‘කඩවුණු පොරොන්දුවෙන්’ අරඹා ‘නව කඩවුණු පොරොන්දුවෙන්’ නිම කළ විකට රජා

- එඩී ජයමාන්න
ඔක්තෝබර් 17, 2019

මීගමුවේ ජයමාන්නලා නාට්‍ය කලාවට කප්ගහපු කට්ටියකි. ඇලෝෂියස්, ජෝ, විලී, එඩ්වඩ් යන මේ සොහොයුරෝ ළමා කාලයේ මීගමුවේ පෙරියමුල්ලේ තම ගෙවත්තේ පොල් අතු සෙවිලිකර ගත් වේදිකාවක නාට්‍යයක් රඟදැක් වූහ. මේ හතර දෙනාම මීගමුවේ මාරිස්ටෙලා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අතර පියා වූ තෝමස් ජයමාන්න ද එම විද්‍යාලයේම ගුරුවරයකු විය. මේ නාට්‍ය නැරඹීමට ඔවුහු තාත්තාට ද ඇරැයුම් කළහ. පුතුන්ගේ නාට්‍ය බැලීමට විශාල පිරිසක් රැස් වූ අතර එහි සිටි තාත්තාත් අම්මාත් ගල්ගැසී සිටියේ ගෙදර අල්මාරියේ තිබුණ හොඳ ඇඳ ඇතිරිලි, සාරි, රෙදි ආදිය තිර ලෙස ගෙනවිත් එහි එල්ලා දැකීමෙනි. තම පුතුන්ගේ තක්කඩි ක්‍රියා මඳකට අමතක වූයේ බාල පුත් එඩ්වඩ් ‘ගැලන්ට් ජේන්’ නම් ඉංග්‍රීසි නාට්‍යයක විකට නැවියකු ලෙස රඟපෑ අයුරු දැකීමෙනි. දර්ශනය අවසන් වූ පසු කොස් කොළ තොප්පියක් පැලඳ එඩ්වඩ් පිඟානක් ගෙන නාට්‍යය බැලීමට පැමිණි පිරිස වෙත ගියේ සල්ලි එකතු කිරීමටය. පිරිසගෙන් ශත දෙක තුන පිඟානට වැටුණු අතර, පියා ශත දහයක්ම පිඟානට දැම්මේය.

වලව් ජීවිතයට සමච්චල් කිරීම කුඩා කල සිටම එඩ්වඩ්ගේ සිතේ තිබුණ දෙයකි. වරක් මාරිස්ටෙලාවේ විවිධ ප්‍රසංගයකදී ඔහු වලව්කාරයන් සින්දුවකට නඟා විකට ජවනිකාවක් ඉදිරිපත් කළේය.

‘ඇහැලියගොඩ මහ වලව්වේ පුංචි හාමු මම්

අම්මප! ලොකුම හාමු මම්

ලක්ෂ ගණණක් වස්තු තිබුණ මක්කලා ද මම්

බඩට කාලාදෝ නෑ

පිනට දීලා දෝ නෑ

උසාවියට රා ගුදමට

සූදු පොළට පූජා කළා මම්

අර ඉලව්වේ

මේ ඉලව්වේ

පළහිලව්වේ

ලොකුම හාමු මම්’

සැවෝම අත්පොළසන් දුන් අතර වඩාත් වේගවත්ම අත්පොළසන් දුන්නේ වලවකාරයකු වූ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මිගමුව මන්ත්‍රී ඒ. ඊ. රාජපක්ෂ වාසල මුදලිතුමාය. කුඩා කල සිටම ගුරුවරයන් අනුකරණය කරමින් ඔවුනට නම් පටබඳිමින් සිටි එඩ්වඩ් ගැන ගුරුවරුන්ගෙන් පැමිණිලි ගලා එන්නට විය. ඒ හැම විට තාත්තාගෙන් ඔහුට වේවැල් කසාය ලැබිණ. ඔහු ඇලෝසියස් අයියාගෙන් හොඳ හැටි ගුටි කෑවේ මධ්‍යම රාත්‍රියේ ගෙදරට හොරා බයිලා පාටිවලට ගොස් හොරෙන් ගෙදර පැමිණි විටය.

