සුනීතා නිසා සිනමාවට පිවිසි “ආනන්දයේ නැපෝලියන්”

අශෝක පොන්නම්පෙරුම
ඔක්තෝබර් 3, 2019

කොළඹ ආනන්ද විද්‍යාලයේ නේවාසිකව ඉගෙනුම ලැබූ ශිෂ්‍යයෙක් කොපමණ ‘පික්චර් පිස්සෙකු’ වූයේ ද යත්, මරදානේ නිව් ඔලිම්පියා හෝ එල්පින්ස්ටන් සිනමා ශාලාවේ තිරගත වන චිත්‍රපටවල රාත්‍රී නවයයි තිහේ දර්ශන තම මිතුරන් සමඟ නැරඹීම පුරුද්දක් කර ගත්තේය. ඔවුන් සැමට හොරා ඒ ගමන ගියේ නිදා ගන්නා ඇඳන්වල පඹයෝ තබාය. මෙසේ චිත්‍රපට බලන්න බිත්ති දිගේ බඩ ගෑ ඔවුන් ලිස්සා ගොස් තුවාල ලැබූ අවස්ථා ද බොහෝය. ඒ කාලයේ ආනන්දයේ විදුහල්පති එස්. ඒ. විජේතිලක මහතාය. විදුහල්පතිගේ නම සහිත ශීර්ෂ ලිපි කොල සොරා ගත් මේ ශිෂ්‍යයා එහි නම ‘නැපෝලියන් බොනපාට්’ යයි ලියා මුරකරුට දී ගේට්ටුවෙන් පැන ගත්තේ හින්දි චිත්‍රපටයක් නැරඹීමටය.

පසුදා උදේ විදුහල්පතිතුමා විසින් ශිෂ්‍යා කාර්යාලයට කැඳවනු ලැබිය.

‘තමුසෙද නැපෝලියන් බොනපාට්’

‘ඔව් සර්’

‘එහෙනං අල්ලනවා අත’

ශිෂ්‍යයාට වේවැල් පහර කිහිපයක් ලැබුණි.

කවුද? මේ ශිෂ්‍යයා - අසෝක පොන්නම්පෙරුමය.

‘තවත් දවසක මහ රෑ මට මරු වැඩක් වුණා. කොච්චර වේවැල් කසාය ලැබුණත් මම චිත්‍රපට බලන එක අත හැරියේ නැහැ. ආවාරා හින්දි චිත්‍රපටය බලලා මහ රෑ ආපසු පාසලට එනකොට මුරකරුට මාව හසු වුණා. මම හිටියේ සරමක් ඇඳගෙන. මුරකාරයා මගේ මූණට ටෝච් එක ඇල්ලුවා. මම වහාම සරමෙන් මූණ වසාගෙන දුවල බෝඩිමට ගියා’ අසෝක වරක් අපට කියා ඇත.

අසෝක ආනන්දයේ ඉගෙන ගන්නා කාලේ සිහින මැව්වේ ගායකයකු හා නළුවකු වීමටය. ඉංග්‍රිසි, හින්දි, ද්‍රවිඩ, සිංහල චිත්‍රපට රැසක් බැලූ ඔහු 1956 දී නැරඹූ ‘සුරතලී’ චිත්‍රපටයේ තමාගේ සිත් ගත්තේ එහි දෙමළ මෙහෙකරුවකු ලෙස රඟපෑ එල්. එම්. පෙරේරා බව පවසා ඇත. පාසැල් වේදිකා නාට්‍යවල රඟපෑ ඔහුගේ ඊළඟ ඉලක්කය වූයේ ඇල්. ඇම්. වගේ චිත්‍රපට නළුළුකු වීමය.

අසෝක සමඟ ආනන්දයේ ඉගෙන ගත් සමකාලීන මිතුරන් අතර පසුව සිනමාවට සෘජුව සම්බන්ධ වූ ප්‍රවීණයෝ වූහ. ඩී. බී. නිහාල්සිංහ, සුමිත්ත අමරසිංහ, විජේරත්න වරකාගොඩ. බණ්ඩාර කේ. විජේතුංග ඒ අතර කැපී පෙනුණි. එසේම මහාචාර්ය ජේ. බී. දිසානායක, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ද වූහ. පාසලේ බුද්ධාගම ඉගැන් වූ කොටගම වාචිස්සර හිමි ද, සිංහල ඉගැන් වූ ඩී. බී. කුරුප්පු මහතා නිසා තමාට බුදු දහම ගැන ද සාහිත්‍යය ගැන ද පුළුල් දැනුමක් ලබා ගත් බව ආඩම්බරයෙන් කියා ඇත.

