මට යන්ඩ හිතක් නෑ සුදු මැණිකේ

නයනසේන වන්නිනායක
නොවැම්බර් 14, 2019

පුංචි ගොවි ජනපදයක උපන්න කොලු ගැටයෙක් අද මහ මිනිහෙක් බවට පත්වෙලා මේ රටේ රාජ්‍ය උත්සවයකින් රාජ්‍ය සම්මාන ලබනවා. ගෙවුණු වසර ගණනාව තුළ ඔහු අතින් ලියවුණු කවි ගී පුරාම තිබුණේ අව්‍යාජ සුන්දරත්වයක් . මේ අව්‍යාජ බවත්, සුන්දරත්වයත් පසුපස තිබුණෙ ඔහුගෙ ජීවන රිද්මය කියලා මට හිතෙනවා. ඔහු අත්දැක්ක, අත්වින්ද දේත් එක්ක නිර්මාණකරණයේදී හුස්ම ගත්ත බවක් අපට දැනෙනවා. ඔහු මේ වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලින් හොඳම ගේය කාව්‍ය සංග්‍රහයට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනාගත් ගී පද රචක නයනසේන වන්නිනායක.

‘තිසා වැව ළඟ රළපනාවේ‘ ඔහු සම්මාන දිනාගත් ගේය කාව්‍ය සංග්‍රහය.එය මෙම වසරේම විද්‍යෝදය සාහිත්‍ය සම්මානය සඳහාද නිර්දේශ වුණා.සම්මාන බලාපොරොත්තුවෙන්ම නිර්මාණ කරුවා නිර්මාණකරණයේ නොයෙදුණත් සම්මානයක් යනු නිර්මාණකරුවෙකුට සුවිශාල ධෛර්යයක්. අද ඒ ධෛර්යය වගේම සතුටත් ඔහු භුක්ති විඳීනවා.

‘‘ තිසා වැව ළඟ රළපනාවේ 
බලා ඉන්නම් හුදකලාවේ 
උනා සළුපිළි සඳ කුමාරිය 
වැව් දියේ ගිලෙනා වෙලාවේ‘‘

නිශ්චල අහසේ දිදුලන සඳ කුමාරිය වැව් දිය අතරින් ඔහු දුටුවේ සළු පිළි උනා තබා දිය කෙළියේ යෙදෙන විලසයි.මේ සිතුවිල්ල ඔහුට හීනයක් නොවෙයි. ජීවිතයේ නොයෙක් දින තම දෑසින්ම දැක සිත ප්‍රමුදිත කරගත් අවස්ථාවක්.

“ මම අනුරාධපුරේ රණවරාව කියන ගමේ ඉපදුණු කෙනෙක්.ඊට පස්සේ මහ විලච්චිය කියන ගමේ ගොවි ජනපදයක පදිංචියට යනවා.මගේ අප්පච්චි හොඳ ගොවියෙක් . මමත් ගොවියෙක්.නමුත් දැන්නම් මම වෘත්තීයෙන් සිවිල් ඉංජිනේරුවෙක්.ඒ කාලේ අපට තිබුණේ දුෂ්කර එහෙත් සුන්දර ගැමි ජීවිතයක්. ඒ දවස්වල සිවිල් ඉංජිනේරුවෙක් වෙනවා කියන එක අපට සිහිනයක්. අපි දැනගෙන හිටියේ ගොවියගේ පුතා ගොවියම තමයි. ධීවරයගේ පුතා ධීවරයම තමයි කියලයි. නමුත් මොනව හරි හේතුවකට අද මම මෙතනට ඇවිත් තියෙනවා.‘‘

මිනිස්සුන්ගේ දෛවය ලියැවෙන්නේ විවිධ ආකාරයට. ඒ විදියටම නයනසේන ගේ දෛවයත් මේ විදියට ලියැවෙන්න ඇති. අර මහ විලච්චියේ ගොවි ජනපදයේ ඉඳන් මෙතැනට එන්න මහ දුරක් අති දුෂ්කර මාර්ගයක ඇවිද එන්න ඇති. ඒත් මට හිතෙනවා මේ මාර්ගය දෙපස ඔහුට ආශිර්වාඳ කරන්න බොහෝ මල් පිපෙන්න ඇති. ඒ ඔක්කොම ස්වභාව ධර්මයත් සමඟ ද පිපුණු සාහිත්‍ය මල්.

