මෙහෙම පරාර්ථයක්

ලෝකෙ වෙන කොහෙවත් තියෙනවාද?
දෙසැම්බර් 19, 2019

17 වැනි රිදී රැයක් ඉදිරිපිට ජයන්ත ධර්මදාස අසයි

 

 

 

අද බ්‍රහස්පතින්දා. අනිද්දා සෙනසුරාදා. රිදී තිරයට පෙම් බඳීන ඔබට ලබන සෙනසුරාදා ඉර බැස යන හෝරාව විශේෂයි. ඒ, උඳුවප් සීතලට උණුහුමක් ගෙනෙමින් නෙළුම් පොකුණ තරු වැස්සකින් පිරිතිරී යන්නට නියමිත නිසා. රිදී රැයක් අපේ කලාකරුවන්ගේ සංවේදී හදවත්වල පරාර්ථකාමීත්වය මොනවට පැහැදිලි කරන ප්‍රසංගයක්. සිනෙස්ටාර් පදනම 17 වැනි වතාවටත් ඉදිරිපත් කරන මෙවර ප්‍රසංගය මෙන්ම සිනෙස්ටාර් පදනම පිළිබඳ පසුගියදා අපි එම පදනමේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා සමඟ පිළිසඳරක යෙදුණා. මේ එහිදී අප කතාබහ කළ කරුණු බිඳක්...

 

 

අපි මුලින්ම කතා කළේ රිදී රැයක් පටන්ගන්න හේතුවයි. එයට ජයන්ත ධර්මදාස මහතා කීවේ මෙබන්දකි.

 

මම ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති වෙලා ඉන්නකොට මාලිනී ෆොන්සේකා, සංගීතා වීරරත්න, යශෝධා විමලධර්ම වගේ අය ඇවිත් කීවා චිත්‍රපට ක්ෂේත්‍රයෙන් ඈත් මෑත් වුණාට පස්සේ ආර්ථික අපහසුතාවලට මූණ පාන අය බොහොමයක් ඉන්නවා, ඒ අයට යමක් කරන්න පුළුවන් නම් හොඳයි කියලා. ඉතින් මම ඇහුවා මොකද කරන්නේ කියලා. ක්‍රිකට් මැච් එකක් ගහමු කියලා ඒ අය යෝජනා කළා. (මද සිනාවක් පා කියයි) එතකොට මම කීවා ඔයගොල්ලො ක්‍රිකට් සෙල්ලම් කරන්න ගිහින් ප්‍රේක්ෂකයන්ට හාස්‍යජනක චිත්‍රපටයක් බැලුවා වගේ කරන්නේ නැතිව, ඔයාලාගෙ සැබෑ දක්ෂතාවන් යොදාගෙන යමක් කරමු කියලා. ඒ අනුව තමයි සිනෙස්ටාර් පදනම මඟින් රිදී රැයක් පටන් ගත්තේ.

ඇත්තෙන්ම සිනෙස්ටාර් පදනම ඇති වුණේ සිනමා ක්ෂේත්‍රයේ නියැළෙන අයට රක්ෂණාවරණයක් ලබා දෙන්න. රිදී රැයක් මඟින් ලැබෙන අරමුදල සිනෙස්ටාර් පදනම මඟින් තමයි බෙදා හරින්නේ අවශ්‍යතා අනුව. ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් ලැබෙන ඒ අරමුදලෙන් සියලුම සාමාජිකයන් සඳහා රුපියල් ලක්ෂයක වෛද්‍ය රක්ෂණාවරණයක් සහ ජීවිත රක්ෂණාවරණයක් ලබා දෙනවා. හදිසි අනතුරකදී රුපියල් ලක්ෂ දෙකක රක්ෂණාවරණය ලැබෙනවා. ඒ වගේම ආර්ථික දුෂ්කරතා ඇති වියපත් කලාකරුවන් 40කට පමණ මාසිකව රුපියල් 5000/- බැගින් ලබා දීමට කටයුතු කරනවා. ඒ වගේම සුනාමි, ගංවතුර, පාස්කු ප්‍රහාරය වැනි ව්‍යසනවලදී අසරණ වූ පිරිස්වලට ආධාර කිරීමට මෙන්ම කොළඹ සුදර්ශි ශාලා පරිශ්‍රයේ ගාමිණි ෆොන්සේකා රංගධරයා නමින් ඇති කළ අනුස්මරණ ශාලාව කලාකරුවන් සඳහා පරිත්‍යාග කරන්නත් අපට හැකි වුණා.

