රන්වල සමරන රන් සලකුණ

සහන් රන්වල
නොවැම්බර් 28, 2019

දේශීය ජන සංගීතයක උරුමය වෙනුවෙන් දහදිය කඳුළු වැගූරූ දේශීය සංගීතඥයන් අතළොස්ස හමුවේ ලයනල් රන්වලයන්ට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. නොයෙකුත් බාධක කම්කටුලු මැද්දේ වුවද ඒ වෙනුවෙන් උපන් ආදරණීය හැඟීම හා එය දිවි හිමියෙන් රුක ගැනීමේ උනන්දුව ඔහු කෙදිනකවත් අත්නොහළෙකි. ඒ දිරිය ඒ සවිය මෙන්ම අති මහත් හැකියාවද කරපින්නා ගත් ඔහු ගේ පුත් සහන් වත්මනෙහි සිය පරපුරෙන් උරුම වූ අනගි දායාදය සුරැකිව අපේ අනාගත පරපුර වෙත ගෙන යමින් සිටින්නේය.

මේ මහඟු කාර්ය භාරයේ තවත් එක් සුවිශේෂී අංගයක් වශයෙන් රන්වල බලකාය විසින් පවත්වනු ලබන ‘ රන් සලකුණ‘ වාර්ෂික ප්‍රසංගය පැවැත්වීමේ සුබ මොහොත වෙනුවෙන් මේ දිනවල කාර්ය බහුලව සිටී.

‘‘ රන් සලකුණ ‘ ප්‍රසංගය අපේ වාර්ෂිකව පවත්වන ප්‍රසංගයක්. මෙවර අපි පවත්වන්නේ අට වැනි වතාවට. මේක වාර්ෂික ජන ගී සංදර්ශනයක් විදියට අපි පවත්වන්නේ තාත්තාගේ උපන්දිනය නිමිතිකොට ගෙනයි. අපේ තාත්තා ඉපදුණේ 1939 නොවැම්බර් 27 වැනිදාවක.මේ අවුරුද්දේ නොවැම්බර් 27 වැනිදාට තාත්තා හිටියා නම් වසර අසූවක් පිරෙනවා.ඒවගේම තමයි මේ දෙසැම්බර් 13 වැනිදාට තාත්තා නැතිවෙලා වසර 13 ක් සපිරෙනවා.මේ සියලු දේ සිහිපත් කරමින් තමයි මෙවර ‘ රන් සලකුණ ‘ ජන ගී සන්දර්ශනය පවත්වන්න අපි තීරණය කළේ.

පියෙකු ගේ උරුමය ඒ අයුරින්ම රැක ගනිමින් සමාජ , දේශපාලන ආර්ථික ව්‍යුහයන් මැද්දේ ආරක්ෂාකාරීව ගමන් කිරීම තරමක් දුෂ්කර කාර්යයකි. නමුත් සහන් මෙකී නොකී බාධාවන් සියල්ලන්ගේම මිදී පියා ගේ අභිප්‍රාය ඉටු කරන්නට නොපැකිළිව ඉදිරිපත් වූ පුත්‍රයෙකි.ජනසංගීතයත් සමඟ බද්ධ වී මෙතෙක් ආ ගමන් මඟ මෙන්ම ඉදිරි ගමන් මඟ තුළද ජන සංගීතය තුළින් ජාතික සංගීතයක් බිහි කරලීමේ අරමුණ කරා යන ඔහු තම අභිමතාර්ථ ඉටු කරගැනීම වෙනුවෙන් කවදත් වෙහෙස නොබලා කටයුතු කළ අයෙකි.

