සරුංගලයක් මෙන් කලාවට පාවී ඇවිත් ‘සිකුරු තරුවේ’ ඉස්කෝලේ මහත්තයා වූ නෙල්සන් කරුණාගම (1935 - 1975)

මාර්තු 4, 2021

 

ඔහුගේ නම නෙල්සන් කරුණාගමය. හැටේ දසකයේ වේදිකාව හා සිනමාව දික් විජය කළ නෙල්සන් කරුණාගමගේ සෞමය හා සුපැදිලි හඬ මුළු රටම දැන ගත්තේ පී. වැලිකල නිෂ්පාදනය කළ ‘රේඩියෝ රඟමඬල” නම් ගුවන්විදුලි නාට්‍ය තුළිනි. එතැනින් වේදිකා නාට්‍යවල රඟපෑමට, යොමු කළේ ද වැලිකල මහතා විසිනි.

සරුංගල් කඩදාසියෙන් සකස් වූ ඇඳුමක් ඇඳගත් නුවරඑළියේ ගාමිණී විද්‍යාලයේ කුඩා ශිෂ්‍යයෙක් තම ප්‍රථම ගීතය ගායනා කළේ අසා සිටි විශාල පිරිසක් ප්‍රබෝධමත් කරමිනි.

ගීතයත් හැඳ සිටි ඇඳුම තරම්ම සැහැල්ලු බව ඔහුට එදින දැනී තිබුණේය. සැහැල්ලු සිතට ගීතයේ මිහිරත් දැනී මේ ළදරුවා සරුංගලයක් සේ මනෝ රාජ්‍යයක පාවුණේය. පාසලේ විවිධ ප්‍රසංගවල ලෝකයේ විවිධ චරිතවලට ඇතුළුවන්නට හැකි වූවත් මේ දරුවාගේ ප්‍රථම රංගනය ඉදිරිපත් කළේ “ශ්‍රී විජය” නාට්‍යයේ විජයගේ චරිතය තුළිනි. විජයගේ චරිතයට තෑගි ලැබූ මේ ළමා නළුවාගේ හැකියාව, හා ප්‍රතිභාව, ගීත ගායනයත් සමඟ බද්ධ වී පසු කලෙක සිංහල වේදිකාවත් රිදී තිරයත් ඔප කළේය.

ඔහුගේ නම නෙල්සන් කරුණාගමය.

හැටේ දසකයේ වේදිකාව හා සිනමාව දික් විජය කළ නෙල්සන් කරුණාගමගේ සෞමය හා සුපැදිලි හඬ මුළු රටම දැන ගත්තේ පී. වැලිකල නිෂ්පාදනය කළ ‘රේඩියෝ රඟ මඬල” නම් ගුවන්විදුලි නාට්‍ය තුළිනි. එතැනින් වේදිකා නාට්‍යවල රඟපෑමට යොමු කළේ ද වැලිකල මහතා විසිනි.

“මගේ නාට්‍ය ජීවිතය සරුංගලයක් බඳුය. එය සුළඟ විසින් ක්‍රමයෙන් තව තවත් පී‍්‍රතියෙන් පා කරනු ලැබීය.

නළුකම සරුංගලයක් නම් රස මුසු ආශාව සුළඟ සේ යැයි මට කිව හැක්කේය. මම කොළඹට පා වුණෙමි. එය ළමා ලෝකයෙන් වියෝවීමකි. එදා මම ‘කාලගෝල’ නාඩගමේ ගී ගැයීමි. එහි චරිතයක් රඟපෑවෙමි. නාඩගම් සම්ප්‍රදාය කලා රස පෝෂණයට ඉවහල් වන බව 1957 දී ගුණසේන ගලප්පත්ති රචනා කොට නිෂ්පාදනය කළ “සඳකිඳුරු” නාට්‍යයෙන් අවබෝධ වි. මම එහි බ්‍රහ්මදත්ත චරිතය රඟපෑවෙමි. නෙල්සන් කරුණාගම මේ අදහස් දක්වා ඇත්තේ 1961 දෙසැම්බර් 10 වෙනි ඉරිදා “සිළුමිණ” පුවත්පතේ “අපේ නළු නිළියෝ” විශේෂාංගයෙනි.

