චැබ්රෝල්ගේ තරුණයා හා ලංකාවේ තරුණයා

පෙබරවාරි 25, 2021

 

 

සුප්‍රකට ප්‍රංශ නවරැල්ලේ සමාරම්භකයකු වන ක්ලෝඩ් චැබ්රෝල් සිය දෙවැනි වෘත්තාන්ත සිනමාපටය වන ඹ්ඡ්ඉ ඛ්ර්‍ණඋඉධ්ව්ඉ (1959) නිර්මාණය කරන්නේ නාගරික තාරුණ්‍යය පිළිබඳ නවමු කල්පනා පුබුදු කරලන මඟ පෙන්වීමක් සේ ය. ඹ්ඡ්ඉ ඛ්ර්‍ණඋඉධ්ව්ඉ ප්‍රංශ නව රැල්ලේ සමාරම්භක සිනමාපටයක් ලෙසින් ද සැලකේ. කොහොමත් ප්‍රංශ නව රැල්ල විෂයෙහි තාරුණ්‍ය නිරූපණයට ලැබුණු අවකාශය ඉමහත් ය. ජින් ලුක් ගොඩාඩ්ගේ ඕඅඡ්ඒඊඩ්ඹ්ඡ්ඉඉ විශිෂ්ටතම උදාහරණයකි. ප්‍රන්ශුවා ටෲෆෝගේ ඊඩ්ඡ් 400 ඕඹ්ර්‍ණඑඉ පවා ගැටවර වියේ ජීවන අභිලාෂය පිළිබඳ තියුණු විමසුමක නිමග්න වූ සිනමාපටයක් වේ.

 

හන්තානේ කතාව

වර්ෂ 1959 දී පමණ ආරම්භ වී වර්ෂ 1963 දී පමණ නිමාව දුටු ප්‍රංශ නවරැල්ල, ලෝක සිනමාවේ හැඩ, රුව හා ගුණ විප්ලවීය වෙනසකට බඳුන් කළ නිශ්චිත ප්‍රවණතාවක් සේ දත හැකි ය. ඇත්ත වශයෙන්ම ලෝකයේ බොහෝ සිනමා කලාප ප්‍රංශ නවරැල්ලෙන් ආභාසය ලැබූ වග සත්‍යයකි. එය අනුකරණයට පෙළඹුණු බවත් සත්‍යයකි. ඉන් උද්ධරණය කළ නව ප්‍රකාශන විලාසයත්, මතවාදී පෙරට ඒමත් පාදක කොට ගනිමින් අභිනව සිනමා සම්ප්‍රදායක් ගොඩ නැංවූ අවස්ථා ද තිබේ. ලාංකේය සිනමාව ද මෙතැනදී සපයන උදාහරණ කිහිපයකි. වැදගත් ම දේ මේ උදාහරණ විචාර පාර්ශ්වයේත්, සබුද්ධික ප්‍රේක්ෂක පාර්ශ්වයේත් අවධානයට නිරන්තරයෙන් ම පාත්‍ර වීම ය.

චැබ්රෝල් ඹ්ඡ්ඉ ඛ්ර්‍ණඋඉධ්ව්ඉ ආරම්භ කරන්නේ දුර බැහැරක වෙසෙන පෝල් නමැති කුලෑටි තරුණයා නීති විෂය හදාරනු පිණිස පැරීසියට කැඳවීමෙනි. ඔහු නවාතැන් ගන්නේ ඥාති සොයුරු චාර්ල්ස්ගේ නවාතැනේ ය. මේ පැරිස් නාගරික තාරුණ්‍යයේ ප්‍රමෝදය කුළු ගන්වන කෙම්බිමකි. මෙහි නිතරම ප්‍රියසාද ය. චාර්ල්ස්ගේ මිතුරු සමාගමය විවෘත අදහස් දරන නිදහස්කාමී ජීවන රටාවකට මනාප වූවන්ගෙන් සමන්විත වේ. බීමතින් ප්‍රීති වී වරෙක කලි කලහයන්ට ද මැදිව උනුන් හා රමණයට ලක ලැහැස්ති වන මොවුන් ජීවිතය සම්බන්ධයෙන් කියා දෙන්නේ වරෙක පොදු ප්‍රේක්ෂකයා නො පිළිගන්නා හෝ නුරුස්සන පාඩමකි. එනම් මෙසේ කවර අත්දැකීම් ලැබූව ද, පරමාදර්ශී ජීවන අපේක්ෂා දුර්වර්ණ කර ගත යුතු නැති ය යන්න ය.