“ අපි මුලින්ම දුටු ගම්වල තිබුණු සුන්දරත්වය දිනෙන් දිනම විනාශ වෙන්න ගත්තා. ගම දියුණු වෙලා නාගරීකරණය වෙලා, කුහකකම්, දරිද්‍රතාවය, සූරාකෑම් ඔස්සේ දිවෙන කොට අපි හිතපු සුන්දරත් වගමෙන් මෑත් වුණා.ඒ කටුක අත්දැකීම් අපිට තියෙනවා. මම මුලින්ම ලියපු කවිවල තිබුණේ ඔය කියපු සමාජ අසාධාරණකම්. සමාජ වෙනස්කම්.මට සමාජයේ අත්විඳීන්න තිබුණ දේ තමයි ඒ කාලේ ලිව්වේ.ඒකට තව උත්තේජනයක් සැපයුවා මගේ අප්පච්චි.ඔහු පරණ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙක්.ඔහු කොහේ හරි ගිහින් එනකොට අපි බලන් ඉන්නවා අපිට ටොෆියක් සීනි බෝලයක් අරගෙන ඒවි කියලා. ඒ වුණාට ඔහු අරගෙන ආවේ රුසියානු පොත්, වාමාංශික සඟරා, සේකර ගේ කවි. පස්සේ කාලෙක මම මේවා කියවන්න පටන් ගත්තා.‘‘

ටොෆි , සීනිබෝල බලාපොරොත්තු වුණු පුංචි නයනසේනලාට රුසියානු පොත් සේකර ගේ කවි වැඩක් නැති වුණාට දවසින් දවස ලොකු මහත් වෙද්දී ඒවයේ අගය දැනෙන්න පටන් ගත්තා. නයනසේන මුලින්ම අධ්‍යාපනය ලැබුවේ මහවිලච්චිය තක්ෂිලා විද්‍යාලයෙන්. ඒ කාලේ හරියට පාසල් ගමනක් තිබුණෙත් නෑ.

“ හුඟක් වෙලාවට අපි ඉස්කෝලෙ නොගිහින් කුඹුරු වැඩට යනවා. ඒ කාලේ අපේ ගුරුවරු පුදුම දුකක් වින්ද අපට උගන්වන්න.බාගෙට බාගයක් ළමයි වැඩිපුර හිටියේ කුඹුරුවල.ඒ වගේම තමයි මට ගෙදර වුණත් හොඳ පරිසරයක් තිබුණේ නෑ.ඇත්තටම කිවුවොත් අපේ ගෙදර හරියට මේසයක් පුටුවක් පවා තිබුණේ නෑ. පාඩම් කළේ කුප්පි ලාම්පුවෙන්.නමුත් මට තිබුණා පොඩි කියවීමේ උවමනාවක්. මම කුරුල්ලන් එළවන්න, රිලව් එළවන්න හේනට කුඹුරට ගියත් පොතක් අරගෙන ගියා කියවන්න.සමහර වෙලාවට දොස්තොවුස්කිගේ , ලියෝ ටෝල්ස්ටෝයි ගේ වගේ මට තේරෙන්නේ නැති පොත් පවා මම කියවන්න උත්සාහ කළා.ඒ කියවීම වෙන්න ඕන පස්සෙ කාලෙක මාව ලියන්න පෙළෙඹවෙව්වේ.‘

නයනසේන සාමාන්‍ය පෙළ කරන්න ඇතුළත් වෙන්නේ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට.පාසල් අධ්‍යාපනය සමඟම සාහිත්‍ය ඇසුරත් මේ කාලය පුරාම ඔහුගේ ජීවිතය හා බද්ධ වෙනවා. එවකට අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ සිටි සිංහල ගුරුවරයා වුණේ අද ප්‍රවිණ ගීත රචකයෙකු වන මහින්ද දිසානායකයන්.නයනසේන ගේ සිංහල ගුරුවරයා වුණෙත් ඔහු.ඒ කාලෙම ඔහු ලියන්න පටන් ගන්නවා. පාසල් මට්ටමින් විවිධ සඟරාවලත් ළමා පුවත් පත් වලත් ඒවා පළවෙනවා.විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණාට පස්සේ මේ හැකියාව තව තවත් වර්ධනය කර ගන්න උත්සාහ දරනවා.

