බිනර මහක අවසන් ගමන් ගිය ගාමිණි, ජෝ, ධර්මසිරි ත්‍රිමුර්තිය

සැප්තැම්බර් 19, 2019

ගාමිණි ෆොන්සේකා, ජෝ අබේවික්‍රම හා ධර්මසිරි ගමගේ ගජ මිතුරෝ වූහ. ඔවුන් තිදෙනා අතර තිබූ අවියෝජනීය මිත්‍රත්වය මිය යන තෙක්ම පැවතියේ ගලේ කෙටූ අකුරු මෙනි. සැපේදී මෙන්ම දුකේදී ද මේ තිදෙනා එකට සිටියෝය. එහෙත් කළු ලපයක් තිබුණි. ගාමිණි හා ජෝ කලක් අමනාපව සිටියේය. මෙය අනිත් මිතුරා වූ ධර්මසිරි ගමගේට සංවේගය දනවන සංසිද්ධියක් විය. ගාමිණි හා ජෝ යළි එකතු කිරීමට කපුකම කිරීමට ඒ මහා පින්කම කිරීමට මුල් වන්නේ ගමගේය. එවැනි දෙයක් කිරීමට ශක්තියක් ඇත්තේ ද ඔහුට පමණි. එයට හවුල්වීමට සරසවිය පුවත්පත වෙනුවෙන් මම ද දායක වීමි. කුමාර එදිරිසූරිය දෙදෙනා එකට සිටින පින්තූර ගත්තේය. මෙහි පළ වන්නේ ඒ පින්තූරයකි.

මේ තිදෙනාගේ මිත්‍ර සන්ධානයට වසර 45 ක් පිරී තිබූ අතර සැප්තැම්බර් මාසයක තිදෙනාම සමු ගත්හ. අප මේ තිදෙනාටම ‘අයියා’ යන ආදර නාමයෙන් කතා කරන බැවින් මෙතැන් සිට ඒ නමින් ආමන්ත්‍රණය කරමු.

ගාමිණි අයියා - ජෝ අයියා හා ධර්මසිරි අයියා යන තිදෙනාගෙන් මුලින්ම ජීවිතයෙන් සමු ගන්නේ ධර්මසිරි අයියාය. ඒ 2004 සැප්තැම්බර් 19 වැනිදාය. ඔහු මියගියදා ගාමිණි අයියාගේ දෙනෙත කඳුළින් පිරී ගියේය. එතැන් සිට ඔහු තම මිතුරාගේ දීර්ඝ ඇසුර ගැන නිතර මතක් කරමින් ලත වුණේය.

“ධර්මේ කියන්නේ මගේ ශරීරයෙන් භාගයක්. මම දැන් අංශභාග රෝගියෙක්” ගාමිණි අයියා මට දුරකතනයෙන් කී අයුරු මට මතක් වෙයි.

“අපොයි දෙයියනේ ධර්මේ නැති වුණා. නාකි මම, අන්ධ මම ගිහිල්ලා ධර්මේ හිටියනං එයා තව වැඩ කරනවා” ජෝ අයියා කී කතාවය ඒ.

ගාමිණිත්, ජෝත් තම මිත්‍ර බාල සොහොයුරාගේ මෘත ශරීරය දෙස බලා සිටියේ අනිමිස ලෝචන පූජාව කරමිනි.

හරියටම ධර්මසිරි අයියා මිය ගොස් දින 11 කින් 2004 සැප්තැම්බර් 30 වැනිදා ගාමිණි අයියා ඔහු සොයා ජීවිතයෙන් සමු ගත්තේය.

ගාමිණි හා ධර්මසිරි නැතිව ජෝ ජීවතුන් අතර සිටියේ දැඩි අන්ධකාරයේය.

ඒ ළඟ දිනක මම ජෝ අයියා හමුවීමට ඔහුගේ පාගොඩ පාරේ නිවසට ගියෙමි. උඩු මහලේ තම හාන්සි පුටුවට වී බුදු පිළිමය දෙස බලා සිටියේය. ඒ පිළිම වහන්සේ අභාවප්‍රාප්ත දක්ෂ මූර්ති ශිල්පී විමලසේන ඩයස් තොලුවිල බුදුරුවේ ආකෘතියක් අනුව නිර්මිත පිළිමයකි.

