සින්දු කිරිල්ලියන්ගේ ඊනියා තරු සිහින

අගෝස්තු 27, 2020

“ගජමන් පුවත” නාට්‍යය අරභයා විවරණය කරද්දී එහි රෝහණ බැද්දගේ සූරීන් ජන නාදමාලා පාදක කොට නිර්මාණය කළ සුමධුර සංගීතය, නර්තන වින්‍යාසය අමතක කළ නොහැකිය. මුළු ජීවිතයමැ කවියක් බවට පත් වූ ගජමන් නෝනා පාදක වූ නාට්‍යය ද අනිවාර්යයෙන්ම කාව්‍යාත්මක සංගීතාත්මක හා රසාත්මක විය යුතුමය. රෝහණ බැද්දගේ සූරින්ගේ සංගීතාත්මක චින්තනය දයානන්ද ගුණවර්ධන සූරීන්ගේ කාව්‍යාත්මක චින්තනය හා මෙහිදී මැනවින් බද්ධ විය. මෙරට බිහි වූ ප්‍රශස්ත ගණයේ කාව්‍යාත්මක නාට්‍ය අතර ද “ගජමන් පුවත” ප්‍රමුඛ ස්ථානයක වැජඹෙනුයේ එහෙයිනි. ඇළපාත මුදලිගේ (නිශ්ශංක දිද්්දෙණිය රඟපෑ) ප්‍රේමය ගජමන් නෝනා ප්‍රතික්ෂේප කරද්දී ඔහුගේ විප්‍රලම්භ ශෘංගාරය සහෘදයාට දනවන මේ ගීය ඊට එක් නිදර්ශනයකි.

තුට කළ ලෙවන් ගුණ නැණ

රුවිනි නෙක ලෙද

ඉට කළ අරුත් පුවතර

මා නෝන සඳ

රට තුළ සිරින් අවුරුදු මඟුල් විය සොඳ

මට තුළ සතොස් නැත

නුඹ නාවොතින් අද . .

 

උස්සා කර බැලුවේ දුටු දා සිත නෙතට

උත්සා කරන වගතුත් නැහැ පෙනෙන්නට

මැස්සා ඉගිළුණා වැනි ගිය ගේ තුළට

ඇස්වහ වදිනවද දුටුවම මුහුණ මට

 

වතාවත් සදෙව් නෙත් දෙක නිලුපුල්ලා

ඇතායුර ගමන යයි වටපිට බලලා

ඉතා රතු ලියක් කහවත්තෙදි දැකලා

කතා නොකර ආවෙමි සරණය පතලා

 

