සුනිල් එදිරිසිංහයන්ගේ දශක පහක ගායන දිවිය ඇගැයුම

දෙසැම්බර් 19 වැනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී
දෙසැම්බර් 12, 2019

ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහයන්ගේ ගායන දිවියට දශක පහක් මෙන්ම දිවියට දශක සතක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සංවිධානය කෙරෙන ඇගයුම් උලෙළක් ඔහුගේ 70 වැනි උපන්දිනයේදී එනම් දෙසැම්බර් 19 වැනි දින සවස 3.00 ට කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ. මෙම ඇගයුම් උලෙළේදී ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ, මහාචාර්ය ජයන්ත අමරසිංහ සහ මහාචාර්ය කෝලිත භානු දිසානායක යන විද්වතුන් සුනිදුන්ග් ගායන වේදයේ විවිධ විශේෂතා පිළිබඳ කෙටි දෙසුම් තුනක් පැවැත්වීමට නියමිතය. ආචාර්ය වික්ටර් රත්නායකයන් විසින් මෙහි මුලසුන හොබවනු ඇත. උත්සව සභාව මෙහෙයවීම ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි විසිනි.

එහිදී සුනිලුන් පිළිබඳ ග්‍රන්ථ යුගලයක් සරසවි ප්‍රකාශකයන් විසින් එළිදැක්වේ. දශක පහක් තිස්සේ, සුනිලුන් ගායනයෙන් කළ කී දෑ ගැන විද්වත් ගවේෂණයක් සහිතව සුවිශේෂ ග්‍රන්ථයක් සුනිල් - දේශයේ අධ්‍යාත්මික ස්වරය නමින් ප්‍රවීණ ලේඛක සමුද්‍ර වෙත්තසිංහ විසින් සංස්කරණය කෙරෙයි.

සුනිලුන්ගේ චරිතාපදානය අලළා ලියවන අනෙක් කෘතිය සුනිල සිරිත - සුනිල් එදිරිසිංහ දිවි සැරිය නමින් නිර්මාණවේදී පුෂ්කර වන්නිආරච්චි විසින් රචනා කරනු ලැබ ඇත. මෙම උත්සවයේදී සුනිලුන්ට පසු පරපුරේ ගායනවේදීන් පිරිසක් සුනිලුන්ගේ ගීත කිහිපයක් සුසිල් අමරසිංහ මෙහෙයවන සංගීත රටාවන්ට අනුව ගයමින් රසගැන්වීමට නියමිතව ඇත.

 

Add new comment