සමරවීර අසෝක පොන්නම්පෙරුම 1936 මැයි 13 වෙනිදා උපත ලැබීය. ඔහුගේ පියා දොන් චාල්ස් පොන්නම්පෙරුම පුවත්පත් කලාවේදියෙකි. ඔහු 1950 ‘සිංහල බෞද්ධයා’ පත්‍රයේ ප්‍රධාන කර්තෘවරයා ලෙස ද කටයුතු කර ඇත. තාත්තාගේ ගම ඉඳුරුව වූ අතර මව වූයේ ඇල්පිටියේ උපන් පේ‍්‍රමවංශා මිත්‍රරත්නය.

ආනන්දයේ ගායකයෙකු ලෙස ද කැපී පෙනුණ අසෝක 1950 ගණන්වල එවකට 14 වැනි වියේ සිටියදී සංගීතය ඉගෙනීමට මරදානේ චන්ද්‍රසේන සංගීතායනයට ගිය බවත් ඔහුට එහිදී ආර්. ඒ. චන්ද්‍රසේන සංගීතඥයා දිරි දී ඇති බවත් කෘතවේදීව කියා ඇත.

‘අසෝක, තමුසෙට හොඳ අනාගතයක් තියෙනවා. නරකද සමස්ත ලංකා සංගීත තරඟයක් තියෙනවා. ඒකට ඉල්ලුම කළොත්’ චන්ද්‍රසේන මාස්ටර් තම ගෝලයාට කිවේය. ඔහු නොපැකිළව ඉදිරිපත් විය. මාස්ටර් ගීතය පුරුදු කළේය. 350 ක් පමණ වූ තරඟකරුවන් අතරින් මුල් තැන හිමි කර ගැනීමට අසෝකට හැකි විය. එදා විනිශ්චය මණ්ඩලයේ ලයනල් එදිරිසිංහ සංගීතඥයා ද සිටි බව ඔහුට හොඳටම මතකයේ තිබුණේය.

චිත්‍රපට රඟපෑමේ පිස්සුවෙන් සිටි අශෝක තම ප්‍රියතම චිත්‍රපට නළුවා වූ එල්. එම්. පෙරේරා හමු වූයේ පිටකොටුවේ වීර හෝටලයේ තේ බොමින් සිටි අතරේදීය. ඒ අසලට ගිය අසෝක ඔහු ඇමතීය.

‘අනේ. එල්. එම්. අයියේ මම ඉස්කෝලේ නං නාට්‍යවල ඇට් කරල කප් ගහල තියෙනවා. පුළුවන් නම් චිත්‍රපටයක රඟපාන්න අවස්ථාව ලබා දෙන්න.’

ඔහු තමාගේ ලිපිනය කොළ කැබැල්ලක ලියා එල්. එම්. අත තැබීය. උනන්දුවකින් තොරව ඔහු එය සාක්කුවේ ඔබා ගත්තේය.

හිටි හැටියේ අශෝකට විදුලි පණිවිඩයක් ලැබිණ.

‘චිත්‍රපටයක රඟපෑමට තිබේ. වහාම කොළඹ එන්න’

විදුලි පුවතින් සතුටු වුවත් කොළඹ යාමට තරම් සුදුසු ඇඳුමක් ඔහු සතු නොවීය. ඔහුට කොළඹ යාමට හිත හදා ගැනීමට නොහැකි විය. දිනක් ඇල්. ඇම්. අසෝකව සොයා ගෙදර පැමිණීම ඔහුට සිතා ගන්නට බැරි පුදුමයක් මෙන්ම සිහිනයක් විය.

‘අයිසේ තමුසෙ මාර හොල්මනක්නේ. ටෙලිග්‍රෑම් එකක් එවලත් තමුසෙට එන්න බැරි වුණා. දැන්ම ලෑස්ති වෙනවා මාත් එක්ක කොළඹ යන්න’ එල්. ඇම්. තරහෙන් කීවේය.

