සිරියා මෙ සාරා සිට රමණීය කමණීය අපේ ආදරේ දක්වා

ජූලි 2, 2020

‍සිරියා මෙ සාරා නැගේවි හද මෝරා

දී ප්‍රේමේ අමධාරා- හෝ ප්‍රේමේ  අමධාරා

ප්‍රේමේ නුරා ගීත රාවේ ඇසෙන්නා

මේ පෙම් මල් පිපිලා  මා හෘදේ පිරෙන්නා

දින රාජයා ඈත අහසේ දිලෙන්නා 

දී ප්‍රේමේ අමධාරා

ගංගා පිරිලා ඉතිරි ගලන්නා- 

ආලේ රසේහි මා හදේහි නැඟෙන්නා

මේ සන්ධ්‍යා ශ්‍රියාවෝ නැඟේ හද 

මෝරා දී ප්‍රේමෙ අමධාරා

මල් ලෝකේ සරලා ගුම් නාදේ දීලා 

බඹරා ගියා සේ පෙම් ගී ගයාලා

යාමි මේ දැන් පෙම් කුමාරි සොයාලා-

ප්‍රේමෙ අමධාරා හෝ ප්‍රේමෙ අමධාරා

1956 වසරේ තිරයට එන සුරතලී චිත්‍රපටයට පාදක වනුයේ රාජ් කපූර් නිර්මාණය කළ බර්සාත් චිත්‍රපටයේ කතාන්දරයයි. සුරතලී නිපදවූයේ ජබීර් ඒ.කාදර්ය. අධ්‍යක්ෂණය කළේ ඉන්දියානුවෙකු වූ කේ.වෙම්බු වුවත් එහි දෙබස් (සුරතලී  නාමාවලියේ එය සඳහන් වනුයේ භාෂණය හැටියටය) රචනා කොට ශිල්පින් තෝරා ගත්තේ සිරිල් පී.අබේරත්නය. චිත්‍රපටයේ රඟපෑ එම්.පී ගැමුණු (පසුකලෙක යළි ඉපිදේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ) අලුත් තරුණයෙකු සිරිල් පී.අබේරත්නට හඳුන්වා දුන්නේය. ඒ වන විට කිහිප වරක්ම අතට ආ චාන්ස් ගිලිහී ගිය මේ 18 හැවිරිදි ඉලන්දාරියා ඒ සඳහා ඉදිරිපත් වූයේ තමා විසින් ගයන ලද ස්ටැන්ලි ඕමාර්ගේ සංගීතයට පටිගත කරන ලද මගේ රන් රාජිණි ගීතයේ තැටියක් ද අතැතිවය. මේ තැටියේ අපූරු 

හඬ අලුත් සිනමා කෘතියට යොදා ගැනීම ගැන දෙවරක් නොසිතන්නට ඔවුහු තීරණය කළහ. ඒ අනුව අලුත් ගායකයාට ලැබුණේ එයට පෙර වසරේ  ඉන්දියාවේ තිරයට ආ මස්තාන් චිත්‍රපටයේ මදන් මෝහාන් ගේ සංගීතයට  මොහමඩ් රාෆි විසින්  ගයන ලද දුනියා කේ සාරේ ගීතයට අනුව ඩබ්ලිව්.විල්ෆ්‍රඩ් සිල්වා රචනා කරන ලද උක්ත ගීත පදමාලාවය. මුල් චිත්‍රපටයේ රඟපෑ මෝතිලාල් මෙන් නොව ඉතා ප්‍රාණවත් යෞවනය පිරි අලුත් නළුවකු මේ ගීතය ගයමින් සුරතලී සමඟ සිනමාවට පිවිසියේය. ඔහු ආනන්ද ජයරත්නය. ආනන්ද ගේ ප්‍රාණවත් රංගනය අලුත් ගායකයාගේ ප්‍රතාපවත් හඬ සමග හොඳීන් පෑහිණ. ඊළඟ දශකයේ සිංහල චිත්‍රපටයේ පසුබ්ම් ගායනාවේ ස්වර්ණ ප්‍රදීපය දැල්වුණේ එහෙමය.

