ලංකාව දෙවියන්ගේ මල් උයනක් යයි කී ග්‍රෙගරි පෙක්

පෙබරවාරි 6, 2020

 එවකට ‘ඩේලිනිව්ස්’ පත්‍රයේ උප කර්තෘවරයකුව සිටි ප්‍රෙමිල් රත්නායක ලිපියක් ලියමින් ග්‍රෙගරි පෙක් නම් විශිෂ්ට හොලිවුඩ් නළුවා ගැන මෙසේ ලියා තිබුණි.

“දැකම්කළුකමත්, රඟපෑමේ දක්ෂතාවයත් මෙන්ම මිහිරි කඩහඬත් නළුවෙකුට අවශ්‍ය මේ සියල්ලම ඇති හොලිවුඩ් නගරයේ එකම සිනමා තරුව ග්‍රෙගරි පෙක් යැයි කීමට පුළුවන. පෙක් ගැන කතා කරන විට අනිත් සියල්ලටම වඩා කැපී පෙනෙන්නේ ඉතා අමාරුවෙන්, ඕනෑකමින් හදාගෙන ඇති ඔහුගේ ගැඹුරු කටහඬය. හොලිවුඩ් සිනමා නළුවන් අතරින් ‘කටහඬ’ විෂයයක් වශයෙන් හදාරා ඇති එකම නළුවා ග්‍රෙගරි පෙක්ය. ඇමරිකානු චිත්‍රපට මිම්මට අවශ්‍ය උස, පෙනුම, අඟ පසඟ පෙක්ට ලැබුණු දායාදය.

 

ග්‍රෙගරි පෙක් ලංකාවට පැමිණියේ මෙහි නිපදවන ලද The Purple Plain ‘දඹතැන්න’ නම් චිත්‍රපටයේ රඟපෑමටය. ඒ 1954 දීය. ඔහු පැමිණෙන විට කොළඹ රීගල් සිනමාහලේ ඔහු ප්‍රධාන චරිතය රඟපෑ The Million Pound Note චිත්‍රපටය තිරගත වෙමින් තිබුණි. සිලෝන් තියටර්ස් අධිපති සර් චිත්තම්පලම් ඒ. ගාඩිනර්ගේ ඇරැයුමෙන් පෙක් 1954 පෙබරවාරි 18 වෙනිදා රීගල් සිනමා ශාලාවට පැමිණියේ තමා රඟපෑ චිත්‍රපටය නැරඹීමටය. විශාල රසික පිරිසක් මැද වේදිකාවට නැඟ පැමිණ සිටි ප්‍රේක්ෂකයන්ගේ උණසුම් පිළිගැනීමට ලක් වෙද්දී පෙක්ට මල් මාලාවක් පළඳා පිළිගෙන ඇත්තේ සුජාතා ජයවර්ධන විසිනි. Star Over India  නම් ජර්මන් චිත්‍රපටයේ රඟපෑ සුජාතා ‘දෙලොවක් අතර’ චිත්‍රපටයේ වින්සන්ට් සේරසිංහගේ බිරිඳ ලෙස රඟපෑවාය. ග්‍රෙගරි පෙක් වෙනුවෙන් සර් ගාඩිනර් බාල් නැටුම් කිහිපයක් කොළඹ ගෝල්ෆේස් හෝටලයේ සහ තම නිවසේ පවත්වා ඇති අතර එක් අවස්ථාවක අගමැති සර් ජෝන් කොතලාවල ද එයට සහභාගී වී තිබුණි.

1954 ජනවාරි 05 වෙනිදා “ජනතා” පුවත්පත ග්‍රෙගරි පෙක්ගේ ලංකා ගමන වාර්තා කර තිබුණේ ඔහුගේ රසිකයන්ගේ බලාපොරොත්තු සුන්ව ගිය අවස්ථාවක් ලෙසය. පුවත්පතේ අන්තිම පිටුවේ ඔහුගේ නොපැමිණීම නිසා එදින උදෑසන සිටි රසිකාවියන්ගේ දුක්මුසුව සිටි පින්තූර කතාවකි. එහි පළ වූ මුල් පිටුවේ ප්‍රවෘත්තියේ මෙසේ සඳහන් වී තිබුණි.

