ගම්පෙරළියේ අසමසම වාර්තාව

ජාත්‍යන්තර සිනමා උලෙළක තෙවතාවක් සම්මාන
නොවැම්බර් 28, 2019

ඉන්දියාවේ ගෝව ප්‍රාන්තයේ අගනුවර වන පාන්ජිම් නගරයේ වාර්ෂිකව පැවැත්වෙන ඉන්දියානු ජාත්‍යන්තර සිනමා උලෙළේ පනස් වැනි සංවත්සරික මොහොත අපට වැදගත්‍ එකකි. සිව් වසරකට පසු ඒ සඳහා සහභාගි වන්නට මා තීරණය කළේ ද ඒ නිසාමය. එය අපේ සිනමා ඉතිහාසයේ සඳහන් කළ යුතු වැදගත් ම සිනමා උලෙළ ලෙස හැදින්වීම අතිශයෝක්තියක් නොවේ.

ලාංකික සිනමාව ජාත්‍යන්තර තලයේ මුල්වරට සදහන් වනුයේ ඉන්දියානු ජාත්‍යන්තර සිනමා උලෙළ මුල්වරට තරගකාරී සිනමා උලෙළක් වීමත් සමඟය. ඒ 1965 වසරේ මුල්වරට රණ මයුර සම්මානය පිරිනැමීමේ දී එය ගම්පෙරළිය දිනා ගැනීමට සමත් වීම සමඟය .

අනතුරුව සුගතපාල සෙනරත් යාපා ගේ මිනිසා සහ කපුටා හොදම කෙටි චිත්‍රපටය රජත මයුර සම්මානය දිනා ගත්තේය.

1987 වසරේදි අනෝජා වීරසිංහ මල්දෙණියේ සිමියොන් උදෙසා හොදම නිළියට හිමි රජත මයුර සම්මානය දිනා ගත්තාය .

2006 වසරේ හොදම නිළිය ලෙස රජත මයුර සම්මානය දිනා ගත්තේ නිළි රැජන මාලිනී ෆොන්සේකා ය. ඒ ආකාස කුසුම් චිත්‍රපටය උදෙසාය. මාලිනී 2011 වසරේ ඉන්දියානු ජාත්‍යන්තර සිනමා උලෙළ විනිශ්චය මණ්ඩලයේ ද සාමාජිකාවක වූවාය. 2000 වසරේ ප්‍රවීණ සිනමා විචාරක ඈෂ්ලි රත්නවිභූෂණ ද ඉන්දියානු උලෙළ විනිශ්චය මණ්ඩලයේ සාමජිකයකු විය.

2012 වසරේ ඉන්දියානු නිළි අංජලී පටිල් හොදම නිළිය වූයේ ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටය උදෙසාය. එමෙන්ම 2000 වසරේ දී ඉන්දියානු සිනමා උලෙළේ පිරිනැමෙන යාවජීව සම්මානය පිරිනැමුණේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ටය.

මෙවර ඉන්දියානු සිනමා උලෙළේ දී ගම්පෙරළිය ලෝක වාර්තාවක් තැබූ වග බොහෝ දෙනා නොදන්නා කාරණයකි. ඒ එකම චිත්‍රපටයක් එකම ජාත්‍යන්තර සිනමා උලෙළක තෙවතාවක් ප්‍රදර්ශනය කොට ඒ හැම අවස්ථාවකම එයට සම්මානයක් පිරිනැමීමය.ඒ 1965 .2000 සහ 2019 යන අවස්ථාවන් ත්‍රිත්වයේදීය. මුල් වතාවේ එහි සම්මානය ලබා ගත්තේ නිෂ්පාදක ඇන්ටන් වික්‍රමසිංහ ය.2000 වසරේ ආචාර්ය ලෙස්ටර් ය.මෙවර සුමිත්‍රා පීරිස් මහත්මිය යි. ගම්පෙරළිය මුල් වරට සම්මාන දිනා ගත්තේ සරසවිය උලෙළෙනි. ඒ මුල්ම සරසවිය උලෙළේ හොඳම චිත්‍රපටය ලෙස නොබිඳෙන වාර්තාවක් තබමිනි. ඉන්දියානු ජාත්‍යන්තර සිනමා උලෙළේ මුල්ම රණ මයුර සම්මානය දිනා ගත්තේ ඉන්පසුව ය . ගම්පෙරළිය මුල්ම රණ මයුර සම්මානය දිනා ගනිද්දී මා මෙලොව එළිය දැක තිබුණේ නැත . එහෙත් 2000 වසරේ දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ට ඉන්දියානු උලෙළේ යාවජීව සම්මානය පිරිනමමින් ගම්පෙරළිය නව දිල්ලයේදී තිර ගත වද්දී එම අවස්ථාව ට සහභාගි වන්නට මට ඉඩ ලැබිණි. මෙවර ද එම අවස්ථාවට සහභාගි වීමි. මේ අවස්ථා දෙකෙහිම එම සම්මානය පිරිනැමීමෙන් පසු එය ආචාර්ය ලෙස්ටර් මෙන්ම සුමිත්‍රා පීරිස් මැතිනියද එය පත් කළේ මා අතටය.