එච්.ආර්. යන්න උප්පැන්න සහතිකයේ සඳහන් වනුයේ  හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් යනුවෙන් වුවත්  ප්‍රවීණ ගායක  නිහාල් නෙල්සන් එච්.ආර් යන්නට අර්ථකතන දෙන්නේ හදවත රත්තරන් යනුවෙන්ය. ප්‍රවීණ මාධ්‍යවේදී අර්නස්ට් වඩුගේ ජෝතිපාලයන්ගේ ජීවිත කථාව ලියන්නේ  හදවත රත්තරන්  යනුවෙනි. 1936 වසරේ පෙබරවාරි මස 12 වැනි දින ටේලර්වරයකු වූ එච්.ආර්.ජේම්ස්ටත් රෝහල් සේවිකාවක වූ එච්.කේ.පොඩිනෝනා පෙරේරාටත් දාව උපන් වැඩිමහල් දරුවාට  එච්.ආර්.ජෝතිපාල ට එම නම තබන්නේ උපන් වේලාව අනුවය. ඔහු නමේ අර්ථයෙන්ම ජෝතිමත් ප්‍රද්ගලයකු විය.ඔහුට බාල සොහොයුරියන් සිව්දෙනෙකි. එක් සොහොයුරෙකි..  ජෝතිපාලයන්  මිය යනුයේ 1987 වසරේ ජූලි මස 7 වැනි දිනය. ඔහු ජීවත් වූයේ වසර 51 ක් වැනි කෙටි කලකි. එයින් වෘත්තිය ගායකයකු ලෙස ගත කරන්නට ඇත්තේ වසර විස්සක් පමණ කාලයක් යැයි උපකල්පනය කරමි. මේ කාලය ඇතුළත ඔහු ගීත දහස් ගණනක් ගයා ඇත්තේය. (ඇතැම් තැනක සඳහන් වන පරිදි  එය පන් දහසකි) ජීවත්ව සිටියා නම් මේ වන  විට ඔහු ගේ වයස අවරුදු 84 කි. අවරුදු 84 ක වයසැති කෙනෙක් පෙර මෙන් සෞඛ්‍ය තත්ත්වයෙන් ගී ගයනු ඇතැයි සිතීම උගහටය. එපමණක් නොව පසුගිය වසර දහය පහළොව ඇතුළත ලෝකය සිතන පතන ක්‍රියාකරන ආකාරයේ ප්‍රබල වෙනසක් සිදුවිය. මේ සමාජ ක්‍රමය ඇතුළත තව දුරටත් ජෝතිපාලයන් වැනි ගීතයට ආදරය කළ ගායකයන්ගේ ඉරණම කවරක්දැයි අප දන්නේ නැත. එහෙත් ඔහු නොමැතිව වුව තිස් එක් වසරක් පුරා මෙරට සිනමාව ද ගායන ලෝකය ද ජීවත් කරවන්නට එච්.ආර්.ජෝතිපාලයන් සමත් ව තිබේ. ඔහු එකල වැඩිම මිලක් අය කළ ගායකයාය. එහෙත් සිය සගයන් වෙනුවෙන් නොමිලයේ වුව ගී ගයන්නට ඔහු මැලි වූයේ නැත. මාධ්‍යවේදී අර්නස්ට් වඩුගේ සඳහන් කරන පරිදි ජෝතිපාලයන් ලොතරුයි දිනුමකින් දෙවැනි ස්ථානය ද ලබා ඇත්තේය. එහෙත් ඔහු මිය යන තෙක්ම තමන්ටම කියා දුරකථනයක් නොවුණ වග වඩුගේ මහතා සදහන් කරයි. 