මුහුණ හෝදා ගැනීමටවත් අසෝකට ඉඩ නුදුන් ඇල්. එම්. ඔහුගේ කලිසම හා සපත්තු අතේ ඇතුව වෑන් රියට ඇදගෙන ගිය බව මියගිය දැන්වීම් ප්‍රචාරක ශිල්පී ටයිටස් රණසිංහට කියා තිබුණි.

‘එදා අසෝක කඩිමුඩියේ වෑන් එකට නැංග්ග අයුරු මෙසේ විස්තර කර තිබුණි.

‘රත්මලානේ ගුවන් තොටුපළට ගියවිට චිත්‍රපටයේ අධ්‍යක්ෂක පී. නීලකණ්ටන් ගුවන් යානයට දෙසට යනවා අපි දැක්කා. එල්. එම්. දුවගොස් ඔහු නවතා ගත්තා.

‘සර්, මම කිව්වේ මෙයා ගැන . . .’

නීලකණ්ටන් මගේ උඩ සිට පහළට බැලුවේය.

‘අපි සූනීතා කියලා චිත්‍රපටයක් කරනවා. ඒකේ දෙබස එල්. එම්. දන්නවා. ඒක අහලා රඟපාලා මට පෙන්වන්න. අපි යමු ටිකක් එළිමහනකට . . .’ අධ්‍යක්ෂවරයා කිව්වා.

මම ඒ දෙබස් හිතට අරන් මගේත් දෙබස් දාලා රඟපාලා පෙන්නුවා.

‘එල්. එම්. මිනිහාට හොඳට රඟපාන්න පුළුවන් වගේ’ කී නීලකන්ටන් සාක්කුවට අත දා රුපියල් පන්සීයක් දුන්නා. ඒ සල්ලි දැක්කාම මම උඩ ගියා. මම ඉක්මනින් ගෙදර ගියා. දැන් මම ඉන්දියාවට යන්න තාත්තාගෙන් අවසර ගන්න එකයි ඊළඟ ප්‍රශ්නය. තාත්තා බයොස්කෝප් නොබලන දැහැමි ජීවිතයක් ගත කරන කෙනෙක්.

‘තාත්තේ මම හෙට ඉන්දියාවට යන්න ඕනෑ. මට චිත්‍රපටයක රඟපාන්න අවස්ථාව ලැබුණා.’

‘හුම් . . .’

මම පාන්දර රත්මලානේ ගුවන් තොටුපළට යන්න ඉස්සර තාත්තාට වඳින්න ගියා.

‘මම හිතුවා මට පුතෙක් ඉන්නවා කියලා. ඒත් ඊයේ රෑ දොළහට එයා මැරුණා.’ මට කියලා තාත්තා කල්පනා කළා.

මම තාත්තාට වැඳලා සමාව ගත්තාම

‘හුම්’ කියලා ආශිර්වාද කළා.

‘රිවිරැස’ පුවත්පතට මේ කතාව ඔහු කියා තිබුණි.

1958 වසරේ වූ සිදුවීමකි මේ. අසෝකට මේ චරිතය ලැබී ඇත්තේ දෛවයේ හාස්කමකිනි. ඔහු ‘සුනීතා’ චිත්‍රපටයේ රඟපෑවේ සංකීර්ණ චරිතයකි. තෝමස් නම් ඒ චරිතය තුළ දයාබර සැමියෙක්, සෙනෙහෙබර පියෙක්, හොර නායකයෙක්, මිනීමරුවෙක්ගේ චරිත ගැබ්ව තිබුණේය. මේ චරිතයට මුලින් තෝරා ගනු ලැබුවේ ලැඩී රණසිංහ නම් විශිෂ්ට නළුවාය. ඔහු ඒ චරිතය රඟපැම සඳහා ලොකු මුදලක් ඉල්ලා තිබුණාලු. ‘දුප්පතාගේ දුක’ චිත්‍රපටයේ රඟපැම සඳහා හොඳම නළුවාට හිමි දිපශිඛා සම්මාන ද හිමි කරගෙන තිබුණි. ඔහු ඉල්ලු මුදල ගෙවීමට නිෂ්පාදක අකමැති වූ නිසා එල්. එම්. පෙරේරාගේ ඉල්ලීමට අසෝකට පින පෑදිණි. අලුත් තරුවක් උපන්නේ එසේය.