කරුණාගම ඊළඟට කළේ පී. වැලිකල විසින් 1960 දී නිෂ්පාදනය කළ ‘දවසක වෙනස’ නාට්‍යය දොස්තර පෙරේරාගේ චරිතයයි. කාල් ගුණසේන හා සුමනා ජයතිලක සමඟය ඔහු රඟපෑවේ. 1960 දීම පී. වැලිකලගේ “රත්නාවලීය” නාට්‍යයේ සූත්‍රධාරී හා විජය වර්මන්ගේ ද්විත්ව චරිත නිරූපණය කළේය. මේ ගැන කරුණාගම කියා ඇත්තේ මේ ආකාරයටය.

“පී. වැලිකලගේ “මැටි කරත්තය” නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපාමින් මම රසවත් වීමි. මම නාට්‍ය ලෝක සරුංගලයක පියෑඹුවෙමි. එයින් මා පිවිසි රාජ්‍යය සැහැල්ලු බවෙන් තොරය. දැන් මට ගැඹුරු බවක් දැනේ. හරබර කමින් දැනෙන රසය ගැඹුරුය. මිහිරිය. මා රඟපෑ විවිධ නාට්‍ය ගණනාවකි. සරච්චන්ද්‍රයන්ගේ “මනමේ” - මහගම සේකර ගේ “කුණ්ඩලකේශී” හා ධර්ම ප්‍රදිපිකා, සිල් මාතාව, සම්බුදු සිරිත, නාට්‍ය මා ඇතුළු වූ රාජ්‍යයෙහි මගේ ආස්වාදය සඳහා පවතී.”

නාට්‍ය රඟපෑමට අමතරව කරුණාගම ගුවන් විදුලි කෙටිකතා ද, විවිධ විශේෂාංග ද, හඬ නළුවකු වූ අතර කොටස් වශයෙන් ගුවන්විදුලියෙන් විකාශනය වූ ‘කුරුළු බැද්ද” දීර්ඝ නාට්‍යයේ ද චරිතයක් රඟපෑවේය. ඔහු රඟපෑ අවසාන දීර්ඝ ගුවන්විදුලි නාට්‍යය වූයේ “ගිම්හානේ ගීතය” හි මහින්දගේ චරිතයයි.

නෙල්සන් කරුණාගම 1935 දෙසැම්බර් 28 වෙනිදා යටියන්තොට දී උපත ලැබූ අතර ඉගෙනුම ලැබුවේ නුවරඑළියේ ගාමිණී විද්‍යාලයෙනි. ඔහුගේ පියා වූ එඩ්වින් කරුණාගම වතු අධිකාරිවරයෙකි. නෙල්සන් තම ජීවන වෘත්තිය ලෙස තෝරා ගත්තේ කොළඹ මහ රෝහලේ හෙද නිලධාරී තනතුරය. ඔහු පසුව භික්ෂූ වාට්ටුවේ ප්‍රධාන හෙද නිලධාරියා විය. කරුණාගම වචනයේ පරිසමාප්තයෙන්ම කරුණවන්ත චරිතයකි. ඔහුගේ හෙදකමේත් හොඳ කමේත් විස්මිත බවින් මෙරට බුද්ධිමත්, උගත් මහානායක මාහියන් වහන්සේලා සුව වී රෝහලෙන් පිටව ගියේ ඔහු පින් දෙමිනි.

