ඒ කතාව කියන්නට ඉතුරු වුණේ මං විතරයි

මාර්තු 4, 2021

බුද්ධදාස ගලප්පත්ති

තම සිත කම්පනයට පත් කළ අත්දැකීම්, අත්විඳීම් කවි, කෙටිකතා, නවකතා, තීරු ලිපි, විශේෂාංග ආදි ඕනෑම ආකාරයකින් තවෙකෙකුගේ හදවතට දැනෙන අයුරින් අකුරු කරන්නට හැකියාව ඇත්තවුන් ඇත්නම් ඒ අතළොස්සකි. ඒ සමඟම සිනමා විචාරය, වේශ නිරූපණය, වේදිකා පරිපාලනය ඈ නොයෙක් ක්ෂේත්‍රයන්ට යොමු වූ විට ඔහු එක් විශේෂණ පදයකට ලඝුකොට කිවිවර, ලේඛක, සංස්කාරක, වේශනිරූපණ ශිල්පී හෝ සිනමා විචාරක ලෙස පැවසීම ඔහුගේ හැකියාවන් සීමා කිරීමකි. එනිසා ඒ කිසිත් නොකියා අපි ඔහු බුද්ධදාස ගලප්පත්ති ලෙසින් හඳුන්වමු. ඒ තුළ ඔහුගේ බහුවිධ කුසලතාවන් මෙන්ම නිර්මාණවලට පමණක් සීමා නොවූ මානව හිතවාදී ගුණයද අඩංගු බව ඔහු ළඟින් මෙන්ම දුරින් ඇසුරු කරන්නෝ පවා දනිති.

මෙවර සරසවිය සාහිත්‍ය පිටුව ඔහු වෙනුවෙන් වෙන් කරන්නේ වෙසෙසින්ම ඔහුගේ පස්වැනි කෙටිකතා පොත නිකුත් වී තෙමසක් පමණ ගතව ඇති මොහොතකය. ඒ කාලය තුළ මෙන්ම මේ පොත ලියැවුණු 2020 වසර සකල ලෝක වාසීන්ටම අත් විඳීන්නට වූ කොරෝනා ව්‍යසනය ඔහුගේ මේ නව සංග්‍රහයේ කෙටි කතා කිහිපයකටම බලපා ඇතැයි කීවොත් නිවැරැදිය. 1970 දශකයේ මුල භාගයේ සමකාලීන මිතුරන් වූ මහාචාර්ය සුනිල්ආරියරත්න, ආචාර්ය ජයලත් මනෝරත්න සහ බුද්ධදාස ගලප්පත්ති තුන්කට්ටුව එක්ව රචනා කළ දොළොස් මහේ පහන කාව්‍ය සංග්‍රහයෙන් කාව්‍ය ලෝකයට පිවිසි ඔහු ජයලත් මනෝරත්නයන් සමඟ ‘පියසේන හා කුමාරිකාව‘ නම් හවුලේ කළ කෙටිකතා එකතුවකින් කෙටිකතා ලොවට පිවිසෙන්නේය. ඉන්පසු ඔහු සිය හදවතේ රැඳුණු කතාවලින් රැය පහන්වේ, කැටුව එන්නෙමි, හෙට නැවත එයි, මැදියමක කළුවර කෙටිකතා සංග්‍රහ පාඨක ජනතාවට දායාද කළේය. ක්ෂේත්‍රයේ මෙන්ම ජීවන අත්දැකීම් ඔස්සේ කෙතරම් ප්‍රවීණ වුවත් අප සැමගේ ආදරණීය ‘බුද්ධි අය්යා‘ වන ඔහුගේ කෙටිකතා නවයකින් යුතු ‘ජීවන සුසුම‘ වරෙක ඔහු විඳී ස්වඅත්දැකීම්වලින් මෙන්ම පුවත්පත්වල පළ වූ විවිධ සංවේදී පුවත් ඇසුරින් නිර්මාණය වී ඇති අතර ඒවා විටෙක අපේ හදවතේ ගැඹුරු සුසමක් සිර කිරීමටත්, වරෙක සැනසුම් සුසුමක් හෙළීමටත් තවත් වරෙක හුස්ම හිරවනතුරු සිනාසීමටත් හැකි විවිධ ආකෘතීන් ඇසුරු කරගත් අපූරු නිර්මාණයකැයි කිව හැකිය.

