“ලංකාවේ මහජන මන්ත්‍රී කෙරේ විස්වාසේ අහෝ අඩු වේ”

ඡන්දය ගැන ගැයුණු ග්‍රැමෆෝන් ගීත
ජූලි 30, 2020

පූර්ව සිනමා යුගයේ (1906-47) බිහිවුණු ග්‍රැමොෆෝන් ගීත එක්තරා අතකින් වැදගත්කමක් දරන්නේ එම යුගයේ ශ්‍රී ලාංකේය සමාජය විවරණය කරන වැදගත්ම ශ්‍රව්‍ය මූලාශ්‍රයක් වන බැවිනි. එවකට ජන සමාජයේ පැවැති විවධ සංස්කෘතිකාංග, භාෂා ව්‍යවහාර, දේශපාලන -ආර්ථික ව්‍යුහය, සාමාන්‍ය ජන ජීවිතය ආදී විවධ මාතෘකා විදහා දක්වන කැඩපතක් ලෙස ග්‍රැමොෆෝන් ගීතය පෙන්වා දිය හැකිය. දේශාභිමානී සහ බෞද්ධ සදූපදේශ බහුලව අන්තර්ගත වූ ගීත ප්‍රචලිත වූ යුගයක, එවක සමාජයේ සාකච්ඡා වූ තත්කාලීන දේශපාලන සංසිද්ධි ඒ අයුරින්ම හෝ නිර්දය ලෙස උපහාසයට ලක් කොට ශ්‍රාවකයා වෙත සම්ප්‍රේෂණය කිරීමට ග්‍රැමොෆෝන් ගීත රචකයෝ පසුබට නො වූහ. මෙම ලිපියෙන් අද මා ඉදිරිපත් කරන්නේ වර්ෂ 1931-47 කාල වකවානුවෙහි මෙරට පැවැති ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යුගයේ එවකට සිටි “මහජන මන්ත්‍රීන්” නොහොත් දේශපාලනඥයන්ගේ භූමිකාව ග්‍රැමොෆෝන් ගීත රචකයන් දුටු ආකාරය පිළිබඳ නිදසුන් සහිත සංක්ෂේප විස්තරයකි.

ලංකාවේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ විකාශනය ආරම්භ වන්නේ 1833 කෝල්බෘක්‌ කැමරන් ප්‍රතිසංස්‌කරණය හරහායි. ඉන්පසුව 1910 කෘව් මැකලම් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව, 1920 මැනිං ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව, 1924 මැනිං ඩෙවොන්ෂයර් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව, 1931 ඩොනමෝර් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව, 1947 සොල්බරි ව්‍යවස්‌චථාව මෙන්ම 1972 සහ 1978 ප්‍රථම සහ දෙවන ජනරජ ව්‍යවස්‌ථාවන් දැක්‌විය හැකිය. වර්ෂ 1931දී මෙරට හදුන්වා දෙන “ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය” එතෙක්‌ ලංකාවට හඳුන්වාදී තිබූ ආණ්‌ඩු ක්‍රමයන් අතරින් වඩාත් සුවිශේෂී මෙන්ම දේශපාලනික සහ සමාජීය අතින් ඉතා වැදගත් ආණ්‌ඩු ක්‍රමයක්‌ ලෙස පෙන්වාදිය හැකිය. එයට ප්‍රධාන හේතුවක් ලෙස පෙන්වා දිය හැක්කේ එවකට එක්තරා උගත්-ධනවත් පිරිසකට පමණක් සීමා වූ ඡන්දය අයිතිය වෙනස් කොට “සර්වජන ඡන්ද බලය” ඇති කිරීම ය. මෙහිදී පුරුෂයන් ට මෙන් ම කාන්තාවන් ට ද ඡන්දය ප්‍රකාශ කළ හැකි විය. නමුත් එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවෙහි කාන්තාවන්ට ඡන්ද බලය ලබා දීම පිළිබඳව දැඩි විවේචන එල්ල විය. මෙම සංසිද්ධිය එවකට ග්‍රැමොෆෝන් ගීත රචකයා දුටුවේ ද අසුබවාදී හෝ අනුචිත කාරණයක් ලෙස ය. මේ පිළිබඳව ගීත ඉතිහාසය සොයා බලන විට වර්ෂ 1931 දී පමණ තැටිගත කෙරුණු එංගලන්තයේ නිෂ්පාදිත COLUMBIA ලේබලයේ අංක 19561 යටතේ තැටිගත කළ “අම්මපා මේ වගේ ගෑනු” සහ “වංසේ වැටුණේ” යන දෙබස් සහිත ගීත ද්විත්වයෙන් පෙන්වා තිබුණේ ද එවකට පුරුෂ මූලික සමාජයේ කාන්තාවන්ට ඡන්ද බලය ලබා දීමෙන් ඇති විය හැකි ප්‍රතිවිපාක පිළිබඳව ය. මෙම ගීත ද්විත්වයම ගායනා කළේ ජෝසප්.ඊ. ද සිල්වා සහ ඩබ්ලිව්. එස්. ඒ සොයිසා යන මහත්මාවරු දෙදෙනෙක් විසිනි. එවකට ඇතැම් ස්ත්‍රී භූමිකා නළුවන් විසින් නිරූපණය කළ බැවින් මෙහි කාන්තා භූමිකාවට අයත් කොටස් ගායනා කළේ ඩබ්ලිව්. එස්. ඒ සොයිසා මහතා විසිනි.

