මනෝරත්නගේ නිමල ළමාවියේ මිහිරිමතකය

ජනවාරි 16, 2020

අද පුංචි කාලයේ මතකයන් සිහිපත් කරන්නේ ආචාර්ය ජයලත් මනෝරත්න. ජයලත් මනෝරත්න මාමා පුංචි තිරයේ වගේම වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේත් සම්මානනීය නළුවෙක් වගේම අධ්‍යක්ෂවරයෙක්. රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නළුවා වගේම හොඳම අධ්‍යක්ෂවරයා ලෙසත් අවස්ථා කිහිපයකදීම සම්මාන ලද ඔහු 2014 වසරේ නවදිල්ලියේ පැවති බයිස්කෝප් ග්ලෝබල් සිනමා උලෙළේදී හොඳම නළුවාට හිමි සම්මානයෙන්ද පිදුම් ලැබුවා.

නාට්‍යවේදියෙක්, රංගන ශිල්පියෙක් වගේම කතුවරයෙක් වන මනෝරත්න මාමාට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් දර්ශන සූරි ආචාර්ය උපාධිය හිමි වුණා. ඒ ඔහු ඉදිරිපත් කළ ‘සිංහල නාට්‍යයේ ප්‍රාසාංගික කලාත්මක වර්ධනය 1970 – 2000’ නම් පර්යේෂණ නිබන්ධය වෙනුවෙන්. ඒ විතරක් නෙවෙයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සාහිත්‍ය සූරි සම්මාන ආචාර්ය උපාධිය ද පිරිනැමීමත් සමඟ මෙරට ආචාර්ය උපාධි දෙකකින් පිදුම් ලද ප්‍රථම රංගධරයා වන්නේත් මනෝරත්න මාමා. අද මේ තත්ත්වයට එන්න මුල් වූ එදා ගමේ සුන්දර රසබර මතක සිහිපත් කළේ මෙලෙසින්.

මම පුංචි කාලේ අධ්‍යාපනය ලැබුවේ අපේ ගමේ ඉස්කෝලේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ දෙහිපෙ ගමේ ප්‍රාථමික විද්‍යාලයෙන් තමයි මම පහ වසර ශිෂ්‍යත්ව විභාගය පාස් වුණේ. ඊළඟට මම පොරමඬුල්ල මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වුණා. විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයට මුහුණ දුන්නේ එහි අධ්‍යාපනය ලබමින්. මම පොඩි කාලයේ පටන් බොහොම පිළිවෙළට අධ්‍යාපන කටයුතු කළ නිසා විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය පාස්වෙලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න පුළුවන් වුණා.

දරුවනේ ඔයාලා දන්නවාද මට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන තෙක්ම එදා පහ වසර ශිෂ්‍යත්වය පාස් වුණාම ලැබුණු රජයේ ශිෂ්‍යත්ව ආධාර මුදල ලැබුණා. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. මොකද දන්නවාද? ශිෂ්‍යත්වය පාස් වුණාට පසුව කිසිම විභාගයක් අසමත් නොවී සිටියොත් ඒ මුදල අධ්‍යාපන කටයුතු හමාර වෙනතෙක් පිරිනමනවා. ඉතිං මමත් විශ්වවිද්‍යාලය දක්වාම සියලු විභාග ඉතා හොඳින් සමත් වුණා. එක විභාගයක් හරි අසමත් වුණොත් අර ශිෂ්‍යත්ව මුදල අහිමි වෙනවා. මම ආර්ථික අතින් ගොඩක් ශක්තිමත් පවුලක දරුවෙකුත් නෙවෙයි. අම්මට තාත්තාට පවුලේ අයියලා අක්කලා ගැනත් බලන්න වුණා. ඉතිං මේ නිසාම ශිෂ්‍යත්ව මුදල රැක ගන්න මම ගොඩක් මහන්සි වුණා. ඒ වෙනුවෙන් පාඩම් කළා. ප්‍රතිඵල ලැබුණා. විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා එහි වසර තුනක අධ්‍යාපන කටයුතු නිම වෙන තෙක්ම රජයෙන් පිරිනමන ඒ ආධාර මුදල මගේ අධ්‍යාපන කටයුතුවලට විශාල ශක්තියක් වුණා.

මේ දරුවන්ටත් මම කියන්නේ පුංචි කාලයේ පටන්ම එක අරමුණක සිට තම අධ්‍යාපන කටයුතු කරන්න මහන්සි වෙන්න කියලයි. පහ වසර ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අද දැඩි තරගකාරි විභාග බවට පත් වෙලා. ඔබ ඒ තරගකාරිත්වය නොව එය තමන්ගේ ජීවිතයට වැදගත් වන ආකාරය හිතට ගන්න. මේ විභාග කඩඉම් ඔබේ අනාගතය යහපත් කරන විදිය දකින්න. ඒ අනුව සූදානම් වන්න. ක්‍රමානූකූලව පාඩම් කරන්න. දරුවනේ ඔබලාට කවදාවත් වරදින්නේ නැහැ.