“ලක්ෂ සංඛ්‍යාත කලාකාමීන්ගේ ගෞරවය දිනා සිටින ග්‍රෙගරි පෙක්ගෙන් සමරු පොත් අත්සන් කර ගැනීමට ගිනි අව්වේ රත්මලන ගුවන් තොටුපළට රැස් වූ යුවතියන්ගේ පින්තූරවලිනි. ඔවුන්ගෙන් ඇතැමෙක් ක්ලාන්ත වී වැටී ඇත.”

කෙසේ වෙතත් රසික සිත් සනසමින් ග්‍රෙගරි පෙක් ජනවාරි 06 වෙනිදා උදෑසන 8.15 ට රත්මලානේ ගගනාංගනයට ගොඩ බැස ඇත. පෙක්ගේ අත්සන තම සමරු පොතට ලබා ගැනීම සඳහා රත්මලාන ගුවන් තොටුපළේ පොර කකා සිටි බාලිකාවන්ගෙන් පළමුවැන්නියගේ පෑන ගෙන අත්සන් කළ ග්‍රෙගරි පෙක් ආපසු පෑන දී ඇත්තේ වෙන බාලිකාවකටය. පසුව පෑන ආපසු නොදීම ගැන ග්‍රෙගරි පෙක්ට කළ නෝක්කඩුව ඔහුට සීගිරියේදී අසන්න ලැබුණේය. කොළඹ ස්ටැන්මෝර් ක්‍රෙසෙන්ට්හි සී. පෙරේරා නම් මේ බාලිකාවට ලිපියක් යැවූ පෙක් ඇගේ පෑනේ වර්ගය දන්වන මෙන් ඉල්ලා ඇත. ඇයට පාකර් 51 පෑනක් තැපෑලෙන් එවීමට පොරොන්දු වූ බව 1954 ජනවාරි 10 වෙනිදා ඉරිදා ලංකාදීපයේ පළ වී ඇත. එහි මාතෘකව වී ඇත්තේ “ග්‍රෙගරි පෙක්ගෙන් දැරියට පෑනක්’ යන්නය.

ග්‍රෙගරි පෙක් ලංකාවේ නැවතී සිටින කාලය තුළ හැකි තරම් ලාංකිකයන් දැක දැන හැඳින ගැනීමට ආශාවෙන් සිටින බව ඔහු ලංකා ගුවන් විදුලි සේවයේ (රේඩියෝ සිලෝන්) ඉංග්‍රීසි නිවේදිකාවකට පවසන අයුරු දැක්වෙන ඡායාරූපයක් 1954 ජනවාරි 07 වෙනි දින “දිනමිණ” පුවත්පතේ මුල් පිටුවේ සඳහන්ව තිබුණි. පෙක්ගේ අත්සන සමරු පොත්වලට ඇතුළත් කර ගැනීමේ අදහසින් ඔහු වෙත කඩා පැන්න හැම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවකගේම ඉල්ලීම ඉටු කිරීමට ඔහු මැලි නොවී ඇත. සමහර ශිෂ්‍යාවන් ලේන්සුවල ද, ශිෂ්‍යයන් කමිස සාක්කුවල අත්සන් ලබාගෙන ඇත.

ඉංග්‍රීසි නිවේදිකාව ඇසූ ප්‍රශ්නලට පිළිතුරු දෙමින් පෙක් පවසා ඇත්තේ තමා ක්‍රියාදාම සිද්ධීන්ගෙන් යුතු චිත්‍රපටවල රඟපෑමට කැමති බවය. තමා වඩාත් කැමතිම නිළිය ඉන්ග්‍රීඩ් බර්ග්මාන් බව ද පවසා තිබුණි.

ග්‍රෙගරි පෙක් රඟපෑ ලංකාවේ රුගත කළ The Purple Plain නවකතාව ඉංග්‍රීසි නවකතා කතුවර එච්. ඊ. බේට්ස් විසින් 1946 රචනා කරන ලද නවකතාවකි. ගුවන් නියමුවෙකු ලෙස ඉන්දියාවටත් බුරුමයටත් පැමිණි බේට්ස් තමා ලත් යුද අත්දැකීම් ඇසුරෙන් The Purple Plain නවකතාව රචනා කර ඇති අතර ප්‍රකට නවකතා රචක ග්‍රැහැම් ග්‍රීන් විසින් බේට්ස් හඳුන්වා ඇත්තේ “එංගලන්තයේ චෙකොෆ්” හැටියටය. 1974 ජනවාරි 29 වැනිදා බේට්ස් මිය යන විට බ්‍රිතාන්‍ය රජය විසින් පිරිනමන ලද උසස්ම සම්මානය CBI උපහාරයෙන් ඔහු පිදුම් ලැබුවේය.