ඉන් හාස්‍යය මෙන්ම ත්‍රාසය මුසු වූවක් ලෙස ‘එක්තරා දවසක එක්තරා සවසක‘ ඔහු මුහුණ දුන් සිදුවීමක් ඇසුරින් නිර්මාණය වූ කෙටි කතාව සැලකිය හැකිය. එහි කතා සාරයට අමතරව ඔහු එවක කොළඹ අවට පරිසරය අප ඉදිරියේ වචනයෙන් මවාලයි. ‘චීන හෝටලය ඉදිරියේ ඇත්තේ ලෝඩ් නෙල්සන් නම් කොටුව චැතැම් වීදියේ සුප්‍රසිද්ධ හෝටලයයි. එහි ආහාරපාන ද අරක්කුද ඇත. කොටුවේ බැරල් අරක්කු විකුණන එකම හෝටලය එයදැයි නිච්චි නැත.‘ ඒ වරෙක ඔහු එවක කොටුවේ හෝටලයක ස්වභාවය කියන ආකාරයයි.

‘හකර දෙනා පාළුවට ගිය කොටුවේ පාර දිගේ ලේක්හවුස් පැත්තට එමින් සිටිති. අද හිල්ටන් හෝටලය තියෙන තැන ඉස්සර කොටුවෙ පොලීසිය. පොලිසියේ රාළහාමිලා හවසට එළියට ඇවිත් පොලීසිය ඉස්සරහ තියෙන කෙටි තාප්පය උඩ වාඩිවෙලා ඉන්නවා තුන් හතරදෙනා. නොරිස් කැනල් පාර විතරක් අද ඉතුරු වෙලා. කොටුවේ පොලීසියක් තිබුණ සම්පූර්ණයෙන්ම හිල්ටන් එක අල්ලගෙන...‘ ඔහු අතීතය ගෙනහැර පාන අතර ඔවුන් ගිය හෝටලයකින් එක් මිතුරකු අළු බඳුනක් සොරකම් කිරීම සහ එය පොලීසියට හසුවීමෙන් පසු ඇතිවන තත්ත්වය මහත් උත්ප්‍රාසයෙන් යුතුය. පොලිසීයෙන් ගැලවීම සඳහා සොරකම නොකළ දෙදෙනා ව්‍යාජ නම්ගම් දෙන අතර, සොරකම කළ පුද්ගලයා සහ තරුණිය මිතුරන් දෙදෙනා ගලවා ගැනීම සඳහා සත්‍ය නම්ගම් කියා අඳුනන ඉහළ නිලධාරියකුගේ සහාය පැතීම අතර ඇතිවන ගැටුම කියවන්නාගේ මුවට සිනාවක් ගෙන එන්නේ නිතැතිනි.

බුද්ධි ගලප්පත්ති කෙටිකතාකරු ඒ අත්දැකීම ගැන කීවේ මෙසේය. “පොලීසියේ කූඩුවේ බමන මතින් සින්දු කිය කිය හිටියේ මම. අපි ඔක්කොම නාට්‍ය කණ්ඩායමක සාමාජිකයන්. ඔය කතාව කියන්න ඉතුරුවෙලා ඉන්න එකම කෙනාත් මම විතරයි.“

ඔහු අසාදිතයා පිළිබඳ කීවේ මෙබන්දකි.

