ප්‍රථම සිනමා තේමා සංගීතයක්

ඔක්තෝබර් 31, 2019

රන්මුතු දූවෙන් ගෙන ආ කොරලවැල්ලේ තාපසයා

 

වයස අවුරුදු පහේදී තාත්තා සාදා දුන් සෙල්ලම් වීණාව කරට ගත් දා පටන් මියයන තෙක්ම හපන්කම් කළ සංගීතඥයා ඔහුය. සහෝදරයන් දෙදෙනකු හා සහෝදරියකගෙන් යුතු දරු පවුලක බාලයා වී ඉපිද අවුරුදු පහ පනින්නටත් පෙර අනාගත ජීවිතයේදී සංගීතය ජීවන තේමාව කර ගත් මහා ගාන්ධර්යාවාණෝ ඔහුය. 1927 දෙසැම්බර් 05 වෙනිදා මොරටුවේ කොරළවැල්ලේ උපන් වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරාගේ පියා වූ ඩබ්ලිව්. ඩී. ජිනේරිස් ද ගායකයකු විය. ඔහු වෘත්තියෙන් වඩු කාර්මිකයෙකි. වරක් ‘සිළුමිණ’ පත්‍රයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකුව සිටි තිස්ස ගුණතිලකයන් මේ අංකුර කලාකරුවා ගැන 1956 අපූරු සටහනක් කර තිබුණි.

‘වඩුවකු වූ පියා වඩු බංකුව උඩට වී ලී බඩු තනනු දැක දැකත් සිතුවේ අපේ මේ ‘පොඩි එකාට’ කතා පෙට්ටියක් (ග්‍රැමෆෝන්) තනා සින්දුවක් වාදනය කැරැවීමයි. අසල ගෙදරක වූ කතා පෙට්ටිය දුටු කුඩා ඇල්බට්ගේ කටට කෙළ උනන්නට ඇත. පියා ලවා එකක් මිල දී ගැනීමට වත්කමක් නැති වුව ද කතා පෙට්ටියකින් සින්දුවක් ඇසීමේ අදහස ඔහු තුළින් පහ නොවීය. පොල් උලක් තබා ඉරටු කෑල්ලක් සූරිය කොළය අද්දරින් කරකවයි. කතා පෙට්ටියට ඕනෑ අංග නම් හරි! හැබැයි නැත්තේ හඬ පමණයි. ‘කිසි දේකට බැහැ’ යි නොකියන අක්කා ලවා හඬ නිපදවීමට ඇල්බට් සිතට ගත්තේය. පොල් තැරිය මත වූ සූරිය කොළය ඉරටු කෑල්ලෙන් ඔහු සූරන විට අක්කා සිංදුව කිව යුතුය. ‘සූරිය කොළ සැකට්’ එක ලපැටි ඇල්බට්ගේ එදිනෙදා ජීවිතයේ අංගයක් විය.’

අයියාට තාත්තා කියා දුන් සංගීත පාඩමට කන් දුන් ඇල්බට් අයියාට වඩා ඉක්මනින් ඉගෙන ගෙන ඇත. පොඩි එකා දක්වන මේ පුදුම ආසාව ගැන පැහැදුණු පියා කුඩා වීණාවක් සිය පුතා වෙනුවෙන් තනා දුන්නේය. ඒ ඔහුගේ ආශාව මුදුන් පමුණුවනු සඳහාය. පාසල ඇරී ගෙදර එන ඇල්බට් කුඩා දරුවන් කැටිව දැලි පොතු එකතු කිරීමට මුහුදු වෙරළට හෝ පන්දු කෙළිය පිණිස පිටියට යාමට වඩා ප්‍රිය කර ඇත්තේ තාත්තා ගෙනැවිත් දුන් වීණාව වාදනය කිරීමටය. වීණාව තැනූ පියාත්, සංගීතය හැදෑරූ අයියාත් අතර මේ ‘පොඩි එකා’ නොදැනුම්වත්ම ගායකයකුත්, වාදකයකුත් විය. එහෙත් පියාටත්, සෙහොයුරාටත් වඩා දක්ෂ සංගීතඥයකු වීමේ භාග්‍යය ඇල්බට් කෙරේ ඇතැයි එකල කිසිවකු සිතුවේ නැත.

