වහීඩා, නිම්මි හා සහිරා සමග පෙම්කතා...

පෙබරවාරි 13, 2020

පසුගිය සතියෙන්.....

දිලිප් කුමාර් සමඟ වහීඩා

ඇයත් ඔහුත් ගැළපුණේ සඳුන් ගසට සමන් වැලක් එතුණා මෙනි. ඔහුගේ ප්‍රභාව ඇගේ ලාලිත්‍යයෙන් වඩාත් දීප්තිමත් විය. වහීදා සහ දිලීප් ගෙනා අමතක නොවන චිත්‍රපට කීපයක් වන්නේ 60 දශකයේ තිරගත වූ ආද්මි, දිල් දියා දාද් ලියා සහ රාම් ඖර් ෂ්‍යාම්ය. ආද්මි සහ දිල් දියා දාද් ලියා චිත්‍රපටවලින් කතා වන්නේ බිඳුණු හදවතක් ඇති ආදරවන්තයකුගේ අඳුරු සිතිවිලි පිළිබඳවයි. ඔහු සමඟ කරට කර රැඟූ තාරකාවිය වහීඩා පිළිබඳ දිලිප් ඔහුගේ පොතේ ලියා ඇත්තේ මෙසේය.

"වහීඩා රෙහෙමාන් රාම් ඖර් ශ්‍යාම් චිත්‍රපටයේදි අදහාගත නොහැකි අයුරින් සජීවී රංගනයක යෙදුණා. ඒ වගේමයි දිල් දියා දාද් ලියා චිත්‍රපටයේදීත් ඇය එවැනිම ප්‍රතිභාවක් දැක්වූවා." දිල් දියා දාද් ලියා ට පදනම් වූයේ එමිලි බ්‍රොන්ටෙගේ වදරිං හයිට්ස් නවකතාවය. වේදනාව සහ වෛරය කැටිකෙරුණු එයට නෞෂාඩ්ගේ ඉමිහිරි තනුවලින් ෆිර් තෙරි කහානි යාද් ආයේ, කොයි සාගර් දිල් කෝ බෙහ්ලාතා නහී වැනි ගීත වලින් ආත්මය මුසුවිය. දොස්තොව්ස්කිගේ ඌරුවට තැනුණු ආද්මි චිත්‍රපටයේ රෝදපුටුවකට කොටු වුණු දිලිප් සැක කරන්නේ සිය හොඳම මිතුරා පිළිබඳ සිතක් තම බිරිය තුළ පහළ වී ඇති බවටයි. වහීඩා ඔහුගේ තැති ගැන්ම දුරු කරන්නේ සුවිනීත භාර්යාවකගේ කැපවීම විදහා පාමිනි. ආජ් පුරාණී රාහොන් සේ සහ කෛසෙ හසීන් ආජ් බහරෝන කි රාත් හයි වැනි නෞෂාඩ්ගේ ගීත අදටත් මතකයේ රැඳේ. මේ දෙදෙනා රහසේ මුණගැසෙන බවට ද කටකතා බහුලව පැතිරුණත් එය දැඩිව ගියේ නැත. දශක ගණනාවකට පසු 1984දී මාෂල් චිත්‍රපටයේ දිලිප් සහ වහීදා යළි එක් වූ අතර දිලිප්ගේ ගැඹුරු ආදර හැඟුම් නිරූපණයේ අඩුවක් නොවන හැකියාව එහි ඉස්මතු විය. එහි ආයේ භායි දර්ශනයේ අසරණ දිලිප් ජනශුණ්‍ය මාවතක අවසන් හුස්ම හෙළන ඔහුගේ ප්‍රියම්බිකාව වන වහීඩා වෙනුවෙන් උදවු යදින කොටස චිත්‍රපටයට මහත් අගයක් එක් කළේය.

දිලිප් කුමාර් සහ සයිරා බානු

 

රූබර සයිරා බානුට තිබුණේ සිහන දෙකකි. එකක් නම් නිළියක වීමය. දෙවැන්න දිලිප් කුමාර් සමඟ විවාහ වීමය. ඇය ඒ සිහින දෙකම සැබෑ කරගත්තාය. මුල්කාලයේ් ඇය බොහෝ තරුණ බව කියමින් දිලිප් ඇයව මඟහැරියේය. ප්‍රතික්ෂේප කළේය. එහෙත් 1966 වසරේ නිකිනි මස 23වැනිදාට යෙදුණු ඇගේ උපන්දිනයේදී ඔහු ඇය හා පෙමින් වෙළුණේය.

