නිධානයට සම්මාන දිනූ සකසුවා

එඩ්වින් ලීට්න්
ජුනි 25, 2020

කඳානේ ඩි මැසිනඩ් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ  ශිෂ්‍යයෙක් අසීමිත ඉංග්‍රීසි හින්දි හා දෙමළ චිත්‍රපට නැරඹුවේය. එහෙත්  ඔහුගේ  සිත ගියේ එහි නළු නිළියන් ගැන නොවේ. චිත්‍රපටයේ රූප රාමු  එකිනෙකට ගැළපෙන අයුරිත් හොඳින් තේරුම් ගත හැකි ආකාරයෙන් පිළිවෙළට ගලා යාම ගැනය. සමීප රූප, මධ්‍යම රූප හා දුර රූප එකට ගළපා ගන්නේ කෙසේ ද කියාය. ඔහු ඒවා ගැන කතා කිරීමට දැනුම් තේරුම් ඇති කෙනෙකු නොවීය.

18 හැවිරිදි මේ ශිෂ්‍යයා දිනක් කඳාන පොලීසිය පසු කරමින් ගමන් කරමින් සිටියේය.

 “මේකනේ අපේ රටේ චිත්‍රපටි හදන මුල්ම චිත්‍රාගාරය” කවුදෝ ඒ අසල තිබූ ගොඩනැගිල්ල පෙන්වමින් තව කෙනෙකුට කියනු ශිෂ්‍යයාට ඇසුණි. 

මේ ආරංචිය ශිෂ්‍යයාගේ කනට මිහිරක් දැනෙන්නට විය. ඔහු ගමන නතර කර එම ගොඩනැගිල්ල වෙත පා නඟා ඇත. පස් කඳුවලින් වට වී තිබූ පරිසරයක මේ චිත්‍රාගාරය ඉදි කර ඇති බව දුටු ශිෂ්‍යයා එහි ඇතුළට ගමන් ගත් අතර කිසිදු මුරකරුවකු නොවීය. එක්තරා කාමරයක ජනෙල් ඇර තිබුණි. එහි දෙදෙනකු මේසයක් උඩ සවි කර තිබූ කැරකෙන චිත්‍රපට රීලයක් වරින්වර නවතා කිසිවක් කරනු දුටුවේය.

තමා බලා සිටින්නේ සිහිනයක්දැයි ඔහුට  සිතුණි. පැමිණ ඇත්තේ හරි තැනටය.

 “මොනවද ළමයා . . . කාවද හොයන්නේ” කාමරයේ ඇතුළේ සිටි ද්‍රවිඩ සේවකයකු ඇසුවේය.

 “මම චිත්‍රපට වැඩ ඉගෙන ගන්න ආසයි. ඒකයි ආවේ”

 “එහෙනං අර පැත්තෙන් එනවා”

ළමයා සතුටින් ඒ කාමරයට ගියේය.  ‘Editing Room (සංස්කරණ මැදිරිය) නමින් එහි සඳහන්  විය.

එහි සිටි සංස්කරණ ශිල්පී රාමනාදන් ඔහුගේ ආශාව, උනන්දුව තේරුම් ගත්තේය. තමාට ඔහු රීල් එතීමට කියා දුන්නේය. මේ අතර තරබාරු එහෙත් වැඩි උස නැති සුදු අත් දිග කමිසයකින් ටයි පටියකින් හා සුදු කලිසමකින් සැරසුණු මහතෙක් සංස්කරණ මැදිරියට එනු කාමරයේ ජනේලයෙන් දුටු කිසිවෙකු නායගම් මහතා එන බව පැවසීය.

නායගම් මහතා කඳානේ සුන්දර සවුන්ඩ් චිත්‍රාගාරයේ ලොක්කාය. ලංකාවේ ප්‍රථම චිත්‍රාගාරයේ අධිපතිරයාය. ඔහුගේ සම්පූර්ණ නම ඇස්. ඇම්. නායගම්ය. චිත්‍රාගාරයේ ඉර්ව්  අකුරු තුන ලොකුවට ලියා තිබුණි. 