ඇල්බට් මුලින් අකුරු කළේ මොරටුව කොරලවැල්ලේ ශ්‍රී සද්ධර්මෝදය පාසලෙනි. ඉන් පසු අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයටත්, පානදුරේ ශ්‍රී සුමංගල, බලපිටියේ සිද්ධාර්ථ හා කළුතර විද්‍යාලයටත් ඉගෙනීමට ගොස් ඇත. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිස්ස ගුණතිලක 1956 කුඩා ඇල්බට්ට තම පියා වීණාවක් සාදා දී ඇති බව පවසා ඇතත් 1977. 09. 12 නවයුගය පුවත්පතේ පිළිසඳරකට එක් වූ අමරදේවයන් මා සමඟ පවසා ඇත්තේ වයස අවුරුදු හතේ උපන් දිනයකදී තාත්තා ජර්මනියේ සාදන ලද වයලීනයකට සමානව ලීයෙන් තාත්තාගේ අතින්ම තමාට සාදා දුන් බවය. එහිදී අමරදේවයන් මට මෙසේ පැවසීය.

‘මගේ තාත්තා සියුම් වැඩවලට හපනා. අපි ජීවත් වුණේ මුහුදු බඩ පළාතේ ගමක. ඒ කාලයේ පුහුණු ගුරුවරුන් සංගීත විෂයට වයලීනය වාදනය කළා. අබලන් වූ වයලීන අලුත්වැඩියා කිරීමට තාත්තාට ගෙනත් දුන්නා. ඕනෑම දිනක අපේ ගෙදර වයලින් දහයක් දොළහක් තිබුණා. මොරටුව බයිලාවලට ප්‍රසිද්ධනේ. මේ නිසා මම කිව්වේ බයිලා.’

පාසල් යන කාලයේ ඇල්බට් තම පන්තිවල සිටි සිසුවියන් නව දෙනකුගේ ආදරයට මැදි වූ සුකුමාල ගැටවරයකු වු බව අමරදේවයන් ගැන ලියූ මෙතෙක් පළ වී ඇති එකම පර්යේෂණ කෘතිය වූ ආචාර්ය නුවන් නයනජිත් කුමාර විසින් ලියූ ‘අමරදේව මහා ගාන්ධර්ව විබුධයාණෝ’ කෘතියේ සඳහන් වෙයි. 1943 වසරේ මෙම ලියුම්කරුගේ බාප්පා වූ ඒ. ඩී. ජේ. මාතුපාල ප්‍රමුඛ ‘නව කලා මණ්ඩලය’ මඟින් සංවිධානය කළ දීප ව්‍යාප්ත කලා තරගයෙන් කොරලවැල්ලේ සිරි කලණ මිතු සමිතියේ ඇල්බට් පෙරේරාට වයලීන් වාදනයෙන් හා ගායනයෙන් පළමුතැන හා දෙවන තැන හිමි වී ඇත. එදා ඔහු සමඟ තරග කළ කලණ මිතු සමාජයේ සිරිමතී වෙත්තසිංහ වරෙක මුල් තැන ලබා ගත්තාය. 1945 ඇල්බට් හා සිරිමතී මුල්වරට කොලොම්බියා තැටියක් සඳහා ‘රසයි කිරි කෑ දියාරු’ ගීතය ගැයූහ. එහි සංගීත නිර්මාණය මොහොමඩ් ගවුස්ගේය.

1947 තිරගත වූ ලංකාවේ දෙවන කථානාද චිත්‍රපටය වූ ‘අශෝක මාලා’ චිත්‍රපටයේ ගායකයකු, නළුවකු හා සහාය සංගීත අධ්‍යක්ෂවරයා වූයේ ඇල්බට් පෙරේරාය. මේ චිත්‍රපටයේ ස්වතන්ත්‍ර තනු නිර්මාණය කළ මොහොමඩ් ගවුස්ට ඇල්බට් හඳුන්වා දී ඇත්තේ ප්‍රවීණ වයලීන් වාදකයකු වූ මොරටුවේ ජෙරාඩ් පීරිස්ය. කොරලවැල්ලේ සිටි 19 හැවිරිදි ඇල්බට් පෙරේරාට ස්වර ලිපි ලිවීමට හා ගීත දෙකක් ගැයීමට අවස්ථාව දුන් ගවුස් මාස්ටර්, ඔහුට චිත්‍රපටයේ සහාය සංගීත අධ්‍යක්ෂ ධූරය ද පැවරූ බව මහාචාර්ය සුනිල් ආරියරත්න පවසා ඇත. ඇල්බට් පෙරේරා ගැයු ගීත දෙක ඔහු විසින්ම ගයා තාපසයකු ලෙස රඟපෑවේය. මේ ඒ ගීත දෙකයි. එහි ගීත රචනය ඩී. ටී. ප්‍රනාන්දුය.