පනස් පස් වසරකට එපිට ගම්පෙරළිය ලෝක සම්මානය දිනූ අවස්ථාව හා චිත්‍රපටය පිළිබඳ ඇගේ අත්දැකීම් විටෙක හැගීම්බර වෙමින් සුමිත්‍රා පීරිස් මැතිනිය එහි රැස්ව සිටි ප්‍රේක්ෂකයන් හමුවේ කියාපෑවේ නෙතග කදුළක්ද රදවා ගෙනය. පසුගිය වසරේ ආචාර්ය ලෙස්ටර් ගේ අභාවය සමග සම්මානය අතුරුදන් වූ අයුරු හා මෙරට මාධ්‍ය නැගූ හඩ නිසාම පැය 48ක් ඇතුළත එය යළි ලැබුණු අන්දමත් ඕ විස්තර කළාය .

ලංකාවේ නොමැති ගම්පෙරළිය ඩ්ජිටල් පිටපතක් මෙවර තිරගත විණ. එය1963 වසරේ මෙරට මුල්වරට තිරගත වූ මෙම විශිෂ්ට නිර්මාණය පිළිබඳ නැවත අවලෝකනය සදහා සුදුසු කාලය මෙය බැවි මගේ හැඟීමය. ගම්පෙරළිය ඇරඹෙනුයේ සිංහල අවුරුදු සමයකය. එයට මුල පුරනුයේ කත් කාරයෙකු කයිසාරුවත්තේ නිවසට පැමීණීමෙනි. මාතර හාමිනේ උස් පුටුවක වාඩි වන අතර කත් කාරයා ද පසුව පැමිණෙන පිරිස අසුන් ගන්නේ මිටි අසුන්වලාය. මුළු ගම්පෙරළිය ම සිදුවන්නේ මරණ තුනක් සහ මගුල් ගෙවල් දෙකක් අතරය. සව්සිරියෙන් පිරි මහගෙදර අබිබවා පියල් ඉදිරියට එයි. සල්ලි තියෙනවා නම් කුමාරිකාවක් වුව කරකාර බැද ගත හැකි බව පියල් ඔප්පු කර සිටියි. ගම්පෙරළිය සමාජ විපර්යාස පමණක් නොව මිනිසුන්ගේ අඳුරු සිත් විනිවිද දකින්නට සමත් චිත්‍රපටයකි. යුගයෙන් යුගයට අලුත් අර්ථකථන දෙන්නට සමත්වීම විශිෂ්ට කලා නිර්මාණයක ලකුණකි.

ගම්පෙරළිය එබඳු ගෞරවනීය කෘතියකි .ඒ පිලිබඳ කෙටි ලිපියක් ප්‍රමාණවත් නොවේ.

මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් උලෙළට සහභාගි වන්නට වරම් ලද චිත්‍රපටය වනුයේ ලලිත් රත්නායක ගේ කුලුදුල් නිර්මාණය වන විෂම භාග චිත්‍රපටයයි. එය මෙවර උලෙළේ තිරගත වනුයේ සෝල් ඔෆ් ඒශියා අංශයටය. කෙසේ වෙතත් මා මුල්වරට ඉන්දියානු උලෙළට සහභාගි වූ අනූව දශකයේ දී ජාතික චිත්‍රපට සංස්ථාව මෙම උලෙළ ට නිරන්තරයෙන් සහභාගි විය. විශේෂයෙන් එකල නිතරම සහභාගි වූ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වරයෙකු වූ අයිවන් වීරක්කොඩි මහතා අපේ චිත්‍රපට විදෙස් සිනමා රසිකයාගේ අවධානය යොමු කරවීමට අනලස්ව කටයුතු කළේය .

