සිනමාවේ EAP ලකුණ ඊ. ඒ. පී. එදිරිසිංහ

ඔක්තෝබර් 24, 2019

හතළිහ දශකයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ එකම පන්තියේ ඉගෙන ගත් මිතුරන් දෙදෙනෙක් නිතර කුමන හෝ කරුණකට වාද කරමින්, රණ්ඩු වෙමින් සිටිනු දකින පන්තියේ සිටි අනික් ශිෂ්‍යයන් බලා සිටියේ කුතුහලයකිනි. මිත්‍රයන් දෙදෙනාගේ වාද කිරීමට මුල් වූයේ සිනමාව නිසා කව්බෝයි චිත්‍රපට ගැන, රාජ් කපූර්ලා, දිලිප් කුමාර්ලා, ග්‍රෙගරි පෙක්ලා ගැන, ජෝන් වේන්ලා ආදීන් ගැන අනිත් සිසුන්ට දැනගන්නට ලැබුණි. තර්ක විතර්ක කෙසේ වෙතත් ඒවා මේ අඹ යහළුවන්ගේ මිත්‍රත්වයට අඹ මල් රේණුවකවත් හානියක් නොවීය. මේ වාද විවාද මැද වුව ද ඔවුහු නිව් ඔලිම්පියා ඇතුළු සිනමාහල්වල තිරගත වූ චිත්‍රපට සතියකට දෙක තුනක්වත් බැලීමට ගියහ.

කවුද? මේ අපූරු මිතුරන් දෙදෙනා?

පසු කලෙක සිනමාවේ ප්‍රබල චරිත දෙකක් වූ චිත්‍රපට නිෂ්පාදකවරයකු වූ ඊ. ඒ. පී. එදිරිසිංහ හෙවත් ප්‍රේමලාල් එදිරිසිංහ හා වාර්තා පිට වාර්තා තැබූ චිත්‍රපට අධ්‍යක්ෂණය කළ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා හෙවත් කොත්දුල් ආරච්චිගේ විල්සන් පෙරේරාය. මේ දෙදෙනාම ඊ. ඒ. පී. චිත්‍රපට සමාගම වෙනුවෙන් වාණිජ මට්ටමින් වාර්තා තැබූ චිත්‍රපට කිහිපයක් සිනමාවට දායාද කළහ.

එදා ආනන්දයේ විවේක කාලයේ ප්‍රේමලාල් හා විල්සන් කතා කළේ සිනමාව ගැනය. විල්සන්ට මුඛරිකම හා වාග් විලාසය හොඳ හැටි පිහිටා තිබුණි. තමා මිතුරා සමඟ නොබැලූ චිත්‍රපටයක කතාව තළු මර මරා අතින් ද කොටස් එකතු කර කියන විට ප්‍රේමලාල් ඩෙස්ක් එක මත අත තබා ඒ මත මුහුණ තබා අසා සිටියේ අන්දෝ අයියාගෙන් බේගල් අසන නියාවෙනි. ප්‍රේමලාල් ඒ කාලයේ සිටම චිත්‍රපට නැරඹීමට විල්සන් සමඟ නොගියේ තාත්තාගේ ව්‍යාපාරික කටයුතුවලට තිබූ ඇල්ම නිසාය. ප්‍රේමලාල්ගේ පියා වූ සාමෙල් එදිරිසිංහ ශූර ව්‍යාපරිකයකුව සිටියේය. ගහේ කටු උල් කිරීම අවශ්‍ය නොවේ. එබැවින් ප්‍රේමලාල් චිත්‍රපට නැරඹීමට වඩා ව්‍යාපාර කටයුතුවලින් උපරිම තෘප්තිමත් විය.

වසර 1947 ය. ආමර් වීදියේ කිංස්ලි සිනමාහලේ ප්‍රථම සිංහල කථානාද චිත්‍රපටය තිරගත වන බව පුවත්පත්වලින් දුටු ප්‍රේමලාල්, විල්සන් හමු වී ඒ ගැන කතා කළේය. මේ දෙදෙනාම එවකට 15 හැවිරිදි ළමුන්ය.