භවේ භීත හැර දේශිත තිලෙනා

ධර්මෙ රසේ

තෘෂ්ණ ජාලේ මායා ලෝකේ

රාගයෙන් පැටලී මෝහ විකාරේ

ඇලී කාම අඳුරේ භව ආලේ

දෝෂ සෙව්වෝ ධ්‍යාන මෙ ලෝකේ

ආල වැඩුවෝ ධ්‍යාන මනාපේ

තිලෝනා ධර්මේ රසේ’

අනිත් ගීතයයි මේ.

‘ඇයි කරේ යමෙක් ආලේ

මේ ලෝකේ මායාකාරී

ඇයි කරේ යමෙක් ආලේ’

1953 වසරේ භාත්ඛණ්ඩේ සංගීත විද්‍යා පීඨයට විශාරද උපාධිය සඳහා ගිය ඇල්බට්ට සංගීත ශිෂ්‍යත්ව අරමුදලක් ඇති කිරීමට මුල්වුයේ ලංකාදීප කර්තෘ ඩී. බී. ධනපාල මහතාය. ඒ සඳහා යෝජනා කළේ ප්‍රේමකුමර එපිටවලය. 1953. 10. 13 දින ලංකාදීප පත්‍රයෙන් ‘ලියුම් කියුම්’ තීරයෙන් ඉල්ලීමක් කළ සුනිල් සාන්තයන් නිහතමානීව කියා සිටියේ ඇල්බට් පෙරේරා නම් අංකුර සංගීතවේදියාට සංගීතයේ නාමයෙන් උපකාර කරන ලෙසය.

ඉන්දියාවට යාමට පෙර ඇල්බට් පෙරේරාගේ නම ‘අමරදේව’ නමින් හඳුන්වන්නැයි මහාචාර්ය සරච්චන්ද්‍රයන් යෝජනා කළ අතර මහාචාර්ය ගුණපාල මලලසේකර හා ප්‍රේමකුමාර එපිටවල එය අනුමත කළහ. භාරතයේ සිට පැමිණි අමරදේවයන් ගුවන් විදුලියේ සංගීත අංශයෙන් නව නිර්මාණ කළ අතර ඒ සඳහා එම්. ජේ. පෙරේරා හා ඩන්ස්ටන් ද සිල්වා අත හිත දුන්මෝය. ‘පොසොන් උදාව’ – ‘සීගිරියේ සිතුවම් රමණී’ ‘කුසුම් පිපේ අතු අතරේ’ ‘ වැලිතල අතරේ හිමිහිට බසිනා’ ‘පිනපු කෝ කළු ගඟේ’ ‘උදයේ උපුල් විලේ සිහිල් ජලේ නා’, ‘ශාන්ත මේ රෑ යාමේ’ ගීත අතරින් අමරදේව උපන්නේය. සැළලිහිණිය, තිත්ත බත, විදුර අමරදේවයන් සංගීතවත් කළ නාටක වේ.

අමරදේව සහ මානවසිංහ, අමරදේව සහ මඩවල රත්නායක, අමරදේව සහ මහගමසේකර සුසංයෝගය තුළින් ගුවන් විදුලියේ සුභාවිත ගීතය පෝෂණය විය. ගීත නාටක පෝෂණය විය. ඉන් පසු අරීසෙන් අහුබුදු, විමල් අභයසුන්දර, ධර්මසිරි ගමගේ, ඩෝල්ටන් අල්විස්, සුනිල් ආරියරත්න, සුනිල් සරත් පෙරේරා, අජන්තා රණසිංහ ආදී ගේය පද රචකයන් සමඟ එක්ව අමරදේවයන් කළ නිර්මාණ පසු යුගයේ කැපී පෙනුණි.

