“වීණා නාදේ සේමා” ගැයූ “කෝකිල දේවී”

මාර්තු 5, 2020

වර්ෂ 1939 දෙසැම්බර් මාසයේ එක්තරා දිනෙක එවකට සුප්‍රසිද්ධ HMV  ග්‍රැමොෆෝන් තැටි සමාගමේ ගීත තැටිගත කිරීමක් සිදුකෙරුණි. එම ගීත යුගලයෙහි වාද්‍ය වෘන්දය මෙහෙයවමින් ගායනය සිදුකරන ලද්දේ එවකට HMV  සමාගමේ ප්‍රධාන සංගීත අධ්‍යක්ෂක වූ, ගාන්ධර්ව එච්. ඩබ්ලිව් රූපසිංහ මාස්ටර් විසිනි. එතුමාගේ සහාය ගායිකාව වූයේ එවකට ප්‍රධාන පෙළේ ශාස්ත්‍රීය ගායිකාවක, ගුවන්විදුලි ශිල්පිනියක, සහ වීණා වාදන ශිල්පිනියක ලෙස චිර ප්‍රසිද්ධියට පත්ව සිටි, “කෝකිල දේවී” නම් වූ අතිදක්ෂ කලාශිල්පිනිය යි. එතුමිය එවකට රූපසිංහ මාස්ටර් ගේ සංගීත කණ්ඩායමේ ප්‍රධානතම ගායිකාව ද වූවාය. එදින පටිගත කළ ගීතද්වය වූයේ කෝකිල දේවී සිරිමතිය සහ රූපසිංහ මාස්ටර් එක්ව ගායනා කළ “වීණා නාදේ සේමා” ගීතයත් , “දසදෙසෙහි කීර්තී” නමැති ගීත යුගලය යි . 1940 ජනවාරි මාසයේ දී , ව් 9327 අංකය යටතේ HMV  ලේබලයෙන් වෙළෙඳපොළට නිකුත් වූ මෙම ගීත යුග්මය දශක ගණනාවක් ගෙවී ගියත් අදටත් ශ්‍රාවකයන්ගේ මතකයෙන් ගිලිහි නොගිය ජනප්‍රිය ගීත යුගලයකි. එ අතුරිනුත් “වීණා නාදේ සේමා” ගීතය මෑත අතීතයේ පවා නිතරම ගුවන්විදුලියේ පැරණි රසාංග තීරයෙන් ප්‍රචාරය වුණු මතකයේ රැඳී පවතින ජනප්‍රිය ගීතයකි. එම ජනප්‍රිය වූ ගීතයෙහි ඉතිහාසය බිඳක් අද මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නෙමි.

වීණා නාදේ සේමා කර්ණයෝ පිනා වී..

 

රොන් ලොබිනේ මල් උයනේ භෘංග නාද දේවී
වීණා නාදේ සේමා කර්ණයෝ පිනා වී...

 

වයන සුමීරි ගීත වැනි රාවෙනි
උදෙහී සිරි දී කරාවි ප්‍රීති...

 

වීණා නාදේ සේමා කර්ණයෝ පිනා වී...

 

නා නා වර්ණැති සුවඳ විහිදෙනා
නා සපු මාලති පිපී දිලී...

ශ්‍රී පානා දන මන පිනවා නිති
ශ්‍රී පානා.. ශ්‍රී පානා..

ශ්‍රී පානා දන මන පිනවා නිති
රම්‍යා සෝබන මේ මල් උයනේ

වීණා නාදේ සේමා කර්ණයෝ පිනා වී..