ඩොනමෝර් ආණ්ඩුක්‍රමය ක්‍රියාවට නැංවුණේ විධායක කාරක සභා ක්‍රමය මූලික කර ගෙනය. එනම් විධායක කාරක සභා හතක් මූලික කොට ඒවායේ සභාපතිවරුන් හත් දෙනා සහ රාජ්‍ය නිලධාරීන් තිදෙනාගෙන් අමාත්‍ය මණ්ඩලය සමන්විත විය. “විධායක කාරක සභා ක්‍රමය” හඳුන්වා දුන්නේ රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළ සෑම මහජන නියෝජිතයෙකුටම ආණ්ඩුවේ විධායක හා ව්‍යවස්ථාදායක කටයුතුවලට එක හා සමානව සහභාගි වීමට ඉඩ ප්‍රස්ථාව සලසා දීමටය. කෙසේ වෙතත් ප්‍රායෝගිකව මෙය ක්‍රියාත්මක කිරීමේදී විවධ දේශපාලනික ගැටලු ඉස්මතු විය. ඉන් ප්‍රධානතම ගැටලුව වූයේ ආණ්ඩුවේ ප්‍රගමනය සඳහා විධායක කාර්යයන් කිරීමට සහභාගී වූ අයගේ පොදු එකඟතාවයකින් පත් වූ නායකයකු නොසිටීම ය. මේ හේතුවෙන් අමාත්‍යවරුන් තම තමන්ගේ ක්ෂේත්‍රවල තම තමන් ම “ලොක්කන්” වූ අතර ඔවුන් ගේ අත්තනෝමතික ක්‍රියා කලාපයන් නිසා ඔවුනොවුන් එකිනෙකා පරදමින්, බෙලි කපා ගනිමින්, ප්‍රසිද්ධියේ එකිනෙකා නිර්දය ලෙස උපහාසයට ලක් කරමින් කටයුතු කිරීමක් දක්නට ලැබුණි. මේ නිසා අමාත්‍යවරුන් අතර තරඟකාරීත්වයක් ඇති වුණු අතර, එමගින් උක්ත සඳහන් කළ විධායක කාරක සභා තුළ පැවැති සම්බන්ධීකරණය හීන වීමට මෙම කරුණු ඍජුවම බලපෑවේ ය. මෙම “දේශපාලනික අර්බුදය” ග්‍රැමොෆෝන් ගීත රචකයා දුටුවේ සමාජය සහ ඓන්ද්‍රීය බැඳීමක් තුබූ බැවිනි. මෙකී දේශපාලන අස්ථාවර භාවය සහ දේශපාලනඥයන්ගේ (“ලොක්කන්ගේ”) භේද- භින්න භාවය දුටු ග්‍රැමොෆෝන් ගීත රචකයා කම්පා වූයේ මේ අයුරිනි.

