හෙන්රි ෆොන්සේකා සහ වසන්තා ගැයූ සුප්‍රසිද්ධ “සාලිය-අසෝකා” ගීතය

ජුනි 25, 2020

මෙරට පිළිගත් ඉතිහාසයේ දුටුගැමුණු  රජ දවස සුප්‍රකට ප්‍රේම වෘත්තාන්තයක් වූ සාලිය කුමරු සහ සැඩොල් තරුණියක වූ අසෝකමාලා ගේ පෙම් පුවත අළලා නිර්මාණය වූ නෘත්‍ය මෙන්ම ගීත ද රාශියක් පවතී. වාර්තාගත ඓතිහාසික තොරතුරු විමර්ශනය කරන කල එකී නිර්මාණ අතුරින්, වර්ෂ 1906 දී පළමු වරට පෙන්වන ලද, නීතීඥ ජෝන් ද සිල්වා ගේ “ආර්ය සුබෝධ නාට්‍ය සභාව” මගින් ඉදිරිපත් කළ “දුටුගැමුණු චරිතය” නුර්තියත්, “සිංහල නාට්‍ය සභාව” විසින් අභිනව ක්‍රමයට, ගීත රහිතව 1912 අප්‍රියෙල් 19 දින ප්‍රදර්ශනය කරන ලද “සාලිය කුමරාගේ කථාව” නාටකයත්,  වර්ෂ 1915 දී පළමු වරට මරදානේ ටවර් නෘත්‍ය ශාලාවේ ප්‍රදර්ශිත නීතීඥ චාල්ස් ඩයස් විසින් “ආර්ය සිංහල නාට්‍ය සභාව” වෙනුවෙන් නිෂ්පාදනය කරන ලද  “උත්තර ගැමුණු” නුර්තියත්, 1931 දී, “කොළඹ ටවර් නාට්‍ය සභාව” මගින් නිෂ්පාදිත “අසෝකමාලා” නුර්තියත් පසුගිය ශතවර්ෂයේ මුල් කාලයේ දුටුගැමුණු සහ සාලිය- අසෝකමාලා පෙම් පුවත අළලා නිර්මාණය කරන ලද නාටක වෙත්. එකී නුර්ති වල එවකට ජනප්‍රිය වූ ගීත ශබ්දවාහිනී ගීත තැටි මගින් ශ්‍රාවකයන් වෙත අසන්නට ලැබුණි. එසේ පසුගිය ශතවර්ෂයේ මුල් කාර්තුවෙහි ජනප්‍රිය වූ සාලිය -අසෝකමාලා පෙම් පුවත  දැක්වෙන නුර්ති  ගීත අතුරින් “හරිමි රජ සැපා- මම ලක්දිව තී නිසා” මුල් ගායනය : බී. ඩී ද සිල්වා සහ චාල්ස් පෙරේරා (1917) සහ මැනුවෙල් තියෝගරත්න සහ විල්බට් පෙරේරා (1927) අද දක්වාම ජනප්‍රිය වූ නුර්ති ගීතයකි. සිංහල සිනමාවේ දෙවැනි කතානාද  චිත්‍රපටය ලෙසින් වර්ෂ 1947 අප්‍රියෙල් මස 09 දින ප්‍රදර්ශිත “අසෝකමාලා” චිත්‍රපටයට පදනම් වූයේ ද මෙම ඓතිහාසික පෙම් පුවතයි.