‘විල්සන්, ‘කඩවුණු පොරොන්දුව’ කියලා සිංහල පික්චර් එකක් ළඟදි එනවා. අපි දෙන්නා යමු. පළමුවැනි දවසේ නළු නිළියොත් එනවලු.’

කල්තියා සිනමා ශාලාවට ගොස් බැල්කනි ටිකට් ලබා ගැනීමට ප්‍රේමලාල්ට ආර්ථික ශක්තිය තිබුණි. දෙදෙනාටම ඔහු ටිකට් ගෙන නළු නිළියන් එනතෙක් අවට සිටි මහා සෙනඟ තෙරපෙන හැටි බලා සිටි ප්‍රේමලාල් මිතුරාගේ කනට කොඳුරා මෙසේ කීවේය.

‘මට හිතෙනවා විල්සන් පික්චර් හෝල් එකක් කවද හරි හදන්න. එතකෙට අපිට හැමදාම වුණත් පික්චර් බලන්න පුළුවන්.’

‘හොඳ අදහස. පික්චර් හෝල් එකක් හදල විතරක් මදි ප්‍රේමලාල්, අපි දෙන්නා පික්චර් එකකුත් හදමු’ විල්සන් කීහ.

කතාව අතර දැවැන්ත කාර් එකක් සිනමාහල අසල නතර විය. පින්තූරකාරයෝ කාර් එක අසලට දිව ගියහ. විදුලි බුබුළු දැල්විණ. එඩී ජයමාන්න, රුක්මණී දේවි, බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න තේජාන්විතව ශාලාවට ඇතුළු වූහ. ප්‍රධාන අමුත්තා එනතුරු සිනමාහලේ සිටි පිරිසට මේ නළු නිළියෝ එක් වූහ. මේ ඓතිහාසික සිංහල චිත්‍රපටය බලා එදා සිංහල නළු නිළියන්ට නරඹන්නන් දැක් වූ ප්‍රතිචාර දැකගෙන සෙනඟ අතරේ තෙරපෙමින් මිතුරෝ දෙදෙනාම එළියට ඒමට විනාඩි 20 ක් පමණ ගත වී ඇත.

‘අයිසේ, විල්සන් මම පිච්චර් හෝල් එකක් හදන්න ආසාව තිබුණට ඒක වෙනස් කරලා පික්චර් එකක් කරන්න හිතුණා. කවද හරි අපි දෙන්නා එකතු වෙලා පික්චර් එකක් හදමු.’

‘ඔව් හදමු. මම අද හිතුව කවදා හරි මම චිත්‍රපටයක් හදලා රුක්මණීවයි, එඩීවයි අධ්‍යක්ෂණය කරනවා, කරනවාමයි. ඒකට ඉස්සර මම කතා ලියන්නයි සිනමාවේ කාර්මික පැත්තයි ඉගෙන ගන්නවා’ විල්සන් තරයේම කියා සිටියේය.

‘එතකොට මම නිෂ්පාදකයා’ ප්‍රේමලාල්, විල්සන්ගේ කරට අත දා ගත්තේය.

මේ සියලු ප්‍රාර්ථනා, සිහින බලාපොරොත්තු වසර පහළොවකට පසු ඉටු වීම දෛවයේ හාස්කමකි.