1952 වසරේ ඉන්දියානු ජාත්‍යන්තර සිනමා උලෙළ මුල් වරට පවත්වනු ලබන විට එරට නිදහස ලබා යන්තම් අවුරුදු පහක් ආසන්න වුණා පමණකි. නිදහස් ඉන්දියාවේ මුල්ම ප්‍රවෘත්ති හා ගුවන් විදුලි අමාත්‍ය ඉන්දිරා ගාන්ධි මැතිනියගේ අදහසක් අනුව 1952 ජනවාරි 24 දින එවකට ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී ජවහර්ලාල් නේරු තුමන්ගේ ප්‍රධානත්වයෙන් මුල්ම ඉන්දියානු ජාත්‍යන්තර සිනමා උලෙළ ඇරඹිණ .

මුල් උලෙළට රටවල් 23කින් චිත්‍රපට 40ක් ප්‍රදර්ශනය විය. (මේ මූළු කාලය ඇතුළත ඉන්දියානු උලෙළ ප්‍රධාන සංවිධානය එම අමාත්‍යාංශය මගින් වන අතර එම අමාත්‍යාංශයේ නම එකමය )

මෙවර පනස් වැනි උලෙළ දී රටවල් 72කින් චිත්‍රපට 250කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය වනු ඇත. සිනමා උලෙළ ආරම්භ යේම යාවජීව සම්මානය සුප්‍රකට නිළි ඉසෙබෙලා හපර්ට් වෙත පිරිනැමුණු අතර ගොල්ඩන් ජුබිලි අයිකන් සම්මානය දෙමළ සිනමාවේ සුපිරි නළු රජිනි කාන්ත් වෙත පිරිනැමිණි

උලෙළේ අවසන් දින හොදම චිත්‍රපටයට හිමි රණ මයුර සම්මානය සහ ඉන්දියානු රුපියල් හතළිස් ලක්ෂයක් පිරිනැමෙන අතර (දළ වශයෙන් ලංකාවේ රුපියල් කෝටියක් ඉක්මවා ) හොඳම අධ්‍යක්ෂ සඳහා ඉන්දියානු රුපියල් පහළොස් ලක්ෂයක් ද හොඳම නළුවා සහ නිළිය සඳහා ඉන්දියානු රුපියල් දස ලක්ෂයක් බැගින් ද විශේෂ ජූරි සම්මානය සදහා ඉන්දියානු රුපියල් පහළොස් ලක්ෂයක් ද හොදම කුලුදුල් චිත්‍රපටයේ අධ්‍යක්ෂක වෙනුවෙන් ඉන්දියානු රුපියල් දස ලක්ෂයක් ද පිරිනැමෙන අතර එම සියලු සම්මාන සඳහා රජත මයුර සම්මානය ද පිරිනැමීමට නියමිතය .

ඉන්දියානු ජාත්‍යන්තර උලෙළ අංශ කිහිපයකින් සමන්විතය. ඉන්දියානු චිත්‍රපට ඇතුළත් පැනොරාමා අංශයට වෘත්තාන්ත අංශය වෘත්තාන්ත නොවන අංශය දාදා සාබ් පල්කේ සම්මානයලාභි අංශය (මෙවර අමිතාබ් බච්චන් ගේ චිත්‍රපට ) ස්වර්ණ ජයන්ති උලෙළේ එදා තරග කළ ඉන්දියානු චිත්‍රපට. කොන්කර්නි (එනම් ගෝවේ නිෂ්පාදිත චිත්‍රපට) ප්‍රණාම් (පසුගිය වසරේ මියගිය ඉන්දියානු සිනමාකරුවන්ගේ චිත්‍රපට ) ඉන්දියානු සිනමා ප්‍රත්‍යාවලෝකන. ඉන්දියානු ප්‍රධාන ප්‍රවාහය. මුම්බායි උලෙළේ හොඳම චිත්‍රපට යන අංශ ඇතුළත් විය .