“ආසාදිතයා මගේම ඍජු අත්දැකීමක්. මා වගේ තනි වුණු මධ්‍යම පාන්තික වැඩිහිටි අයකුට දරුවන් විප්‍රවාසයේ සිටින විට කොවිඩ් නිසා අවාසනාවන්ත සිදු වීමක් වුණොත් මොකද වෙන්නේ කියන හැඟීම මට ඇති වුණා. පිටරට ඉන්න දරුවන්ට එන්න විදිහක් නැහැ. එවැනි අත්දැකීමක් මගේ මිතුරෙකුට වුණා. තව එවැනි පුවත් කියෙව්වා. මට හිතුණා කිසිම පිළිසරණක් නැති තත්ත්වයක් ඇති වෙනවා නේද? ඒ තත්ත්වයට මුහුණ දෙන පුද්ගලයාට ජීවිතය සැලසුම් කරගන්න විදිහක් නැහැ. එය හරිම ඛේදජනක තත්ත්වයක් කියලා“ කොවිඩ් ආසාදනය වුණු ජීවිතයේ සැත්තෑ විය පසු කළ තනි වූ පියෙකුගේ ඉරණම කෙබඳු වේදැයි යන්න සංවේදීව පවසන අතරම ඔහු මේ ව්‍යසනයේ ස්වභාවය එහි මොනවට පැහැදිලි කරයි.

බුද්ධදාස ගලප්පත්ති කෙටිකතාකරු සිය සැලෝන් ස්ටෙලා කතාව පටන් ගන්නේ හඬ කැවූ විදේශ ටෙලි නාට්‍ය නිසා දේශීය නිෂ්පාදන ආයතනයකට ඇතිවන ගැටලුත් සමඟය. “පස්සේ සහරාන්ගේ පාස්කු ප්‍රහාරයෙන් ස්ටෙලා නම් කීර්තිමත් ටෙලි නිර්මාණ නිෂ්පාදිකාව සම්පූර්ණයෙන් බිඳ වැටිලා සැලෝන් එකක් කරන තත්ත්වයට පත්වෙනවා. ඇයගේ නම නිසා එය අතිශය ජනප්‍රිය වුණත් කොවිඩ් නිසා එය තවත් සම්පූර්ණයෙන් කඩා වැටෙනවා. අවසානයේ එය කපටි ව්‍යාපාරිකයකුගේ ගණිකා මඩමක් බවට පත්වෙනවා. කිසි වරදක් නොකළ ඇයට එය දරාගන්න බැරි වන කූටප්‍රාප්තියට ගෙන එන්නේ තරුණියක් ගැන අසා ඇයටම ලැබෙන දුරකථන ඇමතුමකින්. ඇය දිවි නසා ගන්න තරමටඅසරණ වෙනවා.“

එහෙත් ඔහුගේ මංජුලා හෙවත් සුද්දීගේ කතාවේ ඔහු පාසල් වියේදීම ගුරුවරයකුගේ පහසට ලක්වන සුරූපී දැරියක පසුව ගණිකාවක් වන අයුරුත්, විවාහයෙන් පසු එයින් මිදුණද සැමියා අසනීපයෙන් මියගිය පසු දරු දෙදෙනාගේ දිවි රැකගැනීමට සුපුරුදු පාරේ රස්සාවට අවතීර්ණවන අයුරුත් පවසන්නේ පාඨකයන්ගේ මනසේ මේ වෘත්තියෙහි යෙදෙන කාන්තාවන් පිළිබඳ ඇති පටු මිනුම්දඬු බිඳලමිනි. එහෙත් එහි කතුවරයාගේ උපහාසයට මෙන්ම ප්‍රහාරයට ලක්වන්නේ මාධ්‍යවේදියාය. ගණිකාවගේ කථාව පුවත්පත් විශේෂාංගයකට ලියන ඔහුට ඒ වෙනුවෙන් සම්මාන පවා හිමි වෙයි. එහෙත් මාධ්‍යවේදියා සුද්දී වෙනුවෙන් කරන්නේ කුමක්ද? වත්මන් මාධ්‍ය මිනිසුන්ගේ කඳුළ සුසුම තම අභිවෘද්ධිය වෙනුවෙන් යොදා ගන්නා ආකාරය පිළිබඳ සියුම් වේදනාවක් ඔහුගේ හදවතේ රැඳී ඇති බැව් පාඨකයාට පැහැදිලි කරන්නට ඔහු යොදාගත් උපක්‍රමය එය විය හැකිය. මංජුලාගේ කතාව පිළිබඳ ඔහු පැවසූයේ සන්සන්දනාත්මක අදහසකි.