කාලය ගෙවි ගියේය. විල්සන් තිර කතා රචකයකු දෙබස් රචකයකු ලෙස ලෙස්ටර්ගේ රේඛාව හා සන්දේශය චිත්‍රපටවලට එක් විය. ප්‍රේමලාල් ‘එදිරිසිංහ කම්බයින් නිෂ්පාදන සමාගම’ පිහිටුවා බෞද්ධ චිත්‍රපටයක් තැනීමේ ආශාවෙන් සිටියේය. ඒ 1957 වසරය. භාරතයේ නිපදවා තිබූ චේතන් ආනන්ද් අධ්‍යක්ෂණය කළ ‘අංජලී’ චිත්‍රපටය සිංහල දෙබස් කවා ලංකාවේ ප්‍රදර්ශනය කිරීමට ප්‍රේමලාල්ට සිත් විය. ඉන්දියාවේ දුටු අංජලී චිත්‍රපටයේ නිම්මි, චේතන් ආනන්ද්, සෂ්රූ, කුම් කුම්, ශිලා රමණී රඟපෑහ. චිත්‍රපටයේ අයිතිය ලබා ගත් ප්‍රේමලාල්, සිරිල් සුරේන්ද්‍ර වෙඩික්කාර ලවා සිංහල දෙබස් කැවීම අධ්‍යක්ෂණය කළ අතර පී. වැලකල, රෝහිණී සුදසිංහ, වික්ටර් මිගෙල්, ධර්ම ශ්‍රී ජේ. දහනායක, ජේ. එච්. ජයවර්ධන, ප්‍රේමනාත් මොරායස් ඇතුළු පිරිසක් තෝරා ගත්හ. රත්නසිරි එරත්න සිංහල දෙබස් ලියූ අතර කරුණාරත්න අබේසේකර හින්දි ගීතවලට සිංහල පදමාලාව ලිවීය. සිංහල පිටපතේ සංගීතය මෙහෙය වූයේ ඇස්. ඇස්. වේදාය. ලතා, මොහිදීන් බෙග්, පුෂ්පරාණි ආරියරත්න ගීත ගැයුහ. එහි එන ලතා, බෙග් හා පුෂ්පරාණි සමඟ පිරිස ගැයූ ‘දීපයෙන් දීපය දැල් වූයේ’, බෙග් ගැයූ ‘හරි ජාති නැටුම් නේ මේවා’ ගීත දෙක ජනප්‍රිය වී ඇත. මේ චිත්‍රපටය 1958 අප්‍රේල් 25 සිට තිරගත වී ඇත.

‘අංජලී’ චිත්‍රපටයේ අයිතිය ලබා ගැනීමට ප්‍රේමලාල් ගොස් ලැබූ අත්දැකීමක් විජිතා ගුණරත්න විසින් ලියූ ඊ. ඒ. පී. 50 සිනමාභිමානය’ කෘතියේ මෙසේ විස්තර වෙයි.

‘නුහුරු, නුපුරුදු බොම්බායට ගොස් ඉන්දියාවේ චිත්‍රපට කර්මාන්තයේ කෙනකු හමුවීම සෙල්ලමක් නොවේ. ඒ හමුවීම්වලට මඟ පාදා ගැනීම නොව ඔවුන් දැක බලා ගැනීම ද ලොතරැයියක් දිනා ගන්නවා වැනි කාර්යයකි. එහෙත් ප්‍රේමලාල් ද ලෙහෙසියෙන් අත අරින ජාතියේ කෙනෙකු නොවීය. ඔහු චේතන් ආනන්ද් හමු වුණා පමණක් නොව අංජලී සිංහල දෙබස් කැවීමට එකඟ කරවා ගැනීමට ද සමත් විය. එහෙත් ඔහු චේතන් නිසා මුළු ජීවිතයටම වටිනා පාඩමක් උගත්තේය.

එනම් නිසි වේලාවට වැඩ කිරීමය. එය සිදු වූයේ මෙහෙමයි. ඔහු චේතන් හමුවීමට වේලාවක් ලබා ගත්තේ බොහෝ වේලාවක් චේතන් සමඟ කේවල් කිරීමෙනි.

අන්තිමට චේතන්ට යකා නැග්ගේය.

‘ඉලන්දාරිය ඉගෙන ගන්නවා, අපට මෙහෙම කේවල්කර කර ඉන්න ගියොත් කාලය ලක්ෂ ගණනක් පාඩුයි. මොකද කාලය මට වටිනවා’.

චේතන් පැවැසුවේය. අනතුරුව මේ ගත වුණු කාලය ඇතුළත තමනට තිබුණ රාජකාරි ඔහු විග්‍රහ කළේය. ප්‍රේමලාල් ‘අංජලී’ මිලයට ගත්ත ද චේතන් දුන් පාඩම මිය යනතුරුම හිස් මුදුනින් තබා ගත්තේය. එකක් කේවල් නොකිරීමය. දෙවැන්න කාලයේ ඇති වටිනාකමය.’