ජාත්‍යන්තර අංශයේ සිනමා දැක්මට ඇතුළත් අංග රාශියකි. එනම් ජාත්‍යන්තර තරගකාරී අංශය. කුලුදුල් වෘතාන්ත සිනමාකරුගේ අංශය. ගාන්ධි සම්මාන අංශය. මාස්ටර් ෆ්‍රේම්ස්. ෆෙස්ටිවල් කැලිඩස්කෝප්. සෝල් ඔෆ් ඒශියා යන අංශ ඇතුළත් ය.

මෙයට පෙර දින දහයක් පැවැති උලෙළ මෙවර පැවැත්වෙන්නේ දින 8කි. එසේ වුවත් පසුගිය වසරට වඩා වැඩි සිනමාහලේ සංඛ්‍යාවක් ඒ සදහා යොදා ගෙන තිබිණ සාමාන්‍යයෙන් උලෙළ ප්‍රදර්ශනය කරන පනාජි නගරයේ අයිනොක්ස් සිනමා සංකීර්ණයේ සිනමාහල් 4 ද මැකිනස් සිනමා ශාලා ද්විත්වයද කලා ඇකඩමි ශාලා වුවද මෙවර අභිනවයෙන් ඉදිකොට ඇති මෝල් ඩ් ගෝවා සාප්පු සංකීර්ණයේ ඇති සිනමා ශාලා 4 ද යොදා ගැනිණ . එමෙන්ම ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට රාශියක් දැවැන්ත තිර මගින් වෙරළ බඩ ප්‍රදර්ශනය කරන ලද්දේ වැඩි මහජනයා ට එයට සහභාගි වන්නට හැකි පරිද්දෙනි.

මුලින් නව දිල්ලයේදී ඇරඹි උලෙළ පසුව වාර්ෂිකව එක් ප්‍රාන්තයකට ද දිල්ලිය අතර ද මාරු වෙමින් පැවතිණ. එය ස්ටිරව ගෝවේ පැලපදියම් වූයේ 2004 වසරේ ය. ඒ අනුව මේ වසරට සිනමා උලෙළ ගෝවේ ට ඇවිත් අවුරුදු පහළොව සම්පුර්ණ වෙයි. එකල ජනවාරියේ පැවැති උලෙළ නොවැම්බර යට විතැන්වූයේ ද එයින් පසුවය. සංචාරක පුරවරයක් වූ ගෝවේ සිනමා උලෙළ ආරම්භ වන විට එහි සිනමා සංකීර්ණයක් නොවිණ. එහෙත් දින සියයක් ඇතුළත අලුත්ම සිනමා සංකීර්ණයක් ගොඩනංවා විවෘත කරවන්නට බලධාරීහු සමත් වූහ. එම වගකීම් බාර ගත්තේ ඉන්දියාවේ ප්‍රධාන පෙළේ ප්‍රදර්ශන සමාගමක් වූ අයිනොක්ස් සමාගමයි.

උලෙළේ සමාරම්භක චිත්‍රපටය වූයේ ඉතාලියේ ඩෙස්පයිට් ද ඩෝග් (ඤඥඵනඪබඥ බඩඥ ඤධඨ) චිත්‍රපටය යි. එය අධ්‍යක්ෂණය කරන ලද්දේ ගෝරන් පැස්කෙල්විජ් ය. අරාබි රටවල සිට ඉතාලිය හරහා යුරෝපයට සංක්‍රමණය වන්නට වාර්ෂිකව පළා යන සංඛ්‍යාව ඉමහත්ය . පසුගිය වකවානුවේ එලෙස පලා ගොස් මුහුදු බත්වි විනාශයට පත් වූ සංඛ්‍යාව තවමත් පවසන්නේ අනුමාන වශයෙනි. ඩෙස්පයිට් ද ඩෝග් පාදක කර ගනුයේ එලෙස ගමනකදී මවුපියන් මුහුදු බත් වුවත් තම පණ බේරා ගත් අට හැවිරිදි සමීර් නම් දරුවෙකු පිළිබඳව ය. මවුපියන් මුහුදු බත් වූයේ යැයි පිළිනොගන්නා සමීර් ඔවුන්ගේ ඉලක්කය වූ ස්වීඩනයට යෑමේ අභිලාෂයන් පසුවෙයි. සීතල මාවතක තනිවී සිටින සමීර් අහම්බෙන් දකින මිනිසෙකු ඔහු ගෙදර කැඳවාගෙන යයි. භාර්‍යාව දරුවා පුත්‍ර ස්නේහයෙන් යුතුව රැක ගනී. සම වයසේම සිටි ඔවුන්ගේ දරුවා අකල් මරණයට පත් ව ඇති හෙයින් ලබන අස්වැසිල්ලක් වනුයේ සමීර් ගේ පැමිණීමයි. ඒ සමග නොසිතූ විරූ ගැටලු රාශියකට මුහුණ දීමට යුවළට සිදුවෙයි.