එවකට බිහිවුණු උද්‍යාන වර්ණනා ගීත අතර මෙම ගීතයට හමුවන්නේ සුවිශේෂී ස්ථානයකි. මෙම ගීතය අඩංගු ග්‍රැමොෆෝන් තැටියෙහි මෙම ගීතයේ රචකයා පිළිබඳ කිසිඳු සඳහනක් නොමැති නමුත්, කරුණු සොයා බැලීමෙන් අනාවරණය වූයේ මෙම ගීතය රචනා කරන ලද්දේ, රූපසිංහ මාස්ටර් වෙනුවෙන් එවකට ජනප්‍රිය ගීත රාශියක් රචනා කළ ශ්‍රී යෝග්‍ය විශාරද වෛද්‍යාචාර්ය බෙලිඅත්තේ එම්. ඩබ්ලිව්. එන් .එස් විජේසිරි මහතා බව ය. වර්ෂ 1902 පෙබරවාරි 02 දින උපත ලැබූ මෙතුමා සුප්‍රසිද්ධ අක්ෂි වෛද්‍යවරයෙකි. 1946 වසරේදී සිංහල කවි සම්මේලනයේ සභාපති වූ මෙතුමා අතින් රූපසිංහ මාස්ටර් වෙනුවෙන් HMV  සමාගමට රචනා කළ ගීත රාශියකි. “අඩු කළේ සෙලවීම නිසා”, “ශ්‍රී පති ශ්‍රී හරි විෂ්ණු දෙවින්දා”, “කදිර දේව නැගී”, “ප්‍රේම සදුන් ගා මවුපිය”, “නන්දන උයනේ සිරි” ආදී ගීත රාශියක් රචනා කළ මෙතුමා “කාලිදාස-කුමාරදාස”, “සෝමා දේවී”, “භාරත රාජදේවී” ආදී නුර්ති ද රචනා කළේ ය. සිංහල ගීතයට විශිෂ්ට සේවයක් කළ මෙතුමා වර්ෂ 1960 මාර්තු මස 23 දින දැයෙන් සමුගත්තේය.

ගීතය ගායනා කළ කෝකිල දේවී රත්නසභාපති (පසුව වීරතුංග) මැතිනිය පිළිබඳව ද වෙසෙසින් ම සඳහන් කළ යුතුය. වර්ෂ 1912 ජුනි මස 14 දින මහනුවර ගලගෙදර දී උපත ලබන මෙතුමිය ගේ මුල් නාමය වන්නේ “ගර්ටෘඩ් අමාලියා” ය. දසවස් සපිරෙන විට කොළඹ පදිංචියට පැමිණෙන ඈ මොරටුවේ ලේඩි වික්ටෝරියා කන්‍යාරාමයෙන් සිප් සතර හැදෑරුවා ය. කුඩා කල පටන්ම ශාස්ත්‍රීය සංගීතයට සහ ගායනයට එකලෙස හපන්කම් දැක්වූ අමාලියා ගේ නොවක් ආශාව වුයේ එවකට ප්‍රචලිතව පැවැති කර්ණාටක සංගීතය හැදෑරීමට ය. ඒ සඳහා කුඩා අමාලියාට සිය මවගේ නොමසුරු සහයෝගය ලැබුණි. එම යුගයේ මෙරට කර්ණාටක සංගීතයෙහි චිරප්‍රසිද්ධව සිටි ආචාර්යවරයෙකු වූ “චොක්කාලිංගම්” අදුරුතුමාණන් වෙතින් වීණාව සහ සර්පිනා වාදනය මෙන්ම, කර්ණාටක සංගීතය ද, මනා ලෙස ප්‍රගුණ කළ කුඩා අමාලියා, අනතුරුව වීණා වාදනය තවදුරටත් ප්‍රගුණ කිරීම සදහා එවකට සිටි “ෂන්මුගම්“ (වීණා ෂන්මුගම්) මහතාණන් වෙත ගොස් ශාස්ත්‍රීය වාදනයන් ද මනා ලෙස ප්‍රගුණ කළා ය. මීට අමතරව 1925 වසරේ සිට එකල ප්‍රසිද්ධව සිටි සංගීතාචාර්යවරුන් වූ දොන් මානිස් පට්ටියාරච්චි, සාදිරිස් සිල්වා මාස්ටර් ආදීන් වෙතද ගොස් සංගීතය ඥානය ලබා ගත්තා ය.

