කොළඹ නගරය ගැන ගැයුණු ග්‍රැමොෆෝන් ගී

මාර්තු 19, 2020

මෙරට යටත්විජිත සමයෙහි  බිහිවුණු ග්‍රැමොෆෝන් ගීත (1906-47) බොහොමයක් පාහේ නිර්මාණය වූයේ බෞධාගමික හෝ එවකට පැවැති ජාතික නිදහස් ව්‍යාපාරයන්හි අභිලාෂයන් ගැබ් වූ  දේශානුරාගී  අදහස් තේමා කොටගෙන ය. එනමුත් මෙම  කාලවකවානුවේ දී  ශ්‍රාවකයන් ගේ හුදු විනෝදාස්වාදය සඳහා සරල ගේයපද රචනා අන්තර්ගත වූ පෙම් ගී, උද්‍යාන වර්ණනා, නගර වර්ණනා, සීපද, විරිඳු , බයිලා, කපිරිඤ්ඤා, ගීත නාටක සහ විකට ජවනිකා ආදිය ඇතුළත් ගීත තැටි බිහි නොවුයේ  ද නොවේ.  අද මෙම ලිපියෙන් මා ඔබ වෙත ගෙන එන්නේ 1920 දශකයේ සිට 1950 දශකයේ මුල් වකවානුව දක්වා “කොළඹ නගරය” ගැන විවධ  ග්‍රමොෆෝන් ගීත රචකයන් විසින් විවධ අයුරින් වර්ණනය කළ ගීත හතරක් පිළිබඳව ය. 

කෙසේ වෙතත්, පූර්ව සිනමා යුගයේ බිහි වුණු ඇතැම් ග්‍රමොෆෝන් ගීත තත්කාලීන සමාජය, සිරිත් විරිත්, භාෂා භාවිතය, සංගීතය ආදී වූ  සංස්කෘතිකාංග පෙන්වන කැඩපතක් බඳු ය. යටත් විජිත යුගයේත්, ඉන් පසුවත් කොළඹ නගරයේ සිරිය විදහා දැක්වෙන මෙම ගීත කිහිපය එයට කදිම නිදසුනකි. මා පළමු ගීතය ලෙස තෝරා ගත්තේ 1927 වර්ෂයෙහි ජර්මනියෙහි නිෂ්පාදිත ODEON ලේබලයෙන් නිකුත් වුණු ගීතයකි. ගීත තැටි අංක A 141137 යටතේ නිකුත් වූ මෙම ගීතය නම් කර ඇත්තේ “යමු බොලේ කොළඹටා” යනුවෙනි. ගීතය ගායනා කරන්නේ “රිචර්ඩ් මොරවක” නමැති ශිල්පියෙක් විසිනි. ගීත රචනය හෝ සංගීතය නිර්මාණය කළේ කවරෙක්ද පිළිබඳව ගීත තැටි ලේබලයේ සඳහනක් නොමැත. එවකට රචිත බොහෝ නූර්ති ගීතවල මෙන්ම මෙම  ගීත රචනාව ද එතරම් කාව්‍යමය නොවේ. බස සරල ය, තරමක්‌  ග්‍රාම්‍ය ය. නමුත් මෙම ගීතවල පැවැති ගීත තනු මෙම ගීතයන් හි රසභාවයන් තීව්‍ර කරන ප්‍රබලතම සාධකය විය. සර්පිනාව සහ තබ්ලාව අතිවිශිෂ්ට ලෙස මෙම ගීතයේ ද භාවිත කර ඇත. මෙම ගීතය කිසියම් නුර්තියකට අන්තර්ගත වූයේ ද නැද්ද යන්න පිළිබඳ සංකා සහිත ය. කෙසේ වෙතත්, වර්ෂ 1886 දී මෙරට ප්‍රදර්ශිත එච්. ඒ අප්පු සිංඤෝ නමැති මහතෙකු විසින් රචිත සමාජ නාඩගමක් වන “මගේ කරුමේ” නම් සුප්‍රසිද්ධ නාඩගමට කොළොඹ විකටයෙකු වූ අන්නෝ අයියා නැමැත්තෙක් ජෝගි අක්කා නමැත්තියකට කොළඹ නගර විස්තර කෙරෙන “සුරපුරක් වගේය කොළඹ අනේ ඣීමම බලන්ට ගිය කල නගරෙකි ළඟදී” යන ගීතයෙන් මෙම ගීතය ආබාසය ලැබුවාක් විය හැකි ය. කොළඹ බේලී  වීදියේ අංක 14 දරණ ස්ථානයේ  පිහිටි  “ඕඩියන් ටෝකීන් මැෂින් කම්පැනි” නමැති සමාගම  (ODEON TALKING MACHINE COMPANY LTD.) මගින් මෙම ODEON  ගීත තැටි එවකට බෙදාහැරීම සිදු කරන ලදී. 