ජන නායක සිංහල භේදේ නිසා - වෙන හානිය කාටත් නෑ වැටහී

සකි දේසේ විනාසේ වේ මෙ නිසා - යයි ජාතිය ඉන් පිරිහී පිරිහී

 

සතුරන් සේ වෛරීව කා ගන්නා

එක්සත් කම සී සීකඩ යන්නා

නුවණේ මදිකම ඉන් වටහෙන්නා

 

ජන නායක සිංහල භේදේ නිසා.......

 

විදෙසේ සුන්දර වී ඉන්නා

අපේ ලොක්කො භේද වී පොර කන්නා

දුගියාට පිහිට කාගෙන් වෙන්නා

නුවණේ මදිකම ඉන් වටහෙන්නා

 

ජන නායක සිංහල භේදේ නිසා.......

වර්ෂ 1939 ට්ඡ් 15123 අංකය යටතේ COLUMBIA ලේබලය වෙනුවෙන් තැටිගත කළ ඉහත දක්වන ලද ගීතය ගායනා කළේ එවකට COLUMBIA සමාගමේ ජනප්‍රියම තරුණ ගායිකාවක වූ “සිසිලියානා ඩයස්” මහත්මී විසිනි. ගීතය රචනා කළේ එවකට ජනප්‍රියම ගීත රචකයා වූ යූ .ඩී පෙරේරා මහත්මා විසිනි. ගීතය සංගීතවත් කළේ මොහොමඩ් ගවුස් මාස්ටර් විසිනි. එවකට මන්ත්‍රීන් අතර පැවැති අසමගිය සහ එකිනෙකා පරයා නැගීමට ගන්න උත්සාහය සහ පොදු එකඟතාවයක් නොමැති වීම නිසා සමාජයට වියහැකි අගතිය ගීත රචකයා ජනතාවට පෙන්වා දෙන්නට උත්සාහ කළේ ඒ අයුරිනි.

පුවත්පත් නොබලන සමාජයේ එක්තරා ජන කොටසකට ශ්‍රව්‍ය මාධ්‍ය මෙවලමක් ලෙස භාවිත කළ ග්‍රැමොෆෝනය හරහා කිසියම් “සමාජ පණිවිඩයක්” මෙම ශබ්දවාහිනී තැටි හරහා ජනතාවට ලබා දීමට ගීත තැටි සමාගම් මෙන්ම ගීත රචකයෝද “සමාජ යුතුකමක්” සේ සලකා උත්සුක වූ බවක් මෙයින් පෙනෙන්නට තිබේ. එසේම, මෙම ග්‍රැමොෆෝන් ගීත තැටි සමාගම් හි ජනාකර්ෂණය ඉතා ඉහළ මට්ටමින් දිනාගත් “ගීත තාරකාවන්” ගේ හඬින් තැටිගත කිරීමෙන් ශ්‍රාවකයා මෙම ගීත තැටි වඩාත් උනන්දුවෙන් මිල දී ගෙන, ඒවා ශ්‍රවණය කර, මෙම සමාජයීය - දේශපාලනික ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කිරීමත්, ඒවා සාකච්ඡාවට භාජනය කොට, නිවැරදි තීරණ ගැනීමට පෙලඹවීමත් එක්තරා අයුරකින් මෙවැනි ගීත නිෂ්පන්න කිරීමට හේතු වූවා යැයි සිතිය හැකි ය.