දහසක් සිතුවිලි
 

ෆ්ලොරන්ස් නම් නිදහස්කාමී සුරුපිණියට වසඟ වන පෝල් විභාගය අසමත් වෙයි. පෝල් අබියස ම ෆ්ලොරන්ස් හා වෙසෙන චාර්ල්ස් විභාගය සමත් වෙයි. චාර්ල්ස්, ෆ්ලොරන්ස් හා වෙසෙන්නේ හුදෙක් ඈ කෙරෙහි උපන් ආදරයක් නිසා ම නොවේ. ඥාති සොයුරු පෝල් ගේ පළමු ජීවන අභිලාෂය සාක්ෂාත් කරනු පිණිස ය. නිතර මවට ලිපි යොමු කරන පෝල් මවගේ හෝ පවුලේ දරුවකු විනා පැරීසියේ නූතන දරුවකු නොවන වග හොඳීන් ම දන්නේ චාර්ල්ස් ය.

ඹ්ඡ්ඉ ඛ්ර්‍ණඋඉධ්ව්ඉ යළි නරඹන කල සිහියට නැඟෙන ලාංකේය සිනමාපට දෙක තුනකි. විශේෂයෙන් ම ඒ පෝල් බඳු තරුණයන්ගේ භූමිකා ප්‍රකාශයට පත් වූ හෙයින් ය. ඉන් කියැවෙන්නේ පෝල් ලාංකිකයකු ද වන බව ම නොවේ. පෝල් වැන්නන් ලාංකේය භුමිය මත ද සැරිසරන වග සත්‍යයක් ය යන්න යි.

 

මේ සිනමාපට කිහිපය අතරින් ජී.ඩී.එල්.පෙරේරාගේ 'දහසක් සිතුවිලි' , රන්ජිත් ලාල්ගේ 'නිම් වළල්ල' හා ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 'අක්කර පහ' කැපී පෙනේ. 'දහසක් සිතුවිලි' හි පෝල්, ලලිත් නමැති අගනුවර රජයේ කාර්යාලයක ප්‍රධාන ලිපිකරු ය. 'නිම් වළල්ල' හි පෝල්, ජිනේ නමැති අගනුවර අවප්‍රසාදිත තරුණ ශිෂ්‍යයයෙකි. 'අක්කර පහ' හි පෝල් ද සේන නමැති පිටිසර ගමක සිට නගරයට ආ තරුණ පාසල් ශිෂ්‍යයෙකි. මේ හැරුණු කොට ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 'ගොළු හදවත' හි සුගත් ද, සුගතපාල සෙනරත් යාපාගේ 'හන්තානේ කතාව' හි අනුර ද චැබ්රෝල්ගේ පෝල්ව සිහිගන්වන සුළු ය.

කෙසේ වතුදු මෙතැනදී ජී.ඩී.එල්.පෙරේරා, රන්ජිත් ලාල්, ලෙස්ටර් ජේම්ස් පීරිස් හෝ සුගතපාල සෙනරත් යාපා ප්‍රංශ නව රැල්ලේ තාරුණ්‍යය අනුකරණයට නොපැමිණි වග අවධාරණය කළ යුතු ය. ඇත්ත වශයෙන් ම සිදුව ඇත්තේ 1960 දශකයේ නාගරික තාරුණ්‍යය විවරණයට ඔවුන් දැක් වූ උනන්දුව හා චැබ්රෝල්ගේ උනන්දුව අතර පරතරයක් එහෙමට ම නො තිබීම ය.