යමු බොලේ කොළඹටා මෙදා මෙදා 

ඉන් බලතැකී යස අපේ නැටුම් හොඳා  

පළමුකොටම කොටුවටා 

එතැනින්  පිටකොටුවටා //

රාත්‍රී කාලේ මරදානටා //

දිව්‍ය ලෝකේ වාගේ නේක බබළන සිරියෙන 

පුදුමෙන් පුදුමෙකි බැලුව සඳා  //

රුං රුං ගාලා ටං ටං ගාලා ඩඩ් ඩඩ් ඩඩ් ඩා 

පොල්තෙල් ගහලා පැත්තක වැටිලා ඣී සමහරු නිදිය ගතා //

නෙත් සිත් පිනනා රූපශ්‍රීයෙන් දාගත් ආයිත්තම්

දැකුමෙන් සිරියක් හිතලොකුකම් නැහැ ඇවිදින සැටි බලපම් //

යමු බොලේ කොළඹටා ...........

එවකට කොළඹ මරදානෙහි පැවැති අසිරියත් (ටවර්හෝල් යුගයේ) සාමාන්‍ය ව්‍යවහාර භාෂාවත් (උදා: “පොල්තෙල් ගහලා” යනු හොඳ හැටි මත්පැනින් සප්පායම් වී යන්න ය.) මෙම ගීතයෙන් පෙන්වයි.

1939 වර්ෂයේ COLUMBIA  තැටි සමාගමේ ජනප්‍රිය ගායකයෙකු සහ වාද්‍ය  ශිල්පියෙකු වූ ජේ.ඒ. පීටර් සිරිවර්ධන මහතා (විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මියගේ පියා) සමගින්  සහය ගායකයා විසින් ගායනා කරනු ලබන “ලක්ෂණ කොළඹ රේස්‌” යන ගීතය මගින් එවකට ග්‍රැමොෆෝන් ගීත රචකයන් විසින් සූදුව සහ තුරඟ තරඟ කෙරෙහි දක්වන ලද අප්‍රසාදය විස්තර කෙරෙයි. GE 15014  අංකය යටතේ තැටිගත කළ මෙම ගීතයේ ගීත රචකයා ගැන සඳහනක් නොමැත. එසේම මෙම ගීතයේ සහාය ගායකයා වන්නේ එවකට එම තැටි සමාගමේ ගීත රචකයෙකු වූ යූ .ඩී. පෙරේරා මහතා බව 1939 නිකුත් කළ  COLUMBIA  කැටලොග් පොතෙහි සඳහන් වෙයි. ගීතයේ සංගීතය මොහොමඩ් ගවුස් මාස්ටර් ගෙනි. එවකට මානසික රෝහල පැවැති ස්ථානය පසුව “කොළඹ තුරඟ තරඟ පිටිය”  (COLOMBO RACECOURSE  )  බවට පත් කළ  බවත්, තුරඟ තරඟ සහ එසම්බන්ධ සූදු දුශ්චරිතයන් බවත්, පිස්සන්ගේ ක්‍රීඩාවක් බවත් මෙම විනෝදාත්මක ගීතයෙන් පෙන්වා දෙයි. “SINHALESE COMIC” ලෙස මෙම  විනෝදාස්වාදක ගීතය ඉංගිරිසි බසින් ගීත තැටි ලේබලයෙහි සඳහන් කර ඇත. 