එසේම ඇතැම් අවස්ථා වලදී සාහිත්‍යමය අතින් එතරම් පොහොසත් නොවූ, තරමක් අවියත්, ග්‍රාම්‍ය හෝ සරල භාෂාවක් යොදාගනිමින් සාමාන්‍ය ජනයාට තේරුම් ගත විය හැකි වන පරිදි එවකට දේශපාලනික ව්‍යුහය සහ දේශපාලඥයන්ගේ භූමිකාවන් නිර්දය ලෙස විවේචනය කළ ගීත ද ග්‍රැමොෆෝන් ගීත ඉතිහාසය තුළ හමු වේ. ජනතාවට මෙහිදී ගීත රචකයා විසින් අවධාරණය කරන්නේ ඔවුන්ගේ නුවණ මෙහෙයවා, ස්වකීය ඡන්දය නිවැරදි ලෙස භාවිත කොට නායකයන් පත් කරගත යුතු බව ය. මෙරටට නිදහස ලැබීමටත් ප්‍රථමව බිහි වුණු මෙම උපදේශාත්මක ගීත එක්තරා අතකින් අදටත් වලංගු බව මෙයින් පසක් වේ. එවැනි ගීතයක් සඳහා නිදසුනක් පහත දැක්වේ. වර්ෂ 1938 දී COLUMBIA සමාගම විසින් ට්ඡ් 15004 අංකයෙන් නිකුත් කරන ලද “මහජන මන්ත්‍රී” නම් නම් ගීතය එවැන්නකි. මෙම ගීතය ගායනා කළේ එවකට ජනප්‍රියම ශාස්ත්‍රීය ගීත කෝකිලාව ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි “රෙජිනා පෙරේරා” මහත්මී විසිනි. මෙම ගීත යේ රචකයා පිළිබඳ සඳහනක් නොමැත. ගීතය සංගීතවත් කළේ මොහොමඩ් ගවුස් මාස්ටර් විසිනි.

 

ලංකාවේ මහජන මන්ත්‍රී කෙරේ //

විස්වාසේ අහෝ අඩු වේ

ලංකාවේ මහජන මන්ත්‍රී කෙරේ //

 

අනර්ථ කාරිය තෙක් තෑගී ගෙනත් මේ කාලෙහි

ණය වී සිටිති දනෝ කන්ට දීලා මේ දීපෙහි

මුන් කොල්ල කාල නහී අපටා ඉන්ට නෑ දීපෙහි

වියත්තු හීන කමේ තරම දනිති මේ කාලෙහි

 

ආ....ඥානෙන් තෝරා ගැන්ම සෑහේ //

විස්වාසේ අහෝ අඩු වේ

ලංකාවේ මහජන මන්ත්‍රී කෙරේ //

 

අයුක්තියෙන් පිරිලා යුක්ති කිසිත් නැහැ කාටත්

දොඩලා වෙහෙස වෙතී කාසි වලට ආසාවෙන්

ජාතික ඇල්ම අපේ ලොක්කන් ගේ යයි තේරී

නහින්ට හුස්ම අදී දේස වාසි මේ කාලේ

 

ආ....ඥානෙන් තෝරා ගැන්ම සෑහේ //

විස්වාසේ අහෝ අඩු වේ

ලංකාවේ මහජන මන්ත්‍රී කෙරේ //

 

මෙම ගීතයෙන් ගීත රචකයා තරමක කම්පා වූ ස්වභාවයකින් ශ්‍රාවකයා (පොදු ජනයා) වෙත පවසන්නේ එවකට මහජන මන්ත්‍රණ සභාවේ එවකට තිබු පිරිහීම ය. ඩොනමෝර් ආණ්ඩුක්‍රමය තුළ දැකිය හැකි වූ ඒකීය නායකත්වයක පාලනය යටතට විධායක බලය හසුරුවන පුද්ගලයින් හසු නොවීම නිසා හටගත් දේශපාලනික අර්බුදය සමාජයට අනර්ථකාරී අයුරින් බලපෑ අන්දමත්, මෙයින් පීඩා විඳීන්නේ සාමාන්‍ය ජනතාව බව “නහින්ට හුස්ම අදී දේස වාසි මේ කාලේ” යන යෙදුමෙන් පැහැදිළි වෙයි. එසේම සර්වජන ඡන්ද බලය හිමි ජනයා සිහිබුද්ධියෙන් නායකයන් තෝරා පත්කරගත් යුතු බව ගීත රචකයා පුන පුනා කියයි.