වරක් විලී අයියා සේවය කළ කොළඹ නගර සභාවේ මිතුරන් පිරිසක් ගෙදර පැමිණියේ විශ්‍රම යන නිලධාරියෙකුගේ උත්සවයක් ගැන කතා කර ගැනීමටය. ඔවුන්ගේ කතාව එඩ්වඩ් කන් අයා සැඟ වී ආසා සිටියේය.

‘අයියෙ විලී, ඊයේ මෝදර දී කොල්ලෙක් මරු කොමික් අයිටම් එකක් දුන්නා. මිනිහත් මීගමුව පැත්තෙලු. මිනිහත් ජයමාන්න කෙනෙක්. එඩ්වඩ් වගේ නමක් . . . මිනිහා නම් අපේ වැඩේට මරු. තමුසෙලාගේ නෑයෙක් ද දන්නේ නෑ.’

‘මීගමුවේ . . . කවුද?’ අපේ නෑයෝ නෑ ඔය වගේ නාඩගම් කාරයෝ. මම සෝදිසි කරලා බලන්නම්කෝ’ විලී කීවේ අඩමානයටය.

එඩ්වඩ්ට තරු පෙනුණි. එදින මිතුරන් ගිය පසු විලී අයියාගෙන් ඔහුට ගුටි පූජාවක් ලැබිණ. ගත වූයේ දෙදිනකි. විලී අයියා එඩ්වඩ්ට කතා කළේය.

‘උඹ දන්නවද කොමික්’

‘ඔව්’

‘එහෙනං මට ලියලා දීපං කොමික් ටිකක්’

එඩ්වඩ්ට මරු අවස්ථාවක් ලැබිණ. ඔහු තනිව සිනාසුණේය. ඉස්තරම් කොමික් කෑලි කිහිපයක් ලියා දුන්නේය. විලී අයියා ඉන් එකක් තෝරා ‘හොඳයි, මේක බලාගනිං. සෙනසුරාදා කොළඹ ටවුන්හෝල් එකේ වැඩක් තියෙනවා’ කීය.

මිගමුවෙන් විකට තරුවක් බිහි වූයේ එසේය. එතැන් සිට ප්‍රසිද්ධ වේදිකාවේ කොමික් කිරීමට ඔහුට නිදහස ලැබීය. ඒ කොමික් කෑලි ලියා දුන්නේ ඇලෝ අයියායා. ඇලෝ අයියා නම් පසු කළ මිනර්වා නාට්‍ය තුළින් රටක් හැඳින ගත් නාට්‍ය නිෂ්පාදකයකු, ප්‍රථම සිංහල කතානාද චිත්‍රපටය වූ ‘කඩවුණු පොරොන්දුව’ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා හා කතා රචක බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න හෙවත් බර්නාඩ් ඇලෝසියස් වන්නිආරච්චිය. ඔහු කලා ලෝකය හඳුනන්නේ ‘ඇලෝ අයියා’ නම් ආදර නාමයෙනි.

අපේ කතා නායකයා වන එඩ්වඩ්ගේ නම දොන් වික්ටර් එඩ්වඩ් වන්නිආරච්චිය. ඔහු කලා ලෝකය හඳුනන්නේ ‘එඩී ජයමාන්න’ ලෙසිනි. 1915 පෙබරවාරි 15 වෙනිදා මීගමුවේ පෙරියම්මුල්ලේ හත් දෙනෙකුගෙන් යුත් පවුලක බඩපිස්සා ලෙස උපත ලැබූ ඔහු මීගමුවේ කුරුස්මඩ විද්‍යාලය, ශාන්ත පේදුරු, ශාන්ත මේරි හා මාරිස්ටෙලා විද්‍යාලවලින් අධ්‍යාපනය ලැබීය.