“පර්පල් ප්ලේන්” චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වූයේ රොබට් පැරිෂ් නිෂ්පාදකවරයා වූයේ John Bryan ය. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වූ ෆෙස්ටර් නම් ගුවන් හමුදා නිලධාරියා ලෙස ග්‍රෙගරි පෙක් රඟපෑ අතර බුරුම ජාතික නිළියක් වූ වින් මින් තාන් ප්‍රධන නිළි චරිතය රඟපෑවාය.

බෙට්ස් ලියූ නවකතාව ‘දඹතැන්න’ නමින් අනුල ද සිල්වා නම් අපේ ජ්‍යෙෂ්ඨ පත්‍ර කලවේදිනිය අතින් සිංහලයට පරිවර්තනය කර ඇත. එය සූරිය ප්‍රකාශනයකි.

ආතර් රෑන්ක් සමාගමේ අධ්‍යක්ෂ හා නිෂ්පාදක ඇතුළු පනස් ගණනක පිරිසක් ලංකාවට ඒමට මාස දෙකකට ප්‍රථම සිට සීගිරියේ භවනේ සිනමා නගරයක් ඉදිකර තිබුණි. කලා අධ්‍යක්ෂක Jack Maxsted හා පසුතල නිරමාණ ශිල්පී Dario Simoni  ද, කැමරා අධ්‍යක්ෂ Geoffry Unsworth  සහාය අධ්‍යක්ෂ David Orton  පෙර සැලසුම් කිරීමට ලංකාවේ ගත කොට ඇත. ලංකාවේ සියලු කටයුතු සම්බන්ධීකරණය කර ඇත්තේ සිලෝන් ටුවර්ස් අධීපති පී. ඒ. එදිරිවීර මහතා විසිනි. සිලෝන් ටුවර්ස් සමාගම විසින් චිත්‍රපටයේ ඉදි කිරීම සඳහා 300 ක පමණ සහභාගි කරගත් බව ඉරිදා ලංකාදීප පත්‍රයේ ධරම්සී (ධර්මසිරි ජයකොඩි) ලියූ විශේෂාංගයකින් හෙළි වෙයි.

ලියුම්කරු කියා ඇති පරිදි පොල් ගහක් පළාතකවත් නොතිබුණු එම දර්ශන තලයේ පොල් ගස් සිට වූ බවය.

1968 ග්‍රෙගරි පෙක් ගැන ලිපියක් ලියූ ප්‍රෙමිල් රත්නායක කියා තිබුණේ පෙක් ලංකාවේදී සෙම්ප්‍රතිශ්‍යාවෙන් තදබල ලෙස පීඩා විඳිද්දි සිලෝන් ටුවර්ස් අධිපති පී. ඒ. එදිරිවීර මහතා ඔහුට කොත්තමල්ලි වතුර බොන්නට දී ඇති බවය. පෙක්ට සෙම්ප්‍රතිශ්‍යාව සුව වී ඇත. චිත්‍රපටයේ වැඩ කටයුතු නිම වී ඔහු ඇමරිකාවට යන විට කොත්තමල්ලි තොගයක් රැගෙන ගොස් ඇත.

“සෙම්ප්‍රතිශ්‍යාවට මෙතරම් අනගි බෙහෙතක් මම මුළු ලෝකයේම දැකල නැහැ. මේ වගේ ඖෂධයක් ඇමෙරිකාවේ තිබුණා නම් ඇමරිකානුවෝ ලක්ෂ ගණනක් සොයනවා ඇති.”