එවකට ජනකාන්ත ටවර්හෝල් නිළියක වූ “වයලට් වීරකෝන්” මහත්මිගේ හඬින් ද COLUMBIA තැටි සමාගම විසින් තවත් මෙවැනි ම ගීතයක් 1938 වසරේ ම නිකුත් කළේ ය. ගීත තැටි ට්ඡ් 15005 අංකය යටතේ “පක්ෂ භජනයෙන්” යනුවෙන් නම් කෙරුණු මේ ගීතය එවකට දේශපාලනය පිටිය “එකිනෙකා විනාශයට පත්වන පොර පිටියක්” බව පෙන්වා දෙන තවත් නිදසුනකි. මන්ත්‍රී සභාවේ තරඟය වෙනුවෙන් ස්වකීය ඉඩ-කඩම් සහ නිවහන පවා උකසට තබා ඉදිරිපත් වූ දේශපාලඥයින් පිළිබඳව මෙම ගීතයේ දක්වා ඇත්තේ මදක් උපහාසාත්මක ස්වරූපයකිනි. “අයියා” යන උපහාසාත්මක වචනය මෙම ගීතයේ භාවිත කර ඇත්තේ “නුවණින් හීන වූ දේශපාලඥයා” ආමන්ත්‍රණය කිරීමට ය.

මෙම ගීතය එවකට ඩ්ර්ඍ තැටි සමාගම වෙනුවෙන් ලක්ෂ්මි බායි විසින් ගැයූ සුප්‍රසිද්ධ “පිට දීප දේශ ජයගත්තා” ගීතයේ තනුවටම නිර්මාණය කරන ලද්දකි. මෙම ගීතයේ ද ගීත රචකයා පිළිබඳ සඳහනක් නොමැත. සංගීතය මොහොමඩ් ගවුස් මාස්ටර් විසිනි. එවකට ජනප්‍රිය වූ “චින්තාමණි” (1937) දමිළ චිත්‍රපටයේ “දිව්‍ය දර්ශනම්” ගීතයේ තනුවම භාවිත කරමින් මේ ගීතය රචනා කිරීම ද, ගීත තනුවේ ඇති ප්‍රසිද්ධිය නිසාවෙන්ම ශ්‍රාවකයා ගීතය ඇසීමට පෙලඹවීම මගින් ස්වකීය දේශපාලනික පණිවිඩය ලබා දීමට ගීත තැටි සමාගම් විසින් ගන්නා ලද උපක්‍රමයක් ලෙස ද කල්පනා කළ හැකි ය.

 

පක්‍ෂ භජනයෙන් පැටලී මේ කාලේ

උන් උන් නාස්ති වේ

පක්‍ෂ භජනයෙන් පැටලී මේ කාලේ

 

නොදනිති කෙම් බිම වේවි විනාසේ

වාද භේදයෙන් දීපේ //

 

පක්‍ෂ භජනයෙන් පැටලී මේ කාලේ

උන් උන් නාස්ති වේ

පක්‍ෂ භජනයෙන් පැටලී මේ කාලේ

 

විපත්ති කාලෙට එළියට ගන්ටා කාසි

කොහේ නැති අයියා //

මන්ත්‍රී සභාවේ තරඟෙට ඇවිදින් විමනේ

උකසෙ තියන්නා //

 

පක්‍ෂ භජනයෙන් පැටලී මේ කාලේ

උන් උන් නාස්ති වේ

පක්‍ෂ භජනයෙන් පැටලී මේ කාලේ

 

කෑම- බීම නැති සිංහල දරුවන්

ලක්ෂ ගණන් ළත වෙන්නා //

මුහුදුබඩෙහි ප්‍රවේණි හිමිකම්

අගේ නොතේරී විකුණා //

 

දීපේ බොල් මුතු සේ සලකන්නා

දැනමුතුකම් දෙන අයියා

විදේශ මිතුරන් වැඩි කරගන්නා

නුවණින් හීන වූ අයියා

 

පක්‍ෂ භජනයෙන් පැටලී මේ කාලේ

උන් උන් නාස්ති වේ

පක්‍ෂ භජනයෙන් පැටලී මේ කාලේ

 