තරුණ අමාලියාගේ ගීත ගායනාවන් අසා පැහැදුණු පට්ටියාරච්චි මාස්ටර් එවකට කොළඹ කොටා පාරේ තුබූ “ ශ්‍රී ලංකා ගුවන්විදුලි සේවයට” අයත් ගොඩනැගිල්ලෙහි පටිගත කෙරුණු පළමු සජීවී ගුවන්විදුලි වැඩසටහනකට ඇයගේ කටහඩින් යුග ගීතයක් ගැයීමට අවස්ථාව උදා කර දුන්නේ ය. 1929 ජනවාරි මස 23 දින පළමු වරට ගුවන්විදුලියෙන් සජීවීව “මුළු ලෝකෙම පිරුණු කීර්තිය සිටු දෙවි විසාඛා” ගීතය පට්ටියාරච්චි මාස්ටර් සමගින් ගායනා කරමින් මෙරට පළමු ගුවන්විදුලි ගායිකාව ලෙස මෙතුමිය සිය නාමය සනිටුහන් කළා ය. ගුවන්විදුලියේ ගී ගැයීමෙන් ලද ජනප්‍රියත්වය නිසාම 1931 වසරේ ජර්මනියෙහි නිපදවන ලද, නෘත්‍යශිල්පී චිත්‍රසේනයන් ගේ පියා වන සීබට් ඩයස් මහතාගේ මුලිකත්වයෙන් මෙරට බෙදාහරින ලද, “පාර්ලොෆෝන්” ලේබලයේ ශබ්දවාහිනී තැටි වෙනුවෙන් ගීත හතරක් තැටිගත කිරීමට (සිංහල ගීත දෙකක් සහ දමිළ ගීත දෙකක්) මෙතුමියට අවස්ථාව සැලසුණි. එකී ග්‍රැමොෆොන් තැටි ලේබල වල එතුමියගේ නම සදහන් කෙරුණේ “ර්ඪඵඵ අචබඩදචඵචඡඩචනචබඩර” (රත්නසභාපති මෙනෙවිය) යනුවෙනි. 1931-1934 වකවානුව තුළ ගුවන්විදුලියේ ගායිකාවක ලෙස කටයුතු කළ එතුමියට 1934 න් පසු මසකට රුපියල් 45 ක ගෙවීමක්ද සිදු කෙරුණි.

වර්ෂ 1932 දී නීතිඥ ජෝර්ජ් වීරතුංග මහතා සමග විවාහප්‍රාප්ත මෙතුමිය විවාහයෙන් පසු මාතර පදිංචියට පැමිණියා ය.

HMV  ග්‍රමෆෝන් තැටි සමාගම මගින් එවකට පැවැතී නුර්ති ගී සම්ප්‍රදායය වෙනස් කොට “නව ගීත” බිහි කරන අරමුණින් නවක ගායක ගායිකාවන් පස් අවුරුදු ගිවිසුමකට බදවාගන්නා විට මෙතුමිය HMV  සමාගම සමගින් ගිවිසුම් අත්සන් කළා ය. එවකට HMV  තැටි සමාගමේ ප්‍රධාන සංගීත අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළේ එච්.ඩබ්ලිව් රූපසිංහ මාස්ටර් ය. එතුමියගේ සුමිහිරි ගායන විලාසයත් , ඉන්දියානු ගායිකාවක මෙන් කර්ණාටක සංගීතය මනා ලෙස ප්‍රගුණ කර සිටි නිසාත්, HMV  තැටි ලේබල සදහා “ගර්ටෘඩ් අමාලියා” යන මුල් නම වෙනුවට “කෝකිලදේවී” ලෙසින් රූපසිංහ මාස්ටර් විසින් එතුමිය කලා ලොවෙහි බෞතීස්ම කරන ලද්දේ ය. “කෝකිලදේවී රත්නසභාපති නෝනා මහත්මී HMV  තැටි සදහාම පමණක් ගීත ගායනා කරන්නී ය” යනුවෙන් සටහන් කොට එතුමියගේ ජායාරූපයක් ද සහිත තැටි ලේබල සහ ගීත පොත් නිකුත් විය. එතුමිය 1939-45 වකවානුව තුළ යුග ගීත ගායනා කළේ රූපසිංහ මාස්ටර් සමගින් ම පමණක් වීම විශේෂත්වයකි . මීට අමතරව, HMV  සමාගමේ සහාය සංගීත අධ්‍යක්ෂකවරිය ලෙසද, නවක ගායක ගායිකාවන් අධීක්ෂණය කොට ඔවුනට ගුරුහරුකම් ලබා දීම ද මෙතුමිය අතින් සිදු කෙරුණි. රූපසිංහ මාස්ටර් සහ කෝකිල දේවී ගායනා කළ යුග ගීත සමුච්චය එවකට සියලු ශ්‍රාවක ජනප්‍රදාසය දිනාගත් අතර දශක අටක් ගෙවී ගියද, එම ගීතවල රසයෙන් අනූන වන්නේ එකී ගීතනු වල ස්වරමාධූර්යයෙහි පැවැති සර්වකාලීන ජීව ගුණයත්, ගායනයන්හි තුබූ ප්‍රශස්ත භාවයත් නිසාවෙන්ම ය. “මවු පිය ආදී”, “කුඩාවූ ළිඳේ මිහිරි ජලයෙහි”, “වීණා නාදේ සේමා කර්ණයෝ පිනාවී, “ ශ්‍රී ධර අනුරපුරේ”, “දස දෙසෙහි කීර්ති”, “ ප්‍රාතිහාරි පෑ ලෝකේ”, “සුන්දර ශ්‍රී රාජ සැපා“, “ ක්‍රිෂ්ණජිනා ජාලිය හා” , “කදිර දේව නැගී“, “ ශ්‍රීපති ශ්‍රී හරි විෂ්ණු දෙවින්දා” යනාදී යුග ගීත රූපසිංහමාස්ටර් සහ කෝකිලදේවිය විසින් තැටිගත කරන ලද අතර, කෝකිලදේවිය ගේ කේවල ගායනා ලෙස, “මාතා කරුණාවෙනි වැඩු”, “මනෝරම්‍ය අප දේසේ” , “නමෝ නමෝ ශ්‍රී ස්වර්ණමාලී”, “භාරී ශ්‍රිකතා වේ පවුලේ” , “ප්‍රේම්ලතාවේ මේ ලෝකේ”, “තිලෝනා තිලෝනා“, “මුනිරාජා දෙසු ධර්මේ”, “අප ශ්‍රී ලංකා වාසීන්ගේ” වැනි ගීත එවකට අතිශය ජනප්‍රසාදය දිනාගත් ගීත බවට පත්විය. රූපසිංහ මාස්ටර් - රුක්මණී දෙවි සහ කෝකිලදේවි තිදෙනා එක්ව ගැයූ ගීත සතරක් 1939 වසරේ ග්‍රමොෆෝන් තැටි දෙකකින් නිකුත් විය. “සුබසරණ වේවා වසනා” සහ “දීර්ඝායු සිරි ලැබේවා“ යන මංගල ගීත යුග්මය එක් තැටියකටත්, “වදිමි සමාදරෙන්” සහ “ලක්මෑණි ගේ දරු කැළ” යන දේශාභිමානී ගීත යුග්මය තවත් තැටියකටත් තැටිගත කෙරුණි.