‘‘ අපි මේ ප්‍රසංගය නම් කරලා තියෙන්නේ ‘ රන් සලකුණ‘ කියලා. මෙහි තිබෙන සුවිශේෂීම කාරණය තමයි යම්කිසි ගුරු කුලයක් වෙනුවෙන්, එහෙම නැතහොත් ආචාර්යවරයෙක් වෙනුවෙන් ඒ පරම්පරාවේ සියලුම ගෝලයන් එකතුව පවත්වන ප්‍රසංගයක් පැවැත්වීම.මේ ප්‍රසංගය අපේ අනෙක් හැම ප්‍රසංගයකින්මත් වෙනස්.අපේ ‘ ගම අවුලඤ්ඤයි‘ ප්‍රසංගය ගත්තොත් ඒකෙ අඩංගු වෙන්නේ ගම අවුලඤ්ඤයි සංයුක්ත තැටියේ අඩංගු ගීත විතරයි.‘ යුද්දෙටත් ඇවිත්‘ ප්‍රසංගය බැලුවොත් එහි තියෙන්නේ ඒ ප්‍රසංගයට අඩංගු ගීත විතරයි. නමුත් රන් සලකුණ ‘ මේ සන්දර්ශන සියල්ලේම එකතුවක්.අපේ තාත්තගේ පළවෙනි ගෝලයාගේ සිට මේ දක්වා ගෝලයෝ මේ ප්‍රසංගයට සම්බන්ධ වෙනවා.සාමාන්‍ය ‍යෙන් අපේ ප්‍රසංගවල නොනවතින ගීත නැහැ. නමුත් මේ සන්දර්ශනයෙදි විතරක් අපි එහෙම ගීතත් ඇතුළත් කරනවා.අපි මේ සංදර්ශනය ආරම්භ කරන්නේ තාත්තාගේ පළවෙනි ගීතයෙන්.එතැන් සිට මේ දක්වා කරපු ගීත රැසක් මේ ප්‍රසංගයේ දී ගායනා වෙනවා.මේ ප්‍රසංගයට ජන ගීයෙන් අපි කරපු නිර්මාණ විතරක් නොවෙයි විවිධ පාර්ශ්වවලට අපි කරපු නිර්මාණත් එකතු කරන්න බලාපොරොත්තු වෙනවා.උදාහරණයක් විදියට කිවුවොත් දෙරණ ඩ්‍රීම් ස්ටාර් ප්‍රසංගය සඳහා අවස්ථා තුනේම අවසන් ගීතය නිර්මාණය කළේ මා විසින්. දෙරණ සිටි ඔෆ් ඩාන්ස් තේමා ගීතය නිර්මාණය කළෙත් මම.ස්වාධීන රූපවාහිනියේ සූර්ය මංගල්‍යය අවුරුදු වැඩසටහනේ තේමා ගීතය කලෙත් මම මේ විදියට කරපු නිර්මාණත් මේ ප්‍රසංගයට ඇතුළත් කරන්න අපි හිතුවා.

රන් සලකුණ දිග හැරෙන්නේ එළඹෙන දෙසැම්බර් 01 වැනිදා සවස කොළඹ ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේදීය.වසර කිහිපයක් තිස්සේම මෙම ප්‍රසංගය සංවිධානය කරනුයේ ආනන්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ගුරු සුබසාධනයට ආධාර පිණිසය.ආනන්ද විද්‍යාලය සහ ලයනල් රන්වලයන් අතරද ඇත්තේ සමීප සබැඳීයාවකි. ඔහු වසර 20 ක් වැනි දීර්ඝ කාලයක් මෙම පාසලේ සේවය කරමින් සිට විශ්‍රාම ලැබුවෙකි.

“ තාත්තයි ආනන්ද විද්‍යාලයයි අතර තිබුණේ සුහද බැඳීමක්. අවුරුදු විස්සක් වගේ කාලයක් සේවය කරලා තාත්තා විශ්‍රාම ලැබුවෙත් මේ විද්‍යාලයෙන්මයි.ආනන්ද විද්‍යාලයේ ක්‍රමවේදය තාත්තගේ අදහස් සමඟ බොහොම සමපාත වුණා.අපේකම, අපේ සංස්කෘතිය, ශ්‍රී ලාංකික අනන්‍යතාවය සමඟ වැඩ කරත්දී ඒ මතවාදත් එක්ක වැඩ කරන්න තාත්තට බොහොම පහසු වුණා.මමත් මගේ අයියත් දෙන්නම ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය යෝ.අනිත් පැත්තෙන් අපේ ගීත රචනා කරපු අය අතරින් බහුතරයක් ඉන්නේ ආනන්දයේ ආදි ශිෂ්‍ය යෝ.නම් වශයෙන් කියනවා නම්‘ ගම අවුලඤ්ඤයි ලියපු සිසිර දිසානායක, නුවන් කුමාර කටුගම්පොළ, ධම්මික හෙට්ටි ආරච්චි, ගාමින්ද ප්‍රියවිරාජ්, දිලීප අබේසේකර, ගීතනාත් කුඩලිගම වැනි ගීත රචකයෝ ගොඩාක් ඉන්නවා. අපිත් ආනන්දෙත් අතරේ තියෙන්නේ ඒවගේ සම්බන්ධයක්.