ඇමෙරිකා එක්සත් ජනපදයේ කළු මිනිසුන් වෙනුවෙන් සටන් කරන, ඔවුන්ගේ ඉරණම ගැන දුක්වෙන හොලිවුඩ් නළුවන්ගෙන් ප්‍රධානියා මාලන් බ්‍රැන්ඩෝ බවත් ඔහු හා උරෙන් උර ගැටී සටන් කරන නළුවා තමා බව පවසා තිබුණි. බ‍්‍රැන්ඩෝ මෙන්ම පෙක් ද කළු මිනිසුන් වෙනුවෙන් සටන් කිරීමේ සටනට මුදල් පරිත්‍යාග කර ඇති බවද එම ලිපියේ සඳහන් වෙයි.

ග්‍රෙගරි පෙක් කොළඹ සිටි දින කිහිපය ගත කොට ඇත්තේ ගෝල්ෆේස් හෝටලයේය. ඉන් පසු ඔහු සීගිරිය බලා ගියේ එක දිගටම එහි රූප ගත කිරීම් තිබූ නිසාය. කොළඹින් පෙක් පිටත් වූ පසු කොළඹ හතේ ධනවත් තරුණියන් හෝටල් කළමනාකරු හමු වී ඔහු නැවතී සිටි කාමරයට යාමට අවසර ලබා එහි වූ පෙක් නිදා සිටි ඇඳෙහි බෙඩ්ෂීට් එක පවා සිප ගත් බව ආචාර්ය ලෙස්ටර් ජ්ම්ස් පීරිස් වරක් මට පැවසුවේය. පෙක් චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතය රඟපෑ බුරුම ජාතික නිළි වින් මින් තාන් නිළිය සමඟ පෙමින් වෙළී සිටි බවට සර් ගාඩිනර් වරක් පැවසූ බව ද ලෙස්ටර් මහතා අපට කීවේය. පසුව ඇය බුරුමයට ගොස් වසර කිහිපයකට පසු දස සිල් මාතාවක් වූ බව පුවත්පත්වල පළ වී තිබුණි. බෞද්ධාගමික කතක් වූ මේ බුරුම නිළිය ලංකාවට ගුවන් යානයෙන් බැස මුලින්ම ගොස් ඇත්තතේ කැලණි රජ මහා විහාරයට බව පුවත්පත්වල පළ වී තිබුණි.

1916 අප්‍රේල් 05 වෙනිදා ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලාජොල්ලා නගරයේ එල්රෙඩ්හි උපත ලැබූ ග්‍රෙගරි පෙක් සැන් ඩියෝගු ස්ටේට් පාසලේ ඉගෙනීම ලබා වෘත්තීය ජීවිතය ආරම්භ කර ඇත්තේ ලොරි ඩ්‍රයිවර් කෙනෙකු ලෙසය. ඔහුගේ නම “පෙක්” නමින් කෙටි කොට හැඳින්වීමට තම පියා පෙළඹී ඇත්තේ පැරණි ඉංග්‍රිසි පෙළපතක් සිහි කරමිනි. ලොරි රියදුරුකම කරන කාලයේ පෙක්ට චාම්, රූමත් තරුණියක් හැඳින ඇය හා පිළිබඳ සිත් ඇතිව සිටියත් ඒ ප්‍රේමය හිටි හැටියේ නතරව ඇත්තේ පෙක්ගේ රියදුරු රැකියාව නිසාය.

“ග්‍රෙගරි ඔයා හොඳ රස්සාවක් හොයා ගන්න. ඔයා ඉංග්‍රීසි සාහිත්‍ය කියවන්න. දැනුම දියුණු කර ගන්න.”

ඇය ඔහුගේ උපදේශිකාව වූවාය. ඒ උපදෙස් ඔහු අකුරටම ඉටු කර ගත්තේය. අලුත් රැකියාව සරු එකක් වුවත් ඇය එකවරම නොපෙනී ගියේය. පෙක් ඇය ගැන ආරංචි කර බැලුවේය. ඇය අන්ත්‍රස්දානව සිටියාය.