1953 වර්ෂයේ මෙරට පවත්වන ලද ගුවන්විදුලි ශිල්පීන් ශ්‍රේණිගත කිරීමේ පරීක්ෂණයේ දී, මහාචාර්ය රත්නජන්කර් පඬිතුමාණන් විසින් මෙරට පළමු “විශිෂ්ටශ්‍රේණියේ (SUPER GRADE)”  ගායිකාව ලෙස කෝකිලදේවි වීරතුංග මහත්මිය නම් කරන ලද්දේ එතුමිය විසින් කර්ණාටක සංගීතයෙහි දක්වන ලද සුවිශේෂී දක්ෂතාවය නිසාවෙනි. රුක්මණි දේවිය ජනප්‍රිය අංශයේ ප්‍රථමස්ථානය දිනාගත් අතර, ඇල්බට් පෙරේරා (අමරදේව මාස්ටර්) විශිෂ්ට ශ්‍රේණියේ ගායකයා බවට පත්විය. 1943 වසරේ සිටම එතුමිය විසින් ශ්‍රී ලංකා ගුවන්විදුලියෙහි සංගීත අංශයෙහි විවධ ගායානා වැඩසටහන් මෙන්ම , ඒකපුද්ගල ශාස්ත්‍රීය සංගීත වැඩසටහන් රාශියක් ඉදිරිපත් කළා ය. එඅතුරින් එතුමියගේ වීණා වාදනයන් ඇතුළත් වැඩසටහන් එවකට ගුවන්විදුලියේ සෑම සතියකම ප්‍රචාරය විය. සංගීතාචර්යවරියක ලෙසද මෙරට බාලිකා පාසල් ගණනාවක එතුමිය ස්වකීය සංගීතඥානය නොමසුරුව බෙදා දුන්නා ය. මීට මතරව 1960 දශකය දක්වාම වරින් වර එතුමිය නව ගීත ඇය විසින්ම නිෂ්පන්න කළ තනු ඇසුරින් ගුවන්විදුලියේ පටිගත කළා ය. මෙරට ශාස්ත්‍රීය සංගීතයෙහි, පුරෝගාමී ගායිකාවක, සංගීතඥවරියක, සංගීතාචර්යවරියක වූ කෝකිලදේවි වීරතුංග මහත්මිය වර්ෂ 2007 ජුලි මස 05 වැනි දින සදහටම දෙනෙත් පියා ගත්තා ය.