“මල්ලියෝ මතකද? මම ගාමිණි එක්ක තරහ වෙලා උඹල අපිව එකමුතු කරලා අපි දෙන්නා ඉස්සෙල්ලාම රඟපෑවේ ධර්මෙගේ ‘පූජා’ චිත්‍රපටයේ. එදා තමයි ගාමිණිව මම හරියට තේරුම් ගත්තේ. ධර්මේ වගේ හිත හොඳ යාළුවෙක් ඉතින් කවද හමුවෙයිද?” ජෝ අයියා එදා කීවේය.

ජෝ අයියා ද ගාමිණි අයියා, ධර්මසිරි අයියා මිය ගොස් හරියට වසර හයකට පසු 2010 සැප්තැම්බර් මස 21 වෙනිදා මිය ගියේය.

ගාමිණි හා ධර්මසිරි බෙහෙවින්ම සමීප වූයේ “සරුංගලේ” චිත්‍රපටය කාලේ යයි මම සිතමි. ඊට ඉහත “සහනය’ චිත්‍රපටයේ ගීතයක් ලියූ අවස්ථාවක මට මේ දෙදෙනා සමඟ ගත කිරීමට අවස්ථාවක් ලැබිණ. මේ චිත්‍රපටයට අමරදේවයන්ගේ ගීතයක් අවශ්‍ය බව ගාමිණි ගෙනා යෝජනාවට අධ්‍යක්ෂ සෙල්වරත්නම් ද, නිෂ්පාදකයා වූ බැප්ටිස් ප්‍රනාන්දු හා ප්‍රේම් ජයන්ත් ද එකඟ විය. එය ධර්මසිරි ගමගේ විසින්ම රචනා කළ යුතු බව ද ගාමිණි කීවේය. ගීතය පටිගත කරනු දැකීමට හා ඒ ගැන “සරසවිය” පත්‍රයට විශේෂාංගයක් ලිවීමට 1971 දී මම හැඳල විජය චිත්‍රාගාරයට ගියෙමි. ගාමිණි මේ ගීතය පටිගත කරනු බැලීමට මධ්‍යම රාත්‍රිය තෙක් ගත කළේය. අමරදේවයන්ගේ අමරණීය කටහඬ පටිගත වෙද්දී ගාමිණි ද ගීතය මිමිනුවේය. ශබ්දාගාගරයෙන් පිටතට පැමිණි ඔහු සිගරට් ගණනාවක් පුළුස්සමින් එහා මෙහා ඇවිදිමින් ධර්මසිරි ගමගේ නම් මිත්‍රයාට ගායන කරමින් පෙන්වා පුංචි දරුවෙකු මෙන් රසවිඳි හැටි මට මතකය. මේ ගීතයේ සංගීත නිර්මාණය හා ගායනය අමරදේවගෙනි.

සිහින නෙළුම් මල ජීවිත පොකුණේ

දෑස අබියස පිපී සැලේ

තුන් යම ගත වූ ජීවිතයේ

අරුණ නැගෙනා ප්‍රභාතයේ

 

අහස ඉසව්වේ ඔබ මා දුටුවේ

රිදී පහන් තරුවක් වාගේ

දෑස වසාගෙන මැදියම් යාමේ

යහනක වැතිරී නිදන වෙලේ

 

කවියක් ලෙස ඔබ හදවත ගුලි වී

මා හද පිරිමැද අවදි කළා

මැදියම අවදිව හැබැහින් දුටුවෙමි

පෙර යම නින්දේ දුටු සීනේ

එහෙත් සිහිනයක් වේදෝ

ජීවිතයේ අන්තිම යාමේ”

වරෙක ගාමිණි ද චිත්‍රපට ගීත රචකයකු විය. ඒ සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ “සරුංගලේ” චිත්‍රපටයෙනි. සම්මානනීය ගීත රචකයකු වූ ධර්මසිරි මැදියම් රැය ගෙවමින් ගාමිණි අසල සිටියේය. ධර්මසිරි අයියගේ වචනයෙන්ම එය විස්තර කර ඇත්තේ මෙසේය.