 

ධර්මදාස මහතාගේ උපදෙස් මත සිනෙස්ටාර් පදනම පිළිබඳ පූර්ණ විස්තරයක් ඇතුළත් ලියැවිල්ල අප අතට පත් කළේ කලාකරුවන්ට හිතවත් කරුණාතිලක මහත්මා විසිනි. (ඩී.එච්.කරුණාතිලක - සිනෙස්ටාර් පදනමේ සම්බන්ධීකරණ ලේකම්) එහි සඳහන් විස්තරය අනුව දේශීය සිනමාවේ හා ටෙලි සිනමාවේ විවිධ වෘත්තීන්හි අනුයුක්ත කලාකරුවන් 346ක් නියෝජනය වන සිනෙස්ටාර් පදනම 2004 වසරේ අප්‍රේල් 28 වැනි දින සිට විධිමත් සංගමයක් ලෙස ක්‍රියාත්මක වෙයි. සිනමා හා ටෙලි සිනමා කලාකරුවන්ගේ වෘත්තීය ගෞරවය, පෞරුෂය සහ අභිමානය සැලසෙන අයුරින් සත්කාරක සේවා නිරතුරුව සැලසීම එහි ක්‍රියාකාරීත්වයයි. ඒ සඳහා ආචාර්ය ජයන්ත ධර්මදාස මහතාගේ සභාපතීත්වයෙන් අට දෙනකුගෙන් යුතු අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර ඇත. ඩබ්ලිව්. බී. ගනේගල, කිෂූ ගෝමස්, බන්ධුල ඒකනායක, තිලක් හේවාකපුගේ, රොෂන්ත කාරියප්පෙරුම, ෂෙරින් කුමාරතුංග සහ තිස්ස නාගොඩවිතාන යන මහත්ම මහත්මීහු එහි සාමාජිකත්වය දරති. ඔවුන් මේ කටයුත්තේ නිරත වන්නේ ගරු සේවයක් ලෙසය. ඔවුන් මසකට වරක් රැස් වී ගන්නා තීරණ අනුව පරිත්‍යාග ලාභීන් මෙන්ම අනෙක් කටයුතු තීන්දු වෙයි. ධර්මදාස මහතා තවදුරටත් විස්තරය පැවසුවේය.

 

මගේ ළඟ හිටියා තිලක් හේවාකපුගේ මහත්මයා. ඔහුට මම කීවා මුදල් උපයන ක්‍රමයක් අපි හොයමු මේ ශිල්පීන්ගේ දක්ෂතාවන් උපයෝගී කරගෙන කියලා. ඒ අනුව බිහි වුණ රිදී රැයක් ලංකාවේ මේ වනවිට නළුනිළියන් එක්ව කරන හොඳම ප්‍රසාංගික රැය බවට පත්වෙලා තිබෙනවා. රිදී රැයක් සඳහා රංගනයෙන් සහභාගී වන්නේ නළුනිළියන් පමණයි. හැබැයි සිනෙස්ටාර් පදනමේ ඉන්නවා ක්ෂේත්‍රයේ විවිධ අංශ නියෝජනය කරන 340ට අධික සාමාජික සාමාජිකාවන් සංඛ්‍යාවක්. ඊට අමතරව ගායක ගායිකාවන් සඳහා ඔස්කා පදනමත් තිබෙනවානේ.

 

මෙවර රිදී රැයක් සඳහා කොපමණ ශිල්පී ශිල්පිනීන් සංඛ්‍යාවක් සහභාගි වෙනවාද? ගීත කීයක් තෝරාගන්නවාද යන්න අපේ ඊළඟ පැනය බවට පත් වුණා.

