ජාතික ගීයේ නිර්මාතෘ ආනන්ද සමරකෝන් ශුරීන් ගේ

පළමු ග්‍රැමොෆෝන් ගීත තැටියෙහි ඇතුළත් වූ ගීතය
නොවැම්බර් 21, 2019

ශ්‍රී ලංකා ජාතික ගීයෙහි නිර්මාතෘ ආනන්ද සමරකෝන් ශුරීන් ගීත රචකයෙකු, ගායකයෙකු, සංගීතඥයෙකු, චිත්‍ර සහ මූර්ති ශිල්පියෙකු ආදී සකලවිධ ලලිතකලාවන් හි දක්ෂතා පෙන්වූ මෙරට සිටි අග්‍රගණ්‍ය කලා ශිල්පියෙකි. වර්ෂ 1913 ජනවාරි මස 11 දින ජන්මලාභය ලද මෙතුමා, පිළියන්දල වෑවල රජයේ විද්‍යාලයයෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව රජයේ කාර්මික විදුහලෙන් චිත්‍ර සහ මූර්ති ශිල්පය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලැබී ය. වර්ෂ 1934 දී පමණ, කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයයේ චිත්‍ර හා සංගීත ගුරුවරයා ලෙස මෙතුමාට කටයුතු කරන්නට අවස්ථාව උදාවිණි . මෙම වකවානුවේ දී, මහා කලාකරු රබීන්ද්‍රනාත් තාගෝර්තුමාගේ ලංකා සම්ප්‍රාප්තිය සිදු වුණි. රබීන්ද්‍ර සංගීතය සහ සාහිත්‍යය කෙරෙහි තදින් ඇලුම් කළ සමරකෝන් තරුණයා තාගෝර්තුමාගේ මගපෙන්වීම යටතේ ඉන්දියාවේ ශාන්ති නිකේතනයට 1936 වර්ෂයේදී ඇතුළ් වී සංගීතය, නැටුම්, චිත්‍ර සහ මූර්ති ශිල්පය ප්‍රගුණ කළේ ය. සුප්‍රකට භාරතීය චිත්‍ර ශිල්පී, වංග ජාතික නන්දලාල් බෝස් වෙතින් චිත්‍ර ශිල්පය ද, ශාන්තිදේව් ඝෝෂ් යටතේ පෙරදිග සංගීතය ද ශාන්ති නිකේතනයේදී (පසුව විශ්වභාරති විශ්වවිද්‍යාලයය) හදාරන ලදී. ඉන්දියාවේ අධිරාජ්‍යවාදී යුගයේ එවකට නිර්මාණය වූ වංග ගීත මෙන්ම ප්‍රේමය සහ ස්වභාව සෞන්දර්යය මුසු වූ වංග ගීත ද, මෙතුමා ගේ සිත බැඳ ගත්තේ ය.

වර්ෂ 1939 දී සිය අධ්‍යාපන කටයුතු නිම කර ලංකාවට පැමිණි එතුමා සංගීත ගුරුවරයෙකු ලෙස ගාල්ලේ මහින්ද විදුහලේ කටයුතු කරන සමයෙහි, වංග කලා ආභාසය මුසුකොට ගෙන ගීත මෙන්ම ගීත නාටක ද රචනා කළේ ය. වර්ෂ 1939 දී එතුමා විසින් තාගෝර් තුමන් ගේ සුප්‍රසිද්ධ වංග තනු දෙකක් ඇසුරින් පළමු වරට ග්‍රැමෝෆෝන් තැටියක් සඳහා ගීත දෙකක් නිර්මාණය කළේය. ඩ්ර්ඍ ග්‍රැමෝෆෝන් තැටි සමාගමට වෘත්තීමය ගායකයෙකු ලෙස බැඳුණු මෙතුමා විසින් පටිගත කළ පළමු ග්‍රැමෝෆෝන් තැටියෙහි අඩංගු වූ ගීත යුගලෙන් එකක් මෙම ලිපියෙන් සංක්ෂේප කරන්නෙමි.