2020 සහ 2030 යන ඉදිරි දස වසර පිළිබඳ දැක්මක් මේවන විටත් සහන් රංවල ඇතුළු රංවල බලකාය ගොඩනඟාගෙන හමාරය. මෙකී දස වසර තුළ ජන සංගීතය නම් වූ මේ අරුමැසි සංගීතය ගෙන යා යුත්තේ කොතැනකටද යන්න පිළිබඳ සැලසුමක් මෙකී ප්‍රසංගය මූලික කොට ගෙන සාකච්ඡාවට බඳුන් කරන්නටද ඔවුහු බලාපොරොත්තු වෙති.

එසේම පුතෙකුට පියා පිළිබඳ ඇත්තේ සුවිශේෂී හෘදයාංගම බවකි. සහන් වැනි පුතෙකුට එය අතිශයින් සුවිශේෂී වන්නේ ඔහු ගේ පියා මෙරට කලා ක්ෂේත්‍රයට මිණි පහනක් වූවෙක් බැවිනි.

“ අපේ තාත්තා මම දකින්නේ හරිම ඉදිරිගාමී මනුෂ්‍යයෙක් විදියට.මේක මගේ අදහස, මේක මගේ මතය, මට ඕන විදියට වැඩේ ඉදිරියට වෙන්න ඕන කියන දැඩි මමත්වය තාත්තා තුළ තිබුණේ නෑ.එයා නිර්මාණයක් කරනකොට ශ්‍රාවක , ප්‍රේක්ෂක අදහස් වලට ගරු කරපු කෙනෙක්. නිර්මාණයක් කළොත් මම ගෙදර එන්නේ කොයි වෙලේද කියලා බලාගෙන ඉන්නවා ඒ ගැන කතා කරන්න.ඒ වගේම ඔහු අපේ කණ්ඩායමත් සමඟත් ඒ ගැන සාකච්ඡා කළා. ඒ නිසා අපිට ඉඩක් තිබුණා තාත්තගේ නිර්මාණ වලට සම්බන්ධ වෙන්න.ඒ නිසා තාත්තා නැති වුණත් අපිට මේක ඉදිරියට කරගෙන යන්න ආභාසය තිබුණා.තාත්තා ජන ගීය අවශ්‍යයයි කියන එක ගැන කල්පනා කළේ අතීතයට බලපාන විදියට නොවෙයි. අනාගතයට බලපාන විදියට.අනාගත ලෝකයට යනකොට අපිට හැඳුණුම් පතක් තියෙන්න ඕන.අපිට අනන්‍යතාවයක් තියෙන්න ඕන. අන්න ඒකට අපි මේක පාවිච්චි කරන්න ඕන කියන එක ගැන හිතලා තමයි තාත්තා වැඩ කළේ.‘‘

සහන් ගේ ජීවිතේ ළමා අවදියේ සිටම නිතර ඇස ගැටෙන්නේ ජන සංගීතය හා බැඳුණු සිද්ධීන්.සමඟ. ඒ නිසාම ඔවුන්ට පියා තුළ උපදින්නා වූ කැක්කුම හා සමානම කැක්කුමක් ජන සංගීතය වෙනුවෙන් නිර්මාණය වන්නේය.එහෙත් කිසිදා ඔවුන්ට නිවෙස තුළ තහංචි බැමි තිබුණේ නැත. ඔවුන් රිසි දේ කරන්නට වූ අසීමිත නිදහසක් නිවෙස තුළ වූයේය. පසු කලෙක ඔවුන් ජන සංගීතය කෙරෙහිම වෙලා තබන්නට හේතු වන්නට ඇත්තේද මේ අසීමිත නිදහසමය. ඒ නිදහස ඔස්සේ ඔවුන් විශ්ව සංගීත‍යේ ඇසුර ලබන්නට ඇත.

‘‘ අපේ තාත්තගේ මම මෙහෙම දෙයක් දැක්කා. එයාගෙන් අපට කවදාවත් බලපෑමක් තිබුණේ නෑ කිසිදෙයක් කරන්න කියලා.මම කැමති මේකට උඹලත් මේකම කරන්න ඕන කියලා එයා හිතුවේ නෑ.අපි ගෙදරදි ඇහුවේ ජන ගී විතරක්ම නොවෙයි.යහපත් ගීතම අහපල්ලා කියලා අපට බලකලෙත් නෑ. ඒ නිසා අපි නිදහසේ නිර්මාණ රසවින්දා.ඒ නිදහස නිසා හොඳ දේ හොයන්නත් නරක දේ බැහැර කරන්නත් අපි ඉගෙන ගත්තා. ඒ තුළින් අපිට ස්වයං වාරණයක් ඇති වුණා කියලා මට හිතෙනවා.