ප්‍රේමලාල් ඊළඟට සිංහල චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට සිතා තම පාසල් මිත්‍රයා විල්සන්ට (කේ. ඒ. ඩබ්ලිව්.) කතාව ලිවීමට පැවරීය. අධ්‍යක්ෂණය පැවරුවේ ‘සැඩ සුළං’ චිත්‍රපටයෙන් ජනප්‍රියව සිටි ටී. සෝමසේකරන්ටය. චිත්‍රපටයේ නම ‘පිරිමියෙක් නිසා’ ය. (සෝමසේකරන් තෝරා ගත් නළුවාට ප්‍රේමලාල් විරුද්ධ වූ අතර කතාව හා දෙබස් ලියූ කේ. ඒ. ඩබ්ලිව්. ද එයට අකමැති විය). ඔහුගේ යෝජනාව වූයේ ‘සන්දේශය’ රඟපෑ ගාමිණි ෆොන්සේකාවය. ප්‍රේමලාල්ට ගාමිණි ඇල්ලුුවේය. සෝමසේකරන් ගාමිණිට යස පාඩමක් ඉගැන්වීමට සිතා එදා නවක නළුවෙකුව සිටි සටන් නළුවකු ලවා චිත්‍රපටයේ දර්ශනයකදී හොඳ හැටි පහර දුන්නේය. ගාමිණි මේ දර්ශනයේදී ඇත්තටම පහර කෑවේය.

‘ගාමිණි ඒ සීන් එක අපිට හෙටත් ගන්න වෙනවා’ සෝමසේකරන් කීය.

මෙයට එරෙහි වූ ගාමිණි ප්‍රේමලාල්ට මේ බව කීවේය.

‘හොඳයි ගාමිණි සීන් එක කරන්න. අර මෑන් ගැහැව්වම ගාමිණි හැරිලා මිනිහා නොකවුට් වෙන්නම ගහන්න’.

ගාමිණි, ප්‍රේමලාල්ගේ උපදෙස හිතේ තියගෙන දර්ශන තලයට ආවේය. සටන් නළුවා ඇත්තටම පහර දුන්නේය. ලංකා චිත්‍රාගාරයේ කාර්මික ශිල්පීන් බලා සිටියේ කුතුහලයෙනි. ඔහු යළිත් ගාමිණිට පහරක් එල්ල කරනවිටම ගාමිණි එල්ල කළ හොඳ බොක්සිං පහරකින් සටන් නළුළුා කපා හෙළූ කෙසෙල් කඳක් සේ බිම පතිත වී විනාඩි ගණනක් සිටියේය. කාය ශූරයකු වූ ගාමිණිගෙන් එවැනි පහරක් කෑ නළුවා මුහුණින් කටින් ලේ දමා වචන ටිකක් මිමිණුවේය.

‘අරය තමයි කිව්වේ ඔය විදිහට ගහන්න කියලා.’ සටන් නළුවා එහි පැමිණි තවත් නළුවෙකුගේ නම කියා ඇත. ඔහු ප්‍රධාන නිළියට කෙළ හලමින් සිටි නළුවෙකි.

මෙය ඇසූ ප්‍රේමලාල්ට සිනා ගියේය. ප්‍රේමලාල් එදිරිසිංහගේ දෛවය වෙනස් කළ සිද්ධිය වන්නේ ද ‘පිරිමියෙක් නිසා’ රූගත වන අතරවාරයේය. ඒ අනාගත බිරිය මුල්වරට හමුවීමය. චිත්‍රපටයේ එක දර්ශනයක් මීගොඩ පැත්තේ විශාල නිවසක රූගත කළ යුතු යයි කතා රචක කේ. ඒ. ඩබ්ලිව්. ප්‍රේමලාල්ට යෝජනා කළේය.