 

එවකට HMV ගීත තැටි සමාගම සහ  COLUMBIA  සමාගම අතර ගීත තනු සඳහා පැවතියේ තීව්‍ර තරඟයකි. “වීණා නාදේ” ගීතයේ තනුවටම COLUMBIA  සමාගම විසින් ඉදිරපත් කරන ලද්දේ ද යුග ගායනයකි. ඒ COLUMBIA තැටි අංක GE  15030 යටතේ තැටිගත කළ “ප්‍රේමි ලංකා දේවී” නම් වූ එම ගීතය ගායනා කරන ලද්දේ ඩබ්ලිව්. ජස්ටින් පීරිස් මහතා සහ එතුමාගේ සොයුරිය වූ ජැස්මින් පීරිස් මෙනෙවිය විසිනි. ගීතය රචනා කළේ යු. ඩී .පෙරේරා මහතා විසිනි. සංගීතය මොහොමඩ් ගවුස් මාස්ටර් විසිනි. ලංකා වර්ණනාවක් ලෙස සඳහන් වූ මෙම ගීතයට වඩා  HMV  ගීතය ශ්‍රාවකයන් අතර ජනප්‍රිය විය.

ප්‍රේමී ලංකා දේවී රූප සුන්දරී..

 

රම්‍ය සිරියෙන් අසිරී රූප සුන්දරී
ප්‍රේමී ලංකා දේවී රූප සුන්දරී...

සකල ලොවේ රාජ කුල පූජිත
ජනතා ඔබගේ සැපා පතාවී...

 

ප්‍රේමී ලංකා දේවී රූප සුන්දරී..

පානා දර්ශන නන්දන වනෙහී
සෝබන දෙව්පුර සිරී දිලී..

 

ශ්‍රී ලංකා ඔබ මනහර ශ්‍රීසර..
ශ්‍රී ලංකා.... ශ්‍රී ලංකා
ශ්‍රී ලංකා ඔබ මනහර ශ්‍රීසර..

මේ කාලෙහි සෝකෙනි වැළපේවී...
ප්‍රේමී ලංකා දේවී රූප සුන්දරී..

උක්ත සිංහල ගීත යුග්මයටම මුලික කරගත් තනුව නිර්මාණය වූයේ 1937 වසරේ දී ය. එය නිර්මාණය කරන ලද්දේ උත්තර භාරතීය සංගීත අධ්‍යක්ෂක කමල්දාස් ගුප්තා විසිනි. HMV තැටි අංක N  6970 යටතේ ඔහුගේ ප්‍රධාන ශිෂ්‍යාව වූ කුමාරි ජුතිකා රෝයි විසින් ගායනා කරන ලද භාජන් ගීතයකි. “හෝලී ආයී” නම් මෙම ගීතයේ සහාය ගායනයෙන් කමල්දාස් ගුප්තා එක්වුවද, ගීත තැටි ලේබලයේ සඳහන් වන්නේ ජුතිකා රෝයි ගේ නාමය පමණකි. ගීත රචකයා පිළිබඳ ගීත තැටියෙහි කිසිදු සඳහනක් නොමැත. මෙම ජනප්‍රිය තනුව 1939 දක්ෂිණ භාරතයේ තිරගත වූ, ශ්‍රී මුරුගන් ටෝකීස් සමාගමේ දැවැන්ත නිෂ්පාදනයක් වූ , “රම්බායින් කාදල්” (RAMBHA’S LOVE) නමැති චිත්‍රපටයට ය. බාලක්‍රිෂ්ණ නාරායන් රාඕ විසින් අධ්‍යක්ෂණය කළ මෙම සිනමාපටයෙහි ප්‍රධාන චරිත නිරූපණය කළේ කේ.සරඟපානී සහ කේ.එල්.වී වසන්තා කුමාරි යන ජනප්‍රිය නළු-නිළි යුවළ ය. මෙම චිත්‍රපටයේ සංගීතය කොයිම්බතූර් හි සෙන්ට්‍රල් ස්ටුඩියෝ හි වාදකමණ්ඩලය ලෙස සටහන් කෙරුණු මුත් ප්‍රධාන සංගීත අධ්‍යක්ෂකවරයෙකුගේ නම සටහන් නොවිණි. උක්ත අනුකාරක තනුව අඩංගු දෙමළ ගීතය රඟපාමින් චිත්‍රපටයට ගායනා කළේ නිළි කේ.එල්.වී වසන්තා විසිනි. මෙම චිත්‍රපටයේ ග්‍රැමොෆෝන් තැටි නිකුත්වූයේ HUTCHIN’S RECORDS  නමැති ලේබලයෙනි. SN 794 අංකයෙන් නිකුත් වූණු මෙම තැටියෙහි ලේබලයෙහි සටහන් වන්නේ ගීතයේ නමත්, චිත්‍රපටයේ නමත් පමණි. ගායිකාව, රචකයා හෝ සංගීත අධ්‍යක්ෂකවරයා ගැන කිසිදු සඳහනක් නොමැත. මදුරාසියේ HUTCHIN’S  සහ සමාගම 1933-35 කාල වකවානුව තුළ SN 1-260 දක්වා ඔවුනගේම ග්‍රැමොෆෝන් තැටි නිෂ්පාදනය කරන ලද අතර අනතුරුව ,  GRAMOPHONE COMPANY LTD. සමාගම හා එකතුව HUTCHIN’S RECORDS  නමින් 1936-41 දක්වා ගීත තැටි නිකුත් කරන ලදී. 1941න් පසු මෙම තැටි සමාගම HMV  තැටි සමාගමට සිය කොටස් විකුණා දැමු අතර, HMV  සමාගම යටතට අනුබද්ධ විය. 1936-42 වකවානුව තුළ ලංකාවට මෙම තැටි ගෙනාවා බෙදාහැරීම සින්දු කරන ලද්දේ පිටකොටුවේ “කලම්බු මුසිකල් ස්ටෝර්ස්” සමාගම විසිනි. එබැවින් මෙම ජනප්‍රිය දෙමළ ගීත ද. එවකට ලංකාවේ ශ්‍රාවකයන් අතර බෙහෙවින් ප්‍රචලිත විය.