මම අදටත් අදහන අපේ තාත්තා අපේ අම්මට නිතරම කියපු දෙයක් තියෙනවා. එයා හැම වෙලේම කිවුවා‘‘ කවදාවත් ලොකු පුතයි පොඩි පුතයි සන්සන්දනය කරන්න එපා කියලා.‘ ඔහු කිව්වෙ දෙන්න දෙන්නෙක් කියලයි.

අද තාත්තගේ රන්වල බලකාය ඉදිරියට අරගෙන යන්නේ මම වුණාට තාත්ත ඉන්න දවස්වල මම මේ ගැන උනන්දුවෙන් හිටි කෙනෙක් නොවෙයි. අයියා තමයි තාත්තා නාට්‍යයක් පුහුණු කලත් දුවගෙන ගිහින් රඟපෑවේ. මම කළේ පැත්තකට වෙලා බලාගෙන හිටපු එක.ඒ කාලේ මට කියන්නේ‘‘ සීරියස් මෑන්‘‘ කියලා. නමුත් දැන් සීරියස් මෑන් වෙලා තියෙන්නේ අයියා. අයියා කලින් අපේ කණ්ඩාමේ හිටියා. දැනටත් එයා අපේ පරණ කට්ටිය සහභාගී වෙන ප්‍රසංග වලට සම්බන්ධ වෙනවා. නමුත් තාත්තා මිය යන අවස්ථාව වනවිට මම තමයි කණ්ඩායම සමඟ එකට වැඩ කළේ. ඊට පස්සේ මේක වගකීමක් විදියට කරගෙන යා යුතුයි කියන හැඟීම මට එන්න ගන්නවා.ඒ වෙනකොට මම විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ සිසුවෙක්.නීති විද්‍යාලයේ ප්‍රථම වසරේ ඉගෙන ගනිමින් සිටියේ.ඒත් එක්කම මම රංගන ශිල්පියෙක් විදියටත්, නිවේදකයෙක් විදියටත් වැඩ කරමින් හිටියා.නමුත් මට තේරුණා ඒවා කරන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා. මේ වැඩේ කරන්න අය තමයි නැත්තේ කියලා.ඒක මගේ වගකීමක් කියලා හිතුණා. ඊට පස්සේ තමයි දිගටම මම මේක කරගෙන යන්න පටන් ගත්තේ.හැබැයි තාත්තගේ හැඟීමක් තිබුණා අපි මොන වැඩේ කළත් මේ වැඩේත් ඉදිරියට පවත්වගෙන යයි කියලා.

ඒ කාලේ මම මේකට අත ගහනකොටම මගේ මිත්‍රයෝ ඇහුවා “ උඹට පිස්සුද? කියලා.ඒ කාලෙ මාත් එක්ක නීති විද්‍යාලයේ එකට ඉගෙන ගත්ත යාළුවෝ කිවුවා උඹට අපිට වැඩිය හොඳට කතා කරන්න පුළුවන් ඇයි උඹ මේක අතෑරල මේක කරන්නේ කියලා.ඇත්තටම මම නීති විභාගය අවුරුදු ගාණක් අතෑරලා තමයි මේක කළේ.මාත් එක්ක කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පිඨයේ හිටපු අය කිව්වා ඔයා නාස්ති වෙනවා කියලා. නමුත් අදවෙනකොට ඒ හැම දෙනෙක්ම කියන දෙයක් තමයි මම ගත්ත තීරණය හරි කියන එක.එදා මට මේකට එන්න එපා කියලා ඔවුන් හැම දෙනෙක්ම කිවුවෙ මට තියෙන ආදරයට.කලාව කියන එකෙන් රැකෙන්න බැරි නිසා. නමුත් අද වෙනකොට බැලුවම අපි ලොකු දුරක් ඇවිත් තියෙනවා. අපේ ගුරු මණ්ඩලයේ පමණක් ඉන්නවා 29 දෙනෙක්. අපේ පාඨමාලාවේ වෙනම කාර්ය මණ්ඩලයක් ඉන්නවා., කොළඹ, ගාල්ල , ගම්පහ, කුරුණෑගල පන්තිවල ළමයි 1500 වැඩි සංඛ්‍යාවක් ඉගෙන ගන්නවා.අපි ලෝකෙ වටේ සංචාරය කරනවා.පිටරට ළමයින්ටත් උගන්නනවා.ලංකාව පුරා දේශනවලට යනවා.එක පැත්තකින් අපි තෘප්තියක් ලබනවා වගේම අපි මුදලුත් හම්බ කරනවා. ලෝකෙට යමක් දෙනවා වගේම අනාගතයටත් යමක් ඉතිරි කරනවා. මේ සියල්ලම අපිට සාර්ථක කර ගන්න ලැබුණේ මේ වැඩේත් එක්ක.