දෙබස : 

ගායකයා 1: හැබෑට මස්සිනා ඒ පිටිසර පළාත්වල ගොයම් කැපීම ලොකු උත්සවයක්. බලන්න ලස්සන සෙල්ලමක්. 

ගායකයා 2: ඔව් ඔව් දැන් එහෙම සෙල්ලම් අත් හැරලා පිටිසර ගොවියත් රේස් සෙල්ලම කරනවා. ඒ රේස් සෙල්ලම තමා සුදු මිනිහා කළු මිනිහට ඉගැන්නුව ඉතාම ලස්සන සෙල්ලම.

ගායකයා 1: ඒ ලස්සන එක්කම් තිබෙන අවලස්සන උඹලාට පෙන්නේ නැහැ නොවෑ ...

ගායකයා 1: ලස්සන කොළඹ රේස් පොලේ විස්තර අසනු මහතුනේ..

ඉස්සර පිස්සන් කොටුව ළඟේ පිස්සන් හැසිරෙන තැනකි ඒ..

දෙදෙනා : අඬන පිනන තැවෙන දුක් වෙන පිස්සන් හැසිරෙන තැනකි ඒ...

ගායකයා 1: පාට වලින් ජෝගි හැට්ට වගේ සාරි ගවුම් ඇඳ නේක හැඩේ

 සූදු මතින් එන ගෑණු රැලේ බොහොම කැතයි මේ සූදු මලේ

දෙදෙනා: අම්මල අප්පල දූල පුතාලා මේ සූදුව කෙළිති එක පිලේ..

ගායකයා 1: රාජ බලේ ඇති සූදුව රජ්ජුරුවොත් යන සූදුව..

  අස්ස පොරේ මහ දාදුව සෑම දෙනාගෙම සූදුව...

දෙදෙනා:  දුගීහු මගීහු නැණැති ධනැති සෑම දෙනාගෙම සූදුව...

දෙබස :

ගායකයා 2: රේස් කෝස් රේස් කෝස් ......කොළඹ රේස්, බොම්බෙ රේස්, කල්කටා , මැඩ්‍රාස් රේස්..... එතන රේස් මෙතන රේස්......අදත් රේස්,හෙටත් රේස්...තුන්සිය හැටපස් දවසෙම රේස්..රේස් ......

දෙදෙනා : ලස්සන කොළඹ රේස් පොලේ විස්තර අසනු මහතුනේ..

ඉස්සර පිස්සන් කොටුව ළඟේ පිස්සන් හැසිරෙන තැනකි ඒ..

කොළඹ තුරඟ තරඟ පිටිය, තුරඟ තරඟ සඳහා නීත්‍යානුකුලව ආරම්භ කරන ලද්දේ 1893 දිය. එවකට දකුණු ආසියාවේ පැවති විශාලතම තුරඟ තරඟ පිටි අතුරින් එකකි. වර්ෂ 1941 දී දෙවැනි  ලෝක සංග්‍රාමය ඇරඹීමත් සමගම පෙරදිග රාජකීය ගුවන්හමුදාවේ ගුවන්තොටුපළක් මෙම ස්ථානයේ තාවකාලීකව ඇති කළ අතර, රාජකීය හමුදාවේ ගුවන් භට කණ්ඩායම් දෙකක සහ එක්‌ නාවික හමුදා කඳවුරක් ලෙස තුරඟ තරඟ පිටිය භාවිත කරන ලදී. දෙවන ලෝක සංග්‍රාමය අවසන් වූ පසු මෙම තාවකාලික ගුවන්තොටුපල සහ හමුදා කඳවුරු ඉවත් කර නැවත තුරඟ තරඟ පිටිය තරඟ සඳහා යළිත්  විවෘත කළ  ද, ඒ වන විටත් එම ප්‍රදේහයේ සුදූ සහ කප්පම් ගැනීමේ තිත්පොළක් බවට පත්ව තිබුණි. ඉහත ගීතයෙන් විස්තර කෙරෙනුයේ එම යුගයේ පැවැති මෙම අශ්ව රේස්, සූදූ සහ කප්පම් පිළිබඳ වාතාවරණයයි. එය පිළිකුළෙන් යුතුව, නමුත් සරල විනෝදාත්මක ආකාරයකින්  ග්‍රැමොෆොන් ගීත රචකයා විසින් හෙළා දුටු අයුරු මෙම ගීතයෙන් පෙන්වා දෙයි. 