“වේලාව අලුයම දෙකට පමණ ඇත. අහසේ පැයූ පුරා හඳ තවමත් කාන්තියෙන් බබළයි. කුඩා පොල් ගසේ අතු අග්ගිස්සෙන් බේරී ගලන සඳ රැස් දහර මිදුලේ තණ පලස මත වැතිරී ඇත. අවට සියල්ල නිහඬය. කාර්මික නගරයක (රත්මලාන) සේයාවකුදු මෙහි නොවේ. පාළු ගම්මානයක තනිය දුහුල් සාරි පොටකින් මෙන් අවට වෙළාගෙන ඇත.

මේ නිහඬ රැයේ අවදිව සිටින පුද්ගලයෙකි. නිවෙන දුම්වැටිය විනාඩි දෙකක පමණ විරාමයක් දී තවත් දුම්වැටියක් දල්වා ගන්නා හේ යම් කල්පනාවක නියැළී සිටී. ඔහුගේ දෙතොලින් ගීයක පද වැලක් රාව නැගේ. පරිසරයේ නිසංසල සුවය සමඟ ඔහුගේ ආධ්‍යාත්මයේ සටහනක් වූ වදන් පෙළකි. ලිහිල් සරල ආරකින් ඔහු අපූරු ගීයක පද වැලක් මුමුණයි.”

“බඹරිඳු බඹරිඳු කුමට වඩින්නේ

වන මල් කැකුලියා සොයා වඩින්නේ

වනමල් කැකුලිය කුමට වඩින්නේ

ලැබුණොත් ඇය පෙම් පවස නිවන්නේ”

(ගායනය – අමරදේව හා නන්දා මාලිනී)

මේ ධර්මසිරි කවියා ගාමිණි කවියා ගැන කරන හැඳින්වීමකි. ඒ “සරුංගලේ” චිත්‍රපටය සඳහා හොඳම කතා රචකයාට හිමි ර්‍ණඛ්ධ්ඛ් සම්මානය පිරිනැමීමට නිවේදකයා කීවේ ගාමිණිගේ නමය. සම්මාන පිරිනැමුණේ අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මහතා අතිනි. ඒ අසල ර්‍ණඛ්ධ්ඛ් ජාතික අධ්‍යක්ෂ අර්නස්ට් පෝරුතොට පියතුමා විය. ගාමිණි ඉදිරි අසුනක සිටිය ද නැඟී සිටියේ නැත. දෙවෙනි වරටත් ගාමිණිගේ නම කියැවිණ. එවර ගාමිණි නැඟිට ධර්මසිරි දෙස බලා වේදිකාවට යන ලෙස ඉඟි කළේය. ධර්මසිරි ද අභිනයෙන් කීවේ ගාමිණිට වේදිකාවට යන ලෙසය. ගාමිණි ඇවිද ගොස් අගමැතිතුමාට මෙසේ කීවේය.

“අගමැතිතුමනි, මේ සම්මානය මට ගැනීමට සදාචාරාත්මක අයිතියක් නෑ. මගේ කතා සංකල්පය තිර නාටකයට නැඟුවේ ධර්මසිරි ගමගේ.”

“එහෙමනං ඔබ මේ සම්මානය මගේ අතින් අරන් ඔබේ අතින් ධර්මසිරිට පිරිනමන්න” අගමැතිතුමා කීවේය.

ශාලාවේ නැගුණු අත්පොළසන් හඬ මැද ගාමිණි ධර්මසිරි අසලට ගොස් “මෙය අයිති මට නොවේ ඔබට” කියා සම්මානය පිරිනැමුවේ තම හද බැඳි මිතුරා සිප ගනිමිනි.