1958 තිරගත වූ ‘දස්කම’ චිත්‍රපටයට අමරදේවයන් ගැයූ එඩ්වින් සමරදිවාකර සංගීත අධ්‍යක්ෂණය කළ කරුණාරත්න අබේසේකර ගේය පද ලියූ මේ ගීතය සිංහල චිත්‍රපට ගීත අතර කැපී පෙනුණේ එතෙක් චිත්‍රපටවලින් ඇසූ ගී ආර අතර විශේෂතාවක් නිසාය.

‘ඉපිද මැරේ යළි ඉපිදේ

නොතිර සසර සාගරේ

අතර තුරේ නොමැරි මැරේ - දස දහස් වරේ

නිසල නැසේ සසල වෙතේ

නොතිර සසර සාගරේ’

1962 වසර අමරදේවයන්ගේ මෙන්ම සිංහල සිනමා සංගීතයේ ද හැරවුම් ලක්ෂයක් විය. ලංකාවේ නිපද වු ප්‍රථම වෛවර්ණ චිත්‍රපටය වූ (මි මී. 35 ප්‍රමණයේ) ‘රන්මුතු දූවේ’ සංගීත අධ්‍යක්ෂවරයා අමරදේව විය. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ගීත රචනා කළ මේ චිත්‍රපටයෙන් මුල්වරට පසුබිම් ගී ගායනයෙන් නවකයන් වූ නාරද දිසාසේකර හා නන්දා මාලිනී හඳුන්වා දුන්හ. මේ චිත්‍රපටයේ එන අමරදේව, නන්දා ඇතුළු පිරිස ගැයූ ‘පාරමිතා බල පූරිත පූජිත’ වෙසක්, පෙසොන් ඇතුළු හැම බෞද්ධ උත්සවවල නොවරදාවම ඇසෙන ගීතයකි. එහි සනාතනික අගය අදත් නොනැසී පවතී.

‘පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකරයාණෝ

වෙසක් පොහෝ දින දිනූ සේක ලොව

බුද්ධ දිවාකරයාණෝ’

නාරද හා නන්දා මාලිනී ගයන මේ ගීත ප්‍රේම ගීත අතර අග්‍රස්ථානයේ පැවති යුග ගීතයකි.

‘ගලන ගඟකි ජීවිතේ

දයාලු ලෝකයේ

මිහිර පතා ආදරේ

ළපලු නටයි ගංතෙරේ’

නාරද මේ ගැයු ගීතය තරුණ පරපුර අතර අතිශය ජනප්‍රිය විය.

‘පිපී පිපී රේණු නටන වනේ මලක හැප්පිලා

වරෙන් වරෙන් හුළං පොදක් අපේ ඇඟෙත් ගෑවිලා’

මහාචාර්ය සුනිල් ආරියරත්න කියන ආකාරයට මුල්වරට සිංහල සිනමා සංගීතයේ තේමා සංගීතයක් නිර්මාණය කළේ රන්මුතු දූවෙන් අමරදේවයන් විසිනි. 1963 වසරේ තිරගත වූ සිකුරු තරුව චිත්‍රපටයේ අමරදේවයන් ගයන මේ ගීතයේ තනු නිර්මාණය ද ඔහුගේමය. පද රචනය මානවසිංහගෙනි.

‘ඉර හඳ පායන ලෝකේ

ආලෝකය අතරේ

සැප දුක සමබර වේ

මේ ජීවන කතරේ

සැප දුක සමබර වේ’