1966 ජූනි මස අටවෙනිදා නෙල්සන් කරුණාගම මහ රෝහලේ මාණ්ඩලික හෙද නිලධාරිනියක් වන රණවක ආරච්චිගේ පියසීලි සමඟ විවාහ වූයේ පේ‍්‍රම සබඳතාවයක ප්‍රතිඵලයක් වශයෙනි. විවාහ සාක්ෂිකාරයන් ලෙස අත්සන් කර තිබුණේ චිත්‍රපට නළු ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න හා චිත්‍රපට නිෂ්පාදක විජේපාල හෙට්ටිආරච්චිය. විවාහ ලේකම් ලෙස අත්සන තබා තිබුණේ ප්‍රකට ලේඛකයකු වූ ඩී.සී. රණසිංහ ය.

 

සිකුරු තරුව (නෙල්සන් හා පුණ්‍යා)

නෙල්සන් කරුණාගමගේ සිනමා සම්ප්‍රප්තිය සිදුවන්නේ 1959 වසරේ තිරගත වූ “සිහිනය” චිත්‍රපටයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයකුගේ චරිතය රඟපාමිනි. වීරවිජය, සුවිනීත ලාලනී, සංසරේ, අදට වැඩිය හෙට හොඳයි. සිකුරු තරුව, පරසතු මල්, සැඟවුණු මැණික, රෑන ගිරව්, ඔක්කොම හරි, සූර චෞරයා, ඔබ නැති නම්, හතර පෙරළිය, සුමුදු භාර්යා, ආත්ම පූජා, හදවත් නැත්තෝ, සංගීතා, සුසී මෙන්ම කාකුන් පෙන්” ද්‍රවිඩ චිත්‍රපටයේ ද ඔහු රඟපෑවේය.

“මම රඟපෑ හොඳම චරිතය” සිකුරු තරුව“ චිත්‍රපටයේ ඉස්කෝලේ මහත්තයාගේ චරිතය. ගැමි ජීවන සුවඳ හැමූ සිංහල ගැමි පාසලක උගන්වන සුදු සරම හා කෝට් එක අඳින පරමාදර්ශී ගුරුවරයෙක්. මේ චරිතයට පිවිසීමට මට හැම උපදෙස් දෙනු ලැබුවේ සිකුරු තරුවේ කතා රචක කවියකු වූ හක්ගල්ලේ පී.කේ. ඩී. සෙනෙවිරත්න මහතා. ඒ මහතාත් ගමේ පාසලක ඉගැන්වූ ගුරුවරයෙක්. සිකුරු තරුවේ මා රඟපෑ ඉස්කෝලේ මහත්තයා ජීවිතය දෙස උපේක්ෂාවෙන් බලන චරිතයක්. ඔහු පාසලට එන විට ගමේ ලස්සන හා අවබෝධයෙන් තොර සරල ළමා සාරියකින් සැරසී එන අව්‍යාජ ගති ගුණ ඇති තරුණ ගුරුවරියකට හිතින් ආදරය කරනවා. අනුලා නම් ඇය ඒ බව දන්නේ නෑ. ඇගේ සිත තිබුණේ පාසලේ මුල් ගුරුතුමියගේ පුතා තිලක් වෙතය. මේ චිත්‍රපටයේ අනුලා ලෙස රඟපෑ පුණ්‍යා හීන්දෙණිය තුළින් පිළිබිඹු වූ සංවර රඟපෑම හා ඇගේ දෙබස් උච්චාරණය, ගුවන් විදුලි හඬ නළුවකු වූ මට අගේට සැසඳුනා. අපිට හැමදාමත් මේ වගේ චරිත ලැබෙනවා නම් කොපමණ හොඳ ද?”

“මගේ හිතේ ලොකු ආදරයක් ඇති වුණේ අනුලාට විතරයි. මගේ හිත ඒ තරම් ලෙහෙසියෙන් ඇදෙන හිතක් නෙවෙයි. අනුලාට විතරයි මගේ මෙහෙම පේ‍්‍රම පේ‍්‍රමයක් ඇති වුණේ? අනුලාට පුළුවන් නම් ඒක පිළිගන්න. මම වෙන කෙනෙක්ව නම් කවදාවත් බඳින්නේ නැහැ. ඉස්කෝලේ මහත්තයා කියනවා.