පසුකාලීනව බිහිවුණු (1940-50 දශකයන් හි)  නුර්ති ආරේ සහ ඉන් පරිබාහිර “නව ගීත ආර” ඇසුරු කරගත් ග්‍රැමොෆෝන් ගීත තැටි හරහාද මෙම “සාලිය-අසෝකා පෙම් පුවත” ගීතයට නැගුණු අවස්ථා කීපයක් හමු වෙයි. ඒ අතුරින් වර්ෂ 1940 දී “ශ්‍රී  ලංකා නාට්‍ය පිරිස” විසින් ඩ්ර්ඍ තැටි අංක ව් 9353-9357 දක්වා ගීත තැටි හතරකින් ඉදිරිපත් කළ “සාලිය-අසෝකා” ගීත නාටකය එවැන්නකි. මෙහි අසෝකමාලා ලෙස සෝම කාන්තා ද, සාලිය කුමරු ලෙස විල්බට් පෙරේරා ද, චරිත නිරූපණය කළ අතර සංගීතය සහ ගීත පුහුණු කළේ එච්.ඩබ්ලිව්. රූපසිංහ මාස්ටර් විසිනි. වර්ෂ 1941 COLUMBIA තැටි අංක ට්ඡ් 15100 අංකය යටතේ යූ. ඩී. පෙරේරා මහතා විසින් ප්‍රබන්ධ කළ, මොහොමඩ් ගවුස් මාස්ටර් විසින් සංගීතය සැපයූ “රශ්මි ඇඟේ වීදේවි - තී කවුරුද සිරියාවී” නොහොත් “සාලිය-අසෝකා”නම් යුග ගීතය ද එවකට අසන්නන් අතර ඉතා ජනප්‍රිය වූ ගීතයකි. එසේම, 1950 දශකයේ චන්ද්‍රා ද සිල්වා වීරසිංහ විසින් HMV තැටි අංක එව් 162 ට ගැයූ කරුණාරත්න අබේසේකර මහතා රචනා කළ “පෙම් දැලෙහි පැටලිලා පිපුණ  මල් නෙළා ගොතන ගෙලට මාලා - මම වෙමි අසෝකමාලා” තවත් එවැනි ගීතයකි. 

ඉහත සඳහන්  කළ  “රශ්මි ඇඟේ වීදේවි - තී කවුරුද සිරියාවී” ගීතයෙන් එවකට COLUMBIA ග්‍රැමොෆෝන් තැටි  සමාගම විසින්  නවක ගායක යුවලක් සංගීත ලෝකයට හඳුන්වා දෙන ලදී. ඒ හෙන්රි ෆොන්සේකා මහතා සහ වසන්තා (පසුව සන්දනායක) මහත්මී නම් ගායක- ගායිකා යුවලයි. මෙම ලිපියෙන් අද මා ඉදිරිපත් කරන්නේ එම ජනප්‍රිය යුග ගීතයේ ඉතිහාසයයි. 

එවකට ජනප්‍රිය තැටි සමාගමක් වූ COLUMBIA සමාගමේ නිත්‍ය සංගීත අධ්‍යක්ෂක වූ මොහොමඩ් ගවුස් මාස්ටර් විසින් සම්පාදිත මෙම යුග ගීතය, එවකට බිහිවුණු අනෙකුත් පෙම් ගීත සමග සංසන්දනය කිරීමේදී තරමක වෙනස් මඟක් ගත් ගීතයක් වූයේ, ගීත කොටස් සහ දෙබස් මාරුවෙන් මාරුවට අන්තර්ගත වූ සංවාද ස්වරූපයක් සහිත ගීතයක් වීම නිසාවෙනි. කෙසේවෙතත්,  COLUMBIA සමාගමෙන් බිහි වූ ඇතැම් පෙම් ගීත වල දෙබස් ඛණ්ඩ ඇතුළත් කිරීමට මොහොමඩ් ගවුස් මාස්ටර් සහ ගීත රචක යූ.ඩී පෙරේරා  අවස්ථා දෙකකදීම උත්සාහ කළ බවක්‌, මෙම ගීතයට පෙර නිකුත් වුණු ගීත තැටි පරීක්ෂා කිරීමෙන් පෙනී යයි. එසේ මෙම ගීතයට ප්‍රථමව දෙබස් ඛණ්ඩ යෙදු සංවාදාත්මක ස්වරූපයේ ගීත අතර, මොහිදීන් බෙග් සහ කේ.කේ.රාජලක්ෂ්මි ගැයූ “පණ්ඩුකාභය සහ ස්වර්ණපාලී” ගීතයත් (තැටි අංක ට්ඡ් 15050), පීටර් සිරිවර්ධන සහ කරුණා දේවී  ගැයූ “සුමධුර ගීත” ගීතයත් (තැටි අංක ට්ඡ් 15074) නිදසුන් ලෙස පෙන්වා දිය හැකිය. 

එලෙසම හෙන්රි ෆොන්සේකා සහ වසන්තා  සන්දනායක ගයන මෙම “ සාලිය- අසෝකා" ගීතයත්  ආරම්භ වන්නේ ඉතා මනහර දෙබසකිනි. 

දෙබස   

 සාලිය : පිපුණු අසොකමල් වනයේ විස්මය ජනක අසෝක පුෂ්පයක් ! නෑ ..! අසෝක මල් පරදන රූපත්      මුහුණක්!!