ව් 9310 ඩ්ර්ඍ තැටි අංකයෙන් නිකුත් වුණු මෙම තැටියේ එක පසෙක රබින්ද්‍රනාත් තාගෝර් ගේ සුප්‍රසිද්ධ “එක්ලා චලෝ රේ” ගීතයේ තනුව ඇසුරින් නිපැයුණු “ බලන්න සොහොයුරියේ ඔබේ ලක්මව දුකෙනි” යන ගීතයත්, තැටියේ අනෙක් පස තාගොර්තුමන් විසින් ම විරචිත ඉන්දියානු ජාතික ගීය වන “ජන ගන මන” ගීතය ඇසුරින් නිපැයුණු “ජන සැම මන ” ගීතයත් අඩංගු විය. ආනන්ද සමරකෝන් ශුරීන් ගේ පළමුවෙන්ම තැටිගත කරන ලද ග්‍රැමෝෆෝන් තැටිය ලෙස හඳුන්වා දිය හැක්කේ උක්ත ගීත යුග්මය අඩංගු වූ එම ව් 9310 අංක දරණ ඩ්ර්ඍ තැටිය යි. මෙම ගීත යුගලය සඳහා එතුමන් විසින් සහාය ගායිකාවන් දෙදෙනෙකු යොදා ගැනුණි.

ශාන්ති නිකේතනයේ ශිෂ්‍යාවක වූ, පන්නිපිටියේ චන්ද්‍රා සෙනෙවිරත්න (විවාහයෙන් පසු චන්ද්‍රා සමරකෝන්) නම් ස්වකීය පළමු විවාහයේ බිරිඳ මෙන්ම, එම මහත්මියත්, සි.විජේරත්න නමැති තවත් තරුණ ගායිකාවක ද මෙම ගීත දෙකෙහි සහාය ගායිකාවන් වශයෙන් යොදාගනු ලැබිණි. එසේම මෙම ගීතයේ එස්රාජය වාදනයෙන් ද චන්ද්‍රා සමරකෝන් මහත්මිය දායක වූවා ය. 1939 වසරේ මෙම ගීත තැටිය සමගින් “කලම්බු මුසිකල් ස්ටෝර්ස්” ආයතනය විසින් නිකුත් කළ ඩ්ර්ඍ ගීත පොතෙහි මෙම ගීත යුගලය හඳුන්වා දීමේදී “ජාතික ගී” යනුවෙන් නම්කොට, පහත සඳහන් ආකාරයේ සටහනක් ද යොදා තිබුණි. “ශාන්ති නිකේතනයට ගොස් බොහෝ කලක් පණ්ඩිත තාගෝර් තුමන්ගෙන් සංගීතය උගෙන ආ ආනන්ද සමරකෝන් මහතා සහ එම නෝනා අද නවීන ක්‍රමයට සිංහල සින්දු, කවි, වන්නම් යනාදිය මිහිරි අන්දමින් ගායනා කර සියලු දෙනාගේ සිත් දිනාගෙන සිටිති. මෙම මහතා විසින් ගුවන්විදුලිය මගින් ප්‍රචාරයට පැමුණු සෑම සංගීතයටම බොහෝ ප්‍රභූ මහත්වරුන් ගෙන් ප්‍රශංසා ලබා තිබේ. තවද, මේ මහතා පාඨශාලාවල ශිෂ්‍යයනට මේ සංගීතය ඉගැන්වීම කරයි. තාගෝර් තුමාගේ තාල අනුව මේ මහතා විසින්ම ප්‍රබන්ධ කරන ලද මේ ජාතික සින්දු සෑම සිංහල ගෙදරකට පමණක් නොව, පෙරදිග සංගීතය ගරු කරන පාඨශාලා වලට පවා සෑහේ“.

“ලක් මව ගේ වැලපිල්ල” ලෙස ලෙස දක්වා ඇති මෙම ගීතයේ ගීත පදමාලවා පහත සඳහන් ආකාර වේ.

බලන්න සොහොයුරියේ හා හා හා ඔබේ ලක්මව දුකෙනි
ලක් මව අහෝ ලක් මව අහෝ ලක් මව දුකෙනි

බලන්න ඈගේ වත ඉරීලා
අහෝ දෑසේ ඇගේ - කඳුළු පිරීලා
නොම ඇසෙන්නේ ඈ ඒ කියනා - ඒ දුක් ගීතා
ඔබේ මෑණි අනේ - ඔබ එන තුරු ඈ ඉන්නේ බලා -

මෙත් ගුණයේ නී
හඬ ගසයි ඔබටා

එන් මාගේ රම්‍ය දුවේ එයි කිරි තනයේ
එය බී සැනසී රුවිනි දයාවෙනි වැඩේවා

කරයි මෙවැනි දයා
නොම යන්නේද ඈ සනසන සේ මා සොහොයුරියේ

නැගිටින් නො නිදන්නේ
ඉරී ඇගේ ඇඟවතා - සොඳීන මහන්නේ
පීරා වරලේ සඳුන් හිසේ ගා - ඈ නාවන්නේ
මෙත් වටේ අඳවා - ඇගේ සිහින් ඉණේ

ඈ සනසන්නේ
බලන්න සොහොයුරියේ....