“මට හරි බයයි මහත්තයාගේ හිත පෑරෙයිද කියලා. මගේ මල්ලී වගේම මගෙත් ලොකු ආදරයක් තියෙනවා. ඒක පේ‍්‍රමවන්තයෙකුට ඇති ආදරයක් නෙවෙයි. ඊට වඩා පිරිසුදුයි. මාත් මල්ලී වගේම මමත් මහත්තයට ආදරෙයි.”

“ඒක මට තේරෙනවා අනුලා. ඒ තරම්ම වත් මගේ හිත හදා ගන්න ඕන. මම ගමට ගිහිල්ලා එන්නම් කෝ. ඒ ගමන් ඇවිල්ල යන්න එන්නම්.”

මේ සිකුරු තරුවේ අන්තිම දර්ශනයේ එන අවස්ථාවක්. දෙබස්, අවස්ථා, හැඟීම් ප්‍රකාශනයට ඉඩහසර ලබාදෙන චිත්‍රපට චරිතය වාසනාවක්” කරුණාගම කීවේය.

කරුණාගම විසින් වේදිකාවේ මවන ලද හොඳම චරිතය ඔහු රඟපෑවේ ගුණසේන ගලප්පත්ති විසින් 1962 වසරේ නිෂ්පාදනය කළ ‘මුදු පුත්තු’ නාට්‍යයේ දියෝනිස්ගේ චරිතය. මගේ අයියා තේගිරිස් ලෙස රඟපෑවේ සිරිල් වික්‍රමගේ, ඔහුගේ බිරිඳ සරා ලෙස රඟපෑවේ සෝමලතා සුබසිංහය. තේගිරිස් හා සරාට විවාහ වී කලක් ගතවුවත් දරුඵල නැත. සරාට දියෝනිස්ගේ ඇසුරෙන් දරුවෙකු ලැබෙයි. ඉන්පසු කුටුම්බයක් දෙදරන බව අමුතුවෙන් කිව යුතුද? එවැනි චිත්ත චෛතසික ගැටුමකට මැදි වෙමින් කරුණාගම රඟපෑවේය. විචාරක ප්‍රසංග වැඩියෙන්ම ලැබුණේ මේ නාට්‍යයට.”

 

මූදු පුත්තු - (නෙල්සන්, සුමනා ජයතිලක හා සෝමලතා සුබසිංහ)

ගුවන්විදුලි සරල ගී පරීක්ෂණයෙන් ඒ ශ්‍රේණියෙන් සමත් වූ කරුණාගම ගීත කිහිපයක් ගයා ඇත. ඒ අතර ඔහු හා ලාලනී සෝමසිරි ගැයූ “ඔබේ රුසිරු දුටු නිසා මගේ” එකල ජනපි‍්‍රය වී ඇත.

නෙල්සන් කරුණාගම එක්සත් හෙද සංගමයේ ලේකම් ලෙසත්, හෙළ නළු නිළි හවුලේ ලේකම් ධුරය ද හොබ විය. සහාය අධ්‍යක්ෂකවරයකු ලෙස “සුසී” චිත්‍රපටයේ කටයුතු කළ ඔහු ස්වභාවයෙන් චාම් සරල ජීවිතයක් ගත කළේය. ඔහුගේ කරුණාවන්ත කම පිළිබිඹු වන වෛද්‍යවරයකු ලෙස ‘අදට වැඩිය හෙට හොඳයි.” චිත්‍රපටයේ රඟපෑවේ නිවසේ අහිංසක රූමත් මෙහෙකාරියක් වූ ලෙස රඟපෑ ජීවරාණී කුරුකුලසූරිය සමඟය. ඔහු “පරසතු මල්” චිත්‍රපයේ රඟපෑවේ නිලමේ නම් ගැම් තරුණයාගේ චරිතයයි. එහි එන සිරිසේනගේ චරිතයට කතා රචක පී.කේ.ඩී. සෙනෙවිරත්න තෝරාගෙන තිබුණේ තමාව බව කරුණාගම කියා ඇත. සිකුරු තරුවේ ඔහුගේත් පුණ්‍යාගේ ගැලවීම හා රංගන කුසලතා දුටු පී.කේ.ඩී. කරුණාගම ගැන විශ්වාසය තබා තිබුණි. අධ්‍යක්ෂක ගාමිණී ෆේන්සේකා සිරිසේනගේ චරිතයට ටෝනි රණසිංහ රෙකමදාරු කර ඇත. කරුණාගම නිලමේ විය.