ඇත්තෙන්ම රිදී රැයක් ප්‍රසංගයක වේදිකාවට වැඩිම සහභාගී කරගත හැකි සංඛ්‍යාව වන්නේ හතළිහයි. මොකද පැය දෙකහමාරකින් අවසන් කරනවා වගේම, ගීත 24ට පමණ සීමා වෙනවා. අපි ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලුම වගේම නිරූපණය කරන්නාගේ දක්ෂතාවයත් බලන්න ඕනෙ. මොකද මේක දෙතුන් සැරයක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සජීවී නිසා වේදිකාව මත හොඳීන් එකවර නිරූපණය කළ යුතුයි. විශාල වශයෙන් නර්තනය යෙදෙන නිසා ඒ හැකියාවත් සලකා බැලිය යුතුයි. එතනදි අපි හැමදාම අංගයකට පසුව දැක්කේ සියලුදෙනා අත්පුඩියක් ගහනවා විනා කිසිම දවසක අඩුවක් වෙලා නැහැ. ඒ වගේම අනෙක් ශිල්පී ශිල්පිනියන් ඔවුන්ට සහාය වෙනවා. ඇත්තෙන්ම ප්‍රසංගය පිළිබඳ ප්‍රකාශ කරලා දෙවැනි දවස වනවිට ප්‍රවේශ පත්‍ර සියල්ල විකිණී හමාරයි. ප්‍රේක්ෂකයන් අදටත් මේ නළු නිළියන් පියවි ඇසින් දකින්න හරිම ආසයි. මොකද ඔවුන් දකින්නේ තිරයකින්ම නිසා. ඒ නිසාත් ප්‍රවේශපත්‍ර ඉක්මනින් ඉවර වෙනවා.

අපට මෙතනදි තීරණය කරන්න වෙනවා පරම්පරා තුන හතරක මිශ්‍රණය තුලනය කරගන්න. ඒ අයගේ එකතුව දුටුවාම මට පුදුම හිතෙන්‌නේ ක්ෂේත්‍රයෙන් පිට අය කියන කතා නෙවෙයි මේ අය එකතු වුණාම අපට දකින්න ලැබෙන්නේ. සිනෙස්ටාර් පදනම තුළ අපි දකිනවා කලාකරුවන් අන් අයට උදව් කරන්න ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන පරාර්ථකාමී සංවේදි පිරිසක් බව. තමන්ගේ අතේ මුදල් වියදම් කරගෙන අනුන් වෙනුවෙන් ප්‍රසංග කරන වෙන රටක් තිබෙනවාද කියලා හොයලා බලන්න.

ඇත්තම කතාව කීවොත් මේ වසරේ තමයි හොඳම ප්‍රසංගය කියලා හැම වසරක අවසානයේම ප්‍රේක්ෂකයන් කියනවා. ඒකේ තේරුම හැම වසරකම මෙය හොඳීන් ඉටු වී ති‌බෙන බවනේද... ඒ ප්‍රශංසාවේ සම්පූර්ණ ගෞරවය ලබා දිය යුත්තේ චන්න විජේවර්ධන නර්ථන ගුරුවරයාට. මොකද ඔහු තමයි අපේ කණ්ඩායමේ රංග වින්‍යාසය වසරින් වසර වෙනස්ව නිර්මාණය කරන්නේ. මේක හරියට තොරණක් ගහනවා වගේ වැඩක්. මේ වර අපේ වේදිකා පිටපත සකසන්නේ නිලාර් එන් කාසීම්. ගීත තෝරන්න අපි කට්ටිය එකතු වෙනවා. ඇත්තෙන්ම අධ්‍යක්ෂ මණ්ඩලය සිනමාවට සම්බන්ධ අය නොවන නිසා සිනමාවට සම්බන්ධ අයගෙන් සමන්විත අනුකමිටු මඟින් තමයි ගීත ආදිය තෝරන්නේ.

 

මගේ හිතේ නිරන්තර කැසකවමින් තිබුණු ප්‍රශ්නයක් ධර්මදාස මහත්මයාගෙන් අහන්න හිතුණා. ඒ තමයි කලාකරුවන් වැඩි පිරිසක් වියපත් වනවිට අසරණයි, ආර්ථික දුෂ්කරතාවලින් බහුලයි කියන්නේ ඇයි යන පැනය. පිටරටවලත් මේ ආකාරයෙන්ම කලාකරුවන් පිහිට පතන බවක් දැනගන්නට තිබෙනවාද? කියන පැනය.