මෙම ගීතය හින්දුස්ථානි ඛමාජ් රාගය ඇසුරු කොට ඛේම්ටෝ තාලයෙන් නිර්මිත ය. ශූද්ධ ස්වර පමණක් ඇසුරු කළ මෙම ගීතයේ භාවිත කර ඇතී වාදන භාණ්ඩ සීමිතය. එස්රාජය, මැන්ඩලීනය සහ දෝතාර් ( වංග සංගීත භාණ්ඩයක්) වැනි සීමිත වාදය භාණ්ඩ ප්‍රමාණයක් යොදාගැනීමත්, ගායක ගායිකාවන්ගේ කටහඬ වඩාත් ඉස්මතු කෙරෙන ලෙස නවමු විලාසයකින් (එම යුගයේ බිහි වූ අනෙකුත් ගායනාවන්ට සාපේක්ෂව) ගායනා කිරීමත් විශේෂයෙන් සඳහන් කළ යුතු ය.

මෙම ගීත තනුව පෙර සඳහන් කළ පරිදී තාගෝර්තුමාගේ සුප්‍රසිද්ධ “ එක්ලා චලෝ රේ” ගීතයේ තනුව ඇසුරින් නිපදවූවකි. මෙම මුල් වංග ගීතය ඉන්දියානු නිදහස් සටන වෙනුවෙන්, දේශාභිමානි ගීත රචනා වන සමයෙක, තාගෝර් තුමන් විසින්, 1905 දී පමණ, “භාන්දාර්” නම් සඟරාවට “හුදෙකලාව” (වංග බසින් “එක්ලා”/ හින්දියෙන් “අකේලා”) යන තේමාව යටතේ නිර්මාණය වුවකි. “ඔබ වෙත කෙතරම් බාධක පැමිණිය ද, කෙතරම් අවමන්, ගැරහුම්, නින්දා ලැබුණ ද, කිසිවෙකු ඔබ සමගින් නොසිටිය ද , ඒ කිසිවෙකින් නොසැලී තමන්ගේ මාර්ගයේ ඉදිරියටම යන්න” යන අර්ථය සහිතව නිර්මාණය කළ මෙම වංග ගීතය පසු කලෙක භාරතීය නිදහස් සටනේ පුරෝගාමී ගීතයක් බවට පත්වුණි. 1905-08 ආසන්න කාලසීමාවකදී, මුල්වරට මෙම ගීතය තාගෝර් තුමන් ගේ කටහඬින් පටිගත කරනු ලැබුවේ මුල්ම තඹ සිලින්ඩර (ඛ්කඹ්ධ්ව්ච්ඡ්අ අඡ්ඛ්ර්‍ණඅච්ඉ) වෙත “ස්වදේශී” ලේබලය යටතේ ය. තාගෝර් තුමන් ගේ මෙම මුල් ගායනය දැනට සොයා ගැනීමට නොහැකි වන අතර, 1920 දශකයේ හරේන්ද්‍රනාත් දත්තා විසින් ඩ්ර්ඍ ලේබලයට (අංක ර්‍ථ 5270) ද, 1930 දශකයේ ඩ්ධ්ව්ච්උඉඊඒව් ලේබලයට (ඩ් 191) අමලා දත්තා, සුධීන් දත්තා, ශාන්තිදේව් ඝෝෂ් ( ආනන්ද සමරකෝන් ගේ ශාන්ති නිකේතනයේ සංගීත ගුරු) සහ නන්දිතා දේවී ඇතුළු “හින්දුස්තානි තැටි සමාගමේ ගායක පිරිස” විසින් ද, මෙම ගීතය නැවත පටිගත කරන ලදී. වඩාත් ජනප්‍රිය හා දැනට ශේෂව පවතින මෙම ගීතයෙහි ග්‍රැමොෆෝන් තැටිය 1948 වසරේදී එවකට ශාන්ති නිකේතනයේ සුප්‍රසිද්ධ සිසුවියක වූ සුචිත්‍රා මූඛෝපාධ්‍යාය/ මුඛර්ජි (විවාහයෙන් පසු සුචිත්‍රා මිත්‍රා) විසින් පටිගත කළ ( ව් 27823 අංක දරණ ) ඩ්ර්ඍ ගීත තැටියයි. එම තැටි ලේබලයේ “තාගෝර් ගීතයක්” යනුවෙන් සඳහනක් ද යෙදුණි. පසු කලෙක 1980 දශකයේ දී සුචිත්‍රා මිත්‍රා විසින් නැවත මෙම ගීතය තැටිගත කළ අතර, 1980 දශකයේ ම, ශ්‍රී ලංකාවට පැමිණි අතරවාරයකදී, ශ්‍රී ලංකා රුපවාහිනි සංස්ථාවේ ද, එතුමිය විසින් මෙම ගීතය සජීවීව ගායනා කරන ලද්දී ය.