මේ 1951 වසරය. චිත්‍රාගාරයට ගිය ශිෂ්‍යයා එඩ්වින් ලීට්න්ය. ළමයා දෙස  බලා සිටි නායගම් මහතා සංස්කරණ ශිල්පියාගෙන් වංහුං අසා ළමයාට මෙසේ කීය.

 “මොනව කරන්නත් ඉස්සර වෙලා ඉස්කෝලෙ ඉගෙන ගන්න  ඕනෑ. පන්ති ඉවර වෙලා ඇවිත් මෙහෙ වැඩ කරන්න”

එඩ්වින් ලීට්න් නම් ප්‍රතිභාපූර්ණ චිත්‍රපට සංස්කරණ ශිල්පියා බිහි වූයේ කඳානේ සුන්දර සවුන්ඩ් චිත්‍රාගාරයෙනි. එහි අධිපති නායගම් මහතාට එඩ්වින්ගේ තිබුණේ ඉමහත් භක්තියකි. සංස්කරණ ශිල්පී රාමනාදන් එඩ්වින්ට මුලින්ම පැවරුවේ චිත්‍රපටි රීල් එතීමය. සංස්කරණය කොට ඉවත දැමූ සේයා පට එකතු කිරීමය. චිත්‍රපට සංස්කරණය ගැන ප්‍රාථමික  අධ්‍යාපනය කියා දුන් ගුරුවරයා රාමනාදන් විය. 

කවුද මේ එඩ්වින් ලීට්න්. 

කැරැව්ගොඩගේ දොන් එඩ්වින් ලීට්න් 1932 ජූලි 13 වෙනිදා කඳාන ග්‍රාමයේ බැතිමත් කතෝලික පවුලක උපත ලැබීය. ඔහු එස්. එම්. නායගම්ගේ මඟ පෙන්වීම  යටතේ සුන්දර  සවුන්ඩ් චිත්‍රාගාරයේ ප්‍රධාන සංස්කරණ ශිල්පී එස්. රාමනාදන් (පසු කලෙක ඔහු චිත්‍රපට අධ්‍යක්ෂවරයකු විය) යටතේ සහාය සංස්කරණ ශිල්පියකු ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලැබිණ. 1953 තිරගත වූ  නායගම් නිෂ්පාදනය කළ ‘ප්‍රේම තරඟය’ චිත්‍රපටයේ නාමාවලියේ මුල්වරට සහාය සංස්කරණය යන නම සඳහන් විය. 

එතැන් සිට එඩ්වින්ගේ දෛනික ජීවිතය සංස්කරණ මැදිරියේ අඳුරු කාමරයකට කොටුවීමට සිදු විය. කුඩා මිනි සිනමාහලක් වූ එම කාමරයේ ‘මුවිඕලා’ සංස්කරණ යන්ත්‍රය ඔහුගේ හද දිනූවේය. සහාය සංස්කරණ ශිල්පියා ලෙස  රම්‍යලතා, සොහොයුරෝ, දෙයියන්නේ රටේ, පුරුෂරත්නය චිත්‍රපටවල කටයුතු කළ අතර ඔහු තම ගුරුවරයාගෙන් සංස්කරණ විධි, රීති මැනවින් ග්‍රහණයට ගත්තේය. 

‘ලීට්න් මට අලුතින් හදපු කිරුළපනේ ලංකා ස්ටුඩියෝවේ ප්‍රධාන සංස්කරණ ශිල්පියා ලෙස වැඩ කරන්න කතා කරලා තියෙනවා. කැමති නං යමු’ රාමනාදන් වරක් ඔහුට කීවේය.

 ‘මාත් එන්නම් මිස්ටර් රාමනාදන්’ එඩ්වින් ස්ථිර ලෙස කීය.

සිලෝන් තියටර්ස් සමාගමේ අධ්‍යක්ෂවරයා ඇන්තනි පිල්්ලේ ද එඩ්වින් ලීට්න්ට අත හිත දුන්නේය.