නිම් වළල්ල

එසේම 1960 දශකයේදී ලාංකේය කලාව විෂයෙහි පැන නැඟුණු ශාස්තී‍්‍රය, පර්යේෂණාත්මක හා විවාදාත්මක සංකථන ඔස්සේ ද නාගරික තාරුණ්‍යය දත හැකි වේ. පළමු කොටම ඇතැමුන්ගේ දෝෂ දර්ශනයට අදත් ලක් වන 'පේරාදෙණි සාහිත්‍යය' වෙතිනි. ඉන් නිර්මිත නවකතා හා කෙටිකතා ගණනාවක ම පෝල්, ලලිත්, ජිනේ, සේන හා අනුර බඳු චරිත හමුවිය හැකි ය. අනපේක්ෂිත අත්දැකීම් හේතු කොට ගෙන ජීවීතයෙන් පළා යන්නට හෝ ජීවිතය තදින් බදා වැලඳ ගන්නට සූදානම් වූ මේ තරුණයන් සම්ප්‍රදාය ප්‍රශ්න කරන්නටත්, නව සම්ප්‍රදායන් පිළිබඳ අදහස් ඉදිරිපත් කරන්නටත් නො පැකිළුණු වග පෙනේ. මේ අනුව චැබ්රෝල්ගේ ඹ්ඡ්ඉ ඛ්ර්‍ණඋඉධ්ව්ඉ හි එන වඩාත්ම නූතන තරුණයා වන්නේ චාර්ල්ස් විය යුතු ය.පැරණි සම්ප්‍රදායන් තඹ දොයිතුවකටවත් මායිම් නො කරන චාර්ල්ස් , ජීවිතය දෙස ගතානුගතිකව බැලූ පෝල් පරයා අධ්‍යාපනික අරමුණු කරා ද සපැමිණෙ යි. ඒ අතරතුර සුරාවෙන් ද, නුරාවෙන් ද ඇති පදමට රසවත් වෙමිනි.

ලෙ කසින්ස්

ජී.ඩී.එල්. පෙරේරාගේ ලලිත් ද සිය ආදරය දිනූ යුවතිය අහිමි වීමෙන් බීමට වැටුණු මැදිවියට ආ හිටපු තරුණයෙකි. අවසන ඔහු අගනුවර හැරදා දුර බැහැරකට ද යයි. අර යුවතියගේ පෙම්වතා ජව සම්පන්න කඩවසම් ඉලන්දාරියෙකි.

රන්ජිත් ලාල්ගේ ජිනේ පළමු වටයේදී උසස් පෙළ විභාගය අසමත් වන නාගරික දිළිඳු තරුණයෙකි. දෙවන වර විභාගයට පෙනී සිටීමට ප්‍රථම ඔහු වැඩිහිටි සුරුපිනියකගේත්, සම වයසේ දඟකාරියකගේත් ආදරයට හා අනුරාගයට ගොදුරු වෙයි.අනතුරුව සිදු වනුයේ ඔහුගේ ඉගෙනුම කඩාකප්පල් වීම ය.

ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සේන නගරයේ පාසලක උසස් පෙළ විෂයන් හදාරන්නේ බෝඩින්කාර ජීවිතයක් ගෙවා දමමිනි. එහි වෙසෙන සුන්දර යුවතියක හා ඔහු බැඳේ. යුවතිය සෙල්ලක්කාර ය. ඈ අත ගන්නට එන්නේ සේන වැනි දිළිඳු පුද්ගලයකු නොවේ. ප්‍රේම පීඩාවෙන් ඔද්දල් වන සේන විභාගය ද අත හැර ඉබාගාතේ යයි.