එහෙත් අසෝක නළු වරම් සඳහා මුල්ම ඇයදුම්පතක් යැව්වේ ඊට පෙරය. පුවත්පත් දැන්විමක් අනුවය ඒ. ‘මනුතාපය’ නමින් ඊරියගොල්ල මහතා විසින් පරිවර්තනය කරන ලද කෘතියක් ඇසුරෙන් කරන චිත්‍රපටයට නළුවන් අවශ්‍ය බව සඳහන් පත්‍ර දැන්වීමක් ඔහුගේ නෙත ගැටිණ. අධ්‍යක්ෂවරයා විමලනාත් දිසානයක ගම්පහ යනුවෙන් එහි පළ වී තිබූ දැන්වීමට අසෝක ඉල්ලුම් පතක් දැමීය. විමලනාත් විසින් මනුතාපයේ එන ජංතුගේ චරිතයේ දෙබස් දී එය රඟපාන්න යයි අසෝකට කීය.

‘එහෙම නෙවෙයි, ඔයා ආධුනිකයෙක්. ඒ නිසා මම ඔයාට පූජකතුමෙකුගේ චරිතයක් දෙන්නම් ඔහු කීවත් චිත්‍රපටය උපන්ගෙයිම මිය ගොස් ඇත.

‘සුනීතා’ චිත්‍රපටය රඟපෑමට ඉන්දියාවේ වාහිනි චිත්‍රාගාරයට ගිය අසෝකට වුූ අමතක නොවන අත්දැකීමක් වරක් විස්තර කොට තිබුණි. මේ චිත්‍රපටයේ රූපගත කිරීම් නැති දිනක ඔහු එම චිත්‍රාගාරයේම සිවාජි ගනේෂන් රඟපෑ චිත්‍රපටයක දර්ශනයක් නැරඹීමට ගොස් ඇත. ඒ චිත්‍රපටයේ නිෂ්පාදන කළමනාකරු රෙන්ගනාදන් ඔහුට කියා ඇත්තේ පිට අයට රඟපෑම් බැලීම අවසර නොදෙන බවය. අසෝක කේන්තියෙන් පිටතට ඇවිත්. දින තුනකට පසු රෙන්ගනාදන් කියන පුද්ගලයා ‘සුනීතා’ චිත්‍රපටයේ දර්ශන තලයට ඇවිත් අසෝක රඟපාන හැටි බලා සිට ඇත. රඟපාමින් සිටි අසෝක එය නවතා අධ්‍යක්ෂක නීලකණ්ටන්ට පවසා ඇත්තේ ඔහුව කරුණාකරලා ඉවත් කරන ලෙසය. එය එසේම සිදුව ඇත. වරද තේරුම් ගත් රෙන්ගනාදන් අසෝකගෙන් සමාව ඉල්ලා ඇත.

අසෝක ‘සුනීතා’ චිත්‍රපටයේදී එහි රඟපෑ කිංස්ලි රාජපක්ෂ හඳුනාගෙන ඇති කරගත් ඇසුර ඔහු මිය යනතෙක්ම අඛණ්ඩව පවත්වා ගෙන ආවේය. පසුව කිංස්ලි අධ්‍යක්ෂවරයකු වූ පසු ද ඔහුගේ සෑම චිත්‍රපටයකටම අසෝක සම්බන්ධ කර ගත්තේය. කිංස්ලිගේ පුතෙකු අකාලයේ මිය ගිය අවස්ථාවේ ඔහු සනසමින් අනිත්‍යතාව මෙනෙහි කරමින් ඔහු ළඟම සිටි මිතුරා අසෝක විය.

‘සුනීතා’ චිත්‍රපටයේ තෝමස් සහ සිරා යන චරිත දෙකෙන් හැටේ දශකයේ ඉහළ ජනප්‍රසාදයකට පත් අසෝක ඉන්පසු සිහිනය, සුන්දර බිරිඳ, සුවිනීත ලාලනී, ගංතෙර, සුහද දිවි පිදුම, හෙට ප්‍රමාද වැඩියි, කළ කළ දේ පළ පළ දේ, සුබසරණ සැප සිතේ චිත්‍රපටවල මුල් යුගයේ රඟපෑවේය. ඔහුගේ රඟපෑමට තම තරබාරු සිරුර කිසිසේත් බාධාවක් වී නැත.