ලංකා චිත්‍රාගාරයේ ද වසර පහක් පමණ සහාය සංස්කරණ ශිල්පියා ලෙස කටයුතු කොට 1963 ඔහු ප්‍රධාන සංස්කරණ ශිල්පියා බවට පත් විය. රොබින් තම්පෝගේ ‘සුවිනීත  ලාලිනී’ ‘සුදු සඳේ කළු වළා’ ‘ සුහද දිවි පිදුම’ ‘සුලලිත සෝබනී’ ‘සුදෝ සුදු’ කිංස්ලි රාජපක්ෂගේ ‘දීපශිකා’ ‘හඳපාන’ ‘හිතට හිත’ ‘සිඟිති සුරතල්’ එල්. එම්. පෙරේරාගේ ‘හතර මහා නිධානය’ එම්. එස්. ආනන්දගේ ‘සත පනහ’ ‘ඇතුල්වීම තහනම්’ රාජාබාලිගේ ‘ස්විප් ටිකට්’ ධර්ම ශ්‍රී කල්දේරාගේ ‘මී මැස්සෝ’ මෙරිල් ඇල්බට්ගේ ‘දාහකින් එකෙක්’ ලෙනින් මොරායස්ගේ ‘සුදු දුව ‘ ශාන්ති කුමාර්  සෙනෙවිරත්නගේ ‘කළ කළ දේ පළ පළ දේ’ අමරනාත් ජයතිලකගේ‘ ප්‍රියංගා’ ඩොමී ජයවර්ධනගේ ‘දරු දුක’ ඇතුළු චිත්‍රපට 30 ක පමණ සංස්කරණ ශිල්පියා විය.

වර්ෂයක් තුළ ප්‍රදර්ශනය කළ චිත්‍රපට අතුරින් වැඩිම චිත්‍රපට ගණනක් සංස්කරණය කළ සංස්කරණ ශිල්පියා ලෙස එඩ්වින් ලීට්න් 1963 වසරේ වාර්තාවක් තැබූ බව ‘විසිතුර’ පුවත්පතේ පළ වී තිබුණි. 1965 වර්ෂයේදී ප්‍රදර්ශනය වූයේ චිත්‍රපට 18 ක් වන අතර ඉන් චිත්‍රපට 7 ක්ම  සංස්කරණය කළේ ලීට්න් බව සඳහන් කර ඇත. ඒ චිත්‍රපට නම් හඳපාන, සතුටයි කඳුළයි, හතර මහ නිධානය, හිතට හිත, සත පනහ, ස්විප් ටිකට්, ඇතුල්වීම තහනම්’ ය. කලා භවන නිෂ්පාදකයන්ගේ ‘කඩමෛයින් එල්ෙලෙ’ යන දෙමළ චිත්‍රපටයේ ද  සංස්කරණ ශිල්පියා ලීට්න්ය. ‘කඩමෛයින් එල්ෙලෙ’ යනු ‘හැම්ලට්’ නම් වූ ඉංග්‍රීසි චිත්‍රපටය දෙමළෙන් නිපදවීමකි. දෙමළ චිත්‍රපටයක් සංස්කරණය කළ පළමුවන සිංහල සංස්කරණ ශිල්පියා වීමේ ගෞරවය එඩ්වින් ලීට්න්ට හිමි විය. 

මෙරට වාණිජ චිත්‍රපට මෙන්ම කලාත්මක ධාරාවේ චිත්‍රපට ද  සංස්කරණය  කිරීමේ දුර්ලභ අවස්ථාව එඩ්වින් ලීට්න්ට ලැබී ඇත. රෙජී පෙරේරා අධ්‍යක්ෂණය කළ ‘සැඩොල් කඳුළු’ එහි මුල් පියවර විය. සිලෝන් තියටර්ස් සමාගම 1968 තිරගත කළ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘ගොළු හදවත’ චිත්‍රපටයේ             නිෂ්පාදක පී. ඊ. ඊ. ඇන්තනි පිල්ලෙයි මේ චිත්‍රපටයේ සංස්කාරක ශිල්පියා ලෙස එඩ්වින් ලීට්න්ගේ නම නිර්දේශ කළේ ලංකා චිත්‍රාගාරයේ ප්‍රධාන සංස්කරණ ශිල්පියා ගැන දෙකමදාරු කරමිනි. එහෙත් ලෙස්ටර් තම  බිරිඳ සුමිත්‍රා පීරිස් සම සංස්කාරිකාව කොට ලීට්න්ට සංස්කරණය භාර දුන්නේය.