         අසෝකා : නෑ ...! අසෝක මල්  සොයා ආ මී මැස්සෙක් ද ?

ගීතය    

    සාලිය : රශ්මි ඇඟේ වීදේවි//

   තී කවුරුද සිරියාවී

   තී ඇයි මෙ වනේ  තනි වී//

   රශ්මි ඇඟේ වීදේවි..... 

          අසෝකා: චණ්ඩාල කුලේ  ස්වාමී//

(අසෝකා ගයන විට සාලිය ගේ විස්මය පෙන්වයි : මොනවා...චණ්ඩාල කුලේ ? ..නැහැ,......රජ කුලේ ?) 

 මා මල් නෙළු මේ   ආමී//

ළං නොවෙන්  අහෝ ස්වාමී //

(අසෝකා ගයන විට සාලිය කුමරු ගේ විස්මය පෙන්වයි : ළං නොවන්න ?)

  මා ’සෝකා  මල් නෙළමී

  ළං නොවෙන් අහෝ ස්වාමී //

  මා ’සෝකා මල් නෙළමී.....

සාලිය :  චණ්ඩාල නොවේ ප්‍රේමේ 

     ගුණැ’ති වූ දනා ලෝකේ //

     රාජ්‍ය  මාගේ තිබේ මේ  

     පරදාවි රුවෙන් තීගේ //

     චණ්ඩාල නොවේ ප්‍රේමේ.......

අසෝකා: ස්වාමී මා සිත සෝකා ....හා ....//

රජ කුලෙත් ඔබත් වැනසෙයි//

රූපේ  නිසා මෙ සෝකා ....

(සාලිය කුමරු සිය චිත්ත සන්තාපය පෙන්වයි:  අසෝකා !......අසෝකා!!)

රජ කුලෙත් ඔබත් වැනසෙයි...

සාලිය : කිම රජ සැප ඔබ නැති දා //

සාලිය මැරී යාවී

(අසෝකමාලා මේ සාලිය කුමරු බව දැනගෙන විස්මය පෙන්වයි: රාජ සාලිය ! මහාරාජ සාලිය !!) 

  එනු ප්‍රේමී සිරිදේවී 

  රාජ වෙමි තිගෙ රුවෙහී 

 එනු ප්‍රේමී සිරිදේවී ......

ගීතය ආරම්භයේ සහ අතරමැද දෙබස් ඛණ්ඩ ඇතුළත්  කිරීම නිසා මෙම ගීතය එවකට ගවුස්  මාස්ටර් විසින් සංගීතය සැපැයූ අනෙකුත් ගීත වලට වඩා බොහෝ නව්‍යතාවයකින්  යුත් විය. එසේම හෙන්රි ෆොන්සේකා නම් නවක ගායකයා විසින් මෙම ගීතය ඉතා මනරම්ව ගයා තිබුණි. එවකට කේවල ගී යුග්මයක් පමණක් ගයා සිටි වසන්තා සන්දනායක ගේ පළමු යුග ගීතය වූයේ ද මෙයයි. වසන්තා ගේ ගායනය ද ඉතා ප්‍රශස්ථ මට්ටමකින් පැවැති නිසා නවක ගායිකාවක ලෙස ඇයගේ ජනප්‍රියත්වයද මෙම ගීතය නිසා දෙගුණ තෙගුණ විය. 

මෙම ගීතය සඳහා හින්දුස්ථානි කිසියම් පැහැදිලි රාගයක් උපයෝගී කර නොමැති වුවද, කෙහෙර්වා තාලයට සකස් කර ඇත්තේය. එසේම පියෑනොව, බටනලාව, ක්ලැරිනට්, ඉංගිරිසි මැන්ඩලීනය, වයලීනය, තබ්ලා ආදී වාද්‍ය භාණ්ඩ සංගීත සංයෝජනය සඳහා  යොදාගත් බවක් පෙනේ. මෙම ගායනයෙහි සුවිශේෂී භාවය වන්නේ  විශිෂ්ට  ආකාරයෙන් ගායක යුවළ එකවර දෙබස් වල සිට ගීතමය කොටසෙහි අදාළ ස්වරමානයන් ට ඉතා නිරවද්‍ය ලෙස විසර්පණය වෙමින් ගායනයෙහි යෙදීම ය. මෙය බොහෝවිට ඇතැම් බටහිර ඔපෙරා ගීත ශෛලීන් හි දැකියහැකි ශිල්පීය දක්ෂතාවයකි. වර්ෂ 1941 තරම් ඈත වකවානුවක මෙරට සිටි ගායන ශිල්පීන් එවැනි හැකියාවන් ප්‍රදර්ශනය කිරීම ඉතා ප්‍රශංසනීය කටයුත්තකි. 