පුන් සඳදෝ මිදුලේ කරකැවෙන්නේ

රන් බඳදෝ ගෙයි ඇඳ පිට නිදන්නේ

රන් කොළදෝ ඔය ළමයා ගොතන්නේ

පින් මදිදෝ මා ළංකර නොගන්නේ

මෙකල කොතෙකුත් ජනමාධ්‍ය ඔස්්සේ දක්නට ලැබෙන ඊනියා යථා දර්ශන (REALITY)  වැඩසටහන්වලට සහභාගි වී ‘ඊනියා තරු’ බවට පත්වීමට වෙර දරන්නෝ සිටිත්. බොහෝවිට මෙහිලා බහුලවමැ පෙලඹෙනුයේ තාරුණ්‍යය බැව් පෙනේ. එහෙත් අද්‍යතනයෙහි එහි පවත්නා විවිධ ස්වරූප අනුව ඊට බාල, තරුණ, මහලු වයස් තරාතිරමක් ද නොමැත. මා ඔවුන් “ඊනියා තරු” ලෙස මෙහි හැඳින්වූයේ කිසිසේත්ම ගර්හා කිරීමට නොවේ. අන්‍ය ශිල්පීන්ගේ ගී ගායනා කොට කිසිවකුට වචනයේ පරිසමාප්ත අරුතෙහිම “සැබෑ තරුව“ක් විය නොහැකි බව මා තරයේ විශ්වාස කරන සත්‍යයක් වන බැවිනි. ඒ නිසාම මේ ආධුනිකයන්ගේ ප්‍රතිභාව තාවකාලික ආලෝලනයකින් පසුව අපතේ යන බව මම ප්‍රත්‍යක්ෂ කොට ගෙන සිටිමි. මේ යථාර්ථය පිළිබිඹු කළ නාට්‍යයක් මට සිහිපත් වේ. එහි නිර්මාණකරුවා බුද්ධික දමයන්තය. ස්වර්ණමය යුගය පසු කළ පෙර පරපුරේ නාට්‍යවේදීන්ට නාට්‍ය කලාවෙහි නියැළීමට පැවැති දුෂ්කරතා ඊටත් වඩා සංකීර්ණ මුහුණුවරකින් 90 දශකය වන විට දක්නට ලැබිණ. එහෙයින් එකල නාට්‍ය කලාවට ප්‍රවිෂ්ට වූ තරුණ පරපුරට අඛණ්ඩව එහි නියැළීමට අපහසුතා බොහෝ විය. මේ නිසා බොහෝ දෙනා වේදිකාව අතහැර ටෙලි නාට්‍ය, චිත්‍රපට ආදී වෙනත් මාධ්‍ය කරා පා නැඟුහ. එහෙත් කෙබඳු දුෂ්කරතා අභියෝග මධ්‍යයෙහි වුවත් අඛණ්ඩවමැ ක්ෂේත්‍රයෙහි නියැළෙමින් පසුගිය දශකත්‍රය පුරා අනේකවිධ නාට්‍ය නිර්මාණය කරමින්, වෙනත් මාධ්‍යයකට පිවිසීමෙන් වැළකී සිටි කෘතහස්ත නාට්‍යවේදීන් දෙපළක් මා සිහියට නැඟේ. ඒ බුද්ධික දමයන්ත හා රාජිත දිසානායකය. තත්කාලීන සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික ගැටලු ඔවුහු ස්වතන්ත්‍ර, පරිවර්තන හෝ අනුවර්තන නාට්‍ය ඔස්සේ සුසංවාදයට හසු කළහ. මෙහිදී රාජිත දිසානායක ස්වතන්ත්‍ර නාට්‍ය වෙත වඩා නැඹුරුවෙද්දී බුද්ධික බහුලවමැ නිර්මාණය කළේ විදෙස් පරිවර්තන හෝ අනුවර්තන ඇසුරු කොට ගත් නාට්‍ය බැව් පෙනේ. මෙරට සමාජ ගැටලු සංවාදයට හසුකර ගැනීමේදී ඔහු වරක් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් කී ලෙසින් සෞන්දර්යාත්මක පරතරය (AESTHETIC DISTANCE) තබා ගනු පිණිස ඊට උචිත විදෙස් නාට්‍ය කෘති සොයා ගොස් ඒවා පරිවර්තනය හෝ අනුවර්තනය කළේය.

ඊනියා යථාදර්ශන (REALITY)  වැඩසටහන් පසුපස මෙකල දිව යන තාරුණ්‍ය අරභයා කියවෙන ප්‍රස්තුතයක් බුද්ධික විදෙස් නාට්‍යයකින් සොයා ගත්තේය. ඔහුගේ “සින්දු කිරිල්ලි“ නාට්‍යය (2012) මෙහි ඵලයකි. අතොල් ෆුගාඩ් නමැති සුප්‍රකට දකුණු අප්‍රිකානු නාට්‍යවේදියාගේ “VALLEY SONG”  (1996) නාට්‍යය මෙහිලා ඔහු පාදක කොට ගත්තේය. ඊනියා යථාදර්ශන  (REALITY) පසුපස උන්මාදයෙන් දිව යන තරුණියකගේ මානසික තතු මින් විවරණය කෙරේ. වෙරෝනිකා ඈත පිටිසර ගම්මානයක තම සීයා සමඟ (චන්ද්‍රසෝම බිංදුහේවා) වාසය කරන්නියකි. ඇය ගායිකාවක ලෙස ජනප්‍රියවීමේ සිහිනය සැබෑ කරගනු පිණිස නගරය කරා සේන්දු වන්නීය. “සින්දු කිරිල්ලී” නාට්‍යය ඉන් නිමාවට පත් වේ. තෙරුනි පීරිස් නමැති යොවුන් රංග ශිල්පිනිය මෙහි වෙරෝනිකාගේ භූමිකාව මැනවින් රැඟුවාය. අතොල් ෆුගාඩ්“VALLEY SONG”  නාට්‍යයෙහිම දිගුවක් ලෙස “Coming Home”  (2009) නිර්මාණය කළේය. බුද්ධික දමයන්ත මේ නාට්‍යය ද “වෙරෝනිකා ආපසු එයි” (2019) නමින් සිංහල වේදිකාවට ගෙනාවේය. ජනප්‍රිය තාරකාවක වීමේ ආශාවෙන් මඩනා ලදුව නගරයට සේන්දු වූ වෙරෝනිකා වසර 15 කට පසුව නැවත උපන් ගම්මානයට පැමිණීම මේ නාට්‍යයෙහි දක්නට ලැබේ. එවිට ඇයට සිටි එකම ඥාතිවරයා වූ සීයා මිය ගොසින්ය. ඇය නගරයේ ගත කළ කාලයේ කෙබඳු දිවියක් ගත කළේදැයි අමුතුවෙන් කිව යුතු නැත. මක්නිසාද යත් වෙරෝනිකා ආපසු ගමට පැමිණියේ සැමියකු නොමැති තම දරුවා වඩාගෙනය. තරුණියන්ට ගායන වරම් හා නිළි වරම් ලබා දීමේ ව්‍යාජයෙන් ලිංගික සූරාකෑමට ස්ත්‍රීන් හසු කොට ගැනීමට මාන බලන්මෝ කවර කලෙකත් හිඟ නොවූහ. මෙබඳු සලෙලුන්ට හසුවන ස්ත්‍රීන්ට අවසන සිදු වනුයේ පියකු නොමැති දරුවකු සමඟ අතරමං වීමටය. “වෙරෝනිකා ආපසු එයි” නාට්‍යය ඔස්සේ සහෘදයාට ඉඟි කෙරෙනුයේ මේ යථාර්ථය නොවේද? ජයනාත් බණ්ඩාරගේ කුසලතාපූර්ණ රඟපෑම් ද මෙහිදී වෙසෙසින් සඳහන් කළ යුතුය.