විවිධ ප්‍රසංගවල, මංගල සාදවල ගී ගැයීමත්, විකට ජවනිකා ඉදිරිපත් කිරීමෙන් එඩීට ස්ථිර ආදායමක් නොලැබිණ. කෑගල්ලේ දොස්තර මහතෙකුගේ ගෙදර විකට ජවනිකාවක් කළ එඩීට දොස්තර සාප්පුවේ කළමනාකාර ධුරයක් පිරිනැමිණ. එකල ඔහුගේ මාසික පඩිය රු. 30 කි. මේ බෙහෙත් සාප්පුවේ නිතර ප්‍රිය සාද පැවැත් විය. කෑගල්ලේ ඩොයින් විජේරත්න හා වෝල්ටර් සිල්වා යන දොස්තර මහතුන් ද කෑගල්ලේ පොලිස් සුපරිඩැන්ට් ඔස්මන්ඩ් ද සිල්වා ද මේ ප්‍රිය සාදවලදී හැඳින එඩීගේ සමීප මිතුරන් වූහ. දිනක් ඔස්මන්ඩ් එඩීට මෙසේ කීය.

‘එඩී දවසක අපි දෙන්නාම අපි යන පාරවල ඉහළම තැනට යන්න හිතා ගන්න ඕනෑ. මගේ ආසාව කවදා හෝ ලංකවේ ඉන්ස්පැක්ටර් ජෙනරාල් (පොලිස්පති) වීමයි. එඩීත් ලංකාවේ ඉහළම නළුවා වෙන්න ඕනෑ.’

1933 වසරේ ඔහු කී අනාවැකිය පසු කලෙක සත්‍යයක් විය. ඔස්මන්ඩ් ලංකාවේ පොලිස්පති වූ අතර එඩී ලංකාවේ ජනප්‍රිය නළුවා විය. එඩී ජයමාන්න 1940 කොලොම්බියා ලේබලයේ තැටිවලට අලි ඇල්ලීම, ණය දීම, ඩබ්ල් බෙන්ඩ්, තුවක්කු ලයිසම, සුරෙයියා සහ පොඩි නෝනා, කොණ්ඩේ ඉරණම, අච්චාරු භාෂාව ආදි විකට ජවනිකා ඉදිරිපත් කොට බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ මිනර්වා නාට්‍යවල විකට චරිත රඟපෑවේය. ‘භයානක පොරොන්දුව’ නාට්‍යයේ එඩී රඟපෑවේ ගැහැනු චරිතයකි. එකල ගැහැනු චරිත නිරූපණය කළේ පිරිමින්ය. අවිස්සාවේල්ලේ ශාන්ත මේරි විද්‍යාලයේ වේදිකා ගත වූ මේ නට්‍යයේ ගැහැනු රඟපාන බවට ලැබුණු ආරංචියක් නිසා පූජකතුමන් ඉදිරියේ නිළි වෙස් ගත් එඩීට ඇඳුම් ගලවා පෙන්වන්ට සිදුව ඇත. (මෙහි පළ වන ඇතැම් ඡායාරූප ආතර් යු. අමරසේන විසින් ‘සිංහල සිනමා වංශය’ කෘතියෙන් ගත් ඒවාය). මිනර්වා නාට්‍යය වූ අවතාරය, කඩවුණු පොරොන්දුව, පෙරළෙන ඉරණම, වැරදුණු කුරුමාණම, සැඟවුණු පිළිතුර, උමතු විශ්වාසය, කපටි ආරක්ෂකයා, හදිසි විනිශ්චය, අයිරාංගණී නාට්‍යය (1936 සිට 1946) වල රඟපෑ එඩී 1947 තිරයට පැමිණි ලංකාවේ ප්‍රථම කථානාද චිත්‍රපටය ‘කඩවුණු පොරොන්දුවේ’ මනප්පුවා ලෙස ගී ගයමින් රඟපෑවේය. එතැන් සිට ඉහත කී මිනර්වා නාට්‍ය ඇසුරෙන් නිෂ්පාදනය වූ චිත්‍රපටවලට ඔහු දායක විය.

