුව වෙන රියක් අල්ලාගෙන නිවී සැනසිල්ලේ කොට්ටාවට එන්නට ඇත.

 

 

 

 

 

 

 

 

 

 

ප්‍රසාද් සමරතුංග

 

එච්. ඒ. ඩී. ධනුෂ්ක

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.