1964 තිරගත වූ ‘පටාචාරා’ චිත්‍රපටයේ ලයනල් අල්ගම සංගීතවත් කළ මඩවල එස්. රත්නායක රචනා කළ ‘තණ්හා ආශා ඔලගු කරේලා’ ගීතය අමරදේවයන් ගැයීය. 1963 තිරගත වූ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘ගම්පෙරළිය’ චිත්‍රපටය ලංකාවේ තිරගත වු ගීත රහිත ප්‍රථම චිත්‍රපටය ලෙස ඉතිහාස ගත වී ඇත. මේ චිත්‍රපටයේ පසුබිම් සංගීත අධ්‍යක්ෂණය අමරදේවගෙනි. 1964 ප්‍රථම සරසවිය සම්මාන උලෙළේ තේමා ගීතය අමරදේවයන් ගැයූ අතර එහි පද රචනය මානවසිංහගෙනි. ‘ජගන් මෝහිනි – මධුර භාෂිනී – චාරු දේහිනී කමල වාසිනී’ මේ ගීතයයි. (මේ ගීතය අද හැම කලා උලෙළක ගැයෙන සරසවි අභිනන්දන ගීතයකි). මෙම චිත්‍රපට උලෙළේදී අමරදේවයන් හොඳම සංගීත අධ්‍යක්ෂ ලෙස ‘ගම්පෙරළිය’ චිත්‍රපටයට සරසවිය සම්මාන ලැබූ අතර ඔහු විසින්ම සංගීතය නිර්මාණය කළ ‘රන් මුතු දුව’ යුග ගීයක කොටසක් පමණක් ගයන්නා වූද සිනමාවට ආධුනික ශිල්පිනියක වූ නන්දා මාලිනී ගැයූ ‘ගලන ගඟකි ජීවිතේ’ ගීතය සඳහා හොඳම ගායිකාව ලෙස ද , එහිම ඉතිරි කොටස ගැයූ නාරද දිසාසේකර හොඳම ගායකයා ලෙස ද එහි ගීත රචනා කළ මානවසිංහයන් හොඳම ගීත රචකයා ලෙස ද සරසවිය සම්මාන ලැබූහ.

1963 තිරගත වූ ‘අදට වැඩිය හෙට හොඳයි’ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළ අමරදේවයන් එහි එන ගී අතරින් මිල්ටන් පෙරේරා හ මල්ලිකා කහවිට ගැයූ ‘සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ’ ලතා හා ඉන්ද්‍රානි විජේබණ්ඩාර අවස්ථා දෙකක ගයන ‘බාලොලි ලොලි දොයිය බබා’ හා ලතා ගැයූ ‘ බුදුන් ළඟට ඉන්නේ අම්මයි දූ දරුවන්ගේ’ ගීත ජනප්‍රිය වූහ. එහි ගීත රචනය කරුණාරත්න අබේසේකරගෙනි. 1964 තිරගත වූ ‘ගැටවරයෝ’ චිත්‍රපටයට අමරදේවයන් සංගීත අධ්‍යක්ෂවරයා ලෙස ගීත තුනක් නිර්මාණය කළ අතර ඒ ගී අතිශයින් ජනප්‍රිය විය. මඩවල එස්. රත්නායක ලියු ‘ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්’ (ගායනය – අමරදේව), මහගමසේකර ලියූ ‘ඈත ගව් ගණන් දුරින්’ (ගායනය – නාරද දිසාසේකර සහ පිරිස) මඩවල ලියූ ‘හීන හතක් මැද’ ගීතය සඳහා ලතාට හා ගීත රචක මඩවලට හොඳම ගායිකාව හා හොඳම ගීත රචක ලෙස 1964 සරසවිය සම්මාන හිමි වූහ.

‘සාරවිට ’ (1965) චිත්‍රපටයට ද අමරදේවයන් සංගීතය නිර්මාණය කළ ගීත හතරක් ඇතුළත් විය. 1966 සරසවිය සම්මාන උලෙළේදී හොඳම ගීත රචක ලෙස මහගමසේකර ද, හොඳම ගායිකාව ලෙස නන්දා මාලිනී ‘මේ සිංහල අපගේ රටයි’ ගීතය සඳහා සම්මාන ලැබූ අතර 1967 හොඳම ගායකයා ලෙස අමරදේව සම්මාන ලැබුවේ ‘සැනසුම කොතැනද’ චිත්‍රපටයේ ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතය නිර්මාණයක් වූ ‘සංසාර ගමනේ තණ්හා ආශා’ ගීතයටය. 1966 සම්මාන උලෙළේදී පිරිනැමුණු ජනප්‍රිය සම්මාන අතර ප්‍රියතම සංගීත අධ්‍යක්ෂ ලෙස අමරදේවයන්ට ද ප්‍රියතම ගායකයා ලෙස ජේ. ඒ. මිල්ටන් පෙරේරා සාරවිටේ – ‘සිරි සාර බුලත් විට කාල බං’) මෙහිදී සම්මාන ලැබූහ. මීට අමතරව අමරදේවයන් ‘සිතල වතුර’ චිත්‍රපටයේ ‘සීතල වතුර ගලයි’ (ගීත රචනය - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ) ගීතය 1966 වසරේ ගැයීය. ‘දෙලොවක් අතර’ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා ලෙස මුල්වරට කණ්ඩායම් ගීයක් නෙවිල් ප්‍රනාන්දු ප්‍රධාන ලොස් කැබලෙරොස් ලවා ‘ගයන ගැයුම් නටන නැටුම්’ ගීතයත් හඳුන්වා දුන්නේය. එහි ගීත රචනය මහගම සේකරගෙනි.