ධර්මසිරි අයියා මිය ගොස් දවස් තුනකට පමණ පසු මම ගාමිණි අයියා හමුවීමට ජාඇල නිවසට ගියෙමි. එදා අප කතා කරමින් සිට එළිමහනට ආවේ එකටය. ගාමිණි මිදුලේ පිච්ච මල් ගස ළඟ නැවතී එයින් මල් කිහිපයක් කඩා මා අතට දුන්නේය.

“අපි ධර්මේට නිවන් සුව පතමු” ගාමිණී කඳුළු පිරි දෙනෙතින් බොල් කටහඬින් කීවේය.

ඒ ගාමිණිගේ හැටිය. කිසිවෙකුට ඔහු මෙසේ පිච්ච මල් දෙන්නේ මෙවැනි විශේෂ අවස්ථාවකය. එය ගාමිණි හා පිච්ච මල් ගහ අතර තිබෙන මොකක්දෝ ගනුදෙනුවක් නිසාය. ඔහු දුක කියන්නේ මේ පිච්ච මල් ගහට දැයි වරෙක මට සිතිණ.

මා විසින් (1986) සංස්කරණය කළ “ ගාමිණි : හෙළ සිනමාවේ සක්විති” ග්‍රන්ථය අගමැති ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රාජකීය විද්‍යාලයීය නව රඟහලේ පැවැත් වූ අවස්ථාවේ මම ජෝ අයියාට කතාවක් කිරීමට ආරාධනා කළෙමි. එදින එම උලෙළේදී ජෝ අයියා ගාමිණි අයියා ගැන මෙසේ කීවේය.

“ගාමිණි අපට සිටින දක්ෂතම නළුවා පමණක් නොවේ. ජන නායකත්වයට පවා සුදුසු උතුම් මිනිස් ගති ඇති ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. ඔහු දර්ශනයක් ඇති කලාකරුවෙක්. ගුණවත් පුද්ගලයෙක්.”

ධර්මසිරි අයියා හා ජෝ අයියා අතර ඇති සම්බන්ධතාව වෙනස් එකක්. ගැමියෙකු වූ ජෝ සැබෑ ජීවිතයේ ද ගැමියෙකි. ධර්මසිරි තිර නාටකය ලියූ චිත්‍රපට කිහිපයකම ජෝ රඟපා ඇත. ආදරවන්තයෝ - නාරිලතා - සිරිපාල සහ රන් මැණිකා, පූජා චිත්‍රපට මේ අතර සුවිශේෂිතය. ධර්මසිරි අධ්‍යක්ෂණය කළ “පූජා” චිත්‍රපටයේ අළුගෝසුවාගේ චරිතය සඳහා ජෝ ට ද, එහි ගීත රචනය වෙනුවෙන් ධර්මසිරිට ජනාධිපති සම්මාන ලැබිණ.

ධර්මසිරි අයියා කියා ඇත්තේ ජෝ “විශ්වයේ මිනිසා” කියාය. “පූජා” චිත්‍රපටයේ අළුගෝසුවාගේ චරිතය රඟපෑමක් නොව දුහුනන්ට රංග කලාව පිළිබඳ අත් පොතක් වැනිය කියාය. ඔහු වැලිකඩ බන්ධනාගාරයේ පෝරකය අබියස දී ජෝ අබේවික්‍රම සතු ආත්මයෙන් විනිර්මුක්තව අළුගෝසුවාගේ චරිතයට පිවිසුණු සියුම් මොහොත අදත් මැවී පෙනෙන බවය.

ගාමිණි ෆොන්සේකා නම් මහා රංගධරයා ජෝ අබේවික්‍රම නම් මහා රංගධරයා ගැන කියා ඇත්තේ මෙවැනි ප්‍රකාශයකි.

“චරිතාංග නිරූපණයෙහි විශිෂ්ටත්වයට පත් මා ප්‍රිය කරන මගේ ප්‍රියතම රංගවේදියා ජෝය. ඔහු සිය මුහුණෙහි ඇසරු සැණක් තුළ ඉරියව් කෝටියක් මවයි. ඔහු ජීවිතයේ පැතිකඩ කෙතරම් සූක්ෂම ලෙස සිය ආත්ම ග්‍රහණයට හසු කර තිබේද? එවන් නළුවකු පහළවීම ජාතියේ වාසනාවකි.”

