සුභාවිත ගීතයට මාධ්‍ය තුළින් ලැබෙන ඉඩකඩ සීමිතයි

ජනප්‍රිය යොවුන් ගායිකා පවරි අමරසා
අප්‍රේල් 8, 2021

සිංහල ගීත සාහිත්‍ය පෝෂණය කිරීමෙහිලා තරුණ පරපුර වෙතින් ලැබෙන දායකත්වය ජනප්‍රිය සංගීතයත්, සුභාවිත ගීතයත් අතර දෝලනය වන්නකි. විවිධ මාධ්‍ය ජාලා මඟින් බොහෝ විට ජනප්‍රිය සංගීතයට වැඩි ඉඩකඩක් ලබාදීම මෙරට සිංහල ගීත සාහිත්‍යයට සුභාවිත ගීත එක්රැස් වීමට ඇති විශාලතම බාධකය බව ජනප්‍රිය යොවුන් ගායිකා පවරී අමරසා පවසන්නීය.

එවකට සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සංගීතය හදාරමින් සිටියදී සරසවි සිසු සිසුවියන්ගේ වැඩසටහනක් වූ ‘කවිතා‘ නිර්මාණ තරගාවලියට එක්ව එහි දෙවැනි අදියරේ ජයග්‍රාහිකාව වූ ඇය කාගෙත් අවධානය දිනා ගත්තේ ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ ‘සරස‘ ඒක පුද්ගල සංගීත ප්‍රසංගයේ යුග ගී ගායනයට එක්වීමෙනි. ඒ අවස්ථාව මට උදා කරලා දුන්නේ මගේ කැම්පස් එකේ නිහාල් කළුබෝවිල සර්.. 

මේ වනවිට ගීත 25කට පමණ ප්‍රමාණයක් ගීත සාහිත්‍යයට තිළිණ කර ඇති පවරි අමරසා ‘සරසවිය‘ සමඟ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ නවක ගායක ගායිකාවන්ට සිය සුභාවිත ගීත නිර්මාණ ශ්‍රාවකයන් අතරට ගෙන යෑමට මාධ්‍ය තුළින් ලැබෙන ඉඩකඩ ඉතා අල්ප බවය.

‘රියැලිටි වැඩසටහන් තුළින් දක්ෂතා ඇති තරුණ ගායක ගායිකාවන් රාශියක් බිහිවෙනවා. නමුත් එයාලට ඉදිරියට යන්න ඇති ඉඩකඩ හරි අඩුයි. මාධ්‍යවලින් ලැබෙන ඉඩකඩ හරිම සිමිතයි. ජනප්‍රිය සංගීතයට මාධ්‍ය තුළින් ලබාදෙන අවස්ථාව සුභාවිත ගීතයටත් ලබා දෙනවා නම් අපේ තරුණ ගායක ගායිකාවන්ට මීට වඩා සාධාරණයක් ඉටු වේවි කියලයි මම හිතන්නේ.‘ ඇය කීවාය.

මාතර ඉසදීන් නගරයේ උපන් පවරි අමරසා අධ්‍යාපනය ලැබුවේ මාතර සුජාතා විද්‍යාලයෙනි. අනතුරුව සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළු වී වැඩිදුර සංගීතය හැදෑරු ඇය ඉන්දියාවේදී සංගීත නිපුන් අවසන් විභාගයට පෙනී සිටි අතර, මේ වන විට සංගීත ශාෂ්ත්‍රපති උපාධියේ අවසන් වසරේ වැඩකටයුතුවල නිරතව සිටින්නීය.

‘දක්ෂතා ඇති තරුණ ගායක ගායිකාවන් අපමණ සිටිනවා. විවිධ රූපවාහිනි නාළිකාවල රියැලිටි වැඩසටහන් තුළින් වරින් වර ඔවුන් ඉස්මතු වෙනවා. නමුත් එම තරගවලින් පස්සේ තමන්ගේ අන්‍යනතාව රැක ගෙන ඉදිරියට යෑමට තරම් ආර්ථික ශක්තියක් ඔවුන්ගෙන් වැඩි දෙනකුට නෑ. සුභාවිත ගීතයෙන් අපේ රටේ සංගීත සාහිත්‍යය පෝෂණය කළ හැකි මෙවැනි දක්ෂ තරුණ තරුණියන්ට ඊට අවශ්‍ය පසුබිම නිර්මාණය කරන්න රියැලිටි වැඩසටහන් තුළින් විශාල මෙහෙයක් ඉටු වුණත් සංගීත ජීවිතයෙන් ඉදිරියට යෑමට අවශ්‍ය අත්වැල මාධ්‍ය තුළින් නොලැබෙන නිසා ඔවුන්ගේ නිර්මාණ ශ්‍රාවකයන් අතරට යන්නේ නෑ. ‘ ඇය සඳහන් කළාය.

