සඳකඩ පහණ ලියූ වොලී

ජනවාරි 2, 2020

ඒ මුල්ම සරසවි සම්මාන උලෙළේ ජයග්‍රාහක සන්ධ්‍යාවකි. ස්ථානය කොළඹ වේල්ස් කුමාර මාවතේ අසෝකා සිනමාහලය. වසර 1964 ය. දිනය මැයි 05 වෙනිදාය. චිත්‍රපට සතියේ රසිකයන් තේරූ තවත් එක් චිත්‍රපටයක් වූ ‘රන්මුතු දූව‘ තිරගත වූ දිනයයි ඒ. අතුරු සිදුරු නැතිව පිරී තිබූ සිනමා ශාලාවේ ප්‍රේක්ෂකයන් බලාපොරොත්තුව සිටි මොහොත උදා විය. ඒ විවේක කාලයයි. ඉන් පසු එළඹෙන්නේ චිත්‍රපටයට සම්බන්ධ කලාකරුවන් වේදිකාවට කැඳවා මල් දම් පළඳා ඔවුන් හඳුන්වා දීමය. මේ නිවේදකයා මීට පෙර දැක පුරුදු අයෙකු නම් නොවේ. උසේ හැටියට මහත, සුන්දර මුහුණක් ඇති කඩිසර මේ තරුණයාගේ කටහඬ ශාලාව පුරා රැව් දුන්නේය. ‘රන්මුතු දූව‘ ට සම්බන්ධ තිදෙනෙකුගේ තීක්ෂණ නෙත් මේ තරුණ නිවේදකයාට යොමු විය. මේ තිදෙනා නම් ශේෂා පලිහක්කාර, මයික් විල්සන් හා තිස්ස ලියනසූරියය.

‘අපේ අලුත් ෆිල්ම් එකේ මාකස්ගේ චරිතයට මිනිහා අගේට ගැළපෙනවා’ තිස්ස ලියනසූරිය, මයික්ට හා ශේෂාට කොඳුරා කීහ.

‘තිස්ස හිතුවා හරි. මිනිහා තමයි මිනිහා’ ශේෂා අනුමත කළේය.

උලෙළ නිමා විය. තිස්ස ලියනසූරිය නිවේදකයාගේ අතින් අල්වා ගත්තේය.

‘වොලී, අපේ ඊළඟ චිත්‍රපටයේ චරිතයක් රඟපාන්න කැමතිද?’

‘අකමැත්තක් නැහැ. මට සුදුසු චරිතයක් නම් . . . හැබැයි සින්දු කිය කියා ගස් වටේ යන චරිතයක් නම් මම කැමති නැහැ.’

තිස්සගෙන් වොලී නානායක්කාර නම් මේ නවක නිවේදකයාට රාජගිරියේ සෙරෙන්ඩිබ් කාර්යාලයට උදේ 10 ට පමණ එන්නැයි ආරාධනා ලැබිණ.

වොලී නානායක්කාර නම් නවක නළුවා තිස්ස ලියසූරියගේ මුල්ම චිත්‍රපට අධ්‍යක්ෂණය වූ ‘සාරවිට‘ නම් චිත්‍රපටයේ මාකස් නම් නගරයේ මුඩුක්කුවක ගණන්කාරයගේ චරිතයෙන් මතු වූයේ එක රැයකිනි.

ගුවන් විදුලි නාට්‍යවලින් දහස් ගණනකින් වොලීගේ නම අසා තිබුණත් රූපෙන් දැක ගත්තේ ‘සාරවිට‘ චිත්‍රපටයෙනි. ‘ගුවන් විදුලි රඟමඬල’ එදා ගුවන් විදුලියෙන් ඇසූ ශ්‍රාවකයන් අතර සිතේ විවිධ චිත්‍ර මවමින් රංගනයක යෙදුණු ඔහු විශිෂ්ට හඬ නළුවෙකි. ‘සාරවිට‘ චිත්‍රපටයට තෝරා ගැනීම වොලීට එක්තරා අභියෝගයකි. 1970. 01. 10 වෙනිදා මේ ලියුම්කරු සරසවිය පුවත්පතට ‘ගුවනින්, තිරයෙන්, කරළියෙන් : වොලී නානායක්කාර’ නමින් විශේෂාංගයක් ලිව්වේය.