අමරදේවයන් වෙනත් සංගීතඥයන්ගේ සංගීත තනුවලට ගී ගැයූ චිත්‍රපට ගීත රැසකි. පටාචාරා චිත්‍රපටයට ගැයූ ‘තණ්හා ආශා ඔලගු කරේ ලා’, ‘සංසාරේ බිය දුක් ගිනි නිවූ’ (සංගීතය – ලයනල් අල්ගම – ගීත රචනය – මඩවල එස්. රත්නායක) ‘සුදෝ සුදු’ චිත්‍රපටයට ලතා සමඟ ගැයූ ‘සිතැඟි සුදු - සුදෝ සුදු’ ‘ඉරණම දුක් සුසුම් මවා’ (සංගීතය - සෝමදාස ඇල්විටිගල – ගීත රචනය – චිත්‍රානන්ද අබේසේකර) (1964 – 1966) ගීත කැපී පෙනෙයි. ‘සත් සමුදුර’ චිත්‍රපටයේ ඇල්විටිගලගේ සංගීතයට ඔහු ‘සිනිඳු සුදු මුතු තලාවේ’ ‘පිපෙන කුසුම පර වූවා’ ගීත ගැයීය.

අමරදේව විසින්ම සංගීතය මෙහෙය වූ ‘ලාදලු’ (1965) චිත්‍රපටයෙන් රුක්මණී දේවි මුල් වරට ගීත ගැයුවාය. ‘සාදර කරුණා දයා ගුණේ කෝ’ ‘සුවදෙන සිත සැනසුම් (අමරදේව සමඟ) මේ ගීත රචන කර ඇත්තේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ විසිනි. ශාන්ති ගීතදේව ගැයූ ‘චංචල ලෝකේ මධුරයි’ ගීතය ද වෙයි. මල්ලිකා කහවිට ගැයූ චන්ද්‍රා වයමන් රචනා කළ’සෙනෙහස - සොම්නස අතිනත ගත් විට’ ගීතයක් ද වෙයි. ‘සාමා’ චිත්‍රපටයේ පසුබිම් සංගීතය මෙහෙය වූ අතර කවි කිහිපයක් ද ගයා තිබුණි. අමරදේවයන් (1968) සංගීතය අධ්‍යක්ෂණය කළ ‘ආදරයයි කරුණාවයි’ චිත්‍රපටයෙන් අමිතා වැදිසිංහ හඳුන්වා දුන්නාය. මහගම සේකර රචනා කළ ‘ගලන දොලේ පෙණ බුබුලයි ආදරේ’, ‘අම්බිලියෝ පුතා නිදනවෝ’, ‘ඔන්න බබෝ ඇතින්නියා’, ‘ඉරු කුමරුයි සඳ කුමරියි ඉස්සර කාලේ’ ගීත ද අමරදේවයන් ගැයූ ‘දුක සැප දෙකටම උල්පත එක වේ’ හා නාරද දිසාසේකර ගැයූ ‘මලින් මලේ රේණු උරා’ ගීත මේ අතර වෙයි. 1965 ප්‍රදර්ශනය වූ ‘සාරවිට ’ චිත්‍රපටයේ අමරදේවයන් සංගීතය අධ්‍යක්ෂණය කරමින් මුල්වරට මිල්ටන් පෙරේරා, සුජාතා පෙරේරා (අත්තනායක), සී. ටී.ප්‍රනාන්දු, ඇන්ටන් රුද්‍රිගු, රෝහිත විජේසූරිය සහභාගි කර ගත්හ. ‘සිරසාර බුලත් විට’ (මිල්ටන්), ‘ලස්ස ගණන් වස්තු ලැබී (සී. ටි. ඇන්ටන්), ‘මේ සිංහල අපගේ රටයි (නන්දා) යන ගීත මහගම සේකර ද, අමරදේව, සුජාතා, රෝහිත ගැයු සඳ කිඳුරු ගීත නාටකයේ එන ගීතය බී. ටී. මැන්දිස් රචනා කර ඇත. ‘වෙසතුරු සිරිත’ (1966) චිත්‍රපටයේ අමරදේවයන් ගීත පමණක් නිර්මාණය කර ඇත. ගීත රචනය මහගම සේකර ගෙනි. ‘රුවන් වලා දුහුල් කඩින්’ සියලු ගී ගයා ඇත්තේ නන්දා මාලිනී විසිනි. ‘රුවන් වලා දුහුල් කඩින්’, ‘වනේ පලාපල නැත පෙර ලෙසිනි’, ‘රනට පිපෙන සපු කැකුළු’ මේ ගීතය. මේ අතර (1966) ‘පරසතු මල්’ චිත්‍රපටයේ ලයනල් අල්ගමගේ සංගීත අධ්‍යක්ෂණයට 