ඒ චිත්‍රපටවල එඩීත්, ජෙමිනි කාන්තා හා මේබල් බ්ලයිත් සමඟ ගැයූ ‘අපි දෙන්නගෙ ආලේ මෙන්න කුස්සිය මුල්ලේ’, ‘මගේ බඹරේ’, ‘ළපටි රූපෙ ඈගේ’ කඩවුණු පොරොන්දුවේ ගීතත් ‘සුපිනගෙ ආලෙ’, ‘මහ මුහුදේ සුළිය වගේ’, ‘පරණ තාලේ අපේ සීයල ආච්චිලා’ ආදී ‘කපටි ආරක්ෂකයා’ හි ගීතත් ‘දෙව් ලොව දෙයියනේ’, ‘මගේ ආදර ප්‍රීති පැළෑටිය’ ආදී ‘වැරදුණු කුරුමානමේ ගීතත්, නටන්න හිතුනා’, ‘පෙරළෙන ඉරණමේ’ ගීතත්, ‘මගේ වාසනා කාලේ’ නම් ‘සැඟවුණු පිළිතුරේ’ ගීතයත්, ‘කොළොම්පුරේ ශ්‍රියා’ ‘මම මනමාලි ඔබේ’ ‘උමතු විශ්වාසය’ චිත්‍රපටයේ ගීතත්, ‘හෝ මනමාලයා’, ‘පරණ පිනක්’ යන ‘කැළෑහඳේ’ ගීතත්, ‘ප්‍රීති ප්‍රීති අපි දෙන්නා’ යන ‘අයිරාංගණී’ චිත්‍රපටයේ ගීතයත්, ‘සිංහලයා මෝඩයා’ යන ‘මතභේදයේ’ ගීතයත් එඩීගේ චිත්‍රපට ගීත අතර කැපී පෙනෙයි. මේ චිත්‍රපටවල මනප්පු, ජාකොබ්, බබයියා, පාවුළු, ජොකීනු, අන්දු, සාපින්, සෝමපාල, විලියම් යන චරිත ඔහු රඟපෑවේය.

ඉන්පසු එඩී සූරසේන, දෛවයෝගය, සංදේශය, කවට අන්දරේ, නළඟන, චිත්‍රපටවල රඟපෑ විකට චරිතවලින් මිදී ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ ‘සන්දේශය’ චිත්‍රපටයේ කාන්ති ගුණතුංගගේ මාමා ලෙසද ‘දොස්තර’ චිත්‍රපටයේ කාන්තිගේ සැමියා ලෙස ද රඟපෑවේය. ධර්මසේන පතිරාජගේ ‘එයා දැන් ලොකු ළමයෙක්’ චිත්‍රපටයේ මාලිනී ෆොන්සේකාගේ මාමා ලෙස ද, සිරිල් පී. අබේරත්නගේ ‘සුසී’ හි මාලිනී විවාහ කර ගන්නා නාකි මනමාලයා ලෙස ද, කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාගේ ‘දූලීකා’ චිත්‍රපටයේ තරුණ ආදරයකට වෛර කරන මිනීමරුවෙකු ලෙස ද කළ රඟපෑම් කෙසේ අමතක කරම්ද?

මාර්ටින් වික්‍රමසිංහයන්ගෙන් හා සරච්චන්ද්‍රයන්ගෙන් පැසසුම් ලැබූ මුල්ම සිංහල චිත්‍රපට නළුවා එඩී ජයමාන්නය. 1972 ජනවාරි 21 සරසවිය පත්‍රයේ සිංහල සිනමාවේ රජත ජයන්තිය නිමිත්තෙන් මා සාකච්ඡා කොට ලියූ ලිපියක වික්‍රමසිංහයෝ මෙසේ සඳහන් කළෝය.

‘ඇඩී ජයමාන්න ශුර නළුවෙකි. රුක්මණී හොඳම කටහඬක් ඇති නිළියකි. ඔවුන්ගේ ශූරකම්වලින් ප්‍රයෝජනය ගෙන ඊට සරිලන හොඳ කතා රචනයට නොව, කොළඹ නගරයේ නූගත් ජනකාය හිනස්සන කතා රචනයට වෑයම් කළ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න, ඇඩී ජයමාන්න, රුක්මණීගේ ශක්තීන්ගෙන් ප්‍රයෝජන ගන්ට නොසිතීය.’