‘මම පාසලින් අස් වුණ ගමන් මගේ මුල්ම රැකියාවට ආවේ ලේක්හවුස් එකට. ඒ ගිණුම් අංශයට. ඒ කාලේ ‘සරසවිය’ කර්තෘ මිස්ටර් විමලසිරි පෙරේරා. ඔහු මම ගුවන් විදුලි ශිල්පියෙක්, වේදිකා නළුවෙක් කියලා දැන හිටියා. ඒ නිසා වෙන්න ඇති මාව මුල්ම සරසවි චිත්‍රපට උලෙළේ චිත්‍රපට සතියේ නිවේදකයා හැටියට තෝරා ගත්තේ. ‘සාරවිට‘ ට තෝරා ගත්තට පස්සේ මම මගේ බිරිය නෙතලිගෙන් මේ ගැන ඇහැව්වා. ‘සාරවිටේ’ රඟපාන්න ඇයත් ධෛර්ය දුන්නා.

‘හැබැයි මම චිත්‍රපටයෙන් ජනප්‍රිය වුණොත් ලේක්හවුස් ජොබ් එකෙන් අයින් වෙන්න සිදු වෙයි. රඟපෑමයි, ජොබ් එකයි එකට කරන්න බැරිව යයි.’

‘නෑ ඔයාට වරදින්නේ නෑ. ඔයාට ගැළපෙන්නෙත් ඔය වගේ දෙයක්. සාරවිටේ ඔයා රඟපාන්න යන්න’ නෙතලි ස්ථිරවම කිව්වා. ‘සාරවිට‘ රඟපාන ළඟදී තමයි මගේ ලොකු දුව රේණුකා උපන්නෙ. මේ දුව මට ගෙනාපු වාසනාව වෙන්න ඇති’ එදා වොලී තම අතීත කතාව කිව්වේ එහෙම.

කුරුකුලආරච්චිගේ දොන් වොලී නානායක්කාර 1934 ජූනි 14 වෙනිදා කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටියේ උපත ලබා ඇත. ඔහු මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ කොටහේනේ සාන්ත බෙනඩිකට් විද්‍යාලයෙනි. ඊළඟට ගම් පළාතට ගිය වොලී කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයේ ඉගෙනීමට ගිය කාලේ දුටු ‘අසෝකමාලා’ චිත්‍රපටය නැරඹීමෙන් පසු චිත්‍රපට නළුවෙකු වීමට සිතා පාසලේ වේදිකා නාට්‍යවල රඟපෑමෙන් කලාව ඇරඹීමට සිතීය.

‘මම නාට්‍ය කලාවට කොපමණ ආදරය කළා ද කිව්වොත් කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයේ නාට්‍ය සංගමයක් ආරම්භ කරලා ලේකම් වුණා. ශේක්ස්පියර්ගේ ‘වැනිසියේ වෙළෙන්දා’ නාට්‍ය රඟපෑමෙන් මම වේදිකා නාට්‍ය කලාව ආරම්භ කළා. මම හාපුරා කියලා ප්‍රසිද්ධ වේදිකාවේ රඟපෑවේ ටී. බී. ඉලංගරත්නගේ ‘හඳහන’ නාට්‍යයේ. එහි රඟපෑමට ලැබීමට මගේ හඳහනත් හොඳට තියෙන්න ඇති. සන්ධ්‍යා කුමාරිත් මුලින්ම නාට්‍යයක රඟපෑවේ මා සමඟ ‘හඳහනේ’. මම මේ නාට්‍යයේ රඟපෑවේ වයස අවුරුදු අනූවක විතර නාකි චරිතයක්. මාව වෙස් ගන්වලා වේදිකාවට ඇවිත් කටහඬ මහළු කරගෙන රඟපාන්න මට පහසු වුණේ ගුවන් විදුලි නාට්‍යවල රඟපෑමෙන් ලැබුණු ආභාසය නිසා. එවැනි චරිත ගුවන් විදුලියෙන් කරන්න අපිව පුහුණු කළේ පී. වැලිකල සහ ජේ. එච්. ජයවර්ධන වැනි ජ්‍යෙෂ්ඨයින්’ වොලී එදා කීවේය.