‘සැමියා බිරිඳගේ දෙවියාය’ චිත්‍රපටයේ ඔහු රඟපෑ වෛද්‍යවරයාගේ චරිතය ප්‍රේක්ෂක ප්‍රශංසාවට ලක් විය. රුක්මණී දේවි, ඩොමී ජයවර්ධන සමඟ අසෝක රඟපෑවේ පරණ පෙම්වතී නිසා පීඩා ලැබූ වෛද්‍යවරයකු ලෙසය. එහි එන ජෝතිපාල පසුබිමින් ගයන ‘කොතැනක සිටියත් ඔබ දිගු කල් ජීවත් වෙන්නකෝ’ ගීතයට අසෝක රංගනයෙන් දායක වූ දර්ශනය පෙම්වතුන් පෙම්වතියන් අතර ජනප්‍රිය විය. අසෝක රඟපෑ ප්‍රියතම චරිතයක් වූ මේ චරිතයත් සමඟම ලන්ඩන් හාමු හි සමාජ රෝගියාගේ චරිතයට ද ඔහු වඩාත් ඇලුම් කොට ඇත. අසෝකට හාපුරා කියා සම්මානයක් හිමි වූයේ තම අඹ යහළුවා වූ කිංස්ලි රාජපක්ෂ අධ්‍යක්ෂණය කළ ‘ඉඳුනිල’ චිත්‍රපටය සඳහාය. 1969 සරසවිය සම්මාන උලෙළේදී හොඳම සහාය නළුවා ලෙස ඔහු ලබා ගත්තේ ලකිසුරු විලියම් ගොපල්ලව මහතාගේ අතින් කොළඹ කාන්තා විදුහලේදීය.

එදා අසෝක සරසවිය උලෙළට සහභාගි වූ අවස්ථාවේ සිදු වූ සිද්ධියක් ‘සරසවිය’ කර්තෘ මණ්ඩලයේ සිටි පැරණිතම සාමාජිකයකු වූ කුමාරදාස වාගීස්ට අපට රස කර කර කී හැටි මට මේ මොහොතේ මතකයට ආවේය.

තමාට සම්මානයක් ලැබීමට තිබෙන බව නොදැන සාමාන්‍ය ඇඳුමකින් හා කකුලේ තිබූ තුවාලයක් නිසා ස්ලිපර්ස් යුවළකින් සැරසී පැමිණි අසෝක දුටු සරසවිය කර්තෘ විමලසිරි මහතා ඔළුවට අත තබා ගත්තේය.

‘අසෝක . . . කෝ . . . කෝට් එක’

‘මොන කෝට් ද මොකද මම ස්ටේජ් එකට යන එකක්යෑ’

‘අසෝකට සම්මානයක් තියෙනවා . . . අග්‍රාණ්ඩුකාරතුමා අතින්’

‘මොනවා . . .’

‘මොනව තමයි, දැන් තියෙන්නේ අසෝකට හරි යන කෝට් එකකුයි සපත්තු දෙකකුයි සොයා ගන්න’

වාගිස්ට අසෝකගේ තරබාරු දේහයට සරිලන කෝට් එකක් සෙවීය. ඔහුගේ නෙත ලේක්හවුස් හී කළමනාකරුවෙකු වූ ඩගලස් ගුණරත්න මහතා හසු විය.

‘අනේ මිස්ටර් ගුණරත්න අපි අමාරුවක වැටුණා. උදව්වක් ඕනෑ’

‘මොකක්ද?’

වාගිස්ට අවශ්‍ය කාරණය කනට කොඳුරා කීවේය. ඔහු බලවත් අකමැත්තෙන් කෝට් එක ගලවා දුන්නේය. වාගීස්ට ඊළඟට අසෝකගේ දෙපාවලට සරිලන සපත්තු යුවළක් සොයා ගත් වාගීස්ට අසෝක සරසා ලකිසුරු අතින් සම්මානය ලබා ගැනීමට යවා ඇත. ප්‍රශ්නය එය නොවේ, සම්මානය ලැබීමෙන් පසුත් ඔහු කෝට් එක හෝ සපත්තු දෙක දෙන බව කියා ඇත්තේ ‘මේව ගැලෙව්වොත් සම්මානයට අගරු වෙනවා. උත්සවේ ඉවර වෙලාම දෙන්නම්’ කියා. උලෙළ අවසන් වී පැවති සාදය ද කෙළවර වී මධ්‍යම රාත්‍රියේ අසෝක තම බරින් නිදහස් වනතුරු අර මහත්වරුන්ට බලා ඉඳීමට සිදුවීමය.