අමරදේවයන් ගීත දෙකක් ගායනා කළ අතර ඒ ගීත මහගම සේකර රචනා කර ඇත. ‘තොලින් තොලට වෑහෙන ගී සින්දු’ හා ‘සඳකත් පිනි දිය දිය වී ගලනා’ මේ ගීතයි. මේ සියලු ගීත තොරතුරු මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ‘සිංහල චිත්‍රපට ගීතාවලිය (1962 – 1966)’ කෘතියෙන් උපුටා ගත් ඒවාය.

අමරදේවයන් සංගීත අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතර අක්කර පහ, ආදරයයි කරුණාවයි, සාමා, දෙලොවක් අතර, රන්සළු, සැඩොල් කඳුළු, පිංහාමි, අහස් මාලිගා, සාගර ජලය, වාලම්පූරි, සක්මන් මළුව, රන්වන් කරල්, තුංමං හන්දිය, ලක්සෙට කොඩිය, අබුද්දස්ස කාලේ, වාලම්පූරි, කිඳුරු කුමාරි මේ චිත්‍රපට වෙයි.

අමරදේවයන් ගී ගැයූ චිත්‍රපටවල අසම්පූර්ණ ලේඛනයකි මේ. වාලම්පූරි, සුදෝ සුදු, සීතල වතුර, මීමැස්සෝ, බක්මහ දීගේ, දෑස නිසා, පූජිතයෝ, වැලිකතර, ඉහත ආත්මය, රෑන ගිරව්, ළසඳා, වල්මත් වූවෝ, විස්මය, ජනක සහ මංජු, හරි මඟ, සරුංගලේ, අමල් බිසෝ, බිනරමලී, හන්තානේ කතාව, බක් මහ දීගේ, සීතාදේවි, සෙලිනාගේ වලව්ව, සූර සරදියෙල්, පුජා, රණදෙරණ, ගිම්හානේ ගී නාදේ, අන්තිම රැය, බාඳුරා මල්, මයුරිගේ කතාව, සතර පෙර නිමිති, වීර පුරන් අප්පු, අජාසත්ත, සිටු දියණිය, රන් මිණි මුතු, කරාටේ ජෝ, සඳමාලි, තුත්තිරි මල්, විසි හතර පැය, සමාවෙන්න, සිරිබෝ අයියා, බිත්ති හතර, මුවන් පැලැස්ස - 1 සහ 2, ජෝඩුවළලු, මුහුදු ලිහිණි, බිනරි සහ සුදු බණ්ඩා, සිහින ලොවක්, මොණරතැන්න – 2, නොමියන මිනිස්සු, රක්තා, පස දිය සුළං පහස, කොහොමද වැඩේ, තරංගා, දෙවියනි ඔබ කොහිද, සීතල වතුර, බඹා කෙටූ හැටි, හන්තානේ කතාව, අනුරාගයේ අනන්තය, වසන්තේ දවසක්, බඹා කෙටු හැටි.