‘සංස්කෘති’ (1954) ලිපියක් ලියමින් සරච්චන්ද්‍රයන් කියා ඇත්තේ ජයමාන්න නාට්‍යයෙහි ඉහළම සමාජය කෙරෙහි එල්ල කරන ලද එක්තරා උපහාසය වහලක් වූ බවය. විකට ජවනිකා මේ උපහාසයට වහලක් වූ බවත්ය. ඉහළ පෙළේ අය ගත කළ ජීවිතයේ අයථා සිදුවීම් ද අවුල් වියවුල් ද ඉතා හොඳින් ඉස්මතු වී පෙනුණේ මෙහෙකරුවන් (එඩී සහ ජෙමිනි කාන්තා) තුළ ඒ පිළිබඳව ඇතිවුණු හැඟීම් මාර්ගයෙනුත් බවය.

එංගලන්තයේ මහ රැජිනගේ නම්බු නාමයක් ර්‍ණඕඡ් (ර්‍ණටටඪජඥප ධට ර්‍ණපඤඥප ධට ඕපඪබඪඵඩ ඡ්ථනඪපඥ) ලැබූ එකම මුල්ම සිංහල චිත්‍රපට නළුවා ඔහුය. මුල්වරට චිත්‍රපට නළුවකු රඟපැම සඳහා ඉපයූ වැඩිම මුදල එනම් රු, 25,000 ක් ‘කැලෑ හඳ’ චිත්‍රපටය සඳහා ලැබූ නළුවා ද ඔහුය. එය 1953 වසරේ ලැබීම ලොකු මුදලකි. ඒ ඇමරිකන් ඩොලරයක් එකක් රුපියල් හය කාලේය. පැයට සැතපුම් 5 ක් යා හැකි ලංකවේ එකල ලොකු කාර් එකක් වූ ‘බියුක් එයිිටි’ රථයක් රුපියල් 18,000 කට මිල දී ගත් එඩී සම්පූර්ණ යුරෝපීය ඇඳුමින් (ටයි කෝට්) සැරසී මිස සම්භාෂණවලට සහභාගි වූයේ නැත. මේ පුරුද්ද ඔහු මිය යන 80 දශකයේ හැඳල විජය චිත්‍රාගාරයේ සාමාන්‍යාධිකාරී තනතුර දරන කාලයේත් අත් හැරියේ නැත. ඔහු ඉස්තරම්ම පිටරට සිගරට් මෙන්ම විස්කි, ජින්, බ්‍රැන්ඩි පානය කළ අතර තම හිතුවතුන්ට ඒ අයුරින්ම සංග්‍රහ කර ඇත. අක්කර සියයක ඉඩමක් මිලදී ගත් එඩී මිගමුවේ අඟුරුකාරමුල්ලේ පන්සලට යාබදව මිල ද ගත් දෙමහල් පාය නම් කළේ ‘ජය රුක්’ නමිනි. එක්තරා අන්දමක නාස්තිකාරයකු වූ එඩී චතුර ලෙස ඉංග්‍රීසි කතා කළ කළු සුද්දෙකු විය.

මොනවද අයියේ, මේ ඉන්න ටික දවසට ජොලි කරලා ඉඳලා මැරෙනවා මිස’යයි වරක් සරසවිය වෙනුවෙන් ඔහු හමුවීමට ගිය විට මට කීවේ සුපුරුදු සිනමාවේ අප ඇසූ ඔහුටම ආවේණික මනප්පු සිනාව මුවට නංවා ගනිමිනි.

රුක්මණී දේවිය හා විවාහ වී සිටිය ද ඔවුනට දරුඵල නොවීය. රුක්මණී මිය යන තෙක්ම එඩී ඇය සමඟ සිටියාය. ඇය 1978 ඔක්තෝබර් 28 වෙනිදා උදේ 6.30 ට පමණ අනතුරකට ලක් වූයේ එඩී එවකට පදිංචිව සිටි වත්තල හැඳල නිවසට ඇරලවීමෙන් පසුය. රුක්මණී මියගිය දා මුල්වරට එඩීගේ සුපුරුදු සිනාරැල්ල වියැකී ගියේය.