භාරතයේ එවකට පැවැති ඉන්දියානු නිදහස් සටනේ සෙවණැලි, සිරිලක පුරා ද, පැතිරෙන සමයක, සමරකෝන් ශුරීන් ගේ සුරතින් මෙම ගීත යුග්මය බිහි වීම අරුමයක් නොවන්නේ හෙතෙම තාගෝර්තුමන් ගේ දේශාභිමානි ගීත පිළිබඳ දැඩි රුචිකත්වයක් දැක්වූ කලාකරුවෙකු බැවිනි. එසේම නිදහසින් පසුවද, සමරකෝන් ශූරීන් අතින් බිහි වුණු චිත්‍රපට ගීත, අතුරින්, “මනරංජන දර්ශනීය ලංකා - මාතා අති රමණි” (සුජාතා,1953), “සිරි දැරු හෙළ දිව පුරාතනේ -කෝ අනේ අද දිනේ කොහේ ගියේද දරුවෙනි“. (සැඩ සුළං, 1955) වැනි ගීතයන් තුළින් ද ඔහුගේ මෙම පළමු ගීතයෙහි රැගත් තේමාව ම, ප්‍රකාශ කරන අයුරක් ප්‍රදර්ශනය කෙරුණි.

සමරකෝන් ශූරීන් ගේ මුල්ම ගීත වලින් කීපයක් වංග ගීත තනු ඒ අයුරින්ම යොදාගෙන නිෂ්පන්න කළ ද, පසුව ඔහු අතින් නිමවුණු බොහොමයක් ගීත ස්වතන්ත්‍ර නිර්මාණ විය. ඔහු විසින්ම ගීත රචනා කොට, ඔහු විසින්ම තනු යොදා, ඔහු විසින්ම ගායනා කරන ලද බැවින්, 1939-42 වකවානුවෙහි බිහි වූ එකම “වාග්ගේයකාර”(කර්ණාටක සංගීතයෙහි සුලභව භාවිත වන යෙදුමකි) ශිල්පියා වන්නේ මොහුය. 1940-42 වකවානුවෙහි ඩ්ර්ඍ තැටි වෙනුවෙන් ගැයූ “ පොඩි මල් එතනෝ”, “ඇසේ මධුර ජීවනයේ ගීතා”, “විලේ මලක් පිපිලා”, “එන්නද මැණිකේ මමත් දියඹටා” වැනි ගීත සොබාදහමේ සුන්දරත්වය - ප්‍රේමය සහ මුසුකොට සමරකෝන් විසින් නිර්මාණය කරන ලද අතිවිශිෂ්ට ගීත අතුරින් කීපයකි. සම්භෝග ශෘංගාරය - ප්‍රේමය ඉතා මතුපිටින් ගීත වලින් ස්පර්ශ කළ ගේයපද රචනා බිහි වූ යුගයක සමරකෝන් අතින් බිහි වූ ග්‍රැමොෆෝන් ගීත සමුච්චය ඉතා ප්‍රශස්ථ ය. ඔහු විසින් සිංහල සංගීතයේ ප්‍රගමනයට ඉටු කරන ලද මෙහෙය අනභිභවනීය ය.

ශ්‍රී ලංකා ජාතික ගීයේ නිර්මාතෘ සමරකෝන් ශූරීන්ගේ නාමයට මෙම සටහන උපහාරයක්ම වේවා !

 

(විශේෂ ස්තුතිය : ගීත තැටි සංරක්ෂක එච්. එම්. ගුණතිලක මහතා, වංග ජාතික සෞනාක් ගුප්තා මහතා, අමරදාස අබේවික්‍රම මහතා, සිංහල ගීතයෙහි සංගීතමය අගය පෙන්වා දුන් බුද්ධි ජයසේකර මහතා, සේයා රූ සංරක්ෂණයෙහි තාක්ෂණික දායකත්වය ලබා දුන් ප්‍රභාත් සමරසූරිය මහතා)

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.