සිරිසාර බුලත්විට කාලා බලන්

ඔක්තෝබර් 17, 2019

 

සිරි සාර බුලත් විට කාල බලන්
හොඳ නංගී වරෙන්,
පොඩි මල්ලී වරෙන්
කට සුවඳ කරයි,
දත් පණුවෝ නොකයි
සිරි සාර බුලත් විට කාලා බලන්

එක් දහස් නමසිය හැටේ අග භාගය තුළ රත්තරන් නූලෙන් මෝස්තර දැමූ කළුපාට ජැකට් ඇදගෙන, පාට පාට බුලත් ගොටු දැමූ කුඩා රාක්කයක් වැනි පෙට්ටියක් බෙල්ලේ එල්ලාගෙන බුලත් විට විකුණමින් පාරේ යන 'සාර බුලත් විට' කාරයන් හමුවීම ඉතාමත් සුලබය. අද එවන් ⁣වෙළඳුන් සමාජයෙන් සම්පූර්ණයෙන්ම අතුගා දමා ඇත. අන් අතකට අද තිබෙන ආර්ථීකය හමුවේ සාර බුලත් විට විකුණා ජීවත් වන්නේ කෙසේද? එහෙත් එකල තිබූ ආර්ථීකය මත මෙවන් සුළු ප්‍රමාණීක වෙළඳුන්ට ජීවිත ගැටගහා ගැන්මට පුළුවන.

බමුණුසිංහ ආරච්චිගේ ගුණාහාමි ' සාරයියා' වන්නේ ඔහු මේ සාරවිට රැකියාව කරන නිසාය. ඔහු ගේ කුඩා නිවස තිබුණේ මුඩුක්කු පේළියකය. ඔහු එහී විසුවේ ඔහුට ඥාාති වන කුඩා දරුවෙක් සමඟය. ඔවුන්ට ඥාතියෙකුට, හිතවෙතකුට හා අසල්වැසියෙකුට සිටිනුයේ අල්ලපු ගෙදර සිටින මැගී නැන්දා සහ ඇගෙ දියණිය නේරන්ජනා පමණි. සාරයියා උදයට සාරවිට විකුණන්න යන විට, මේ කුඩා දරුවාව නවත්වා තබා යන්නේද මැගී අක්කාගේ නිවසේය.

තිස්ස ලියනසූරිය තම 'සාරවිට' චිත්‍රප⁣ටය හරහා ඔහුගේ ප්‍රධාන චරිතය වූ 'සාරයියා'ව, බෝධිසත්වයෙක් කර තිබුණි. සාරයියා යනු ඉතාමත් අහිංසක, ගුණ ගරුක, මෝඩපහේ එමෙන්ම බෞද්ධාගමට ළැදී, සියලු දුසරිතයෙන් සම්පූර්ණයෙන්ම මිදුනු මිනිසෙක් කර තිබුණි. එවන් මිනිසුන් ලෝකයේ ජීවත් වෙනවාදැයි සෙවීම නම් වෙනමම ප්‍රශ්නයකි.

මාකස් නම් හිරේ සිට පැමිණි දාමරික චරිතය තිස්ස ලියනසූරිය විසින් තම චිත්‍රපටය වූ 'සාරවිට'ට ගෙන ආවේද, හොඳ සහ නරක අතර තිබෙන පරතරය පෙන්වීමට විය හැකිය.

මාකස් යනු සාරයියාගේ විරුද්ධ පැත්තය. එනම් ,ඔහු දාමරීක, කසිප්පු විකුණන, සියලු දුසරිතයෙන් අනූන, පතාල චරිතයක් විය. මාකස්, සාරයියා සමඟ ගැටෙන්නේ, ⁣නිතරම තම කසිප්පු විකුණන කඩේට පොලිසියෙන් පනින හෙයින් කසිප්පු පිරූ බෝතල් සාරයියාගේ නිවසේ හංගන්නට යන්නට හදන විට සාරයියා විරුද්ධ වූ නිසාය. ඒ කිට්ටු දිනයකදීම පොලීසිය පැමිණ මාකස්ගේ කඩේ 'රේඩ්' කර කසිප්පු බෝතල් සමඟ මාකස්ගේ සේවකයන් පොලීසියට කුදලා ගෙන ගිය සිද්ධිය පසුපස සිටිය යුත්තේ සාරයියා යැයි මාකස් සැක කළ නිසා මාකස් සහ ඔහුගේ ගෝලබාලයන් සාරයියාට අඩම්තේට්ටම් කරන්නට විය. එයින් නොනැවතුණු ඔවුන් සාරයියා පන මෙන් ආදරය කරන ඔහුගේ ඥාති දරුවාව, සාරයියා නැති අවස්ථාවක ,අනාථ නිවාසයකට යැවීමට වැඩ සැලැස්වීය.