අදට වැඩිය හෙට හොඳයි
(නෙල්සන් සහ ජීවරාණි කුරුකුලසුරිය)

එහෙත් ගාමිණී හා කරුණාගම අතර තිබූ අවියෝජනීය සම්බන්ධයට එය හරස් වී නැත. කරුණාගමට ගාමිණී සැලකුවේ සහෝදරයකු වගේ යයි අන් අය දැනගත්තේ කරුණාගම දැඩි ලෙස රෝගාතුරව මහ රෝහලේ සිටි විටය. ගාමිණී හැම උපකාරයක් කළ අතර ඔහු වෙනුවෙන් කතරගමට බාරයක් ද විය. කරුණාගම ගෙන් හෙද ප්‍රතිකාර ලබා සුවපත් වූ භික්ෂුන් වහන්සේලා නොකඩවා වැඩම කොට තුන් වරුවේ පිරිත සජ්ජායනා කොට සුවය පැතූහ. මහ රෝහලේ වෛද්‍යවරු හෙද හෙදි සොහොයුරු සොහොයුරියන් ඔහු අත් නොහැර ප්‍රතිකාර කළහ. 1975 වසරේ ජනවාරී 21 වෙනිදා සිය ජීවිතයේ 40 වැනි වසර ගෙවෙද්දී උදරයේ පිළිකාවකින් අකාලයේ මිය ගියේය. ඔහුට කුඩා දියණියක් හා පුතුන් දෙදෙනකු වූහ.

“තාත්තා මිය යනවිට මට වයස අවුරුදු හයක් විතර ඇති. ලොකු අයියට වයස අවුරුදු හතයි. බාල මල්ලිට වයස අවුරුදු පහයි.” දියණිය සුප්‍රියා කීවාය.

කරුණාගමගේ වැඩිමහල් පුතු මෝහාන්ජිත් කරුණාගම ඇඟලුම් කර්මාන්ත ශාලාවක කළමනාකරුවෙකි. සුප්‍රියා කරුණාගම ඩ්.ව්.ඕ ඇෂුවරන්ස් සමාගමේ සහකාර කළමනාකාරිනියකි. බාල පුත් කාංචන කරුණාගම ඩ්.ව්.ඕ මූලස්ථානයේ බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙකි.

“දරුවන් තුන් දෙනාට අසීමිත ලෙස ආදරය, සෙනෙහස දැක් වූ තාත්තා කෙනෙක්. තාත්තා මිය ගියාට පස්සේ අම්මා අපිව දෑස් දෙක ලෙස බලාගත්තා. ඉගෙන්නුවා. අපිට අද ඉතුරු වෙලා තියෙන්නේ තාත්තගේ මතකය පමණයි. අම්මා 1992 වසරේ මිය ගියා.” බාල පුත් කාංචන අපට කීය.

මේ ලිපිය ලිවීමේ දී කාංචන උනන්දුවෙන් අපට සහාය විය. සිය පියා රඟපෑ ඉතිරිව ඇති දුර්වර්ණා වූ චිත්‍රපට පින්තුර ද, පියාගේ විවාහ සහතිකයේ හා පුද්ගලයින් පදිංචි කිරීමේ හැඳුනුම්පතේ ඡායා පිටපත් ද අපට ලබාදුන් බව කෘතඥතා පුර්වකව සඳහන් කරමි.