මිතුරන් දෙදෙනා මීගොඩ ඒ ධනවත් නිවස අයිති ඉඩම් හිමි වැවිලිකරුවකු වූ ඒ. ඩී. පෙරේරා ගේ නිවසට ගියහ. එදා එහි රූමත් දියණියන් දෙදෙනකු සිටියෝය. තරුණ ව්‍යාපාරික චිත්‍රපට නිෂ්පාදකයාගේ හිත ගත්තේ දඟකාර බාල දියණිය වූ සෝමා කෙරෙහිය. චිත්‍රපට රසිකාවක් වූ ඇය සතුව නළු නිළි ඡායාරූප සහිත ඇල්බමයක් විය.

‘මගේ දෙවෙනි දුවට නම් මේ තරුණ ව්‍යාපාරිකයා හොඳට ගැලපෙනවා’ පෙරේරා මහතා සිතුවේය. ඔහු මේ තරුණයාට තම ඥාති දයණියකගේ විවාහ මංගල්‍යයට ආරාධනා කළේ අනාගත බෑනා කර ගැනීමේ චේතනාවෙනි. ප්‍රේමලාල්ගේ හිත ගිය තරුණිය එනම් මනාලියගේ බාල සොහොයුරිය එදා දෙවෙනි මනමාලිය විය. මේ දෙදෙනාගේ නෙත් ගැටුණාහ.

ප්‍රේමලාල්ගේ හා සෝමාගේ (1960) විවාහයට කපුකම කළේ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාය. ගෝල්ෆේස් මහා හෝටලයේ ප්‍රේමලාල් හා සෝමාගේ මංගල්‍යයට අත්සන් තැබුවේ එවකට අග්‍රාණ්ඩුකාරයා වූ සර් ඔලිවර් ගුණතිලක හා සෞඛ්‍ය ඇමති ඒ. පී. ජයසූරිය මහතාය.

ප්‍රේමලාල් ඊළඟට නිෂ්පාදනය කළේ ‘සුහද සොහොයුරෝ’ චිත්‍රපටයයි. එහි දෙබස් රචකයා වූයේ කේ. ඒ. ඩබ්ලිව්.ය. ‘පාසමලර්’ දමිළ චිත්‍රපටයේ කතාවට ඔහු නවතාවයක් දීමට උත්සාහ කළේය. එල්. එස්. රාමචන්ද්‍රන් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ අශෝක පෙන්නම්පෙරුම, ක්ලැරිස් ද සිල්වා, ස්ටැන්ලි පෙරේරා ප්‍රධාන චරිත රඟපෑහ.

1964 මුල්ම සරසවිය චිත්‍රපට උලෙළේ පාඨක ඡන්දයෙන් මුල්තැනට තේරුණු චිත්‍රපට පහ අතුරින් හතරවැනි ස්ථානය ලැබුවේ සුහද සොහොයුරෝය. ඒ චිත්‍රපටයට පාඨක ඡන්ද 27,014 ලැබී තිබිණ. මුල් තැන ගම්පෙරළියට ද, සිකුරු තරුව දෙවෙනි තැන ද, රන්මුතු දූව තුන්වැනි තැන ද, සුවිනීත ලාලනී පස්වන ස්ථානයට පත් විය. මේ චිත්‍රපට කොළඹ අසෝක සිනමාහලේ තිරගත වූහ.

තම මිතුරු කේ. ඒ. ඩබ්ලිව්. ට චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට අවස්ථාව දිය යුතු යයි ප්‍රේමලාල්ගේ සිතේ තිබුණි. ඒ අතර කේ. ඒ. ඩබ්ලිව්. ගේ මුල්ම අධ්‍යක්ෂණය වූ ‘සැනසුම කොතනද?’ චිත්‍රපටය අති සාර්ථක ලෙස ප්‍රදර්ශනය විය. ප්‍රේමලාල් නොපැකිළව ඔහුට 1965 චිත්‍රපටයක් අධ්‍යක්ෂණ්‍ය කිරීමට අවස්ථාව දුන්නේය. ‘කපටිකම’ නම් ඒ චිත්‍රපටයේ ජෝ අබේවික්‍රම, ජීවරාණි කුරුකුලසූරිය, ඔස්වල්ඩ් ජයසිංහ, සන්ධ්‍යා කුමාරි, විජිත මල්ලිකා රඟපෑහ. මේ චිත්‍රපටයේ ලතා සහ පිරිස ගයන ‘කුරුලු රෑන් – රෑන්’ ගීතයට පෙනී සිටින්නේ ප්‍රේමලාල්ගේ බිරිය සෝමාගේ සොහොයුරිය වන ලක් රූ රැජිනක් වූ සුසිලා පෙරේරා ගුණසේකරය.