ජෝතිපාලයන් එක රැයින් පහළ වූ තරුවක් නොවිණ. ඔහුගේ ජීවන ගමන් මඟ විමසා බලන්නෙකුට වඩාත් අවධානය යොමු කළ යුතු කාර්යය වනුයේ තම ජීවිත ඉලක්ක සපරාලන්නට ඔහු   ගත් වෑයමයි. ඔහු ජීවත් වූ මරදාන මෙරට සංස්කෘතික කේන්ද්‍රයක් බව අමුතුවෙන් කිවයතු නොවේ. හතර වටින් පැමිණ විසිවැනි  සියවසේ ජනප්‍රිය කලාවන්ට මුල් ගල තැබූවෝ පමණක් නොව චණ්ඩි  ද එහි වූහ . වැදගත් අධ්‍යාපන නිකේතන ද එහි විය. ජෝතිපාලයන් හැදී වැඩෙන්නේ එහිය. එහෙත් ජෝතිපාලයන්ගේ ජීවිත කථාව කියවන කවරකුට හෝ  කියවන්නට ලැබෙනුයේ  එවන් පරිසරයක ගායකයකු ලෙස නමක් දරමින්  පරදවන්නට සිදුවන  අනේක විධ දුෂ්කරතාය. ඔහු මුලින් ගී ගයන්නට යන චිත්‍රපටය පොඩි පුතාය. එය ඔහුට අහිමි වෙයි. තවත් චිත්‍රපටයක් අහිමිවනුයේ ඉන්දියාවට යන්නට සැරසී ගත්විටය. ඒ ගුවන් තොටුපලක දී විදෙස් ගත වන්නට නම් විදෙස් ගුවන් ගමන් බලපත්‍රයක් අවශ්‍ය බව ඔහු නොදැන සිටිම නිසාය. ඔහු අතිශය ජනප්‍රිය ගායකයකු බවට පත්කරමින් සිනමාවේ දොරට වඩින සුරතලී චිත්‍රපටයේ එන සිරියාමේ සාරා ගීත ය ද චිත්‍රපටයෙන් ඉවත් වීමේ අවදානමක් මතුවෙයි. මේ සියල්ලටම මුහුණ දෙන්නට ජෝතිපාලයෝ සමත් වෙති. මේ  අවදානම දිනා නොගත්තා නම් හෝ එකම සිදුවීමක දී හෝ උකටලී වූවා නම් එච්.ආර්.ජෝතිපාල යනුවෙන් ගායකයකු බිහි නොවනු ඇත. ඔහු බිහිවන සමයේ අද මෙන් සමාජ ජාලා වෙබ් අඩවි තිබුණේ නැත. සංගීතය පමණක් නොව වෙනත් කලා මාධ්‍යයකට පිවිසීම පවා පහසු වූයේ නැත. ගීතයක් ගයනවා නම් ගුවන් විදුලියේ ප්‍රචාරය ලැබිය යුතුය. නැත්නම් චිත්‍රපට ගී ගායකයකු විය යුතුය. අද මෙන් ගීතයට විශාල වෙළෙඳ පොළක් හිමිව තිබුණේ නැත. එබැවින් මේ කටයුතු අසීරු කරුණක් විය.  ජෝතිපාලයන්ගේ  ජීවිත කථාව කියවන්නෙකුට වඩාත්ම වැදගත් වනුයේ ඔහු සතුව ඇති අයෝමය දරා ගැනීමේ ශක්තියයි. සුරතලී චිත්‍රපටයේ ආනන්ද ජයරත්නගේ සිට සිතු දේ නොම වේ නොසිතු දෙයක් වේ දක්වා විජය කුමාරතුංගයන් වෙනුවෙන් ගයන්නට නියමිත වි තිබුණු ගීතය (පසුව මෙම ගීතය සුපිරි බලවතා චිත්‍රපටයේ දී රන්ජන් රාමනායක සදහා යොදා ගැනිණ. මෙම ගීතය සරසවිය ෆේස් බුක් පිටුවේ ඇතුළත්ය.) දක්වා ඔහු මෙරට සියලුම නළුවන් සදහා ගී ගැයුවේය. චිත්‍රපටයක පසුබිම් ගී ගායකයා යනු හඬ නළුවකු වෙයි. මුල් යුගයේ තමා විසින්ම ගායනා කරන ලද නළුවන් වෙනුවට බිහිවුණ පසුබිම් ගී ගායකයන් සිනමාව ජනප්‍රිය කරවීමෙහි වැදගත් සාධකයක් විය. ජෝතිපාලයන් ගේ  අසමාන හඬට කිසිවකුගේ අනුකරණයක් නොවිණ. එහෙත් ඔහු දශක ගණනාවක් මුළුල්ලේ සියලු නළුවන්ගේ කටහඬ හා පෑහිණ. මේ වූකලී අතිශය දුලබ වාසනා ගුණයක් සේ සැළකිය යුතුය. අසල්වැසි ඉන්දියාවේ පවා ඒ ඒ ගායකයන්ගේ හඬ ඒ ඒ නළුවන් හා පෑහුණ ද සමස්ත නළුවන් හා පෑහුණු වගක් පෙනෙන්නේ නැත. එහෙත් ජෝතිපාලයන්ගේ අසමාන හඬ සියලු නළුවන් හා පෑහුණි. පදමාලාව ව්‍යක්ත වුවත් නැතත් ජෝතිපාලයන්ගේ හඬ ඒ සියල්ල යටපත්   කළේය. හඬන්නට මෙන්ම වැලපෙන්නටත් එසැණින් සිනාසෙන්නටත් ඔහුගේ ගායනයේ ඉඩ තිබිණ. සාමාන්‍ය සංගීත වේදිකාවේ පවා ඔහු මේ දස්කම පෑවේය. එබදු ගැයුමක දී සිය ආදරණිය රසිකයන් වෙනුවෙන් ගීත ගණනාවක් වුව ගයන්නට ඔහු මැළි වුණ වගක් අසන්නට නැත. එමෙන්ම ගී පටිගත කිරීමක දී ඔහු තරම් පේවෙන ගායකයකු නොසිටිය තරම්යැයි වරෙක මා සමඟ පැවසුවේ මහා නළු රවීන්ද්‍ර රන්දෙණියයි.