මුල් අනුකාරක හින්දි ගීතය මෙන්ම එම තනුව ඇසුරින් නිපදවූ සිංහල ගීත යුග්මයද බොහෝදුරට එකම රාගධාරී සංගීතමය ආකෘතියේ පවතී. මෙමෙ ගීත සියල්ලකගේම තනුව හින්දුස්ථානි රාගධාරී සංගීතයේ කල්‍යාණ මේලගත රාගවලින් නිමවා ඇත. මෙම ගීතයන් හි ස්ථායී කොටස් කේදාර් සහ ගෞඪ සාරංගා රාග අනුසාරයෙන් නිපදවා ඇති අතර, අන්තරා කොටස් කාමොද් රාගය ඇසුරුකොට නිපදවා ඇත. මුල් හින්දි ගීතයට වඩා සංගීතමය භාවිතය අතින් සිංහල ගීත දෙකම ඉතා උසස් තත්ත්වයක පවතින්නේ හින්දි ගීතයේ යොදා නොගත් සංගීත භාණ්ඩ සංකලනයක් භාවිත වන නිසාවෙන්ම ය. පියෑනොව, ක්ලැරිනට්, වයලීනය සහ තබ්ලාව යොදා ඉතා විශ්ෂ්ට ලෙස තානාලංකාර භාවිත කර ඇති බැවින් සිංහල ගීත දෙකෙහිම ස්වර ශික්ෂාවන් මුල් අනුකාරක ගීතයේ ආකෘතිය අබිබවා යන ආකාරයක් පෙනේ. එසේම කෝකිලදේවි මහත්මියගේ සහ ස්වරදේව රූපසිංහ මාස්ටර්ගේ ගායනාවන්හි ඇති ශාස්ත්‍රීය විලාසයද උත්කෘෂ්ට ය. (පසුකලෙක ප්‍රවීණ ගීත රචක අභාවප්‍රාප්ත ආචාර්ය අජන්තා රණසිංහ විවාහ වූයේ කෝකිල දේවිගේ දියණිය වූ සරෝජිනි අමාලි සමඟය)

 

විශේෂ ස්තුතිය :

ග්‍රැමොෆෝන් ගීත තැටි සංරක්ෂකයන් වන දයා ලියනගේ, අමරදාස අබේවික්‍රම සහ මුදිත අභයගුණවර්ධන මහත්මාවරු, බෙලිඅත්තේ විජේසිරි මහතාගේ සේයාරුව සහ තොරතුරු සපයා දුන් කලාභූෂණ ඇඹුල්දෙණියේ ගුණතිලක මහතා, ගීතයන් හි රාග - තාල පිළිබඳ දැනුම්වත් කළ ලලිතකලාවේදිනි විශාරද දර්ශනී චන්ද්‍රසේන මහත්මිය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.