මුදලිනායක සෝමරත්නගේ ‘සංවත්සරය’ නාට්‍යයේ ඔහු කරෝලිස් නම් ගණන්කාරයකු හැටියටත්, මුදලිනායකගේම ‘මහදැනමුත්තා සහ කොණ්ඩ කැවුම්’ නාට්‍යයේ නාකිරාළ කෙනෙකු ලෙස ද ‘ගිනිකඳු’ නාට්‍යයේත් ආර්. ඩී. කේ. ජයවර්ධනගේ ‘සම්පත’ නාට්‍යය, පී. වැලිකලගේ ‘බලන කපොල්ල’, ධර්මසිරි වික්‍රමරත්නගේ ‘ඔන්න බබෝ ඇතින්නියා’ මෙන්ම ‘හංස ගීතය’ නාට්‍යවලත් රඟපා ඇත.

වොලීට තම අනාගත බිරිඳ නෙතලි වයලට් හමු වන්නේ 1958 වසරේ කැලණිය දඬුගම කතෝලික දේව මෙහෙයකට සහභාගි වූ අවස්ථාවකය. එවකට ඇය කොළඹ ෆොඩ්ස්රෝඩ් ගණකාධිකාරි ආයතනයේ සේවය කළාය. නිතර නිතර දේවස්ථානයේදී දැක පුරුදු ප්‍රසන්න ප්‍රාංශු දේහධාරි තරුණයාගේ සිත නෙතලි වෙත ඇදී ගියේය. ඇයට ඔහු ගැන පිළිබඳ සිතක් ඇති වූවාය. ලේක්හවුස් හී සේවය කළ වොලී පදිංචිව සිටියේ කැලණියේ දඬුගම පදිංචි අක්කාගේ නිවසේය. මේ වන විට නෙතලි නානායක්කාර 1955 සිට ගුවන් විදුලියේ නාට්‍යවලින් සිය දක්ෂතා ප්‍රකට කර තිබුණාය. සෝමා කිරිඇල්ල, ඇග්නස් තිසේරා (පසුව සිරිසේන), රත්නාවලී කැකුණවෙල, වික්ටර් මිගෙල්, ජේ. එච්. ජයවර්ධන, ධර්ම ශ්‍රී මුණසිංහ, පී.ඊ. හල්වල ආදීන් සමඟ ‘රේඩියෝ රඟමඬලින්’ ඇය ජය කෙහෙළි නංවා තිබුණාය. වොලී නානායක්කාර ගුවන් විදුලි නාට්‍යවලට එක්වන්නේ 1960 දසකයේය. වොලී උක්කු බණ්ඩා ලෙසත්, නෙතලි බිනරි ලෙසත් රඟපෑ මුදලිනායක සෝමරත්න ලියූ ‘මුවන් පැලැස්ස’ ගුවන් විදුලි නාට්‍යයෙන් අතිශයින්ම ජනප්‍රිය විය. ඉන්පසු ඔවුන් නාට්‍ය මෙන්ම ‘ජන සාහිත්‍යය’ විචිත්‍රාංග වලට ද සහභාගි වූහ. පසුව මුවන් පැලැස්සේ සිංඤෝ, නාම්රා වැනි චරිත වොලී නිරූපණය කළේය.

වොලී ලේක්හවුස් හී සේවය කරන කාලයේ එහි කලා කවයේ ලේකම්වරයාද විය. ‘සාරවිට‘ චිත්‍රපටයේ මාකස්ගේ චරිතය මුලින් වෙන් වී තිබුණේ දර්ශන තුනකි. ඔහුගේ ප්‍රබල රඟපෑම දුටු අධ්‍යක්ෂ තිස්ස ලියනසූරිය, දෙබස් රචක කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාට කියා නව දර්ශන එක් කළේය.