මෙම ගීතයේ තනුව උපුටාගත්තේ වර්ෂ 1940 “සාගර් මූවිටෝන්” සමාගමේ දැවැන්ත නිෂ්පාදනයක් වූ , මෙහෙබුබ් ඛාන් (සුප්‍රසිද්ධ “මදර් ඉන්දියා” චිත්‍රපටයේ අධ්‍යක්ෂක) අධ්‍යක්ෂණය කළ “අලිබබා“ චිත්‍රපටයෙනි. සර්දාර්බායි අඛ්තාර්, සුරේන්ද්‍රනාත්, වහීදාන් බායි සහ ඝුලාම් මෙහෙමුද් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කළහ. ඩ්ර්ඍ තැටි අංක ව් 15878 අංකය යටතේ මෙම මුල් හින්දි ගීතය අලිබබා චිත්‍රපටය වෙනුවෙන් රඟපාමින් ගායනා කළේ වහීදාන් බායි (1950 දශකයේ ජනප්‍රිය නිළි “නිම්මි” ගේ මව) සහ සුරේන්ද්‍රනාත් විසිනි. ගීතය රචනා කළේ  පණ්ඩිත් සිතපුරී වන අතර, සංගීතය නිර්මාණය කළේ අනිල් බිස්වාස් විසිනි. අනිල් බිස්වාස් විසින් බටහිර තනු වල ආභාසය මෙම වකවානුවේ ඔහුගේ බොහෝ චිත්‍රපට සංගීත නිර්මාණයන් සඳහා භාවිත විය. අලිබබා චිත්‍රපටය ද එසේ ඔහු බටහිර ආභාසය යොදා කළ එක්තරා අත්හදා බැලීමකි. නමුත්, මෙම මුල් හින්දි ගීතයේ ආරම්භයේ හෝ මධ්‍යයේ සිංහල ගීතයේ මෙන් දෙබස් ඛණ්ඩ ඇතුළත් වූයේ නැත. එබැවින් මුල් හින්දි ගීතයේ නොමැති දෙබස් ඛණ්ඩ සහිත ගායනා ගවුස් මාස්ටර් සහ යූ. ඩී. පෙරේරා මාස්ටර් විසින් සිංහල ගීතයේ රසභාවයන් තීව්‍ර කිරීම සඳහා සංගීතමය නවාංගයක් ලෙස ඇතුළත් කිරීම, සිංහල  ගීතයේ ජනප්‍රියභාවය මෙන්ම ශ්‍රාවක ප්‍රසාදය දිනා ගැනීමට හේතු සාධකයක් වන්නට ඇත.

 එවකට ලංකාවේ සුප්‍රසිද්ධ ග්‍රැමොෆෝන්  තැටි සමාගම් දෙක වූ  ඩ්ර්ඍ සහ COLUMBIA සමාගම් දෙක අතර ගීත නිෂ්පාදනය වෙනුවෙන් පැවතියේ ඉතා උණුසුම්  තරඟයකි. ජනප්‍රිය හින්දි -වංග-මරාති හෝ දමිළ ගීත තනු වෙනුවෙන් මෙම සමාගම් දෙක විසින්  ගීත වෙනවෙනම නිකුත් කරන ලදී.  අලිබබා චිත්‍රපටයේ ඉහත දැක්වූ ජනප්‍රිය හින්දි ගීතයට ද, ඩ්ර්ඍ සමාගමෙන් ද 1942 වර්ෂයේදී තවත් සිංහල ගීයක් (ගීත තැටි අංක  ව් 13081) නිකුත් කරන ලදී. “සිත ආදර ප්‍රේම ප්‍රියේ - තී සනසනු මා සෝකා- තී ගීත ගයා මිහිරී” යන එම ගීතය ගායනා කළේ එවකට එම සමාගමේ ප්‍රේම ගීත ගයන ජනප්‍රියම ගායක යුවල වූ ඇම්.කේ. වින්සන්ට් මහතා සහ නිර්මලා (මාස් ධර්මානි ආමත්) ගායක යුවල විසිනි. එම ගීතය සංගීතවත් කළේ බී.එඩී ද සිල්වා මාස්ටර් සහ බී . එස් පෙරේරා විසිනි. නමුත් මෙම ගීතයට COLUMBIA සමාගමේ ගීතය මෙන් දෙබස් ඛණ්ඩ ඇතුළත් නොවුණි.