එයින් සාරයියාට රිදවන්නට උත්සහ ගත්තද , සිදුවූයේ හොඳකි. ළමයාට කරුණාවන්ත පාලිකාවන් සිටින හොද පරිසරයකට යොමුවීමය. සාරයියාද දරුවාව එතනම තබන්නට අදහස් කළේ, එම පාලිකාවන් ඔවුනට නිසි අධ්‍යාපනය, ඇඳුම් පැලදුම්, පිළිවෙළකට ජීවත් වීම පමණක් නොව, හරවත් ගීත උගන්වමින් විනෝදාස්වාදයද ලබා දෙන අයුරු ඔහුගේ දෑසටම පෙනුනු නිසාය.

මේ සිංහල අපගෙ රටයි
අප ඉපදෙන,මැරෙන රටයි
අප හද පන ගැහෙන රටයි
මුළු ලොව ඒ රටට යටයි

තිස්ස ලියනසූරිය සාරයියාගේ කථාව කීමට, චරිත ගනනාවක් එකතු කර ගනී.දඩබ්බර මැරවරයා වූ මාකස්ට අමතරව, දූෂිත ව්‍යාපාර ගණනාවක් මෙහෙය වන, ජැකී, මෙන්ම, මැගී, නේරන්ජනා, පාවුලු උන්නැහෙ, දේවිකා,හා ඉමාරා ගනේගොඩ ඒ අතරේ විය.

මේ සියල්ලම එකට ඝට්ටන්නට තිස්ස ලියනසූරිය උපයෝගි කර ගත්තේ පිටරට සිට උපාධි ගෙන පැමිණුනු ඉමාරා ගණේගොඩ චරිතයයි. ඉමාරා යනු අනාථ නිවාසය අයිති කාරියගේ දියණියයි. අනාථ නිවාසය ඉමාරාගේ මව පවත්වාගෙන ගියේ පිනක් වශයෙනි. එලෙසම ඇය එය කළේ ඉතාමත් ශ්‍රද්ධාවයෙන්ය. අනාථ නිවාසය බලා ගත්තේ ඉතාමත් ගුණවත් තරුණියක් වූ දේවිකාය. එහෙත් ඉමාරාට තිබුනේ වෙන වෙන ප්ලෑන්ස්ය. ඇයට අවශ්‍ය වූයේ ජනප්‍රියත්වයයි. ඇය දූෂිත මාර්ගයන් වලින් මුදල් හොයන ධනවතෙකු වූ ජැකී සමඟ එකතු වන්නේ ඒ නිසාය. ජැකී ඇයව ගම්සභා ඡන්දයට තරඟ කිරීමට යොමු කරයි. බටහිරව ජීවත් වන ඇය, බොරු ආරුඪ කර ගත් දේශියත්වයකින් ඡන්ද ප්‍රචාරණයට එකතුවේ. ඇය වෙනුවෙන් ඡන්ද ප්‍රචාරනයන්ට ඇය සමඟ ගෙයින් ගෙට යන්නේ ජැකීගේ මැරයෙකු වූ මාකස් හා ඔහුගේ සහචරයන්ය.

තිස්ස ලියනසූරිය චිත්‍රපටය වෙනස් මඟකට යොමු කරවන්නේ සාරයියාට ජිම්කානා ලොතරැයියක මුල් දිනුමක් හිමි කර දීමෙනි. 'ස්විප් ටිකට්', 'සත පනහ', වැනි ලොතරැයි ටිකට් ඇදුණු චිත්‍රපට මතකයට නංවමින් 'සාරවිට' චිත්‍රපටයද එ⁣ම සිදුවීම සිදුවුණිද, එය යෙදවුණේ නම් යහපත් ක්‍රියාවන්ටය.

 

ලස්ස ගනන් වස්තු ලැබී
ඉස්සර පින පෑදිලා
රත්තරනින් සෑදිලා
පිත්තල මල් පීදිලා
සාරයි සාරයියා, සාරයි සාරයියා.

ජිම් කානා දිනුමෙන් උද්දාමනයට පත් වූයේ සාරයියාට වඩා, ඔහුට හිතවත් පැල්පත් වාසින්ය. එය හරියට ඔවුන්ට ඇදුනු දිනුමක් මෙනි.