එඩ්වින් ලීට්න්ගේ සංස්කරණ කුසලතාව දුටු ලෙස්ටර් ඔහුට ‘ගොළු හදවත’ චිත්‍රපටයේ සංස්කරණය තනිව පැවරුවේය. අක්කර පහ හා නිධානය යන ලංකා චිත්‍රාගාරය නිපද වූ ලෙස්ටර්ගේ චිත්‍රපටවල සංස්කරණය ලීට්න්ට පැවරිණ. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා, සංස්කරණ ශිල්පිනී  සුමිත්‍රා පීරිස් අපට පැවසුවේ ලීට්න් ඉතාම නිරහංකාර, කරුණාවන්ත, විනයගරුක නිහඬ පුද්ගලයකු බවය.  ඔහු  සංස්කරණ ශිල්පයේ මූල ධර්ම මැනවින් තේරුම් ගත් නිර්මාණ ශිල්පියෙකු බව ඇය අගය කළාය.

1960 දී මොරටුවේ බියට්‍රිස් හෙට්ටිආරච්චි මෙනවිය හා විවාහ වූ එඩ්වින් ලීට්න් දරු තිදෙනෙකුගේ ආදරණීය පියෙකි.

 “මගේ පියා ආදරවන්ත  සැමියෙක් වගේම කාරුණික පියෙක්. ඒ වගේම වෘත්තීය ජීවිතයේ මෙන්ම පෞද්ගලික ජීවිතයේ ද දැඩි විනයක්, සංයමයක් පවත්වාගෙන ගියා. අපිට පුංචි කාලෙම තාත්තා අහිමි වීම ලොකු කනගාටුවක්. 1972 නොවැම්බර් 11 වෙනිදා හදිසි හෘදයාබාධයකින් ඔහු සමු ගන්නා විට 40 වියේ පසු වුණේ. මවත්, දරුවන් තිදෙනාත් අපේ ආදරණීය තාත්තාට මොක් සුව ප්‍රාර්ථනා කරනවා’ දැනට ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පදිංචිව සිටින ආශා ලීට්න් ප්‍රනාන්දු අපට පැවසුවාය.

තම ජීවිතයේ අවසාන කාලයේ ජෝ දේව් ආනන්ද්්ගේ ‘ගීතා’, කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාගේ කතුරු මුවාත්, අපරාධය හා දඬුවම චිත්‍රපටවල සංස්කරණ කටයුතු භාගයක් නිම කොට තිබුණි. සිංහල චිත්‍රපට මෙන්ම දෙමළ චිත්‍රපට ද සංස්කරණය කළ සිංහල ශිල්පියා ලෙස එදා ජනමාධ්‍යය රටට හඳුන්වා දුන් එඩ්වින් ලීට්න් මෙරට බිහි වූ අග්‍රගණ්‍ය සිංහල චිත්‍රපටය වූ ‘නිධානය’ චිත්‍රපටයේ සංස්කරණ ශිල්පියකු ලෙස 1972 විචාරක සම්මානයෙන් පිදුම් ලැබුවේය. චිත්‍රපට උලෙළ කිහිපයක ලීට්න්ගේ නම හොඳම සංස්කරණ ශිල්පියා  ලෙස නිර්දේශිතව ඇත.

අද ඉඳහිට රූපවාහිනි නාළිකාවලින් විකාශනය වන පැරණි චිත්‍රපටවල නාමාවලියෙන් ‘සංස්කරණය - එඩ්වින් ලීට්න්’ නම අපට දක්නට ලැබෙයි. රූප කායෙන් කිසිදා නුදුටු අපට මේ නිර්ව්‍යාජ, අහිංසක, නිහතමානි මිනිසාගේ හැඩ පෙනී  නොපෙනී යයි.