"මට අද වගේ මතකයි... සයිරා රන් සහ රිදී හුයෙන් වියූ සාරියකින් සැරසිලා ඇගේ ගෙදර විසිත්ත කාමරයේ ඉන්නවා දැක්කාම මට ඉහිළුම් නැතුව ගියා. ඇය ඇත්තෙන්ම පිරිපුන් කාන්තාවක බවට පත්වෙලා. ඒ වගේම ඇත්තම කතාව මම හිතුවට වඩා සයිරා පුදුම ලස්සනයි." දිලිප් ඔහුගේ පොතේ සටහන ගෙනහැර දක්වයි. ඒ වනවිට දිලිප්ට වයස අවුරුදු 44ක් වූ අතර සයිරාට 22කි. විවාහයෙන් පසු ඔවුහු 1970 ගෝපි, 1974 සගීනා සහ 1976 බයිරාග් රූගත කළහ. ඔවුන්ගේ මනා ගැළපීම දෙදෙනා අතර සබැඳීයාව වැඩිවත්ම ඔවුන් නිරාවරණය කරගත් අතර මහා රංගධරයකු සමඟ තරුණ ශිල්පිනියකගෙන් මතුවන මුදුමොළොක් බව ඇයට නිරායාසයෙන් ලැබිණ. දිලිප් සිය චරිතාපදානයේ සිය බිරිඳ වූ තාරකාවිය පිළිබඳ සඳහන් කරන්නේ " ඇගේ භාවයන් සහ රංගන කෞශල්‍යය ඇගේ නිවැරැදි ඉංගිතයන්ගෙන් මම දුටුවා." යනුවෙනි.

සුරංගනා කතාවක් බඳු ඒ විවාහ දිවිය ගෙවුණේ ගැටුම් මැදය. දිලීප්ගේ දෙවැනි කසාදය 1981 දී හයිද්රාබාද් පෙදෙසේ අස්මා රෙහෙමාන් සමඟ සිදුවීම සයිරාගේ ජීවිතය අපායක් කළේය. "මගේ ආදරේට ඇස්වහ කටවහ වැදුණා. මගේ භක්තිය පිළිගත්තේ නැහැ. ඒක මගේ ආත්ම ගෞරවයට එරෙහිව ගියා. සයිරා සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවාය. ඇගේ මව වූ රංගන ශිල්පිනී නසීම් බානු පැවසුවේ කෙසේ හෝ දරාගෙන සිටින ලෙසයි. "මගේ අම්මා කීවා මට අසනීප වුණාම දිලිප් ඔයාව බලාගත්තා. ජීවිතේ බොහෝ දේවල් සිදුවනවා. ඒත් යූසුෆ් ඔබට ආදරය කරනවා කියලා" අතීතය ගෙවා දැමූ හැටි සයිරා සිහි කළාය. වත්මනේ දිලිප් කරන පාපොච්චරණයන් පිළිබඳ සයිරා සතුටු වන බවද පැවසුවාය. "මගේ අම්මාටවත් ඔයාට වගේ මාව රැකබලාගන්න බැරි වුණා" ඔවුන්ගේ බැඳීම ඇය කෙටියෙන් හැඳීන්වූයේ මෙසේය. "මම ජීවත් වෙන්නෙ ඔහුට ආදරය කරන්න". මේ සිනමාවේ නොව සැබෑ ජීවිතයේ පෙම්වතුන්ගේ දිවි ගමනේ සැදෑ හිරුරැස් කෙමෙන් පතිත වෙමින් පවතී. ඔවුන්ගේ කතාව යළි යළිත් අසන්නට වටින්නක් සේම පවසන්නට ද වටිනා එකකි.

දිලිප් කුමාර් සමඟ නිම්මි

 

පනහ දශකයේ දිලිප් කුමාර් නිම්මි සමඟ චිත්‍රපට පහකට රංගනයෙන් දායක විය. ආන්, අමර්, දීදර්, දාග් සහ උරන් ඛටෝලා ඒ චිත්‍රපට පහයි. ඇය ෆිල්ම් ෆෙයාර් සඟරාවටම කළ සාකච්ඡාවකදී දිලිප් කුමාර්ගේ ආකර්ෂණීය රංගනය පිළිබඳ කීවේ මෙසේය. " දෙවියෝ දිලිප් සාබ්ට ආශිර්වාද කර තිබෙන්නේ කාන්දමක් දීලා. හැම කෙනාම එයාට ඇදෙනවා. මමත් එයාගේ පැත්තට ඇදිලා ගියා. මම එයාට බොහොම ඇලුම් කළා. මම ඔහුගේ රසිකාවකුත් වුණා. මධුබාලා වගේ ලස්සන කාන්තාවෝ ඔහු සමඟ ආදරෙන් බැඳුණා. මම කොහොමද ඒ අය එක්ක තරග කරන්නේ. මගේ හිත බිඳීලා පැත්තකට වුණා කවදාවත් ළඟා කරගන්න බැරිදෙයක් බව දැනගෙන"

ෆිල්ම් ෆෙයාර් සඟරාව ඇසුරෙනි....

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.