‘සමහර රූපවාහිනි නාළිකා තුළින් සුභාවිත ගීතයට නව පෝෂණයක් ලබා දෙන බව ඇත්ත. නමුත් ඒ වැඩසටහන් කිහිපය හැරෙන්නට සමස්තයක් වශයෙන් ගත්තම මාධ්‍ය තුළ වැඩි අවධානයක් හා උනන්දුවක් ඇත්තේ ජනප්‍රිය සංගීතය ඉස්මතු කිරීමටයි.‘ ඒ පවරිගේ අදහසය.

අපේ රටේ සංගීත කලාව තවමත් සලකන්නේ අවශේෂ කලාවක් විදිහටයි. පාසල් අධ්‍යාපන විෂය පද්ධතියේ පවා සංගීතයට ලැබෙන්නේ අඩු සැලකිල්ලක්. ඒක විනෝදාංශයක් පමණක් බවට පත්වෙලා. ඒ නිසා පාසල් දරුවන් අතර සංගීතයට වැඩි අවධානයක් යොමු වෙන්නේ නෑ. වැඩිහිටි පාර්ශ්වයත් ඒ ආකල්පයේ සිටින නිසා දරුවන් සංගීතයට යොමු කරනවා වෙනුවට වෙනත් ක්ෂේත්‍රවලින් ඉදිරියට යෑමට තමයි උනන්දු කරවන්නේ. නමුත් ලෝකයේ බොහෝ රටවල් බැලුවම සංගීතය කියන්නේ වෘත්තීයක් හැටියට ඉහළ මට්ටමක තිබෙන විෂයක්.‘ ඇය කීවාය.

‘කවිතා‘ වැඩසටහන තුළින් ජයග්‍රහණයට වඩා භෞතික වශයෙන් ලද බොහෝ දෑ සිය සංගීත දිවියට කදිම පන්නරයක් වූ බව ඇය කීවාය. මාස 7ක පමණ කාලයක් රෝහණ වීරසිංහයන් වැනි විශිෂ්ට සංගීතවේදීන් යටතේ ලැබූ අත්දැකීම් මිල කළ නොහැකි බව ද ඇය සඳහන් කළාය.

‘මම පාසල් කාලයේ සිට සංගීතය හැදෑරුවා. මුතුහර ළමා සමාජයටත් එකතුවෙලා හිටියා. උසස්පෙළට කළේ සංගීතයයි. ඒත් සංගීත ක්ෂේත්‍රය තුළින් ඉදිරියට යන්න ඕන කියලවත්, අනාගතයේදී ගායිකාවක් වෙන්න ඕන කියලවත් මට ඒ කාලයේ හීනයක් තිබුණේ නෑ. ඒත් සංස්කෘතික බැඳීම්වලින් කොටුවෙලා විවාහයෙන් පස්සේ ගෙදර බිත්ති හතරට කොටුවුණු ජීවිතයක් ගත කරනවා නම් හැකියාවන් තියෙන ගැහැනු ළමයින්ට ඒක ඉදිරියට යන්න තියෙන අවස්ථා මඟහැරී යෑමක් විදිහටයි මම දැක්කේ.‘ ඇය පැවැසුවාය.

‘මම මුලින්ම වික්ටර් සර්ගේ 75 වැනි උපන්දිනය වෙනුවෙන් කළ ‘වජ්‍ර ප්‍රභා’ ප්‍රසංගයට එක්වුණා. . මම අපේ බැජ් ටොප් වුණෙත් ඒ අවුරුද්දේමයි. ඊළඟට මම වික්ටර් සර්ගේ 76 වැනි උපන්දිනයට කළ ‘මගේ නොවන මගේම ගී‘ ප්‍රසංගයට එකතුවුණා.’ ඇය කීවාය.

පසුකාලීනව ඇය ‘මුතුකුඩ’ ටෙලි නාට්‍යයේ තේමා ගීතය ගයමින් ටෙලිනාට්‍ය ගීත ගායනයට එක් වූ අතර, එම ගීතය අද වනවිට ද ඇගේ ජනප්‍රියතම ගීතය බවට පත්වී තිබේ. පසුව ඇය බන්දුල නානායක්කාරවසම් මහතාගේ ‘මහෝඝය’ ගී මියැසියට එක්වෙමින් ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ ගීත ආවර්ජනය කිරීමට ද එක් වූවාය.

සුභාවිත ගීතයට හොඳ වේදිකාවක් තනා දීමට මාධ්‍යයට ලොකු වගකීමක් තිබෙනවා. සිංහල ගීත සාහිත්‍ය පෝෂණය කරන්නත්, දීර්ඝ කාලයක් ශ්‍රාවකයන් අතර රැඳී සිටින්නත් හැකියාව ඇති තරුණ ගායක ගායිකාවන්ගේ ගුණාත්මක ගීතවලට මීට වඩා සහයෝගයක් මාධ්‍ය තුළින් ලබා දිය යුතු බවයි මගේ හැඟීම. ‘පවරි අමරසා එසේ පැවැසුවාය.