කොළඹ නගරයේ සිරිය පිළිබඳව විස්තර කෙරෙන තවත් ගීතයක් මෙම වකවානුවේදී ම HMV  තැටි සමාගම විසින් 1939 වර්ෂයේ HMV  තැටි අංක N 9317 අංකය යටතේ ජෝසප් පෙරේරා මහතාගේ හඬින් “ප්‍රීති සාර වේ කොළඹ නගරේ රෑට සුරපුර මෙනි“ යනුවෙන් ගීතයක් තැටිගත කරන ලදී. මෙම ගීතයේ ගීත රචකයා පිළිබඳවත් කිසිඳු සටහනක් තැටි ලේබලයේ සඳහන් නොවන අතර, සංගීතය එච්. ඩබ්ලිව් රූපසිංහ මාස්ටර් ගෙනි. මෙමගීතයේ සර්පිනාව වාදනය කළේ ද, ගායක ජෝසප් පෙරේරා මහතා විසින්ම ය. වල්පොල ආරච්චිගේ ජෝසප් පෙරේරා මහතා එවකට සිටි ජනප්‍රියම ශාස්ත්‍රීය ගායකයෙකි. “කවාලි” සහ “තරානා” නමින් හැදින්වෙන පර්සියානු සම්භවයක් සහිත ශාස්ත්‍රීය හින්දුස්ථානි ගායනා ක්‍රමයක සුවිශේෂී දස්කම් පෑ ගායකයෙකි. එසේම දක්ෂ සංගීත අධ්‍යක්‍ෂවරයෙකි. 1935 දි පමණ BROADCAST  නම් ග්‍රැමොෆෝන් ගීත තැටි  ලේබලය සඳහා පළමුවෙන්ම  ගීතයක් තැටිගත කළ  එතුමා 1939 වසරේ සිට HMV තැටි සමාගම වෙනුවෙන් ගීත රාශියක් ගායනා කළේ ය. ඒ අතුරින් “දෝස බෝ වේ”, ප්‍රේමා දෝණි”, “චන්ද්‍රාලෝකෙනි සැන්දෑ කාලේ”, “ප්‍රීති සාර වේ”, “සමතා ඉවසන සුදනා”, “සිහලුනි මේ ලංකා වාසි”, “කළ උපකාරා”,“බැරි සිරිතේ ගැලීලා”,“ප්‍රමාණේ නොදැනා”, “දේස දෝසෙනි”,”සැප සම්පත් ඇත වී බෝ”, “කලණා හිතමිතුරු” ආදී ගීත 14 ක් පමණ HMV සමාගම වෙනුවෙන් 1939-42 වකවානුවෙහි තැටිගත කළේ ය. ඉන්දියානු ශාස්ත්‍රීය ගායක අසිස් ඉක්මාල් මහතාගේ ශාස්ත්‍රීය  ගායනාවන් මෙතුමාගේ ගායනාවන් සඳහා බොහෝසෙයින්  බලපෑ ඇති බවක් පෙනේ. කොළඹ තොටළඟ “පෙරදිග සංගීත විද්‍යාලයය” නම් සංගීත ආයතනයක් ආරම්භ කර සංගීත ඉගැන්වීම් කටයුතු කළේ ය. එතුමා විසින් ගායනා කළ “ප්‍රීති සාර වේ කොළඹ නගරේ රෑට” ගීතය එවකට අතිශය ජනප්‍රිය වූ අතර එම ගීතයේ තැටි විශාල වශයෙන් අලෙවි වූ බවද කියැවේ. එවකට මෙරට දේශීය සිනමාවක් නොතුබුණු යුගයක, බයිස්කෝප්  ශාලා තුළ ප්‍රදර්ශිත වෙනත් චිත්‍රපට නැරඹීමට ජනයා රුචි වූ අයුරුත්, කොළඹ නගරය රාත්‍රී පහන් ආලෝකයෙන් බැබළුණු අයුරුත් විස්තර කෙරේ.