එහෙත් ගැටලුව වනුයේ දරුවා මුස්ලිම් සම්භවයක් ඇත්තෙකු වීම සමගය. නත්තල් දින රාත්‍රියේ පල්ලියේදී ඔහු තමා මොහමඩ් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනු ලබයි. (කෙනෙකුගේ අනන්‍යතාව පිළිබඳ කදිම චිත්‍රපටයක් ලෙස එය නැරඹූ බොහෝ දෙනා එයට ප්‍රශංසා කළහ. එහෙත් සිනමා උලෙළ ට සහභාගි වන්නට පෙරාතුව මෙරට දී නරඹන්නට ලැබුණු සිංහල චිත්‍රපටයක් මෙයට වඩා දහස් ගුණයෙන් ඉහළ ය. ඒ ආචාර්ය සෝමරත්න දිසානායක ගේ සුනාමි චිත්‍රපටය ය.)

මෙවර සිනමා උලෙළේ සංවිධානය පිළිබඳ ඉන්දියානු පුවත්පත් මගින් දැඩ් විවේචනයට ලක් කරන ලදී . සුපිරි නළු අමිතාබ් බච්චන් රඟපෑ පා චිත්‍රපටය තිරගත වෙද්දී ඔහු පැමිණ සිටි අතර ආපසු යන විට මෝටර් රථය නොතිබිණි. මේ ගැටලුවට අපේ සුමිත්‍රා පීරිස් මැතිනිය ද මුහුණ පෑවාය.

බච්චන් නිසා අපට වාසියක් ද විය . ඒ වන විට අප සිටියේ ඊළඟ දවසේ චිත්‍රපට සදහා ආසන වෙන් කරන්නට පෝලිමේය. එහි සිටි ඉන්දියානු තරුණයන් බච්චන් පසුපස ගිය හෙයින් අපට පෝලිමේ ඉදිරියට යා හැකි විය.

කෙසේ වෙතත් මෙවර උලෙළ නූතන ලෝකය හා බද්ධ කිරීමක් විය. කඩදාසි ප්‍රවේශපත් නොමැති වූ අතර සියල්ල අන්තර් ජාලය හා බද්ධ විය. උලෙළ වෙනුවෙන් නිකුත් කරන ලද හැදුණුම් පතේ බාර් කොඩ් එකේ අප දිනපතා වෙන් කරන ලද්දේ කවර චිත්‍රපටයක් දැයි සඳහන් විය. ශාලා වට ඇතුළුවෙද්දී වෙනදා ඉවත් කරන ප්‍රවේශපත් කැබැල්ල වෙනුවට පරිගණකයේ අපේ පැමිණීම සදහන් වෙයි .

සිනමා ඉතිහාසය පිළිබඳ ඩිජිටල් ප්‍රදර්ශනය නව්‍ය අත්දැකීමක් විය.එහි එක් තැනක කැමරා 52කින් එකවර රූ ගත කෙරෙන අපේ ඉරියව් එසැණින් අන්තර් ජාලය ට මුදා හැරේ.

මග දෙපස අලංකාර සැරසීම තරගකාරී වූයේ එය ගෝවේ කලා පාසලේ වැඩක් වීම සමඟය .

 

උලෙළේ දුටු චිත්‍රපට පිළිබඳ විස්තර ලබන සතියේ සිට...

 

සරසවිය කර්තෘ අරුණ ගුණරත්න පනාජි සිට...

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.