අසෝක දිනක් කඳානේ එස්. පී. එම්. චිත්‍රාගාරයට ගිය දින එහි රූ ගත කිරිමක් දැක ඇත. චිත්‍රපටයේ නම ‘සැකය’. ටෝනි රණසිංහගේ පෙම්වතිය ලෙස රඟපෑමට එදා අලුත් නිළියක් පැමිණ සිටියාය. ඇය දිගු වරලසකට හිමිකම් කීවාය. අසෝකව දුටු ඇය ඔහුගේ තරබාරුකමට සිනාසුණාය. මෙය දුටු අසෝක මෙසේ තමාටම කියා ගත්තේය.

‘එයා හිනා වුණේ මට. මං කවද හරි මේ කෙල්ලවම බඳිනවා’

එය එසේම සිදු වීම නිසා 1965 දෙසැම්බර් 04 වෙනිදා මානෙල් පෙරේරා (මානෙල් ලෝනා එලිසබෙත් පෙරේරා) මානෙල් පොන්නම්පෙරුම වූවාය. ‘දීපශිඛා’ චිත්‍රපටයේ සුළු චරිතයක් රඟපෑ ඇය සැපත සොයා, සැකය, සිහින හතක්, කිංකිණි පාද, සඳ නැඟ එද්දී, ළයට ළය, ලන්ඩන් හාමු, රුහුණු කුමාරි, දෙහදක දුක චිත්‍රපටවල රඟපෑවාය. ඇය නාත්තන්ඩියේ උපන් අතර පොලිස් නිලධාරියෙකුගේ දියණියකි.

අසෝක ‘ලන්ඩන් හාමු’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාමින් ගීතයක් ද සුජාතා අත්තනායක සමඟ ‘ඇගෙ පෙම් මදිරාවේ’ යුග ගීතය ගැයුහ. ගීත ගායනයට හැර ඔහු නවකතා දෙකක් ලියා ඇත. ඔහු නවකතාකරණයට පිවිස ඇත්තේ අහම්බෙනි. දිනක් අසෝක බොරැල්ලට යන්න මරදාන පොලීසිය අසල බස් නැතුම්පොළේ හවස සිටින අතර එහි සිටි අවුරුදු 25 ක පමණ කාන්තාවක් නිසා මේ කතාවට පසුබිම සැකසුණ බව කියා ඇත. ඇය ගණිකාවකි. ඇය ඔහුට කී කතාවක් අනුව තමයි ‘මල් මද බිසව්’ නවකකාව බිහි වූයේ. ඊළඟට ඔහු ‘ඇයි මට මෙහෙම වුණේ’ නවකතාව රචනා කළේය.

තමා ලියූ ‘ඇයි මට මෙහෙම වුණේ නවකතාව ඇසුරෙන් අසෝක තම ප්‍රථම චිත්‍රපට අධ්‍යක්ෂණය සඳහා තිර නාටකය සකස් කර ගත්තේය. 1982 ජූලි 2 වෙනිදා ප්‍රදර්ශනය වූ ‘ප්‍රදීපා’ නම් මේ චිත්‍රපටයේ අශෝකත්, අමරසිරි කලංසූරිය, රත්මලී ගුණසේකර, නිහාල් සිල්වා, ඇල්ප්‍රඩ් එදිරිමාන්න, ශාන්ති ලේඛා, සුජාතා පරමනාදන් ප්‍රධාන චරිත රඟපෑ අතර අසෝකගේ පුතුන් වූ අනුරාධ, සුමේධ, චමින්ද හා දයණිය සුමංගලීද රඟපෑහ.