ගත් ණය සේරම මට පොලිය
සමඟ ලැබෙනවා
මත්තට ලෙඩට දුකට
පිහිටක් දැන් තියෙනවා
දැතයි කනයි,කරයි
රන් රිදියෙන් ඔපවෙලා
මූණේ සිනා සුදින්
කිරියි පැණියි ඉතිරිලා

ජිම්කානා දිනුමේ මුදල් වලින් සාරයියා නිවසක් ගත් බවක් පෙනුණු අතර, එතෙක් කරගෙන ආ සාරබුලත් විට විකුණන රැකියාවද නතර කරන්නට විය.

තිස්ස ලියනසූරිය එතැනින් පසු චිත්‍රපටය වෙනත් පැත්තකට හැරවීය. ඒ ඉමාරා හා ජැකී ඇය තරඟ කරන ගම්සභා ඡන්දයෙන් දිනවන්නට කරන උත්සහයයි. ඒ වන විට ඇයගේ මවද මිය ගොස් තිබුණි. ඇය ඡන්ද මීටින් වලදී උලුප්පා පෙන්වූයේ ඇය⁣ ගේ මව සතු වූ, එහෙත් මවගේ මිය යෑමෙන් තමා අතට පත්වූ ළමා අනාථ නිවසයි. එහෙත් ඇය ඡන්ද වැඩ සඳහා ඇසුරු කළේ දූෂිත වැඩ කරන මිනිසුන්වය. ඡන්ද ප්‍රතිපලයේදී, ඇය ඇපත් නැතිව පැරදුණි.

මේ අතර, තිස්ස ලියනසූරිය, චිත්‍රපටය 'ත්‍රිල් කරන්නටදෝ , සාරයියා ළඟ තිබු 'ගලක්' ඈදා ගත්තේය. සාරබුලත් විට විකුණන සමයේ කොහේදෝ සිට හමුවු එම ගල සාරයියා යොදවා ගත්තේ තමා නාන විට ඇගේ කුණු ඇතිල්ලීමටය. එහෙත් පාවුලු උන්නැහේ කීවේ ඒ ගල දිශ්නෙ දෙන බවත්, ඇතැම් විට එය හොද මැණිකක් විය හැකි බවකි. පාවුලු උන්නැහේගේ පෙරැත්තයට ඔවුන් මැණික විකිනීමට මුස්ලිම් වෙළෙන්දෙක් ළඟට ගියහ. වෙළෙන්දා මෙම ගල ඉතාමත් වටිනා මැණිකක් බව දැන ගෙන, ඔවුන්ට එය නො අගවා මෙය නොවටින එකක් බවත්,නිකම්ම ගලක් බවත්, අවශ්‍ය නම් රුපියල් විසිපහක් දිය හැකි බවක් කීය. වෙළෙන්දාගේ කපටි කමට, සාරයියා සහ පාවුලු උන්නැහේ අහුවුනේ නැත. ඔවුන් එම ගල වෙළෙන්දාට නොදී නැවත අරගත්තෝය. එහෙත් මෙම සිදුවීම ජැකී දුටුවේය. එලෙසම මෙය ඉතාමත් වටිනා මැණික් ගලක් බවත් ඔහු දැන ගති.

ගම්සභා ඡන්දයෙන් ඇපත් නැතිව පැරදුනු ඉමාරාට එම පරාජය දරා ගැන්මට බැරි විය. ඇය අනාථ නිවාසය වසා දමන්නට තීරණය කල අතර, එම මොහොතේම දේවිකාට ළමයි ටිකත් රැගෙන යන්නට බල කළාය. සාරයියාද මෙයට මැදිහත් වූවද, ඉමාරා තම වචනය වෙනස් කළේ නැත. එහෙයින් සාරයියා දේවිකාට කීවේ ළමයි සමගින් තමා ජිම් කානා දිනුමෙන් ලැබුනු මුදලින් ගත් නිවසට යන්නට කියාය.

මේ අතර ජැකී සාරයියා හා පාවුලු පසු පස පැන්නුවේ ගල ගැනීමටය. ඒ වන විට මැගි අක්කාගේ දියණිය නේරංජනා එම ගල සාරයියාගෙන් ඉල්ලා ගත්තේ තමා නාන විට ඇඟේ කුණු අතුල්ලා ගැන්මට පාවිච්චි කිරීමටය.