 

ගොළු හදවත

ක්ලෝඩ් චැබ්රෝල් ඹ්ඡ්ඉ ඛ්ර්‍ණඋඉධ්ව්ඉ නිමා කරන්නේ අනපේක්ෂිත මොහොතක චාර්ල්ස් නිසා පෝල්ගේ මරණය සිදුවන බව පෙන්නුම් කරමිනි. මෙය සිදුවන්නේ චාර්ල්ස්ගේ නවාතැනේදී ය. කිසිවකු සීනුව නාද කරයි.පිස්තෝලය අතැතිවම චාර්ල්ස් ද්වාරය කරා යන්නේ පෝල් ගේ නිසල දේහය ගෙබිම මත වැතිර ඇති විට යි.

කෙසේ නමුත් ඹ්ඡ්ඉ ඛ්ර්‍ණඋඉධ්ව්ඉ ප්‍රති විවරණයේදී පසක් කර ගත හැක්කේ චැබ්රෝල් ගතානුගතික තරුණයා ඉවත් කොට නූතනවාදී තරුණයා ජීවත් කරන බව ය. නමුත් නාද වන සීනුව බැහැර කළ නො හැකි අවදානමක් වන්නට ද පුළුවන.

චැබ්රෝල්ගේ චාර්ල්ස්ට වඩා පෝල් ලංකේය කලාපයේදී අධිනිශ්චය වූයේ යැයි ද සිතේ.මන්ද චාර්ල්ස් වැන්නන් පරමාදර්ශී චරිත සේ හඳුන්වා දෙන්නට ලංකේය සිනමාව පමණක් නොව ලංකේය නවකතාව හා කෙටිකතාවද එ සමයේ පැකිළුණු බව හැඟෙන හෙයිනි.නමුත් පශ්චාත් විමර්ශන ඉඟි කරන්නේ ඇතැම් ලාංකේය සිනමාකරුවන් සූක්ෂ්මව හා අප්‍රකාශිතව චාර්ල්ස් බඳු නූතන තරුණයන් පෙරට ගෙන එන්නට අකමැති නොවූ වග යි. 1970 දශකයේදී මෙයට අදාළ උදාහරණ කිහිපයක් ම හඳුනා ගත හැකි ය.

අක්කර පහ

ක්ලෝඩ් චැබ්රෝල් සේම ජී.ඩී.එල් පෙරේරා, රන්ජිත් ලාල් හා ලෙස්ටර් ජේම්ස් පීරිස් යන ලාංකේය සිනමාකරුවන් ද මෙසේ සම්ප්‍රදාය හා තාරුණ්‍යය යන ප්‍රස්තුතය විවාදාත්මකව හා ප්‍රශ්නකාරී ලක්ෂණ සහිතව විවරණයට උත්සුක වීම පසුපස ඇති සමාජයීය හා දේශපාලනික හේතු හඳුනා ගැනීම ද වැදගත් ය. ඒ සඳහා 1960 දශකයේ ලෝකය හා ලාංකේය පොළොව පිළිබඳ විවෘත කියවීමක් කරා යා යුතුම ය. එහිලා දත හැකි වන්නේ 1960 දශකය තාරුණ්‍යයේ තීරණාත්මක පරිවර්තන සමයක් වූ බව යි. ඊට පෙරාතුව ද, වර්තමානයේදී ද තාරුණ්‍යයේ තීරණාත්මක පරිවර්තන නො මැත්තේ නොවේ. නමුත් 1960 දශකයට සුවිශේෂ වූ පරිවර්තන සමුදාය අරභයා වර්තමානයේ සිට කෙරෙන විචාරාත්මක ආවර්ජනයකදී ප්‍රකට කරන ස්වීයත්වය හා අනන්‍යතාව පෙර කී තීරණාත්මක බව උද්දීපනය කරයි.