1970 දශකයේ කාගේදෝ කේලම් බහකට බඳුන් වූ ගාමිණි හා ජෝ යන මහා රංගධරයන් දෙදෙනා විරසක වූහ. මේ විරසක මැදය ඔවුන් “වැලිකතර” චිත්‍රපටයේ රඟපෑවේ. මම ඒ දිනවල ගාමිණි සමඟ සරසවිය පත්‍රයට කළ මුල්ම ලිපිය සඳහා ප්‍රශ්නයක් ඇසුවෙමි.

“ ඔබ ජෝ අබේවික්‍රම රඟපාන ගෝරිංගේ චරිතය ගැන හිතන්නේ කුමක්ද?”

“ජෝ අබේවික්‍රම නම් නළුවාගේ විශිෂ්ටතම රඟපෑම මා දුටුවේ වැලිකතර චිත්‍රපටයේ ගෝරිංගේ චරිතයෙන්.”

මම මේ බව සරසවියෙන් හෙළි කරන විට මුළු කලා ලෝකයම සෙල වුණි. ගාමිණි හා ජෝ ඒ වන විට සිටියේ ජන්මාන්තර වෛරක්කාරයන් ලෙසය. වෙන එකක් තබා සරසවිය පත්‍රයේ මේ ප්‍රකාශය දුටු ජෝ අබේවික්‍රම පවා විස්මයෙන් මගෙන් මෙසේ ඇසුවේය.

“ඇත්තට මල්ලියෝ මහ එකා (ගාමිණි) අරම මා ගැන කිව්වද?”

“එයා නොකිව්ව නම් මම ලියනවද?” මගේ පිළිතුර විය.

අද ගාමිණි, ජෝ හා ධර්මසිරි අයියලා ජීවතුන් අතර නැත. මේ තිදෙනා ගැනම මට පෞද්ගලික අත්දැකීම් කෙටියෙන් ලියා මේ ලිපිය අවසන් කරමි.

ආනන්දයේ උගන්නා කාලයේ කුලරත්න ආරියවංශ මා හා තවත් මිතුරන් කිහිප දෙනෙකු විසින් සංස්කරණය කරන ලද “සෙවණ” නම් පුවත්පත සඳහා කෙටි කතාවක් ඉල්ලා ගැනීමට අපි ධර්මසිරි අයියා හමුවීමට කොටුවේ ටයිම්ස් මන්දිරයට ගියෙමු. අපට ඔහු කෙටි කතාවක් දීමෙන් පමණක් නොව පුවත්පත් කලාව ගැන ද කියා දී අපට ඉරිදා දිනක වැල්ලම්පිටියේ තම නිවසට පැමිණෙන ලෙස කීවේය. එතැන් සිට ධර්මසිරි අයියා හා සීතා අක්කා මටත් කුලරත්නටත් සහෝදරයන් මෙන් සැලකූහ. අපට එතැන් සිට මිය යන තෙක්ම ධර්මසරි අයියා අපේම ලොකු අයියා ලෙස අපට පහන් වැටක් විය.

මගේ බිරිඳ අසාධ්‍ය ලෙස රෝගාතුර වූ අවස්ථාවකදී ගාමිණි අයියාගේ යොමු කිරීමෙන් විශේෂඥ වෛද්‍ය බෙන් සෙල්වදොරේ මහතා විශේෂ අවධානය යොමු කිරීම අනුව අසීරු සැත්කමක් සාර්ථකව ඉටු කළ අතර ජෝ අයියා තම හිතවත් රාජකීය දේශිය වෛද්‍යවරයකු වූ දෙහිවල පදිංචි අයි. ඩබ්ලිව්. ප්‍රනාන්දු මහතා (1989 ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී) හමුවට කැටුව ගොස් අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන් බව මම කෘතවේදීව සිහිපත් කරමි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.