 

ඉන්දියාව ගැන හිතලා නම් කතා කරන්නේ ඒ අයගේ ජනගහනයයි, ඒ රටේ ක්‍රිකට් සහ සිනමා පිස්සුව තිබෙන පිරිසයි බැලුවාම අපේ ප්‍රේක්ෂක සංඛ්‍යාව ඉතා කුඩායි. ටෙලිවිෂනයේ නිතර පෙන්වන දේවල් බැලුවාම චිත්‍රපටයක් බලන්න ඉතින් එළියට ගිහින් සල්ලි වියදම් කරන කණ්ඩායම හරි අඩු බව පේනවා. අද කාලේ චිත්‍රපටයක් බලලා විතරක් එන්නේ නෑනේ. ඒක සාමාන්‍යයෙන් විනෝදයෙන් සැහැල්ලුවෙන් ගත කරන වේලාවක් බවට පත් කරගන්නවා. එහෙම අවුටින් එකකට ළමයි දෙන්නයි අම්ම තාත්තයි ගියාම මුදලක් වැය වෙනවා. තවත් හේතුවක් තමයි අද කාලේ ටියුෂන් පන්ති වගේ දේවල්වලට යොමු වෙලා නිසා චිත්‍රපටයක් බැලීම කාලය කා දැමීමමක් ලෙස මිනිසුන් සලකනවා. මේ නිසා චිත්‍රපට නරඹන්නන් අඩුවෙලා. ඒ වගේම මුදල් කළමනාකරණය හරියට නොකළ නිසා වයෝවෘද්ධ කලාකරුවන් පිරිසක් අපහසුවෙන් දිවි ගෙවන අය බවට පත්වෙලා. විශේෂයෙන්ම මම දන්න පිරිසක් ඉන්නවා ඒ අය තමන්ගේ සියලු දේ නෑදෑයන් වෙනුවෙන් වැය කළ අය. ඒ නිසා ඔවුන්ට කියලා දෙයක් ඉතිරි නොවුණ පිරිසක් ඉන්නවා. ඉන්දියාව වගේ රටවල එහෙම වෙනවද දන්නේ නැහැ මොකද ඒ අය අනුන් ගැනට වඩා හිතන්නේ තමන් ගැනයි. අපේ හුඟක් මේ ප්‍රශ්නය තියෙන්නේ වයසක අයට. වර්තමාන තරුණ පරපුරේ අයටත් තමන් ගැනම හිතන ගතිය තිබෙනවා. ඒ නිසා ඔවුන් සියලුම දෙනා එකම අයුරින් රඟපෑම සමඟ හදවතින්ම බැ‌ඳෙනවාද කියන්න අපහසුයි. හැබැයි ඔවුන් තමන්ගේ ජීවිත කළමනාකරණය කරගෙන තිබෙනවා. මුලින්ම වාහනයක්, ගෙයක් දොරක් හෝ හොඳ තැන්වලින් කසාද බැඳගන්නවා. සමහරු රූපලාවණ්‍යාගාර පවත්වනවා. ව්‍යාපාරික කටයුතුවල නිරත වෙනවා. අනෙක ඒ අය බහුතරයකගේ දරුවන් තවම පොඩි නිසා ඔවුන්ට අර වයසට ගිය අයගේ ප්‍රශ්න තවම උද්ගත වෙලා නැහැ.

හැබැයි මම එක දෙයක් කියන්න ඕනෙ මම දන්න විදිහට ඒ වයෝවෘද්ධ ශිල්පීන් කිසි කෙනෙක් අසරණ වෙලා නැහැ. අපි බලෙන් උදව් කරනවා හරියට බැලුවොත්. බලන්න දැන් අර පාස්කු ප්‍රහාරයේදී අවතැන් වූ පවුලට අපි නිවෙසක් තනා දුන්නා. ඒ වගේම සුනාමි ව්‍යසනයේදී අපි ගෙවල් 52ක් තනා දුන්නා. ඒ තමයි මම හිතන හැටියට පෞද්ගලික අංශයෙන් සුනාමියට සිදු කෙරුණ ලොකුම ව්‍යාපෘතිය. ගාමිණී ෆොන්සේකා රඟහල නාට්‍ය පුහුණුවීම් ආදියට ඉතා යෝග්‍ය අයුරින් සකස් කළා. ඉතින් ඒ නිසා අපි මේ ක්ෂේත්‍රය වෙනුවෙන් කරන කිසිම දෙයකදී නළු නිළියන් හෝ ගායක ගායිකාවන් කිසිම දෙයක් මඟ හරින්නේ නැහැ. විශේෂයෙන් මේ සිනෙස්ටාර් සංගමයේ පිරිස නිරන්තර අනෙක් කලාකරුවන්ගේ දුක සැප නිරන්තර බලන නිසා සභාපති ලෙස මමත් කිසි ආතතියකින් තොරව මේ කටයුත්ත කරනගෙන යනවා.