“ස්ටෙලා සැප වින්ද කීර්තිමත් චරිතයක්. එයාට බැරි වුණා ජීවිතේ අමාරු අවස්ථාවල එයට මුහුණ දෙන්න. ඒත් මංජුලා හෙවත් සුද්දී දහදුක් විඳලා හිරේ විලංගුවේ ලැගලා වුණත් ජීවිතෙන් පලායන්න හිතන්නේ නැහැ. ඒ තමයි ඒ දෙන්නාගේ වෙනස.“

පැමිණිල්ලද ඔහු පුවත්පතක කියවූ ප්‍රවෘත්තියක් ඇසුරින් කළ අර්ධ පරිකල්පිතයකි. සාමාන්‍ය පෙළට මුහුණ දීමට සිටින ශිෂ්‍යයකු තමන්ගේ පියා බීමතින් විත් කරදර කරන බැවින් සති තුනක් විභාගයට පාඩම් කිරීම සඳහා තාත්තාව පොලිසියේ රඳවා ගන්නා ලෙස කරන ලද ඉල්ලීමක් සම්බන්ධ පුවත ඔහුගේ සිතේ වර්ධනය වූ ආකාරය එහි චරිත බවට පත් වී අපට කතා කරයි. එසේම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තම පුතා ගෙදර කළ සොරකම සම්බන්ධව තමන්ම කළ පැමිණිල්ල ඉල්ලා අස්කරගන්නා මවගේ කතාව ඌ මගේ පුතා මහත්තයෝ කතාවෙන් ගෙන එන්නේ මව් සෙනෙහස මතු නොව දිගු කාලයක් පුරා රටේ තරුණ පරපුර විනාශය කරා ගෙනගිය මත්රකුසා පිළිබඳවද කම්පනයක් කියවන්නාට ඇතිකරවමිනි.

අසිරිමත් වූ දෙයකි මේ ලොව ප්‍රේමය නමිනා සහ එය එසේ සිදුවිය කෙටිකතා පාඨකයන්ගේ සිත් තුළ මතු කරන්නේ සැබැවින්ම මෙවන් දේ සිදුවිය හැකිද යන මවිතය රැගත් සිතිවිල්ලකි.

මේ සියල්ල සමග ‘නාඳුනන මල් නෙළන්නාගේ මරණය‘ කොරෝනා සමයේ සැබෑ මනුෂ්‍යත්වය පිරි හදවතක් ඇත්තකු පිළිබඳ නිර්මාණය වුණු අපූරු අත්දැකීමක් යැයි කිව හැකිය. කතුවරයා එය මෙසේ පවසයි.“මෙය මගේ අර්ධ අත්දැකීමක්. කතාවෙදි මගේ පරිකල්පනයෙන් අවශ්‍ය අවස්ථා නිර්මාණය කරනවා. ඒ මල් නෙළන මහලු පුද්ගලයා කවදාවත් ගුඩ් මෝනිං කීවට මා දිහා හැරිලාවත් බැලුවේ නැහැ. ඒත් ඔහුගේ අවසාන මොහොතේ කොවිඩ් තත්ත්වය නොසලකා ගෙවල් දොරවලට ගේට්ටුවලට තඩිබාමින් ඔහු රෝහලකට ගෙනයන්න උත්සාහ කරන්න තරම් ජයනන්ද මානුෂික වෙනවා. අවසානයේ පොලිසියෙන් ගිලන් රියේ දෙදෙනාවම නංවාගෙන යද්දි මේ වැතිර ඉන්නේ තමන්මද කියා ජයනන්දට හිතෙනවා“ බුද්ධදාස ගලප්පත්ති කෙටිකතාකරුවාගේ මානුෂීය හැඟීම් මොනවට පැහැදිලි කළ මේ කතාව කොරෝනා සමඟ සමාජයේ ඇති වූ විපර්යාසය මැනවින් නිරූපණය කරන්නකි. එසේම එහි අවසානය ‘...මල් නෙළන්නාගේ නිසල සිරුර දෙස ජයනන්ද යළිත් බැලුවේය. ඔහු අත වූ මල් කෙක්ක තවමත් අරලිය ගසෙහි රැඳී තිබෙනු ජයනන්දට පෙනේ. නෙළාගෙන තිබූ මල් බිම විසිරී පැස පසෙක වැටී තිබිණ. ගිලන් රිය පැමිණ මල් නෙළන්නාගේ නිසල සිරුර රිය තුළට ගත් පසු ජයනන්ද රෝහලට යාමට ගිලන් රියට ගොඩ විය. රෝහලට යන අතරතුර ජයනන්දට කල්පනා වූයේ ගිලන්රථයේ පිටුපස වැති සිටින්නේ ඔහුම නොවේද කියාය‘ මෙය යථාවෙන් මදක් මිදුණු ලක්ෂණ මෙන්ම පුද්ගලයකුගේ බහුවිධ මානසික තත්ත්වය පිළිබඳ කියැවෙන නිර්මාණයක් ලෙසින්ද විටෙක පෙනේ.

