මනෝ ගැන මනෝ කී කතා

ජනවාරි 16, 2020

ජයලත් මනෝරත්න අමුතුම රසකාමියෙකි. ඒ පිළිබඳ ඔහුගේ සමීපතමයෝ ඉතා හොඳින් දනියි. තමන්ට සිදු වූ අකරතැබ්බ තවත් අටුවා ටීකා එක් කොට රසවත් අන්දමින් පැවසීමට මනෝ උපන් හපනෙකි. එවන් වූ කතා ඇසීමට අපිද වාසනාව ලද්දෙමු. මේ මනෝරත්නයන් විසින් පැවසූ එවැනි කතා එකතුවකි.

මමෝරත්නට මුල් යුගයේ යාම් ඒම් කිරීමට වාහනයක් නොවීය. වැඩිපුරම ගමන් කිරීමට සිදු වූයේ බස් රථයෙනි. නිරන්තරයෙන් වේදිකා නාට්‍යවලට සහභාගී වීම නිසා බස් රථයක ගමන් කරන විට කෙටි නින්දක් දැමීමට මනෝ පුරුදු වී සිටියේය. දිනක් ඔහු සුපුරුදු පරිදි වේදිකා නාට්‍යයක් සඳහා මාදම්පේ ප්‍රදේශය බලා පිටත්ව ගියේය. බස් රථයට ගොඩ වූ ඔහුට ටික වේලාවකින් දෙඇස පියවෙන්නට පටන් ගත්තේය. මේ හේතුවෙන් තමන්ට බැසීමට තිබෙන ගමනාන්තය පහුවේ යැයි සිතුණු නිසා මනෝ බසයේ කොන්දොස්තරට තමන් බසින බස් හෝල්ට් එක පැවසීමට සිතා ඔහුට කතා කළේය. මාදම්පේ ප්‍රදේශය උළුවලට ප්‍රසිද්ධය. නාට්‍ය රඟ දැක්වීමට තිබුණේ ද උළු මෝලක් ගාවය. එය නෙළුම් උළු මෝල වගට මතක් වූ මනෝ නෙළුම් උළු මෝල ගාවින් තමන්ව බස්සවන හැටියට කොන්දොස්තරට උපදෙස් දුන්නේය. කෙසේ හෝ නෙළුම් උළු මෝල ආසන්නයේදී මනෝ ඇහැරවීමට කොන්දොස්තර කොලුවාට අමතක විය. බසයේ ගැස්සෙන මොහොතකදී ඉබේටම නින්දෙන් ඇහැරුණු මනෝ වටපිට බැලුවේය.

හත්ඉලව්වයි . . . පහුවෙලා නේද නෙළුම් උළු මෝල . . .

තමන්ට කියාගත් මනෝ දනි පනි ගා බසයේ දොර වෙතට ආවේ කොන්දොස්තර මලයාට ද දෙකක් කීමේ අරමුණිනි. මනෝ එනපොට හොඳ නැති වග කොන්දොස්තර ඇඟට පතට නොදැනී මනෝගෙන් ඇසුවේ මහත්තයා මට කීවේ නෙළුම් උළු මෝල ගාවින් බස්සන්න කියලනේ නේද යනුවෙනි.

ඔව් ඉතින් . . . දැන් ඒක පහුවෙලානෙ.

මනෝ බසයේ බෙල් එක ගසමින් කීවේ පාපුවරුවට ගොඩ වෙන ගමන්ය.

මහත්තයො . . . ඔය නෙළුම් උළුමෝල තියෙනවා නේද . . . ඕකෙ උළු හරිම සවුත්තුයි. මහත්තයට උළු ඕන නම් ඉසරසරහ මෝලක් තියෙනවා . . . ඒකෙ උළු මරු. . . බැහැ ගන්නකෝ ඉස්සරහින් . . .

මනෝ උළු ගන්න ආව කෙනෙක් කියලා හිතාගෙන වෙනත් උළු මෝලක් ගාව ඔහුව බැස්සුවාලු.

 

මනෝට ඉඳලා තියෙනවා අතිජාත මිත්‍රයෙක්. ඔහු කලාවට බොහොම ලැදියිලු. මිනිහට මෝටර් බයිසිකලයක් එහෙම තිබිලා තියෙනවා. ඒක ගෙදර තියනවට වඩා ගරාජ් එකේ තමයි වැඩිපුරම තිබිලා තියෙන්නේ. එච්චරට ලෙඩ. දවසක් මනෝට මේ බයිසිකලේ නාට්‍ය වැඩකට යන්න වෙලා කොළඹින් පිට. ඒ කාලේ ඔහු තරමක් ප්‍රසිද්ධ නළුවෙක්. මමෝ වගේ කෙනෙක්ව තමන්ගේ බයිසිකලේ දාගෙන යන්න ලැබුණු එක හරියට මිත්‍රයට රජකම ලැබුණා වගේලු. යනකොට බොහොම හොඳට බයිසිකලයෙන් ගමනාන්තයට ගිහින් නාට්‍යයේ දර්ශන වාර ඉවර වෙලා මහ රෑ ජාමෙම කොළඹ එන්න පිටත් වෙලා. එහෙම යහතින් ඇවිත් තියෙන්නේ ටික වේලාවයි අතරමඟදි බයිසිකලය සුපුරුදු පරිදි ලෙඩ දෙන්න පටන් අරන්. දැන් රෑ එකටත් කිට්ටුයි. වටපිටාවේ ගෙවල්වල සියලු දෙනා සුව නින්දේ පසුවෙනවා පේනවලු. ඔය අතරේ පාරේ ගමන් කරපු කෙනෙක් ළඟ ඇති ගරාජ් එකක් ගැන මනෝලට ඔත්තුවක් දීලා. කැඩුණු බයිසකලේ තල්ලු කරගෙන එතැනට ගිහින් මනෝව මිදුලෙහි තියලා මිත්‍රයා දොර ගාවට ගියාලු. තුන් පාරක් දොරට තට්ටු කළාම වයසක බාස් කෙනෙක් නිදි ගැට කඩකඩ එළියට ඇවිත්.