එදා සිය පියා කළ මෙහෙවරේම ඉතිරිය කරන්නට අද සහන්ට විශාල වගකීමක් වේ.ඔහු ඒ වෙනුවෙන් බොහෝ කැප කිරීම් කළේය.එහි ප්‍රතිඵලද අද ඔහු භුක්ති විඳීමින් සිටින්නේය .

‘‘ අපි හැමදාම පුරුදු වෙලා ඉන්නේ ඉස්සර හොඳයි දැන් නරකයි කියන්නමනේ. මමනම් හිතන්නේ ඉස්සර ජන සංගීතය තිබුණ තැනට වඩා දැන් ජන සංගීතය තියෙන තැන හොඳයි කියලයි. ඒක කවුරුත් අපට බන්දේසියක තියලා දුන්නේ නෑ. මකුලොලුව මහත්තයලා. කුලතිලක මහත්තයාලා, අපේ තාත්තා, බැද්දගේ මහත්තයා ඇතුළු පිරිසක් අරගෙන ආපු අරගලයකින් , ක්‍රියා මාර්ගවලින් අපිට ලැබුණු දෙයක්. ඒ සටන අපි අඛණ්ඩව කරගෙන ආපු නිසා තමයි මේ ජයග්‍රහණය අද ලබලා තියෙන්නේ. අද වනවිට රියැලිටි වැඩසටහන් වලදිත් ජන ගීයට ඉඩක් ලැබෙන තැනට ඇවිල්ලා තියෙනවා.ඉතින් නූතන ලෝකයේ අපට මඟහැර යා නොහැකි දෙයක් බවට අපි ජන ගීය පත්කරගෙන තිබෙනවා.

දැන් අපේ සාර්ථකත්වය කොච්චරද කියනවානම් අපේ පාඨමාලාවට ළමයින් බඳවා ගන්නට පොරොත්තු ලේඛනයේ ඉන්න සිද්ධ වෙලා තියෙනවා.ඒ තරමට දැන් මේ ගැන පිරිස උනන්දුයි.අපි ඕස්ට්‍රේලියාවේ පර්ත්වල සිංහල භාෂා පැසැලේ ළමයින්ට දවස් පහක වැඩමුළුවක් හැම අවුරුද්දකම කරනවා. ‘‘රන් සලකුණ හැරුණැම අපේ ඉදිරි වැඩ ගැනත් සඳහන් කලොත් හැම මාසෙම අවසන් සෙනසුරාදා සවස හයට නිදහස් චතුරශ්‍ර යේදී ‘‘ගයමු ‘ සංදර්ශනය පවත්වනවා.සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා. දෙසැම්බර් මාසේ 07 වැනිදා සවස පහට ගාලු කොටුවේදී අපි ‘‘ ගයමු ‘‘ සංදර්ශනය පවත්වනවා.දෙසැම්බර් අට වැනිදා ‘ පොඩි අයට ජන ගී ප්‍රසංගය ගම්පහ සිරි කුරුස විද්‍යාලයේදී පවත්වනවා.දෙසැම්බර් 25 පොඩි අයට ජන ගී ප්‍රසංගය ගාල්ලේ කරාපිටියේ වෛද්‍ය පීඨයේ පැවැත්වෙනවා.දෙසැම්බර් 23- 24 ඩුබායි සහ අබුඩාබි වල පොඩි අයට ජන ගී ප්‍රසංගය පැවැත්වෙනවා. මේ සියල්ලේම අවසන් අරමුණ ජන සංගීතය මේ රටේත් ලෝකයේත් ඉහළ තලයකට නංවා ලීමයි.

 

නිශ්ශංක විජේරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.