තිස්ස ලියනසූරියට 'සාරවිට' චිත්‍රපටය තරමක් ත්‍රාසජනක හෝ ගැටුම් සහිත අවසානයකින් නිම කිරීමට අවශ්‍ය කර තිබූ නිසා, මෙම ගල ගැන මාකස් දැනගත් බවක් ඇගවීය. එයින් ගැටුම ඇතිවූයේ ජැකී සහ මාකස් අතෙර්ය. ජැකී නේරංජනාගෙන් ගල උදුරාගත් අතර, මාකස් එය ජැකීගෙන් උදුරා ගතී. නමුත් ජැකී නිකං හිටියේද නැත. ඔහු තම සාක්කුවෙ තිබු කුඩා තුවක්කුව ගෙන මාකස්ට වෙඩි තැබීය. මාකස් ජීවිතක්ෂයට පත්විය. පොලීසිය පැමිණ ජැකීව කුදලාගෙන ගියහ.

සාරයියා තම නිවස අනාථ නිවාසයටම පවරා දුනී. ඔහු එහී ඔප්පු තිරප්පු දේවිකාට භාර දුන් අතර, ජිම් කානා එකෙන් ලැබුණු ඉතිරි මුදල්ද දේවිකාටම දුන්නේ අනාථ නිවාසය දිගටම කරගෙන යන ලෙස ඉල්ලමිනි.

අවසානයේදී සාරයියා නැවතත් බුලත් තට්ටුව ගෙන පරන පුරුදු රැකියාව වූ සාරබුලත් විට විකිණීමට යළි පාරට බැස්සේය.

කරඳමුංගු, කරාබුනැටි, සාදික්කා වසා වාසි, ඉඟුරු පියලි කොත්තමල්ලි චුන්න බූග නාග වල්ලි

මෙවා එක පදමට ගෙන කටට රහට

ජෝඅබේවික්‍රම 'සාරයියා' ලෙස විශිෂ්ට චරිත නිරූපනයක යෙදුණි. වොලි නානයක්කාර මාකස් ලෙසත්, පියදාස ගුණසේකර ජැකී ලෙසත් කරට කර රංගනයක් ඉදිරිපත් කළහ. තිස්ස ලියනසූරිය තෝරා ගත් හැම නළු නිළියෙක්ම තමන්ගේ භූමිකාවන් අතී දක්ෂ ලෙස ඉදිරිපත් ක⁣ලහ. මැගී අක්කා වූ ජෙසිකා වික්‍රමසිංහ, දේවිකා වු ශෝබනී අමරසිංහ, ඉමාරා ලෙස රඟපෑ ජීවරාණි කුරුකුලසූරිය, මෙන්ම පාවුලු උන්නැහේ වූ තිලකසිරි ප්‍රනාන්දුද ⁣එම දක්ෂ නළු නිළි ගොන්නට එකතුය. බන්ධු මුණසිංහ, සුනිලා ජයන්තීද කැපී පෙනෙන රංගනයක යෙදුණි.

⁣තිරනාටකය හා දෙබස් කේ.ඒ.ඩබ්ලියු පෙරේරාගෙනි. සංගීතය හා ගී තනු මෙහෙයවූයේ ඩබ්ලියු ඩී අමරදේවය. ජේ.ඒ මිල්ටන් පෙරේරා ගේ 'සාර බුලත් විට' ගීතය අද්විතීය විය. එමෙන්ම නන්දා මාලනී ගැයූ 'මේ සිංහල අපගෙ රටයි' සමිමානනීය ගීතයක් විය.

1966 සරසවිය සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය වූයේ 'සාරවිටය'. එලෙසම තිස්ස ලියනසූරිය හොඳම අධ්‍යක්ෂක, ජෝ අබේවික්‍රම හොඳම නළුවා හා නන්දා මාලනී හොඳම ගායිකාව ලෙස එම වසරේ සරසවිය සමිමාන හිමි කරගත්තේද, 'සාරවිට' චිත්‍රපටය වෙනුවෙනි.

සෙරන්ඩීබ් චිත්‍රපට සමාගම වෙනුවෙන්, ශේෂා පලිහක්කාර, ' සාරවිට' නිශ්පාදනය කළ අතර, එය තිරගත කිරීම ආරම්භ කළේ 1965 ජුනි 25වෙනිදාය.

පන්සල පල්ලිය කෝවිල හන්දිය
බස් නැවතුම් පොළේ
පෝලිමෙ හැම තැන
කාගෙත් හොඳ හිත සමඟ
බෙදාගෙන කාලා බලන්
සිරි සාර බුලත් විට කාලා බලන්

 

(තවත් චිත්‍රපටයක් ලබන සතියේ)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.