මේ සෑම නිර්මාණයකදීම පාහේ බුද්ධි ගලප්පත්ති නම් කෙටිකතාකරුවා සිය භාෂා ශික්ෂණය පවත්වා ගත් අවස්ථා එමටය. ඔහු පැවසුවේ එයට හේතුව ඔහුට පොතේ අලෙවිය සඳහා රසිකයාගේ භාවයන් අනවශ්‍ය ලෙස කුළු ගැන්වීමට අකමැති නිසා එවැනි සීමාවක පිහිටි බවය. කෙසේ වෙතත් ඔහු ජීවන සුසුම මෙන්ම ඔහුගේ අනෙක් සියලු නිර්මාණ යොදා ගන්නේ ජීවිතයේ විවිධ පැතිකඩ ප්‍රතිනිර්මාණය බැව් පුන පුනා කිව යුතු නොවේ. සරසවි ප්‍රකාශකයෝ එය මුද්‍රණයෙන් රසිකයන් වෙත පුදන්නට ඉදිරිපත් වී ඇත. ඒ සියලු කෙටිකතාවල දැකිය හැකි තවත් විශේෂත්වයක් වන්නේ ඒවා කෙටි චිත්‍රපට වැනි මාධ්‍යයකට වඩාත් උචිත වස්තුබීජ ලෙස පෙනීමයි.

මේ කෙටිකතා පොත මෙන්ම ඔහුගේ කාව්‍යකරණ හැකියාවෙන් අංකුර කවීන්ට 2012 වසරේ සිට කරන සේවයක් වූ කවි මිහිර කාව්‍ය එකතුවේ සිව්වැනි කාණ්ඩය මෙවර නිකුත් කිරීමට සමත් වී ඇත්තේ කවිකිවිඳීයන් 45දෙනකුගේ නිර්මාණද ඇතුළත්වය. ඉන් හතරෙන් තුනක්ම ආධුනික මට්ටමේ අයය. ඉන් නොනැවතුණු ඔහුගේ නිර්මාණකරණය දිනමිණ පුවත්පතට ලියූ තීරු ලිපි සංග්‍රහයක් වන එදවස සොඳුරුමය ග්‍රන්ථයේ සයවැනි වෙළුම නිකුත් කිරීම දක්වාද පසුගිය වසරේ විහිදුණි. මේ සමස්තය පිළිබඳ සැලකීමේදී බුද්ධදාස ගලප්පත්ති නම් කලාකරුවා හා ඔහුගේ නිර්මාණ පිළිබඳ ප්‍රවීණ සිනමාවේදී ප්‍රසන්න විතානගේ විසින් කරන ලද ප්‍රකාශයක් උපුටා ගැනීම වඩා සුදුසු යැයි සිතමි.

“දශක හතරක් තුළ නිර්මාණකරණයේදී තම පරමාදර්ශ වෙතින් බැහැර නොවී ඔහුග් අනන්‍යතාව රැකගැනීම අපව බුද්ධිගේ මිතුරෙක් සහ රසිකයෙක් වීමට පොළඹවාලයි“