“සාලිය- අසෝකා” ගීතය ගායනා කළ  ගායකයාණන් වන හෙන්රි ෆොන්සේකා මහතාණන්  ගැන වෙසෙසින් ම සටහනක් තැබිය යුතු ය. ග්‍රැමොෆෝන් ගායකයෙක් ලෙස මෙන්ම ගුවන්විදුලියේ 1940-50-60 දශක වල ජනප්‍රිය ගායකයෙකු ලෙස එතුමා ඉතිහාසයට එක්වන්නේ ය. වර්ෂ 1922 ජුලි මස 21 දින පාමංකඩ දී උපත ලැබූ එතුමා, මූලික අධ්‍යාපනය ලැබුවේ වැල්ලවත්ත ශ්‍රී වෛශාඛ විද්‍යාලයයෙනි. පාසල් සමයේම සංගීතයට එතුමා අතපොත් තබන්නේ එම පාසලෙහි සංගීතාචාර්යවරයා වූ, එවකට “ගුරුන් ගේත් ගුරු” යන නමින් හැදින්වූ සුප්‍රකට ටවර්හෝල් ශිල්පී සහ සංගීතාචාර්ය ජේ.සාදිරිස් සිල්වා මාස්ටර් ගෙනි. පසුව එවකට COLUMBIA තැටි සමාගමේ නිත්‍ය ගීත රචකයා වූ සංගීතාචාර්ය යූ. ඩී. පෙරේරා මහතාගේ මගපෙන්වීම යටතේ මොහොමඩ් ගවුස් මාස්ටර් ගේ සංගීතයට COLUMBIA තැටි දෙකකට මෙතුමා එකවර ගීත හතරක් තැටිගත කරන්නේ 1941 වර්ෂයේ දීය. ඒ ට්ඡ් 15100 අංකය යටතේ වසන්තා සන්දනායක සමගින්  ඉහතින් දැක්වූ “සාලිය - අසෝකා”  ගීතයත් එම තැටියේ අනෙක්පස “ප්‍රේමේ සෞම්‍ය කාන්තියෙනා” ගීතයත් , ට්ඡ් 15115 අංකය යටතේ හිල්ඩා පෙරේරා ගායිකාව සමගින් “පෑවූ චන්ද්‍රාලෝකෙන්” ගීතයත් එම තැටියේ අනෙක්පස “නංගි අනංගා ගේ” ගීතයත් ය. 

මේ අතුරින් ඉහත සඳහන්  කළ “සාලිය-අසෝකා” ගීතය අතිශයින් ජනප්‍රිය වූ බැවින් එහි පිටපත් දහසක ආසන්න සංඛ්‍යාවක් පළමු සහ දෙවන නිකුතුව ලෙස නිකුත් කිරීමට COLUMBIA සමාගමට සිදු විය. අනතුරුව, 1940 දශකයේ මැද භාගයේදී ගුවන්විදුලියේ සරල ගී ගායකයෙකු ලෙස ගුවන්විදුලියට බැඳෙන ෆොන්සේකා මහතා 1949 සහ 1953 වසර වලදී රත්නජන්කර් පරීක්ෂණයෙන් ඉහළම ශ්‍රේණියේ ගායකයෙකු ලෙස ගුවන්විදුලියේ ශ්‍රේණිගත වූයේ ය.