ප්‍රීතිසාර වේ..කොළඹ නගරෙ රෑට සුරපුර මෙන

ප්‍රීතිසාර වේ..

පුරා ආලෝකේ යන එන තැන සෑම වීදියේ

පෙනේ දෙව් ලෝකේ සේම එළිය වර්ණ වර්ණයේ

කොළඹ නගරෙ රෑට සුරපුර මෙන

ප්‍රීතිසාර වේ..  

ඉංග්‍රීසිකාර ලියෝ යාය යාය රූ සිරි පාලාලක් වැසි නේක ලියෝ පාට පාට සාරිය ඇඳලා

බයිස්කෝප් ශාලා තුළේ පේලි පේළියේ ගැවසීලා නෙක් ජාති යෞවනයෝ පාරෙ පාරෙ බොහො ගැවසීලා

කොළඹ නගරෙ රෑට සුරපුර මෙන

ප්‍රීතිසාර වේ..

 

හින්දුස්ථානි තාලයක් වන ඛෙම්ටෝ තාලයට අනුගතව භිම්පලාසි රාගය ඇසුරින් මෙම ගීතය නිර්මාණය කර ඇත. 

අවසාන ගීතය ලෙස මෙම ලිපියෙහි ඉදිරිපත් කරන්නේ ඔබ අප කවුරුත් දන්නා එඩී ජයමාන්න මහතා විසින්  ගායනා කරන ලද  “කොළොම්පුරේ ශ්‍රියා” නමැති ගීතයයි. යටත් විජිතයක්ව පැවැත නිදහස ලබා වසර කීපයක් ගත වූ කල, එනම් 1952 වසරේ තිරගත වූ බි.ඒ.ඩබ්ලිව් ජයමාන්න මහතා විසින්  අධ්‍යක්ෂණය කළ “උමතු විශ්වාසය” චිත්‍රපටයට ඇතුළත් වූ මෙම ගීතය අඩංගු විකට ජවනිකාවේ රංගනයෙහි යෙදුණේ ද එවකට “විකට රජා” ලෙස විරුදාවලී ලැබූ එඩී ජයමාන්න මහතා විසිනි. “සාපින්” නම් පුද්ගලයා කොළඹ නගරය බලන්නට පැමිණ එහි සුන්දරත්වය වර්ණනා කරන අයුරු ප්‍රකාශිත මෙම විනෝදාස්වාදක ගීතය දශක ගණනාවක් ගෙවී ගිය ද, අදටත් සියලුදෙනා අතර ජනප්‍රිය ගීතයකි. 

මෙම ගීතය අඩංගු චිත්‍රපට ජවනිකාවට කොළඹ නගරයේ දර්ශන  ඇතුළත් වූ බව සඳහන්  වේ. ට්‍රෑම් රථ, තට්ටු දෙකේ බස්, කොළඹ වරාය ආදී දර්ශන මෙම ගීතයට ඇතුළත් වූ බව චිත්‍රපටය නැරැඹු පැරැන්නෝ පවසති. 

කොළොම්පුරේ ශ්‍රීයා කොළොම්පුරේ ශ්‍රීයා

බොහොම ලස්සනයි කොළොම්පුරේ ශ්‍රීයා ශ්‍රියා..

පිටකොටුව ද මේ අනේ කඩ සාප්පු බොහො තිබේ

පාර මැද්දෙ පීලි උඩින් ට්‍රෑම්  කාර් යනවනේ

මහා පුදුම මේකනේ තට්ටු දෙකේ බස් ය මේ..