ප්‍රේමලාල්ගේ ඊළඟ චිත්‍රපටය වූයේ 1968 දී නිපද වූ ‘බයිසිකල් හොරා’ ය. ඩී. ආර්. නානායක්කාර, ඔස්වල්ඩ් ජයසිංහ, ජීවරාණි, සන්ධ්‍යා, රොබින් රඟපෑ මේ චිත්‍රපටයේ ඩී. ආර්. නානායක්කාරට 1969 සරසවිය සම්මාන උලෙළේ හොඳම නළුවාට හිමි සම්මානය හිමි විය. ජෙසිකා වික්‍රමසිංහ කුසලතා සම්මානයක් හිමි කර ගත්තාය. 1972 වසරේ ප්‍රේමලාල් නිෂ්පාදනය කළ ‘ලොකුම හිනාව’ චිත්‍රපටය සම්පූර්ණයෙන්ම විකට චිත්‍රපටයක් විය. ඔස්වල්ඩ්, සුමනා අමරසිංහ, එල්. එම්., ඩී. ආර්., ස්ටැන්ලි රඟපෑහ. 1974 ‘දුලීකා’ චිත්‍රපටයෙන් ප්‍රේමලාල් හා කේ. ඒ. ඩබ්ලිව්. එදා මුලින්ම දුටු එඩී ජයමාන්න දුෂ්ට චරිතයකින් තම චිත්‍රපටයට එක් කර ගත් අතර විජය කුමාරතුංග, බියුලා ඩයස් කරුණාරත්න ප්‍රධාන චරිතවලට තෝරා ගත්හ.

කලක සිට ප්‍රේමලාල්ට බෞද්ධ වර්ණ චිත්‍රපටයක් කිරීමට සිතේ තිබුණි. ‘ලංකාවෙන් පණිවුඩයක්’ නම් ඒ චිත්‍රපටයෙන් ලෝකයටම බුදු දහමේ පණිවුඩය ලබාදීමට තමා බලාපොරොත්තු වන බව කීවේ කේ. ඒ. ඩබ්ලිව්. සමඟම මා ඔහු හමුවීමට වෝඩ් පෙදෙසේ තම කාර්යාලයට ගිය දිනකය. ඒ 1973 වසෙර්ය. තම කාර්යාලයෙන් පිටතට පැමිණි ඔහු අසල තිබූ කඩල කරත්තයකින් කඩල ගොටු තුනක් මිලදී ගෙන ඉන් එකක් මට දී මේ කතාව කී හැටි තාම මතකය. චාම්, නිහතමානි මේ නිෂ්පාදකයාගේ සරලකම එදා අවබෝධ විය. ඒ චිත්‍රපටය කෙරුණේ නැත. ‘දුලීකා’ (1974) ප්‍රේමලාල් එදිරිසිංහ නිපද වූ අවසාන චිත්‍රපටය විය. සිංහල සිනමාවට අවංකව, ආදරයක් දැක් වූ ඔහු එදා කිංස්ලි සිනමාහලේදී තම මිතුරු කේ. ඒ. ඩබ්ලිව්.ට කියූ සිහිනය සැබෑ කර ගත්තේය. 1972 සිංහල සිනමාවට වසර 25 ක් සපිරෙන විට රාජගිරියේ ඉම්පාලා, ගල්කිස්සේ ඕඩියන්, මොරටුවේ ටවර්, නුවරඑළියේ ට්‍රිවෝලි, කුරුණෑගල මොඩර්න් යන සිනමාහල්වල අයිතිකරුව සිටියේය. කොතරම් කාර්යබහුල ජීවිතයක් ගත කළ ද ඔහු ඒවායින් වෙහෙසට පත් වූවෙක් නොවීය. ඒ වන විට ප්‍රේමලාල් මහතා ඉංග්‍රීසි හා හින්දි චිත්‍රපට 180 ක් පමණ ආනයනය කර ප්‍රදර්ශනය කර තිබුණු බව ඇන්ටන් අල්විස් මාධ්‍යවේදියා 1972 ‘දීපශිඛා’ පත්‍රයට ලියා තිබුණි.