එසේම හෙන්රි ෆොන්සේකා මහතා ගුවන්විදුලියේ 1950-60 දශක වල ගුවන්විදුලියේ නිත්‍ය සරල ගී ගායකයෙකු ලෙස ගීත සිය ගණනක්  ගායනා කළේ  ය. 1941-1959 දක්වා COLUMBIA සහ ර්‍ණච්ඡ්ර්‍ණව් ලේබල සඳහා එතුමා ගීත 16ක් පමණ තැටිගත කළ බව සඳහන් වේ.  ප්‍රවීණ නිවේදක සහ ගීත රචක ලලිත් එස්. මෛත්‍රීපාල මහතා පළමුවරට ගීතයක් රචනා කළේ ද හෙන්රි ෆොන්සේකා මහත්මා වෙනුවෙනි. එසේම වර්ෂ 1954.09.09 දින පළමුවරට ශ්‍රී ලංකා ගුවන්විදුලියෙන් විසුරුවා හරින ලද, ශ්‍රී පාළි වයිමන් විසින් රචනා කරන ලද, හෙන්රි ෆොන්සේකා මහතා විසින් ගායනා කරන ලද “මුනිඳු ශ්‍රී පද නමදිමු සැමදා“ ගීතය එවකට ගුවන්විදුලියේ අතිශය ජනප්‍රිය ගීතයක් විය. එසේම එවකට “රේඩියෝ සිලෝන්” ලෙස හැදින්වූ ශ්‍රී ලංකා ගුවන්විදුලිය සංස්ථාවක් බවට පත්කරන තුරු ෆොන්සේකා මහතා එහි වෙළෙඳ අංශයේ රැකියාවෙහි නියුතු විය. පසුව හෙතෙම ඉඩම් සහ ඉඩම් ගොඩ කිරීමේ අමත්‍යාධශයේ සේවය කොට විශ්‍රාම ගියේ ය. 1960 දශකයේ මෙතුමා විසින් වීදාගම මෛත්‍රෙය හිමියන්ගේ “ලෝවැඩ සඟරාව” ගීත නාටකයක් ලෙස රචනා කොට වේදිකාගත කළේ ය. එහි සංගීත අධ්‍යක්ෂක වූයේ එතුමාගේ ගුරුතුමන් වූ ජේ. සාදිරිස් මාස්ටර්ගේ පුත්‍ර රත්නය වූ, ප්‍රවීණ  සංගීත අධ්‍යක්ෂක ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා ය. හෙන්රි ෆොන්සේකා මහතාගේ එකම පුත්‍ර රත්නය වන සුරන්ජි ෆොන්සේකා මහතාද කලාවට සම්බන්ධ වූවෙකි. වසන්ත ඔබේසේකරයන්ගේ පළගැටියෝ (1979) සිංහල චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂකවරයෙකු වූ ඒ මහතා එහි ගීත රචකයෙකු ද වූයේ ය. සිංහල සංගීතයට විශිෂ්ට සේවයක් කළ හෙන්රි ෆොන්සේකා නම්  කලාකරුවා වර්ෂ 1998 අප්‍රියෙල් මස 09 දින සදහටම දෙනෙත් පියා ගත්තේය. 

කාලයේ වැලිතලාවෙන් වැසි ගිය  මෙරට සිටි හෙන්රි ෆොන්සේකා නම් විශිෂ්ට ගායකයණන්ගේ නාමයට මෙම සටහන උපහාරයක්ම වේවා !

විශේෂ ස්තූතිය : හෙන්රි ෆොන්සේකා මහතාගේ ජීවන තොරතුරු සහ සේයාරුවක් ලබා දුන් එතුමාගේ පුත්‍ර සුරන්ජි ෆොන්සේකා මහතා, ග්‍රැමොෆෝන් තැටි සංරක්ෂක එච්.එම්. ගුණතිලක මහතා, ගීතයන් හි සංගීතමය භාවිතයන් ගැන දැනුම්වත් කළ විශාරද දර්ශනී චන්ද්‍රසේන මහත්මිය සහ අසංක පෙරේරා මහත්මා, අනිල් බිස්වාස් සංගීතවේදියාණන් ගේ දියණිය වන ශිඛා බිස්වාස් මහත්මිය. 

ආශ්‍රිත ග්‍රන්ථ : ‘කලා’සඟරාව - 1959 ( 5 වැනි වෙළුම; 2 වැනි කලාපය) ඔක්තෝබර් 25. පිටු අංක 07 ; තිස්ස කාරියවසම් - විසි වසරක සිංහල නාට්‍ය හා රංග කලාව (1912-31); ඩ්ර්ඍ සිංහල රැකෝඩ් ලැයිස්තුව - කාගීල්ස් සමාගම (1943);  ඇන් .සමන් සොයිසා-ටවර්හෝල් නාට්‍යයයෙහි චාල්ස් ඩයස් ගේ දායකත්වය