මෙකි ජනප්‍රිය ගීත වලට අමතරව COLUMBIA තැටි සමාගම මගින් ග්‍රැමොෆෝන් ගීත නාටක මගින්ද එවකට පැවැති ඡන්ද ක්‍රමය සහ බල ලෝභීත්වය නිසා සිඳුවන අනිටු විපාක ශ්‍රාවකයා වෙත ඉදිරිපත් කළේ ය. එවකට සුප්‍රකට නාට්‍ය රචකයෙක් වූ ජේ. පී රාජපක්ෂ හෙවත් “ජයසිරි පියදාස රාජපක්ෂ” නම් නාට්‍ය රචකයා විසින් ට්ඡ් 15044-15046 අංක වලින් යුත් ශබ්දවාහිනී තැටි තුනකින් (එනම් කොටස් 6 කින්) යුත් “ඡන්ද බලය” නම් ග්‍රැමොෆෝන් ගීත නාටකයක් රචනා කළේ ය. එහි සිසිලියානා ඩයස්, වයලට් වීරකෝන්, ජේ. පී.රාජපක්ෂ ආදී පිරිස චරිත නිරූපණය කළහ. එවකට ජනප්‍රිය සමාජ නාටක වූ “බිහිසුණු ලංකාව”, “ඉලැක්ෂන් ඝෝෂාව”, “ලංකා භූමිය” ආදී දේශපාලනික විවරණයන් ඉදිරිපත් කෙරුණු නාටක ද, රචනා කරන ලද්දේ ජේ. පී.රාජපක්ෂ මහතා විසිනි.

1938-40 වකවානුවේ ප්‍රසිද්ධියට පත්ව සිටි ප්‍රධාන ගීත තැටි සමාගම් දෙක වූ HMV  සහ COLUMBIA සමාගම් දෙකෙන් නිකුත් වූ ගීත ප්‍රමාණය සැලකිල්ලට ගත් විට, HMV  සමාගමට සාපේක්ෂව COLUMBIA සමාගමෙන් එකල දේශපාලන ව්‍යුහය ඍජුව ම විවේචනය කරමින් රචනා කොට වෙළෙඳපොළට නිකුත් කරන ලද ගීත ප්‍රමාණය සංඛ්‍යාත්මකව ඉහළ ය. එකී රචනා සාහිත්‍යමය අතින් තරමක හීන රචනා වුවද, ජනතාව වෙත සම්ප්‍රේෂණය කිරීමට උත්සාහ කළ පණිවිඩය අතින් ප්‍රබල රචනා ලෙස සැලකිය හැකි ය.

ඩොනමෝර් ආණ්ඩුක්‍රමය පවතින අධිරාජ්‍යවාදී යුගයේ එනම් දශක අටකට ඉහතදී මෙකී ගීත ප්‍රබන්ධ වුව ද , වර්තමානයේ පවා ලාංකීය දේශපාලනික ව්‍යුහය තුළ “පක්ෂ දේශපාලනයේ” දක්නට ලැබෙන පොදු ධර්මතාවයන් සහ එහි ආදීනව අතීත ගීත රචකයන් පෙන්වා දුන්නේ “ගීතයේ” මෙන්ම “දේශපාලනික ව්‍යුහයේ” ද සර්වකාලීන බව පසක් කර දෙමිනි. මෙම ගීත රචනා කළ එකී සුප්‍රකට සහ අප්‍රකට ගීත රචකයන් ට ද, ගායක ගායිකාවන්ට ද මෙම ලිපිය උපහාරයක් ම වේවා !

 

මූලාශ්‍ර : කොළොම්බියා ගීත කැටලොග් පොත (1939)- ඇන්. පොරෝලිස් ප්‍රන්නන්දු සහ සමාගම ; “සම්මුතියේ විසම්මුතිය”- එම.ඕ .ඒ ද සොයිසා - දිනමිණ (06/02/2017); ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම විකාශනය : 1 කොටස - (1997)- කේ.වී. පෙරේරා; ග්‍රැමොෆෝන් ගී යුගය (1986) - මහාචාර්ය සුනිල් ආරියරත්න

 

විශේෂ ස්තූතිය : ගීත තැටි සංරක්ෂක අයි. ජි. බන්ධුල සහ ටී.එන් විජේසිංහ මහත්මාවරු