‘ ඇත්තටම ලියන එක මගේ විනෝදාංශයක් වුණා.දේශපාලනය කරන්න වේදිකාවට යනවට වඩා අකුරින් යමක් කරන්න පුළුවන් කියලා මට හිතුණා.සමාජය යහපත් කිරීම තමයි මගේ දේශපාලනය.විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පස්සේ මම වෘත්තීය ජීවිතයට එළබෙනවා.ලංතාවේ රැකියා කිහිපයක්ම මම කළා.ඊට පස්සේ මම අබුඩාබිවලට ගියා.දැනට අවුරුදු 11 ට වැඩි කාලයක් මම හිටියේ එහේ.එහේ ඉතින් ජීවත් වුණේ කොන්ක්‍රීට්, වැලි, සිමෙන්ති එක්ක තමයි.ගොඩක් වෙලාවට හිටියේ කාන්තාරවල. ගහක් කොලක් දකින්න තිබුණෙ නෑ. කුරුල්ලෙකුවත් නෑ.ඉඳහිට දැක්කෙත් ඔටුවෙක් විතරයි.මගේ ගෙදර බිරිඳයි. දුවයි , පුතයි තියලයි මම එහේ ගිහින් හිටියේ.මේ ඔක්කොම දාල ගියාට පස්සේ තමයි මට ආදරේ කියන එක දැනෙන්න පටන් ගත්තේ.සෙනෙහස අහිමි වුණාම තමයි මට හිතෙන්නේ ඒක වැඩිපුර අපේ හදවතට දැනෙන්නේ.ඊට පස්සේ මම ආදර ගීත, කවි ලියන්න පටන් ගත්තා.

නයනසේන ගීත රචකයෙක් විලස අප හඳුනාගෙන වැඩි කාලයක් ගත වුණේ නෑ. ගෙවුණු අවුරුදු පහ ඇතුළත තමයි ඔහු ගීත රචකයෙක් විලස මේ රටේ වඩා වර්ධනය වෙන්නේ.ඔහුගේ පළමු ගීතය නිර්මාණය වෙන්නෙත් හරිම අහම්බයක් විදියට. කවියක් ලෙසින් ලියවුණු ‘ තිසා වැව ළඟ ‘‘ ඔහු පළමුවෙන්ම මුදා හරින්නේ මුහුණු පොතට. ඒ වනවිටත් මුහුණු පොත වටා සිටි ඔහු ගේ බොහෝ මිතුරනගේ හැඟීම වුණේ එය ගීතයක් කළොත් හොඳයි කියලයි.

‘‘ ඇත්තටම මට ගීතයක් කියන එක ඒ වනවිටත් සිහිනයක් විදියටයි තිබුණේ.මුලින් මම ලියපු ගීත විවිධ ගායකයන්ට යොමු කළත් ඔවුන් ඒවා ගායනා කළේ නෑ. දිවුල්ගනේ සොයුරාගෙන් මට උපදෙසක් ලැබිලා තිබුණා හිතට දැනෙන්න ලියන්න කියලා. ගෙවුණු අවුරුදු ගණනාව පුරාම මම ගීත නොලියා හිතට දැනෙන්න ලියන්නේ කොහොමද කියලා හිතුවා. ඒ වෙනුවෙන් මම පොත් කියෙව්වා. සින්දු ඇහුවා. මට හිතෙනවා ඒකෙන් මම ලොකු පරිචයක් ලැබුවා කියලා.

මගේ පළමු ගීතය වුණේ ‘තිසා වැව ළඟ‘ ගීතය. පළමු පෙම්වතියට ආදරය කරනවා වගේ තවමත් මම මේ ගීතයට ආදරය කරනවා.මේ ගීතය මුහුණු පොතෙන් ප්‍රතිචාර ලබන කොට ගායනා කරන්න කාටද දෙන්නේ කියලා මට අදහසක් තිබුණේ නෑ. එතකොට මම ගායක ගායිකාවන් කවුරුවත් අඳුරන්නෙත් නෑ. හැබැයි ගීතයේ පසුබිම අනුව මම හිතුවා මේක රජරට ගායකයෙක්ම ගායනා කළොත් හොඳයි කියලා.මම දැනගෙන හිටියේ නාලක අංජන කුමාර කියන මගේ ඥාති සහෝදරයා විතරයි. මම අනුරාධපුරේ ඉස්කෝලෙ යනකොට ඔහුගේ ගෙදර ඉඳන් තමයි ඉස්කෝලෙ ගියේ.ඔහුට කතා කරල තමයි මම මේ ගීතය දුන්නේ ඊට පස්සේ ක්‍රිෂාන්ත එරන්දක සොයුරා මේ ගීතය ගායනා කළා.එහම තමයි මගේ පළවෙනි ගීතය නිර්මාණය වුණේ.”