1931 පෙබරවාරි 19 වෙනිදා උපත ලැබූ එදිරිසිංහ ආරච්චිගේ ප්‍රේමලාල් 1986 ජනවාරි 23 වෙනිදා වසර 55 දිවි ගමන නිමා කොට ජීවිතයෙන් සමු ගත්තේය.

ප්‍රේමලාල් සහ සෝමා යුවළට දූ දරුවන් හතර දෙනෙකි. ජීවක විවාහ වුයේ හිටපු ජනාධිපති ලේකම් මැනික්දිවෙල මහතාගේ දියණිය වූ ප්‍රසංගා මාධවි සමඟය. දීපා විවාහ වූයේ එඩ්නා චොකලට් අධිපති ලාල් එදිරිසිංහ සමඟය. නාලක විවාහ වූයේ ජනප්‍රිය චිත්‍රපට නිළි ජීවරාණි කුරුකුලසුරියගේ හා වෛද්‍ය ලංකා විජේසේනගේ දියණියක වු වෛද්‍යවරියක වූ ලංකාය සමඟය. අසංක විවාහ වී සිටින්නේ කොල්ලුපිටියේ ප්‍රේමසිරි ස්ටෝර්ස් අධිපතිවරයාගේ දියණිය නිරෝෂනා සමඟය.

1994 ඊ. ඒ. පී. චිත්‍රපට සමාගම නව පිබිදීමකින් චිත්‍රපට ක්ෂේත්‍රයට පිවිසෙයි. ඒ ඊ. ඒ. පී. සමූහ ව්‍යාපාර ජාලයේ සභාපතිනිය ලෙස ආචාර්ය සෝමා එදිරිසිංහගේ මඟ පෙන්වීමෙනි. ඒ අනුව ධවල පුෂ්පය (1994), සෙයිලම (1995), වීසිදැල (1997), රෑ ඩැනියෙල් දවල් මිගෙල් 1 - 2 – 3 (1998, 2000, 2004), කිණිහිරියා මල් (2001), රෝස වසන්තේ (2001), සලෙලු වරම (2002), යකඩ පිහාටු (2003), ඉර මැදියම (2005), අසනි වර්ෂා (2005), වන් ෂොට් වන් (2005), හිරිපොද වැස්ස (2006), සමාරා (2006), තාරකා මල් (2007), දේදුනු ආකාසේ, ශ්‍රී දළදා ගමනය, කෝ මාක් මෝ මාක්, සර් ලාස්ට් චාන්ස්, හාට් එෆ්. එම්. (2007) නිෂ්පාදනය කළ චිත්‍රපට වේ. ඒ අනුව කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා, එච්. ඩී. ප්‍රේමරත්න, රෝයි ද සිල්වා, උදයකාන්ත වර්ණසූරිය, වසන්ත ඔබේසේකර, ප්‍රසන්න විතානගේ, රන්ජන් රාමනායක, ප්‍රසන්න කොළඹගේ, සනත් අබේසේකර, ජයප්‍රකාශ් සිවගුරුනාදන්, සෙනේෂ් දිසානායක බණ්ඩාර මේ චිත්‍රපට අධ්‍යක්ෂණය කළ අතර ඒවා මෙරට චිත්‍රපට සම්මාන උලෙළවලදී සම්මාන පිට සම්මාන ලැබුණු අවස්ථා තිබේ.

ආචාර්ය සෝමා එදිරිසිංහ 2015 නොවැම්බර් 05 වෙනිදා මියගියාය.

 

 

ලාල් සෙනරත්

 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.