එඩී කී සැණෙකින් අපේ මුවට එන්නේ රුක්මණීගේ නමය. රුක්මණී මිය ගිය දින කිහිපයකට පසු ‘සරසවිය’ පුවත්පත විශේෂ උපහාර කලාපයක් මුද්‍රණය කිරීමට සැලසුම් කළ අවස්ථවේ එහි මැද පටු දෙක සඳහා එඩිගෙන් විශේෂ සාකච්ඡාවක් කරන ලෙස එවකට කර්තෘව සිටි ධර්මදාස බොතේජු මහතා මට උපදෙස් දුන්නේය. එහි එඩී හා රුක්මණීගේ ආදර කතාව කෙටි කතාවක් ලෙස ඔහු අපට විස්තර කළේය.

එක්තර හැන්දෑවක මීගමුවේ පෙරියමුල්ලේ තම නිවසේ සිටි එඩීට වැඩි වැඩක් නොතිබුණ අතර ජයට හැඳ පැළඳගෙන මීගමු වෙරළ පැත්තේ ඇවිදීමට සිතා නිවසින් එළියට බසින විටම ඔහුගේ මිතුරෙකු වූ ස්ටැන්ලි මල්ලවාරච්චි එහි පැමිණියේ බී. ඒ. ඩබ්ලිව්. හමුවන අටියෙනි. එහෙත් ඔහු ගෙදර නොසිටියේය.

‘ස්ටැන්ලි, අපි බීච් එක පැත්තෙ යමුද? රෑ වෙන කොට අයියා මුණ ගැහෙන්නත් පුළුවනි’ එඩී කීවේය.

මේ අතර රුක්මණී තම සොහොයුරියන් සමඟ ගී ගයමින් මුහුදු වෙරළේ සිටි අතර තරුණයන් දෙදෙනෙක් විමසිල්ලෙන් බලා සිටින බව ඔවුන් දුටුව ද එය එතරම්ම තැකීමක් නොකරම ගී ගයන්නට වූහ.

එඩීට නම් එදා මීගමු වෙරළ වෙනදාට වඩා අලංකාර විය. ඔහු හිටි ගමන්ම ගල් ගැසී සිටියේය.

මේ අවස්ථාව මීමන ප්‍රේමතිලක ‘සිළුමිණ’ (30. 10. 1955) පත්‍රයට එඩී ගැන ලියා තිබුණේ මෙසේය.

‘සන්ධ්‍යා සමයක් එළඹියේය. හිරු දෙවියා මීගමු වෙරළ බඩ මුහුදෙහි ගිලෙන්නට පටන් ගති. රත් යවයකට ගිලෙන හිරු දෙස බල බලා මුහුදුබඩ සිටියේ නළුවන් දෙදෙනෙකි. අන්ධකාරය සමඟ ගීත රාවයක් ආවේය. මිහිරි ගීයක් මිහිරි කටහඬක්. එඩී ජයමාන්න නැගිට්ටේය. අනංගයා එබිකම් කළ ඒ මොහෙතෙහි, එඩී ජයමාන්නට හමු වූ සුන්දරිය කවරෙක්ද? ඒ රුක්මණී දේවිය.’

‘මොකද එඩී ගල් ගැහිලා වගේ බලා ඉන්නේ’ ස්ටැන්ලි ඇසීය.

‘ලස්සන කටහඬක් ස්ටැන්ලි. කටහඬටම ඔබින රූපෙ’

‘එඩී, තමා දෙස බලා සිටිනු දුටු රුක්මණී ආඩම්බර ඉඟියක් පාමින් ගීත ගැයීම නවතා යෙහෙළියන් හා කතාවට වැටුණාය. එඩී තුළ ලජ්ජාවක් ඇති වනු දුටු ස්ටැන්ලි නැවත ඔහුගේ පිටට තට්ටු කළේය.

‘කදිමයි නේද? ඇයට තමුසෙ හොඳටම කැමති පාටයි. අඳුන ගන්න කැමතිද?’