එයින් ඇරඹුණ ගමන තුළ මේවනවිට ගීත සියයක පමණ එකතුවක් ඔහු සතු වෙනවා. මේ අතර කරුණාරත්න දිවුල්ගනේ, කසුන් කල්හාර, ටී එම් ජයරත්න, දීපිකා ප්‍රියදර්ශනී, සමන් ජයනාත් ජිනදාස, දයාන් විතාරණ, අමරසිරි පීරිස්, සුනිල් එදිරිසිංහ, සශිකා නිසංසලා, හර්ෂණ දිසානායක, සමන් ලෙනින්, දුමාල් වර්ණකුලසූරිය, චරිතා ප්‍රියදර්ශනී, එඩ්වඩ් ජයකොඩි ඇතුළු ප්‍රවිණ ජනප්‍රිය ගායක ගායිකාවන් රැසකගේ ගීත ඇතුළත් වෙනවා

සිතිජයක් සේ රවටලා සිත 
සිතින් විතරක් එක්වෙලා 
අතීතය දෝතට අරන් අපි 
අහස් ගඟටම විසිකළා 
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි 

කසුන් කල්හාර ගයන මේ ගීතයත් නයනසේන ගේ ගී පද රචනා අතර සුවිශේෂ වුණා. ඔහු ලියු බොහෝ ගීත වල රජරට සුවඳ තිබෙනවා කියලා හිතෙනවා.මේ ගීතත් ඒකට ටිකක් ලඟයි. 

න්මසු උයනේ කඳුළු පොකුණ ළඟ  
මින්පසු අපනෑ හමුවන්නේ 
රන්රසු දැල් පිරි වාසල මුදලින් 
තහංචි වැටිලා කුමාරියේ 
අශෝකමාලා කුමාරියේ 

(කරුණාරත්න දිවුල්ගනේ)

බණ්ඩි කුරක්කන් පීදෙන ලන්ද දිහාවේ 
මට යන්ඩ හිතක් නෑ සුදු මැණිකේ 
හිත උණ්ඩි ගැහෙන මේ හිරිකඩ දැනෙන 
වෙලාවේ 
මට යන්ඩ හිතක් නෑ සුදු මැණිකේ

(සමන් ජයනාත් ජිනදාස)

මගේ බොහෝ ගීතවලට රජරට නෑකම් කියනවා තමයි. නමුත් ඉන් මිදුණු අවස්ථා ඕනෑතරම් තියෙනවා. අපේ ජීවිතත් එක්ක ගොවිතැන සමීපව බැඳුණා.ගොවිතැන කියන්නේත් කලාවක්නෙ.හානකොට, වපුරනකොට, වී ඉහිනකොට මේ හම දේකම රටාවක් තිබුණා. අනිත් පැත්තෙන් අපේ කිරි අම්මා අපිව නලනවකොට වෙස්සන්තර ජාතකේ, යශෝදරාවතේ කවි තාලයකට ගායනා කළා.ඉතින් ඒ රිද්මය අපේ ඇඟ ඇතු‍ළෙ තියෙනවා.

කාලයක් තිස්සේ අපිව රිදවපු අපිව හඬවපු වර්ගවාදී යුද්ධයේ අර්බුදය නයනසේන වචනෙන් කඳුළු කළ හැටි හරි අපූරුයි. මේ ගීතයට 2018 රාජ්‍ය සංගීත උළෙලේ ප්‍රශස්තම ගායනය සඳහා සම්මාන හිමිවුණා දුමාල් වරණකුලසූරියට.

වංගලමට කළපුවත් චංචල වුණී 
පිච්ච මල් ඉදිමිලා වෙරළට පාවුණී 
කෝවිලේ පා පැටලුණී 
ආදරේ බස කඳුළ විතරද කමලිනී

ඔහුගේ ගීත ගැන තවත් බොහෝ දේ ලිව හැකියි.මෙතෙක් විදේශයක රුකියාවක නියුතු වෙමින් නිර්මාණකරණයට පෙළඹුණු ඔහු මෙතැන් සිට මෙහි සිටම නිර්මාණකරණයේ යෙදෙනවාය යන ආරංචියද අපට බෙහෙවින් සතුටුදායක කරුණක්.ඉදිරියටද යහපත් සමාජයක් නිර්මාණය කරනු උදෙසා ඔහු සිය හැඟුම්බර, ආදරණීය වදනින් සටන් කරනු ඇත.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.