“මම ලොරි ඩ්‍රයිවර් වෙලා හිටියා නම් ඈ මගේ බිරිඳ වනු ඇති. මම තවම ඇය සොයනවා” පෙක් නොයෙක් වර හොලිවුඩ් මිතුරන්ට කීවේ ඇය සොයා ගැනීමට උදව් කරන ලෙසය. මිතුරෝ ආරංචි ඔස්සේ ඇය සෙවූ නමුත් මෙතරම් ප්‍රකට නළුවකු වූ පෙක්ව සොය නොගැනීම ගැන ඔහුට ඇත්තේ වේදනාවකි. ඇය ගැන පෙක් දැනගන්නා විට දුම්රිය ප්‍රමාද වී තිබුණි. ඒ තරුණිය වැඩිවියට පත් දූ පුතුන් ඇති මවක් බව පෙක්ට අසන්ට ලැබී ඇත.

“මගේ අනාගතය ගැන මෙනෙහි කළ තවත් පරාර්ථකාමී ගැහැනියක් ඇගෙන් පසු මට හමු වුණේ නැහැ. මට අලුත් රැකියාවක් සොය ගන්නට පෙරැත්ත කිරීමෙන් මාව ඇයට සදහටම නැති වුණා. ඇයට ඒ අවස්ථාවේ මෙය අවබෝධ වුණාදැයි මට දැන් සැකයි” පෙක් ගැන අගනා ලිපියක් ලියූ ප්‍රෙමිල් රත්නායක ලියා තිබුණි.

ග්‍රෙගරි පෙක් ලංකාවේ සිටින කාලය තුළ විවාහ යෝජනා තුනක් ද, නිවසට පැමිණීමට හා ඡායාරූප ඉල්ලා 300 දෙනෙකුගෙන් පමණ ආරාධනා ලැබූ බව ද පුවත්පත්වල පළ වී තිබුණි. වරක් පෙක්ට බුදු දහම ගැන ලියූ පොතක් හා ධම්ම පදයේ ඉංග්‍රීසි පරිවර්තනයක් ද වරෙක ඉස්තරම්ම තේ රාත්තල් 200 ක් තෑගි දුන් බව ද පුවත්පත්වල පළ වී තිබුණී.

කලා විචාරකයකු, ලේඛකයකු මෙන්ම ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ගුරුවරයකු වූ අභාවප්‍රාප්ත ඩී. බී. කුරුප්පු ලියූ “මඟ හොඳට නොතිබුණොත්” නම් කෘතියේ ග්‍රෙගරි පෙක් 1954 පේරාදෙණියේ විශ්වවිද්‍යාලයට පැමිණි අවස්ථාවක් විස්තර කර තිබුණේ මෙසේය. එවකට කුරුප්පු විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකයෙකි.

“ග්‍රෙගරි පෙක් පේරාදෙණියේ විශ්වවිද්‍යාලයට සම්ප්‍රාප්ත වූයේ 1954 මා එහි සිටි අවදියේය. මා ඔහු දුටුවේ නැත. මේ පිළිගැනීම අසන්නට ලැබුණු දෙයකි. එහිදී ඔහු ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාරයක් වූ හිල්ඩා ඔබේසේකර ශාලාවට ගියේය. එහි නේවාසිකයන් ඔහු පිළිගත්තේ එතැනට පය ගැසූ මොහොතේමය. නළුවා වට කර ගත් තරුණියෝ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ ඉන් වසර 50 කට (2011) පසු මන්ත්‍රීන් විසින් ජනප්‍රිය භික්ෂූන්වහන්සේ නමකට කරන්නට යන සංග්‍රහයට පූර්වා දර්ශයක් ඇති කළේය. එහෙත් සරසවි සිද්ධිය ඊට හාත්පසින් වෙනස් චේතනාවකින් කරන ලද්දකි. අර දැරියන් ග්‍රෙගරි පෙක්ට ඒ විදිහේ සංග්‍රහයක් කරන්ට සිතුවේ හුදු සෙනෙහසින්ය. උතුරා යන ආදරයකින්ය. හාමුදුරුවන්ට ඇති වූ ආකාරයේ වේදනාවක් නළුවාට ඇති නොවන්නට ඇත.

අඩි 6 කුත් අඟල් 5 ක් උස කඩවසම් මේ ප්‍රතිභාසම්පන්න ශ්‍රේෂ්ඨ හොලිවුඩ් නළුවා 2003 ජූනි 12 වෙනිදා මිය ගියේය. ඔහුට ලංකාවාසී ප්‍රේක්ෂකයන් දැක් වූයේ අසීමිත ආදරයකි. ඔහු රඟපෑ මෙහි ප්‍රදර්ශනය වූ Moby Dick Guns of Navaron, Meckenna’s Gold, The Omen වැනි චිත්‍රපට ප්‍රෙක්ෂක ප්‍රතිචාර දිනූ චිත්‍රපට අතර සුවිශේෂය.