ඇලෙක්සි අර්බුසොව් නමැති සුප්‍රකට රුසියානු නාට්‍යවේදියා නිර්මාණය කළ “OLD WORLD”  (1976) නමැති නාට්‍යය ප්‍රවීණ සාහිත්‍යවේදී ආරියවංශ රණවීර සිංහලයට නැඟුවේය. එය “පරණ අයගේ කතාවක්” මැයෙන් (2004) බුද්ධික දමයන්ත නිර්මාණය කළේය.

පවුල් ජීවිතයේ ගැටලු රාශියකට මුහුණ පෑ වියපත් වෛද්‍යවරයකුට තමා මෙන්ම විවාහ සංස්ථාවේ අර්බුදවලින් හෙම්බත් වී පීඩිතව සිටින තලතුනා ගැහැනියක ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙද්දී හමුවේ. එතැන් සිට මේ වියපත් යුවළ අතර ගොඩනැඟෙන ප්‍රේමය මීට වස්තු විෂය විය. දයාදේව එදිරිසිංහ හා මල්කාන්ති ජයසිංහ මේ චරිත රඟපෑහ. මෙය චරිත යුගලක් කේන්ද්‍ර කොට ගත් නාට්‍යයකි.

අතොල් ෆුගාඩ්ගේ නාට්‍යවලට බුද්ධික දමයන්ත බෙහෙවින් ප්‍රිය කළ බැව් පෙනේ. ෆුගාඩ්ගේ “BOESMAN AND LENA”  (1969) නාට්‍යය ප්‍රවීණ නාට්‍යවේදී එස්. කරුණාරත්න සිංහල බසට නැඟූ අතර බුද්ධික එය “උතුරු කොනට පටු පාරක්” (2017) මැයෙන් නිර්මාණය කළේය. යුද්ධයෙන් පීඩිතව දිවි ගලවා ගෙන පලා යන යුවළකගේ ආධ්‍යාත්මය (මහේන්ද්‍ර වීරරත්න හා මාධිනි මල්වත්තගේ) මින් විවරණය කෙරිණ.

සම්මානනීය නාට්‍යවේදියකු වූ මයික් වෑන් ග්‍රාන්ගේ “GREEN MAN FLASHING” (2010) නාට්‍යය පාදක කොට ගෙන බුද්ධික “හෙටක් නැති රටක්” (2015) නාට්‍යය තැනුවේය. මේ වූ කලී අප්‍රිකානු සුදු කළු භේදයෙහි වෙනත් මානයක් ඉස්මතු කළ නාට්‍යයකි. සුදු ජාතිකයන්ගෙන් කළු ජාතිකයන් පීඩාවට, සූරාකෑමට ලක්වීම මේ ගණයේ බොහෝ නිර්මාණවලින් අප බහුලව දුටු ප්‍රස්තුත වේ. එහෙත් මේ නාට්‍යයේ දිස් වූයේ කළු ජාතික දේශපාලනඥයෙක් (රජිත හේවාතන්ත්‍රි රඟපෑ) සුදු ජාතික කාන්තාවක් ලිංගික සූරාකෑමට ලක් කෙරෙන ආකාරය වේ. මින් පීඩාවට ලක් වන ගැහැනියගේ භූමිකාව ජයනි සේනානායක මැනවින් රඟපෑවාය.

 

ඉතිරි කොටස ලබන සතියේ