1965 සෙරන්ඩිබ් සමාගම වෙනුවෙන් ශේෂා පලිහක්කාර නිෂ්පාදනයෙන්ද, ටයිටස් තොටවත්තගේ අධ්‍යක්ෂණයෙන් වර්ණ චිත්‍රපටයක් කිරීමට සැලසුම් කොට අමරදේවයන්ට සංගීත අධ්‍යක්ෂණය පැවරිණ. අමරදේව තනු නිර්මාණය කළ අරිසෙන් අහුබුදු ගී රචනා කළ ගීත තුනක් පටිගත කෙරිණ. මහාචාර්ය සුනිල් ආරියරත්න ලියූ ‘සිංහල චිත්‍රපට ගීතාවලිය – 1962 – 1966’ කෘතියේ ඉන් ගීත දෙකක පදමාලා දක්නට ලැබේ. ලතා ගැයූ ‘ලොව්තුරු පෙම් වතුරේ’ හා අමරදේව, නාරද දිසාසේකර, විමලා අමරදේව ගයන ‘තොපට රජෙක් ඇත’ ගීතයි ඒ.

අමරදේවයන් පසුබිම් සංගීතය කළ ‘රන්සළු’ චිත්‍රපටයට බෞද්ධ ගාථා, පිරිත් සජ්ඣායනා, ඝාන්ටා නාද මිශ්‍රිත සංගීතයක් ඇතුළත් වූ අතර ‘රන්සළු’ නැරඹූ ජගත් කීර්තිධර චිත්‍රපට විචාරකයකු වූ රොජර් මැන්වෙල්ගේ ප්‍රසංශාවට ලක් විය. මහාචාර්ය ආරියරත්නයන්ට අනුව අමරදේවයන්ගේ විශිෂ්ටතම සිනමා සංගීත සම්ප්‍රදානය ඇතුළත් වූයේ ‘රන්සළු’ චිත්‍රපටයටය.

අමරදේවයන්ගේ මේ ලිපිය සිනමාවට පමණක් සීමා විය. වෘත්තාන්තයක් බඳු මානවසිංහයන් කියූ ලෙස අප්‍රමාණ මිනිසෙකු වූ අමරදේවයක් ගැන මහාචාර්ය සුනිල් ආරියරත්නයන් කී මේ උද්දෘතයෙන් ලිපිය අවසන් කරමි.

‘අමරදේව වනාහි ශ්‍රී ලංකාවේ පහළ වූ විශිෂ්ටතම ගාන්ධර්වයාය. මන්ද යත්, සංගීතය ලඹ දී සිටින සකලවිධ ශ්‍රව්‍ය - දෘශ්‍ය මාධ්‍යයන් හි ඔහු සිය ප්‍රතිභාව අප්‍රමාණව විහිද වූ බැවිනි. අමරදේවයන් වනාහි ශ්‍රී ලංාකේය සංගීත ක්ෂේත්‍රයන්හි අතිශය භාග්‍යවත් තැනැත්තාය. මන්ද යත් එතුමා තරම් ජනාදරයට සහ ගෞරව බහුමානයට පාත්‍ර වූ ගාන්ධර්වයාණ කෙනකු මෙරට ප්‍රාදුර්භූත වී නැති බැවිනි. අමරදේවයන් වනාහි අද්‍යතන ගාන්ධර්ව පරම්පරාවේ පෙර ගමන්කරුවාය. මන්ද යත් එතුමාගේ නිරව්‍ය සංගීත දර්ශනය ඔවුන්ට ප්‍රදීපස්තම්භයක් වූ බැවින් සහ එතුමාගේ සංගීත වන දුර්ගයෙහි කටු කොහොල් හැර අනුප්‍රාප්තිකයන්ගේ සම්ප්‍රාප්තියට ඉඩ හසර පහදා දුන් බැවිනි.

මේ මහා ගාන්ධර්වයා 2016 නොවැම්බර් 03 දා ජීවිතයෙන් සමු ගත්තේය.

ලාල් සෙනරත්

 

 

 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.