‘මගේ ප්‍රථම රඟපෑම ‘සාරවිටේ’ කරන විට එහි රඟපෑ ජෝ අබේවික්‍රම, පියදාස ගුණසේකර, සොමී මීගම, ජෙසිකා වික්‍රමසිංහ සමඟ රඟපෑම මට ආශිර්වාදයක් වුණා. මම වරෙක අහිංසක ගුණහාමි නම් සාරවිටිකාරයාට පහර දෙන චරිතය නිසා නරඹන්නන්ගේ පිළිකුලට ද, සාරවිටිකාරයාගේ අහිංසක කුඩා පුතා හොරෙන් අරන් යන අවස්ථාවේ මංගල දර්ශනයේ දුටු කුඩා දරුවෙකු අඬන අවස්ථාව මගේ හදවත සසල කළා. චිත්‍රපටය නරඹා එළියට ආ විට කුඩා දරුවෙක් මා අසලට ඇවිත් ‘අන්කල් ඔයා හරිම නපුරුයි’ කියා ගිය හැටි කිසිදා අමතක වන්නේ නෑ’ වොලී වරක් කීවේය.

‘සාරවිටෙන්’පසු වොලීට එක දිගට චිත්‍රපට ගලා එන්නට විය. අමරනාත් ජයතිලකගේ ‘ආදරවන්තයෝ’ චිත්‍රපටයේ දාමරික තරුණයකු ලෙස රඟපෑ ඔහු කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාගේ ‘බයිසිකල් හොරා’ චිත්‍රපටයේ සෙනෙහෙබර සොහොයුරෙකු හා නොවෙනස් වන මිත්‍රයෙකු ලෙස රගපෑ අතර රංජිත් සෙනවීරගේ ‘බඩුත් එක්ක හොරු’ චිත්‍රපටයේ ජානකී කුරුකුලසූරියගේ පෙම්වතා ලෙස ද රඟපෑවේය. චිත්‍රපටයේ තම මිතුරන් වූ ගාමිණි ෆොන්සේකා හා ජෝ අබේවික්‍රම සමඟ දුම්රියක ගී ගයමින් මගීන්ගෙන් සල්ලි එකතු කරමින් ‘අහසේ තරු ගණින්න වෙයි ද දන්නේ නෑ’ ගීතය ගැයූ වොලී කෙසේ අමතක කරම්ද? හර්බට් එම්. සෙනෙවිරත්නගේ ‘සෙනෙහස’ චිත්‍රපටයේදීත් වොලීගේ පෙම්වතී වූයේ ද ජානකීමය. එහිදී ඔහු සැහැල්ලු ගති පැවතුම් ඇති දඟකාර තරුණයෙකි. රොබින් තම්පෝගේ ‘පික් පොකට්’ චිත්‍රපටයේ දුප්පතකමත්, සමාජයේ විෂමතාවයත් නිසා අධර්මයෙන් ජීවත් වෙන ධර්මෙගේ චරිතය රඟපෑ වොලී ඇන්ටන් ප්‍රනාන්දුගේ ‘සුළි සුළං’ චිත්‍රපටයේ සාමාජීය තාඩන පීඩනවලට ලක්වීමෙන් අහිමි වූ ආදරයක් වෙනුවෙන් දුක් විඳින ධීවර ගමක අහිංසක තරුණයෙකු වූ සිරා ලෙස රඟපෑවේ විජිත මල්ලිකා සමඟය.

සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ ‘මාතර ආච්චි’ වොලීගේ සිනමා ජීවිතයේ කඩඉමකි. එහි ප්‍රධාන චරිතය වූ ගුණපාල මුදලාලි ලෙස රගපෑ වොලී මුල්වරට චිත්‍රපට ගීතයක් රචනා කිරීමේ අවස්ථාව උදා විය. මේ ගීතය වික්ටර් රත්නායකගේ මුල්ම සංගීත අධ්‍යක්ෂණය වීම ද සුනිල් එදිරිසිංහගේ මුල් චිත්‍රපට ගීතය ලෙස ද සිව් කුළුඳුල් ගීතයක් ලෙස හැඳින්විය හැකිය. මේ ගීතය සුනිල්ට දීම ගැන වික්ටර් මෙන්ම වොලී ද එදිරි වී ඇත. ඒ සුනිල්ගේ ගායනය ගැන තිබූ සැකය නිසාය. එහෙත් සුනිල් තම සහෝදර සතිස්චන්ද්‍රගේ නම්බුව සුරකිමින් ගීතය රහට ගායනා කළේය. එදා වොලී ලියූ ඒ ගීතයයි මේ.