බාධක කම්කටුලු මැද වුවත් නව ගී නිර්මාණ තුළින් මෙරට සුභාවිත ගීත සාහිත්‍යය පෝෂණය කිරීමට නිරතුරුවම දායකත්වය ලබා දෙන බව කී ඇය පසුගියදා එළිදැක්වූ සිය නවතම ගීත ත්‍රිත්වය පිළිබඳවත් පැවැසුවාය.

එම ගීත ත්‍රිත්වයට ඇතුළත් ‘ඔබට හා හමුවී‘ ගීතය බන්දුල නානායක්කාරවසම් මහතාගේ අපූරු පද රචනයකි. තනු නිර්මාණය කරමින් එය සංගීතවත් කර ඇත්තේ කරුණාරත්න විජේවර්ධන මහතාය. නව පරපුරේ ගීත රචක රසික ඩී. දුමින්ද මහතාගේ පද රචනයක් වන ‘නමක් අහිමි‘ ගීතය තනු නිර්මාණය කොට සංගීතවත් කර ඇත්තේ දර්ශන වික්‍රමතුංග මහතාය. ඒ මහතාගේම තනු නිර්මාණයට හා සංගීතයට බණ්ඩාර කුමාරනායක මහතා පදවැල් ගෙතූ ‘ඔබ ළඟ ළඟම හිඳීමි‘ ගීතය ද ඊට ඇතුළත් ය. 

මීට අමතරව නන්දසිරි කිහිඹියහෙට්ටි මහතා පද රචනා කළ, විමල් දයානන්ද තනු නිර්මාණය කරමින් සංගීතවත් කළ ‘ඔබ ඔබේ ලොවේ‘ ගීතයත්, හර්ෂණ දිසානායක මහතාගේ තනු නිර්මාණයට හා සංගීතයට, සංජීවනී දහනායක මහත්මියගේ පද රචනයක් වන ‘මේ තරම් හුරුවක්‘ ගීතයත් ඇය එළිදැක්වූයේ මෑතකදීය. රෝහණ ධර්මකීර්ති මහතා තනු නිර්මාණය කරමින් සංගීතවත් කළ කපිල එම්. ගමගේ මහතාගේ පද රචනයක් වන ‘තුරු මතින්‘ ගීතය ඉදිරියේදී එළිදැක්වීමට නියමිත බව ඇය කීවාය. ක්ෂේත්‍රය තුළ මෙතරම් දුරක් සාර්ථකව පැමිණීමට ගීත රචක බන්දුල නානායක්කාරවසම් මහතාගෙන් විශාල දිරියක් ලැබුණු බව ඇය සිහිපත් කරන්නේ ස්තූතිපූර්වකවය.

පසුගිය ජනවාරියේදී යුග දිවියට පිවිසි පවරී අමරසා ඇය විසින්ම පදවැල් ගොතා තනු නිර්මාණය කරන ලද ‘පෙම් හිතක්‘ ගීතය එදිනම එළිදැක්වීම විශේෂ සිදුවිමකි. මංජුල බණ්ඩාර සංගීතවත් කළ එම ගීතය ඇගේ සැමියා ලසන්ත සමීරට කදිම සිහිවටනයක් වූවාට සැකයක් නැත.

ඇය මේ වන විට දෙවුන්දර සරණපාල විදුහලේ සංගීත ගුරුවරිය ලෙස සේවය කරන අතරතුර අතර, ඇය විසින් පවත්වාගෙන යනු ලබන අමසරණි කලායතනයේ වැඩකටයුතුවල ද නිරතව සිටින්නීය.

මට මේ තාක් උගන්නපු ගුරු හරුකම් දීපු සුජාතා විද්‍යාලයේ, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ, කැලණිය විශ්වවිද්‍යාලයේ ගුරුවරුන් හා ගුරුවරියන් වගේම සංගීත් නිපුන් දක්වා ශිල්ප ඉගැන්වූ ගුරු මෑණිවරුන් පියවරුන් ගෞරවයෙන් මතක් කරනවා.

‘මම ඉගෙන ගත්තු දේ තවත් පරපුරකට දායාද කිරීමයි මගේ ලොකුම බලාපොරොත්තුව. මගේම කියලා ගෝලබාලයන් පිරිසක් සංගීත ක්ෂේත්‍රයට දායාද කරන්න මගේ ලොකු හීනයක් තියෙනවා. ‘පවරි අමරසා’ අවසන් වශයෙන් එසේ කීවාය.

දයාන් විතාරණ