 ජෝතිපාලයන් ලතා වල්පොල සමග ගායනා කරන ලද අවසාන චිත්‍රපට ගීතය රචනා කරන ලද්දේ ඩබ්ලිව්.බෙනඩික්ට් ප්‍රනාන්දු විසිනි. සංගීතවත් කරන ලද්දේ සෝමපාල රත්නායකයි. මුල් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නට සැරසුණේ දිනේෂ් ප්‍රියසාද්ය. චිත්‍රපටයේ නම පරිද්දෙන්ම සිතු දේ නොම වේ නොසිතු දෙයක් වේ චිත්‍රපටය තනන්නට ලැබුණේ නැත. අවසානයේ ගීතය ඇතුළත් කොට තැනුණු සුපිරි බලවතා අධ්‍යක්ෂණය කරන ලද්දේ පද්මසිරි කොඩිකාරයි. 

රමණීය කමණීය අපේ ආදරේ -

නොමැකේය සොමි ලපය සේ අම්බරේ

නොනැසේය නොබිඳේය අපේ ආදරේ-

සඳ සේය බැබලේය කිරි සාගරේ 

පෙර ආත්ම භාවේ දී පැතු සේ මෙසේ-

අප දෙන්න එක් වීලා නොසිතූ ලෙසේ

සුර ලොකේ සුර සැපය  විඳීමු ප්‍රියේ-

එක යහනේ එක තුරුලේ සැනසී තොසේ

සංසාර සහරාවේ නෙත් වීලා තරණේ-

නොසලෙන්න නොතැවෙන්න සුහදාණෙනි

හැමදාම ඔබ මාගේ මා ඔබගේ වේ-

අප දෙන්නාගේ ප්‍රාණේ එක ප්‍රාණේ වේ