මට අද කලා ක්ෂේත්‍රයේ සාර්ථක ගමනක් එන්න හැකි වෙලා තියෙනවා. එදා මම අධ්‍යාපන කටයුතු සාර්ථකව කරන ගමන් කලා කටයුතුවලටත් දායකත්වය දුන්නා. හවසට මගේ කලා හැකියාවන්වලට සහාය දෙන්නේ ගමේ යහළුවන් පිරිස තමයි. අපි හවසට එකතු වුණාම පොඩි පොඩි නාට්‍ය නිර්මාණය කරනවා. ඒ නිසා ගමේ සමකාලින යහළුවන් මගේ කලා හැකියාවන් ඔපමට්ටම් කරගන්න දුන්නේ ලොකු සහයෝගයක්.

පාසලේ අවසන් අවුරුද්දේදී මම ‘අස්ප ගුඩුං’ නම් වේදිකා නාට්‍යකට දායක වුණා. ඒක නිර්මාණය කළේ අපේ පාසලේ ආචාර්යවරයකු වූ සුනිල් ශ්‍රියානන්ද ගුරුතුමා. 1966 වසරේදී විතර පළාත් නවයෙන් නාට්‍ය නවයක් තෝරලා අවසන් වටයේ තරග කොළඹදී පැවැත් වුවා. මධ්‍යම පළාතෙන් ප්‍රථම ස්ථානය දිනුවේ අපේ ‘අස්ප ගුඩුං’ නාට්‍යය. ප්‍රධාන චරිතය රඟපෑවේ මම. මම මගේ ජීවිතේ ප්‍රථම වතාවට කොළඹ ආවෙත් එදා තමයි. අවසන් වටයේදී අපට ස්ථානයක් නොලැබුණත් මට කුසලතා සහතිකයක් ලැබුණා. ඒ කාලයේ ඒක අපට ලොකු ජයග්‍රහණයක් වුණා.

මට එය තවත් විශේෂ වුණේ විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයට සූදානම් වෙන විටදී දායකවීම නිසා. විභාගයත් හොඳින් සමත් වුණා විතරක් නෙවෙයි ඒ අවුරුද්දේ පාසලේ විශිෂ්ටතම ක්‍රීඩකයා වුණෙත් මම. එදා මම පාඩම් කටයුතු කළා වගේම කලා කටයුතුත් ක්‍රීඩා කටයුතුත් කළා. හැබැයි මේ එකක් අනෙකට බාධාවක් වෙන විදියට නම් කටයුතු කළේ නැහැ.

මේ හැමදේම කරන්න නේවාසිකාගාර ජීවිතය ලොකු බලපෑමක් වුණා. මොකද නේවාසිකාගාරය තුළ අපි හැමදේම කාල සටහනකට කරන්න පුරුදු පුහුණු වුණා. නේවාසිකාගරය භාරව සිටියේ වික්ටර් පීරිස් මහතා . අපේ ජීවිත පිළිවෙළට හැඩගැස්වීමේ ගෞරවය එතුමාටත් හිමි වෙනවා. ඒ වගේම විදුහල්පති පී සෙනරත් මහතා වගේම සුනිල් ශ්‍රියානන්ද ගුරුතුමාත් විශේෂ චරිත වුණා. දැන් මේ දරුවන් අම්මා තාත්තා සමඟින් ගෙදර සිටියත් කාල සටහනකට අනුව තමන්ගේ වැඩකටයුතු කරන්න පුරුදු වෙන එක අපහසු කටයුත්තක් නෙවෙයි. පාසලේ නම් ඔබ අනිවාර්යයෙන්ම කාල සටහනකට අනුව වැඩ කරනවානේ. ඒ හැරුණාම උදෙන්ම නැඟිටින්න, පිරිසුදු වෙලා පාඩම් කරන්න. පිළිවෙළකට ආහාර ගන්න පුරුදු වෙන්න. මේ දේවල් නිසි වෙලාවට ඉටු කළාම ඕනම අභියෝගයක් ජයගන්නා එක අපහසු කටයුත්තක් නෙවෙයි.

මේ දරුවන් දන්නවාද? මම පුංචි කාලයේදී පත්තරේට ලියන්නත් අමතක කළේ නැහැ. ඒ කාලයේ තිබුණු ටිකිරි පත්තරේට මම නිතරම කවි, කතා, රචනා ලියනවා. එකක් දෙකක් පළ වුණාම දැනෙන සතුට වචනයෙන් විස්තර කරන්න බැහැ. දැන් මමත් පාසල්වල වැඩමුළුවලට ගියාම නිර්මාණශීලි පුංචි හපනුන් දකිනවා. අද සමාජය එදා මගේ පුංචි කාලය ගෙවුණු සමාජයට වඩා ගොඩක් සංකීර්ණයි. ඒ වගේම ඉක්මන්. තරගකාරිත්වය වැඩියි. මේ අතරේ පුංචි ඔයාලාට ජයගන්න කඩඉම් කිහිපයක්ම තියෙනවා. කම්මැලි වුණොත් නම් කවදාවත් ඉදිරියට යන්න ලැබෙන්නේ නැහැ. ආදරණීය දුවේ, පුතේ අධ්‍යාපන කටයුතු අතරේ ඔයාලාගේ නිර්මාණ හැකියාව වෙනුවෙනුත් පුංචි ඉඩක් වෙන් කරන්න. කවියක් ලියන්න. කතාවක් ලියන්න. චිත්‍රයක් අඳින්න. ළමා ගීතයක් අහන්න. ඔයාලගේ පුංචි මනසට ලොකු වෙනසක් දැනේවි.

.

මිහිර පුවත්පතේ පුංචිකාලේ මං ලිපියෙන් උපුටා ගැනිණ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.