‘සත්තකින්ම, තමුසෙ ඇයව අඳුනනවද?’ එඩී ස්ටැන්ලිගේ අත බදා ගත්තේය.

‘ඔව් මම ඇයව අඳුනනවා’ කී ස්ටැන්ලි එඩීව පෙරටු කොට ඇය වෙත ගියේය.

‘හලෝ ඩේසි, මාව අඳුන ගන්න බැරිද?’

‘හෝ . . . මේ ස්ටැන්ලි මල්ලවාරච්චි නේද? මට අඳුනන්ට බැරි.. අපිත් එක්කලා ලූමන් රාජපක්ෂගේ ‘රාජදෝහියා’ නාට්‍යයේ රඟපෑවේ.’

‘අන්න හරි . . . ඩේසිට තාම මතකයි. අපි ටිකක් ඇවිදින්න ආවා. ඩේසි මේ මගේ හොඳම යාළුවෙක්. නම එඩී ජයමාන්න. ගමත් මෙහෙ. එයත් නාට්‍යකාරයෙක්.’ ස්ටැන්ලි විසින් එඩීව හඳුන්වා දුන්නේය.

‘බොහොම සන්තෝෂයි අඳුන ගන්නට ලැබීම’ එඩී රුක්මණීට අත දිගු කළේය.

මේ සිද්ධිය ගැන තම ජීවිත කතාව ලියූ රුක්මණී මෙසේ කියා තිබුණේ මෙසේය.

‘එහෙත් ඔහු මගේ අත සදාකාලිකවම අල්ලා ගනීවි යයි මම එවලේ නොසිතුවෙමි.’

පසු කලෙක ලක්ෂ සංඛ්‍යාත වාරයක් කියැවුණු ලියැවුණු නම් දෙකක් ඇති දෙදෙනකු මුලින්ම හමු වූයේ මේ අන්දමට මුහුදු වෙරළේදීය.

එඩී හා රුක්මණී ප්‍රේමය රහසක් වූහ. තම අයියා වූ බී. ඒ. ඩබ්ලිව්ගේ නාට්‍යවල දර්ශන මාරුවන අවස්ථාවල එක්ස්ට්‍රා ගායිකාවක් ලෙස ඩේසිව හඳුන්වා දීමට දියත් කළ එඩීගේ සැලැස්ම ඵල දැරීය. මේ දෙදෙනාගේ ප්‍රේමයට රුක්මණීගේ දෙමාපියෝ විරුද්ධ වූහ. 1942 දෙසැම්බර් 20 වෙනිදා ‘කඩවුණු පෙරොන්දු’ නාට්‍යය වේදිකා ගතවීමට නියමිතව තිබුණ අතර 1942 දෙසැම්බර් 18 වෙනිදා එඩී සහ රුක්මණී පැන ගිය පුවත ලැව් ගින්නක් සේ පැතිර ගියේය.

1978. 11. 19 දින එඩී සමඟ සරසවිය පුවත්පතට මා කළ සාකච්ඡාවේදී (මුහුදු වෙරළින් මතු වූ ආදර අන්දරය) ප්‍රකාශ කර තිබුණි.

‘අපට රැකවරණය දුන්නේ මගේ මිතුරන්ය. කොළඹට පැමිණි අපට මුලින්ම රැකවරණය දුන්නේ හයිකාරයකු වූ මගේ මිත්‍ර විල්ප්‍රඩ් ගුණසේකරය. (ඔහු චිත්‍රපට නළු පියදාස ගුණසේකරගේ වැඩිමහල් සොහොයුරාය). ඊට පසු කොළඹ නගර සභාවේ ග්‍රෑන්ඩ්පාස් කොට්ඨාශයේ නාගරික මන්ත්‍රී ජේ. ආර්. ජයවර්ධන මහතාගේ වීරකේසරී පුවත්පත් ආයතනය තිබූ තැන පිහිටි එතුමා මැතිනියගේත් නිවසේ රැකවරණයේය. එතුමාගේ උපදෙස් මත අපි එකල ගම්පහ පොලීසියේ ඉන්ස්පැක්ටර් ලයනල් ගුණතිලක මඟින් උසාවියට බාර වුණා. 1943 ජනවාරි 23 වෙනිදා කොළඹ දිස්ත්‍රික් උසාවියේදී ඇෆ්. ආර්. ඩයස් බණ්ඩාරනායක විනිශ්චයකාරකුමා (හිටපු අධිකරණ ඇමති ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතාගේ පියා) ඉදිරියේ මගේත් – රුක්මණී නඩුව විභාග වුණා. ඊ. ජී. වික්‍රමනායක අධිනීතිඥතුමා අප වෙනුවෙන් ද, ඊ. එස්. ජේ. ප්‍රනාන්දු අධිනීතිඥතුමා රුක්මණීගේ පියා වෙනුවෙන් පෙනී සිටියා. එහිදී විනිශ්චයකාරතුමා මගේ වත්කම විමසුවා.