 

සමහරු කියනවා ඉන්දියානු කලාකරුවන්ගේ එකමුතුව ඉතා ශක්තිමත්ව පැවතුණත් ලංකාවේ එහෙම එකමුතුවක් නැහැ කියලා?

අපේ නළුනිළියන් ඔය වෘත්තීය සමිති ව්‍යාපාර කිසිදේකට බැඳීලා නැහැ. අපි ඒ අයව ඒ දේවලට පොලඹවන්නේත් නැහැ. ඉන්දියාවයි ලංකාවයි සසඳන්න උත්සාහ කිරීමත් වැරැදියි මොකද ඉන්දියාවේ ගෙවන මුදලයි අපේ ලැබෙන මුදලයි අහසට පොළොව වගේ. ඒත් මදිය කියලා ඒ අය තව තව ඉල්ලනවා. චිත්‍රපටයක් මාස ගණනක් දුවලා බිලියන ගණනින් ආදායම් ලබන්නේ. ඒත් අපේ චිත්‍රපටයක් පෙන්නුවාම සිනමා අධ්‍යක්ෂවත් ටෙලි නාට්‍යකරුවන් දන්නේ නැහැ අදාළ නිෂ්පාදකට තවත් කෘතියකට අත ගසන්න තරම් ශක්තිය ඉතිරි වේවිද කියලා. අපේ සංගමයෙන් අපි කවදාවත් දේශපාලනය කරලා නැහැ. වසර 17ක් පුරා සෑම පක්ෂයකම අය අපි සමඟ වැඩ කරනවා. ඒක තමයි අපේ තිබෙන බලය. එකමුතුකම.

 

දාහත් වතාවක් යම් ප්‍රසංගයක් කිරීමට ඔබට තිබෙන ශක්තිය කුමක්ද කියා දැනගන්නත් කැමතියි?

මම නළුවෙක්වත්, අධ්‍යක්ෂවරයෙක්වත්, නිෂ්පාදකවරයෙක්වත් කවුරුවත් නෙවෙයි. සභාපති විතරයි. හැබැයි මේ නළු නිළි කණ්ඩායම ඒ සභාපතිවරයාව හරිමඟ ගෙනියනවා. ඒ නිසා ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය පිළිබඳව මුලින්ම සඳහන් කරන්න ඕනෙ. අපි ඉතින් හමුවුණාම විහිළුවක් තහළුවක් කරගෙන, බොහොම සතුටින් සහයෝගයෙන් ඉන්න කණ්ඩායමක්. කිසිම කෙනෙක් කවමදාවත් මා එක්ක වචනයක් හුවමාරු කරගෙන නැහැ. හතර පස් දෙනෙක් ඉන්න ගෙදරක වුණත් මතවාද ගැටුම් තිබෙනවා. ඒ වගේ පොඩි පොඩි දේවල් තිබෙන්න පුළුවන්. ඒත් අපි ගැටුමක් ඇති කරගෙන නැහැ. බේරන්න බැරි ප්‍රශ්න නැහැ. අපි බැලුවොත් ලංකාවේ පළමු තැනට තිබෙන දේ තමයි ක්‍රිකට්. ක්‍රිකට් ක්‍රීඩකයෙක් විශ්‍රාම ගියාට පස්සේ පාරේ ගියොත් අඳුනන්නේ නැහැ. හැබැයි මීට අවුරුදූ තිහ හතළිහකට කලින් රඟපෑව කෙනෙකු වුණත් හදිසියේ පාරේ දැක්කත් අඳුනනවා. ගෞරවයක්, සැලකීමක් තිබෙනවා. මම ඒ දෙකේ වෙනෙසක්, විශේෂත්වයක් දකිනවා. එදා ඉඳන්ම තිබුණු දේ මතුවටත් පවතියි කියලා මම විශ්වාස කරනවා. බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් කළ හැකි දේ තමයි අපි මේ ආකාරයට කරමින් සහයෝගය දක්වන්නේ. අපේ අනුග්‍රාහකයන් පවා අපි හරි දෙයක් දෙන බව දන්න නිසා අපට අතපොවන්න එන්නේ නැහැ.

 

 

 

 

 

 

 

 

 

Add new comment