අනේ බාසුන්්නැහේ අපේ බයික් එක කැඩුණනෙ . . .

මිත්‍රයා ඔහුට බැගෑපත් වෙලා.

මේ . . . මං දැන් ටිකකට කලින් තමයි ගරාජ් එක වහලා නිදාගන්න ආවේ. යනවලා හෙට උදේට එන්න. මේ රෑජාමේ මොන බයික් හැදිලිද . . .

බාසුන්නැහේ එහෙම කියලා දොර වහන්න හැදුවලු. මනෝරත්න ජනප්‍රිය නළුවෙක්නෙ. ඒ තත්ත්වයෙන්වත් ප්‍රයෝජනයක් ගන්න හැදුවලු මිත්‍රයා. ආයෙ දොරට ගහලා ගරාජ් බාස්ව එළියට ගත්තලු.

ලොකු උන්නැහේ . . . ඔයා දන්නේ නැහැ බයික් එකේ ආවේ කවුද කියලා. ඔයා එයාව දැක්ක නම් කීයටවත් බයික් එක හදන්න බැහැ කියන එකක් නැහැ.

කවුද ඔය කියන කෙනා . . .

මිත්‍රයාගේ අඩොවැඩියාවට බාස් බැරිම තැන ඇහැව්වලු.

එන්නකෝ බලන්න බාසුන්නැහෙ ඒ මහත්තයාව දන්නවා. පුදුම වෙයි ඔයාගේ ගෙදර මිදුලට මේ වගේ කෙනෙක් ආව එකට . . .

බාසුන්නැහේ කලුවරේම මිදුලට බැහැලා ටෝච් එකත් මනෝගේ මුහුණට ගහලා වටයක් කැරකුණාලු. එහෙම බලලා රැල් බුරුල් ඇරලා ඇහැව්වලු මෙන්න මෙහෙම.

මහත්තයා කුරුණෑගල ඩිපෝවේ වැඩ කළා නේද . . .

 

මමෝරත්නට නිතරම දුෂ්කර පළාත්වලට යන්න ලැබුණා නාට්‍ය පෙන්වන්න. එහෙම ගිහින් නාට්‍යය පෙන් වූ බොහෝ ශාලාවල මූලික පහසුකම්වත් නැහැ. ඒ වගේ නාට්‍යයක් පෙන්නපු වෙලාවක තමයි මේ අකරතැබ්බය වෙලා තියෙන්නේ. මනෝලගෙ නාට්‍ය කණ්ඩායමේ ඉඳලා තියෙනවා විවිධ වැඩවලට උදවු කරපු සීයා කෙනෙක්. ඔහු තමයි නාට්‍ය කණ්ඩායමට තේ එහෙම හදලා දෙන්නේ. නාට්‍ය දර්ශනය ආරම්භ වූවායින් පසුව වේදිකාවේ පසුපස තිරයට පිටුපසින් වේදිකාවේ එහා මෙහා යමින් ඔහු කණ්ඩායමට උදවු කරනවා. මේ පිටුපස තිරය තියෙන්නේ වේදිකා නාට්‍ය රඟ දැක්වෙන වෙලාවට වුවත් ප්‍රේක්ෂකාගාරයට නොපෙනී කණ්ඩායමේ අයට එහෙ මෙහෙ යන්නයි. එහෙත් මනෝලා නාට්‍යයක් පෙන්නන්න ගිය හෝල් එකක ඒ පිටපස තිරය තිබිලා නැහැ. ඒ පිළිබඳ හැමෝම දැනුම්වත් කළත් අර සීයට කියන්න බැරි වෙලා. නාට්‍ය රඟ දක්වන අතරතුරදි පිටුපස තිරය ඇතැයි සිතාගෙන අර සීයා තේ ජෝග්ගු කිහිපයක් රැගෙන වේදිකාවෙන් යන්න හදන බවක් මනෝට පේනවලු. ඔහු නාට්‍යයේ රඟපාන ගමන් ඉඳලා තියෙන්නේ. නාට්‍ය නවත්වන්නත් බැහැනෙ. තේ රැගෙන සීයා වේදිකාවට ගොඩ වෙලා. ප්‍රේක්ෂකයන්ටත් ඔහු පෙනිලා. කලබල වෙන්න එපා යැයි මනෝ සීයට ඉඟියක් කරලා ආව ගමනින්ම යන්න කියලා නාට්‍ය දෙබසක් අලුතින් එක් කළාලු.

ආ . . . පාන්දර වෙලා වගේ කිරි කාරයත් ඔය යනවා පේ්න්නේ.

මුකුත් නොවුණා වගේ කිරි ජෝග්ගු රැගත් සීයා අනෙක් අන්තයෙන් බැහැලා ගියාලු. මමෝලා පුරුදු පරිදි නාට්‍යය දිගටම ගෙනිච්චලු.

Add new comment