‘ස්වාමීනි මම ගුවන් විදුලියට ගී ගයන අතර, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රචාරක නිලධාරියෙක් හැටියට කටයුතු කරමි. මම යුද්ධය ගැන විකට ජවනිකා ඉදිරිපත් කරමි. කතා පවත්වමි. මට මසකට දෙවරක් රුපියල් 40 බැගින් ගෙවනු ලැබේ. මට ග්‍රැමෆෝන් තැටි 20 ක් තිබේ. එක තැටියකින් මට රුපියල් 80 ක් ලැබේ. මට මීට පෙර නඩුවක් තිබුණේ නැත. මගේ ගීත ගැයීම වෙනුවෙන් එක රාත්‍රියකට රු. 50 බැගින් ගෙවනු ලැබේ. මට පවුලක් නඩත්තු කළ හැකිය. මට කාර් එකක් තිබේ. මා කිසිවෙකුට ණය නැත.’

කොළඹ ආනන්ද විදුහල්පති හා නැෂනල් තියටර්ස්හී අධ්‍යක්ෂ පී. ද ඇස්. කුලරත්න මහතා හා මීගමු පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. ඉසැඩ් සිරිවර්ධන මහතා මගේ චරිතය හොඳ බව නඩුවේදී සාක්ෂි දුන්නා. අපට විවාහය සඳහා අවසර ලැබුණා. 1943 පෙබරවාරි 15 වෙනිදා වූ මගේ 28 වැනි උපන් දිනදා වැලිගම්පිටියේ දේවස්ථානයේ අල්තාරය ඉදිරිපිට දී ඩේසි ඩැනියල්ස් තමා එතෙක් ඇදහූ ක්‍රිස්තියානු ආගම අතහැර කතෝලික ආගම වැළඳ මගේ සහකාරිය ලෙස දිවුරුම් දුන්නා.’

ඒ එඩී ජයමාන්නගේ විවාහයේ තොරතුරුය. තරුණ වියේදී වේදිකාවේත් සිනමාවේත් එඩී හා රුක්මණී පෙම්වතුන් හෝ අඹු සැමියන් නොවූ අතර ‘කවට අන්දරේ’ චිත්‍රපටයේ පමණක් ඔවුන් අන්දරේ හා බිරිඳ ලෙස රඟපෑහ. පසු කලෙක බොහෝ චිත්‍රපටවල ඔවුනට අඹුසැමියන් ලෙස රඟන්නට අවස්ථාව ලැබිණ. 1947 එඩී ලංකවේ ප්‍රථම කථානාද චිත්‍රපටයේ මනප්පු චරිතයෙන් සිනමාවට පිවිස 1982 වසරේ රෝයි ද සිල්වා අධ්‍යක්ෂණ්‍ය කළ ‘නව කඩවුණු පොරොන්දුව ’ වර්ණ චිත්‍රපටයේ ද මනප්පුගේ චරිතයෙන් එඩී තම සිනමා ගමන අවසන් කළේය.

1982 ජූලි 25 දින වසර 67 ක ජීවිත ගමන දුක් නොවිඳි ශාන්ත මරණයක් වැලඳ ගැනීමට එඩී උරුමය ලබා සිටියේය.

ලාල් සෙනරත්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.