ඒ පාරෙන් මේ පාරෙන් හරව හරව යනවනේ

කොළඹ ජැටියටා යමි නැව් බලන්න ටා

බොහොම ලක්ෂණයි කොළොම්පුරේ ශ්‍රීයා ශ්‍රීයා

හන්දියෙ අර හිටන් ඉන්න

රාළහාමි ගේ අත් දෙක

මැශින් එකක් වගේ නිකම්

අර පැත්තට මේ පැත්තට

හරව හරව පිටිපස්සට

කාර් ලොරි බර කරත්ත

බස් රික්ශෝ වෑන් එක

මෙතන වදේ හරි ජරමර..

හා හාහ් හා  හාහ්  හා හා - හි හි හි හිහි හි 

හොහ් හො හෝ

මොකද බොලේ මේ තරම්ම -සෙනග කිව් එකේ

අපේ නාඩගමක් ඇවිල්ලද මෙහේ

කලිසම් ඇද බයිසිකලේ තරුණ තරුණියෝ

ලැජ්ජා නැතුව යනවා මොවුන් 

ගෝල්පේස්  එකේ..

හෝ ගාන පොකුණටා

යම් පා තෙමන්නටා

බොහොම ලක්ෂණයි

කොළොම්පුරේ ශ්‍රියා ශ්‍රියා......

ගීතය රචනා කළේ එවකට ප්‍රසිද්ධ ගීත ප්‍රබන්ධකයෙකු වූ හර්බට්‍. එම්. සෙනෙවිරත්න  මහතා ය. එතුමා මෙම චිත්‍රපටයේ රුක්මණී  දේවිය සමගින් ප්‍රධාන චරිතයක් ද නිරූපණය කළේ  ය. සංගීතය එස්. එස් වේදාචලම් මහතා ගෙනි. ගීත තැටි නිකුත් වූයේ COLUMBIA ලේබලයෙනි. GES 64 අංකය යටතේ මෙම තැටිය නිකුත් වුණි . 1951 වර්ෂයේ භාරතයේ අතිශය  ජනප්‍රිය වූ “බහාර්” නම් හින්දි චිත්‍රපටය වෙනුවෙන් (වෛජන්තිමාලා සහ කරන් දීවාන් චරිත නිරූපණය කළ) ශාම්ශාද් බෙගම් සහ කිෂෝර් කුමාර් විසින් ගායනා කළ (කේවල ගායනා දෙකක්‌ වෙනවෙනම එකම තනුවට ගායනා විය.) ගීත තනුවක්  ඇසුරින් මෙම සිංහල ගීතය නිර්මාණය විය. එවකට HMV සමාගමේ නිත්‍ය ගායිකාවක වූ රුක්මණී දේවිය පළමු වරට COLUMBIA තැටි වෙනුවෙන් ගීත තැටිගත කළේ ද උමතු විශ්වාසය චිත්‍රපටය වෙනුවෙනි. එමන්ම සිංහල සිනමාවේ නිළියක විසින් පළමුව ද්විත්ව චරිත නිරූපණය කළේ ද  රුක්මණී දේවීය විසින් උමතු විශ්වාසය චිත්‍රපටයට ය. සුමිත් බිබිලේ, රුක්මණී දේවී, එඩී ජයමාන්න, බී.ඒ .ඩබ්ලිව් ජයමාන්න, මේබල් බ්ලයිත්, හර්බට්. එම් සෙනෙවිරත්න  මෙහි ප්‍රධාන චරිත නිරූපණය කළහ. 

විශේෂ ස්තුතිය : ග්‍රැමොෆෝන් ගීත තැටි සංරක්ෂක දයා ලියනගේ සහ මුදිත අභයගුණවර්ධන මහත්මාවරු, කලාභූෂණ ඇඹුල්දෙණියේ ලයනල් ගුණතිලක මහතා, දිනාලි පෙරේරා මහත්මිය, චතුර ශ්‍රී පතිරණ, බුද්ධි ජයසේකර, තමල්ක විජේසිංහ සහ ප්‍රේමදාස තෙලිකෝරළ මහත්මාවරු. ගීතයන්හි සංගීතමය භාවිතයන් පිළීබඳ  දැනුම්වත් කළේ විශාරද දර්ශනී චන්ද්‍රසේන මහත්මිය.