ග්‍රෙගරි පෙක් 1954 මාර්තු 24 වෙනිදා බොම්බායේ මෙට්රෝ සිනමාහලේ පැවති Filmfare සම්මාන උලෙළේ ප්‍රධාන අමුත්තා ලෙස ආරාධනය ලැබී තිබිණ. ලංකාවේ රූපගත කිරීම්වල යෙදී සිටි ඔහුට මහ අකරතැබ්බයක් විය. එය බොම්බාය බලා යන මේ ගමනට බාධාවක් විය. සීගිරියේ සිට රත්මලානේ ගුවන් තොටුපලට ඒමට ප්‍රමාද වීම මෙයට හේතුව විය. එහෙත් සම්මාන ප්‍රදානෝත්සවයෙන් පසු තිබූ භෝජන සංග්‍රහයට සහභාගි වූයේය.

මේ ප්‍රමාද දෝෂය ගැන පෙක්ට සමාව නුදුන් සංවිධායකයන් හා කලාකරුවන් සම්මානලාභී නළු නිළියන් ඔහු රාත්‍රී භෝජන සංග්‍රහයට පැමිණීම අගය කර ඇත. සම්මානලාභීන් දෙවන වරටත් ඔහු අතින් ෆිල්ම් ෆෙයාර් සම්මාන ලබා ගනිමින් සතුට භුක්ති විඳ ඇත. ඒ පිළිබඳව ෆිල්ම්ෆෙයාර් සඟරාවේ මෙසේ සඳහන්ව තිබුණි.

“Gregory peck, famous hollywood star who could not arrive in time from ceylon for the awads presentation ceremony attended the dinner and accorded a cordial welcome by all present specially the stars evergone of whom was able to meet and with him”

1954 වසරේ විශේෂයෙන් තරුණියන්ට ඇති වූ “පෙක් පිස්සුව“ ගැන පුවත්පත්වලින් ලොකු ප්‍රචාරයක් දී තිබුණි. එකල ප්‍රකට කවියකු හා පුවත්පත් කලාවේදියකුව සිටි ධර්ම ශ්‍රී කුරුප්පු විසින් සංස්කරණය කළ “සිනමා ලෝකය” 1954 මාර්තු සඟරාවට දෙහිවල ඩබ්ලිව්. කේ. සිරිසේන විසින් ලියූ “පෙක් පෙක් පිස්සුව“ නම් කවි දෙකකි මේ.

අගනුවරම වසන දනපති තරුණිය කි

පෙක් නැති සොවින් ඇය ඇවිදින ඇට ගොඩ කි

රීගල් ගොසින් ආ තැන් සිට හරි ලෙඩ කි

පෙක් පෙක් කියා ඇය ළත වෙයි පුදුමය කි

 

තේ වතු රබර් වතු දායාදයට දෙමි

ඔබ කැමති නම් මම හොලිවුඩ් එකට එමි

මගේ මුළු සේසතම දීමට කැමති වෙමි

යනුවෙන් යෝජනා විය තද කරන බැමි

 

අඹු දරුවන් සිටින පෙක් මහ නළුවාට

එම යෝජනා හිසරදයක් වනුවාට

සැකයක් නැතැයි අප නිකමට හිතුවාට

මොනවද ඔට්ටු නොසිතූ දේ වෙනවාට

හොලිවුඩ් මහා නළු ග්‍රෙගරි පෙක් ලංකාවට පැමිණ ‘දඹතැන්න’ චිත්‍රපටයේ සීගිරි සෙවණේ කුවේර භවනේ රඟපෑ අපූරු සිද්ධි එදා සිටි අද ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට නම් හොඳට මතක ඇති. ග්‍රෙගරි පෙක් පසුකලෙක ලංකාව ගැන සිහිපත් කළේ එය දෙවියන්ගේ මල් උයන හැටියට හඳුන්වා දෙමිනි.