‘සඳකඩ පහණක කැටයම් ඔපලා

පාවෙන දේදුනු ලැගුම් ගනී

කලැතුණු රසයක පැන ආ බුබුලක්

අකුරු වැලක් දෙහදක ලියැවේ

යුගයෙන් යුගයට නොමියන දහනක

දිවියක පදනම මතු වෙද්දී

නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා

සියුමැලි කැකුළක් මැළවෙද්දී

 

දහසක පෙති මත රහසක් කොඳුරා

තුඩින් තුඩට ගෙන යන බින්දු

ගව්වක් ඉහළක ගොණු කොට රඳවා

පොපියන දෙතොලක් එහි කැන්දූ

අහසක් ගුගුරා කළුවක් වපුරා

ඒ හා මුහුවුණු වැහි බින්දු

ඈ ගෙන යද්දී නටඹුන් අතරෙක

තවකෙක් ඈ වෙත හද රැන්දූ

 

හදවිල ඉපදුණු කැකුළක් නොකලක

නටුවෙන් ගලවා දුරක යවා

මිහිලිය තෙත් කොට ගිළිහුණු කඳුළක්

සත් සමුදුරකට මුහුව ගියා

ඔබට උරුම වූ රිදුණු තැවුණු හද

එක්ටැම් මැදුරක කවුළු අරා

රුවන් විමානෙන් පියඹා එනතුරු

පොපියන හදවත සිටී බලා

සිටී බලා . . .

එදා සුනිලුන් භාවපූර්ණව මේ ගීතය ගැයීය.

සොබා දහමට ආදරය කළ වොලී නළුකම මෙන්ම ගොවිතැනට ද එක ලෙස ඇලුම් කළ අතර ඔහු දක්ෂ කැමරා ශිල්පියකු ද විය. පොතපතට ඇලුම් කළ ඔහු බර්නාඩ් ෂෝ, රවින්ද්‍රනාත් තාගෝර්, ඇන්ටන් චෙකොෆ්ගේ පොත පතට ආදරය කරන බව අපට කීවේය.

‘මාතර ආච්චි’ චිත්‍රපටයේ රූගත කිරීමකදී වූ අත්දැකීමක් කුලරත්න ආරියවංශට ‘විසිතුර’ පත්‍රය 1972 විස්තර කර තිබුණේ මෙසේය.

‘චිත්‍රපටයට තංගල්ලේ ගිහින් ඉද්දී මම බෝට්ටුවෙන් මුහුදු ගමනක් ලෑස්ති කළා. කවුරු කවුරුත් ඒ ගමනට එකතු වුණා. සතිස් ගමනේ වගකීම මට බාර කළා. එදා අපි බෝට්ටුවෙන් පිටත් වුණා. කට්ටියම සින්දු කියනවා. ඒ දවස්වල වාරකන් කාලේ. ටිකදුරක් ගියා විතරයි බෝට්ටුවට උඩිනුත් යන තරමට රැල්ල ගහන්න පටන් ගත්තා. බෝට්ටුව වේගයෙන් ගැස්සෙන්න පටන් ගත්තා. අර සින්දුව නැවතුණා. චන්ද්‍රා කළුආරච්චි, නීටා ප්‍රනාන්දු, ස්වර්ණා මල්ලවාරච්චි ඒ ඔක්කොම මාව අල්ලගෙන කෑගහනවා. හැමෝම මර බයෙන් කෑ ගහනවා. බෝට්ටුව එක පාර හරවන්නත් බැහනෙ. පස්සේ ක්‍රමයෙන් බෝට්ටුව හරවාගෙන ආපහු ගොඩට ආවා. එදා මගේ ඇඟට ලේ ඉනුවෙ ගොඩට ආවට පස්සෙ.’

නිහාල් කිත්සිරි ජයසිංහගේ ‘මාහේනේ ඊරියකා’ චිත්‍රපටයේ වොලී රඟපෑවේ ලිවේරාගේ චරිතය. එනම් මාලීනීගේ සැමියා ලෙසය. මිනිසුන්ගේ ලේ උරා බොන අසම්මත චරිතයකි.