අසෝකගේ වැඩිමහල් පුතු සුමේධ පොන්නම්පෙරුම නව පරපුරේ ගායන ශිල්පියෙකි. මෑතදී ඔහු ගීත දෙකක් පටිගත කළේය. රංජිත් ඩයස් සංගීතවත් කළ මංජුල ප්‍රභාත් හෙට්ටිආරච්චි රචනා කළ ‘සිහින බිඳී’ ගීතයත්, වර්නන් පෙරේරා රචනා කළ ‘තරු දිලිසුණා’ මේ ගීත දෙකය. සුමේධ තාත්තා ගැන කියන කතාවයි මේ.

‘තාත්තා තද නීතිකාරයෙක්. ආනන්දයේ ඉගෙන ගන්න කාලේ නිහාල්සිංහ, හිටපු යුද හමුදාපති හැමිල්ටන් වනසිංහ, අශෝක ජයවර්ධන ආදීන් එක්ක කැඩෙට් කණ්ඩායමේ ඉඳල නීතියට, අකුරට වැඩ කරන්න පුරුදු වෙලා. ගෙදර හැම වැඩක්ම නූලට තියෙන්න ඕනෑ. කොහේ ගියත් හවස 6 ට ගෙදර ඉන්න ඕනෑ. ගෙදර තිබුණේ හමුදා පාලනයක්. උදේ අවදිව තම තමන්ගේ රෙදි සේදීම, ඇඳන් ලස්සනට අස් කිරීම, වේලාවට පාසල් යාම කාල සටහනක් අනුව කළේ. උදේ අපි නැගිට්ටාම හතර දෙනගේ පෙරෙට්ටුවක් තියෙනවා. වැරැදි කළ අයට එවලේම දඬුවම්. කිසිම සමාවක් නෑ. තාත්තාගේ වේවැල් පහර කාලා අපිට ‘චූ’ ගිය අවස්ථා එමටයි. ඒ නිසා දැන් මමත්, සුමේධ, චමින්ද මල්ලිලා සහ මංජුලා නංගිත් අප් ජීවිතයේ තනිවම වැඩ කර ගන්නවා. මොකද අපේ අම්මා අපි විවාහ වුණාට පස්සේ ලන්ඩන්වල ඥාතියෙක් එක්ක පදිංචි වෙලා ඉන්නේ.

තාත්තාගේ හොඳම යාළුවෙක් මුස්ලිම් ජාතිකයෙක්. සබීර් මාමා අපිටත් ආදරෙයි. තාත්තාගේ ‘ප්‍රදීපා’ චිත්‍රපටය නිෂ්පාදනය කළේ එම්. ඊ. එම්. මහීර් තාත්තාගේ කිට්ටු මිත්‍රයෙක්. අනිත් මිතුරන් වුණේ කිංස්ලි රාජපක්ෂ , විල්ෆ්‍රඩ් සිල්වා, හිටපු අමාත්‍ය ටී. බී. තෙන්නකෝන් මහත්තයගේ පුත්‍රයෙක් වූ විජිත තෙන්නකෝන්, මහරගම පමුණුගම ස්ටෝස් මුදලාලි මහත්තයා. තාත්තාගේ ප්‍රියතම දේශපාලනඥයා දිනේෂ් ගුණවර්ධන මහත්තයා. ඒ මහතා මුලින්ම මහරගම ආසනයට ඉදිරිපත් වූ විට මුල්ම සාකච්ඡාව තිබ්බේ අපේ ගෙදර. තාත්තා තද ශ්‍රී. ල. නි. පාක්ෂිකයෙක්.

මම සිනමාවට සම්බන්ධ වෙන්න යන බව ආරංචි වෙලා (එතකොට රූපවාහිනිය ආවා විතරයි) මෙහෙම කිව්වා.

‘සුමේධ දැන් ඉතින් සිනමාවේ අභාග්‍ය කාලය එන්නේ. උඹ වෙන රැකියාවක් ගැන හිතපං’

තාත්තා මිය ගියේ 1993 මැයි 03 වෙනිදා. තමාගේ මරණයෙන් පසු පැය 24 ඇතුළත සියලු කටයුතු නිම කිරීමට නියම කර තිබුණත් තාත්තා ගෙදර මිය යන විට රටේ ඇඳිරි නීතිය බල පැවැත් වූ නිසාත්, පශ්චාත් මරණ පරීක්ෂණය පමා වීම නිසාත් අපට තාත්තාගේ ඒ ඉල්ලීම ඉටු කරන්න බැරි වීම දුකක්.’ සුමේධ ශෝකයෙන් කීවේය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.