‘මේ චිත්‍රපටයේ මම එළුවෙකුගෙන් ලේ උරා බොනවා. ඒ දර්ශනයට මුහුණ දෙන්න මම ඒ අවස්ථාව හිතට ආරූඪ කරගෙන ඇවිත් ඒ විදිහටම එළුවාගෙන් ලේ උරා බිව්වා. ඒත් කැමරා ශිල්පියාගේ අතපසුවීමකින් ඒ දර්ශනයේදී කැමරාව ක්‍රියාත්මක වුණේ නෑ. ඉතින් මම එච්චර මහන්සි වෙලා කරපු දේත් අපතේ ගියා. පස්සේ ඒ ලේ බීම නිසා මට අසනීප වෙලා ඉස්පිරිතලෙත් හිටියා’ වොලී කියා ඇත. කුඩා කල නිකවැරටියේ ටෝකීස් කූඩාරමක පාතාල භෛරවි හා අසෝක මාලා චිත්‍රපට බැලීමෙන් චිත්‍රපට කලාවට ආලය කළ වොලී පාසල් සමයෙන් පසු ‘රම්‍යලතා’ චිත්‍රපටයේ වැඩ ඉගෙනීමට කඳානේ නායගම්ගේ සුන්දර චිත්‍රාගාරයට බැඳුණත්, ඔහුට පැවරී ඇත්තේ උදේ සිට රාත්‍රී වනතුරු බල්බ් හා කැමරා ආදියේ වයර් හයි කිරීමටය. ඔහුට ඒ වැඩ එපා වී කළකිරී එළියට බැස ඇත. ඔහු පසුව චිත්‍රපට ලෝකයේ නළුවෙකු වූ පසු චිත්‍රාගාර වැඩත් මම ඉගෙන ගත්තනේ’ කියා සතුටු වී ඇත.

සිරි කුලරත්නගේ ‘වස්තුව‘ චිත්‍රපටයේ වොලීගේ සිනමා ජීවිතයේ සිහිවටනයකි. විජේ නම් කඩවසම් වීරයා වූ ඔහු රඟපෑවේ තමාගේම පුතු රවි නානායක්කාර සමඟය. රවි අද වෛද්‍යවරයෙකි. ‘වස්තුව‘ චිත්‍රපටයේ තම පුතු වෙනුවෙන් ත්‍රාසජනක දර්ශන රැසක් ඔහු රඟපෑවේය. එපමණක් නොව එම චිත්‍රපටයේ එන ‘ගුවන් ගැබේ’ ගීතය ද ඔහු රචනා කළේය. ‘සමාජ සතුරෝ, සිකුරු දසාව, පූජිතයෝ. අබිරහස, එදත් සූරයා අදත් සූරයා, ප්‍රදීපේ මා වේවා, යාර් අවල්, විස්මය, මුවන්පැලැස්ස, කාංචනා, නිවන් දක්නා ජාති දක්වා, සුදු කළුවර’ චිත්‍රපටවල ඔහු රඟපෑවේය.

සුදත් රෝහණ විසින් ‘නිරානන්දය’ ටෙලි නාට්‍යයෙන් හඳුන්වා දුන් වොලී වනවඳුලේ වසන්තය, පියාඹන අශ්වයා, ඉටි පහන, නයණමිණ, සත්‍යා යන ටෙලි නාට්‍යවලද රඟපෑවේය.

වොලීට රවී නම් පුතුට අමතරව රේණුකා, ශාමිකා නිවුන් දියණියන් වූ චන්දිකා හා ඉන්දිකා යන දියණියන් හතර දෙනෙක් වූහ. වෛද්‍ය රවී නානායක්කාර ලෝක බැංකුවේ ළමා හා කාන්තා සුභසාධන ව්‍යාපෘතියක් භාරව සිටී. රුසියාවේ වෛද්‍ය විද්‍යාව හදාරා අනුරාධපුර හා කොළඹ මහ රෝහලේද ඔහු සේවය කොට ඇත. වොලී මට අවසන් වරට හමු වූයේ 1996 දී පමණ ලක්ෂ්මන් හුළුගල්ල විසින් කුරුණෑගල සංවිධානය කළ වයඹ කලාකරුවන්ගේ උපහාර උලෙළකදීය. එදින සම්මාන ලැබූ වොලී මා හමු වී වැලඳ ගත්තේ පැරණි මිතුකම මතක් කරමිනි. ඒ උණුසුම තාමත් තිබේ. 2003 ඔක්තෝබර් 10 ඔහු ජීවිතයෙන් සමු ගත්තේය.

ලාල් සෙනරත්