මෙරට එකම මූර්ති ශිල්පිනිය මමයි

ඔක්තෝබර් 14, 2021

 

 

 

මූර්ති අඹන එක එක්තරා කලාවක්. හැමෝටම එය කරන්නට බැහැ. මූර්ති නිර්මාණය සඳහා උත්පත්තියෙන්ම එන හැකියාවකුත් තියෙන්න ඕනේ. මේ ඔබ වෙත ගෙන එන්න හදන්නෙ මුර්ති ඇඹීම වෘත්තීය කරගත් තරුණියක් පිළිබඳ කතාවක්. ඇය ජානකී නදීශානි ජයසිංහ. ඇය පිළිබඳ කෙටි විස්තරයකුයි මේ.

 

මම පදිංචිය වෙලා ඉන්නේ තිඹිරිගම කිරිදිවැල. මම හිතනවා මෙරට සිටින එකම වෘත්තීමය මූර්ති නිර්මාණ ශිල්පිනිය මම වෙන්න ඇති කියලා. මට දෘශ්‍ය කලාවේදී (මූර්ති ) විශේෂ උපාධිය

පළමු පන්ති සාමාර්ථ්‍යයක් තිබෙනවා. මේ හේතුවෙන් විශ්වවිද්‍යාලයේ තාවකාලික උපදේශකවරියක ලෙසත් මා සේවය කරනවා. මම මූලික අධ්‍යාපනය ලැබුවේ පරකඩුවෙ නාරද මධ්‍ය මහා විද්‍යාලයෙන්.

ශිෂ්‍යත්වය සමත් වෙලා ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයට ගියා.

උසස්පෙළට ගම්පහ යශෝදරා දේවි බාලිකාවේ රජීවා මල්ලවආරච්චි ගුරුතුමිය යටතේ චිත්‍ර කලාව ඉගෙන ගත්තා. එහිදී පාසලේ විශේෂ අවස්ථාවලදී තොරණ සැරසිලි නිර්මාණ මගේ අතින් සිදුවුණා. එතැනින් තමයි මේ කලාව පැත්තට මම යොමු වුණේ. විශ්වවිද්‍යාල අධ්‍යාපනයට අවශ්‍ය මුදල් තනිව උපයගත්තා මේ වගේ නිර්මාණ වැඩ කටයුතු කරමින්.

උපාධියෙන් පසු ගුරුපත්වීම් ලැබුණා. ඒත් මම ගත්තේ නැහැ. මට හිතුණා මූර්ති කලාව පැත්තෙන් ඉදිරියට යන්න. මගෙ ස්වාමියා නිරංග රූපසිංහ. ඔහු මගේ විශ්වවිද්‍යාලයේ එකම බැච් එකේ. ඔහු සමඟ දියනෙත ආර්ට් නමින් මූර්ති නිර්මාණ ආයතනය ආරම්භ කළා. දැනට අප ආයතනය සේවක සේවිකාවන් 20කට පමණ රැකියා අවස්ථා සලසලා තියෙනවා.

දියනෙත ආර්ට් කිව්වාම දැන් බහුතරයක් හදුනනවා. මට පුතෙකුයි දුවෙකුයි ඉන්නවා.

පුතා පුලස්ති නෙතුම් වයස 7යි.

දුව නිතිලි ජාන්‍යා වයස 3යි.

දෙන්නම පොඩි කාලේදිම චිත්‍ර අදින්න ගත්තා. මහත්තයයි මමයි පිළිම හදනකොට ඒ දෙන්නත් පොඩි පොඩියට සහාය වෙනවා.

කිසිවකු යටතේ රැකියා කරන අයෙකුට වඩා නිදහසේ විනෝදයෙන් ආත්ම තෘප්තියකින් අපි අපේ වැඩ කරගෙන යනවා.

බුදු පිළිම, දේව පිළිම , උද්‍යාන සඳහා පිළිම., සැරසිලි නිර්මාණ , ඇසෙම්බල් ආර්ට් , කොපර් ආර්ට්, ආලේක්‍ය මූර්ති හෙවත් පෝට්‍රේට් දියනෙත ආර්ට් කරන නිර්මාණ.

මූර්ති නිර්මාණ ශිල්පිනියක ලෙස මුහුණ දෙන ප්‍රධානම ගැටලුව පිළිම කොල්ලකරුවන් විසින් වන්දනා කිරීමට යැයි පවසා අපි නිර්මාණය කරන පිළිම වංචනිකව රැගෙන ගොස් අච්චු දමා සිල්ලරට විකිණීම. එයින් නිර්මාණකරුවාට දැඩි පහරක් එල්ල වෙනවා. ඒවා නැවැත්විය යුතුයි කියලා යෝජනාවක් මං මේ වෙලාවේ කරනවා වගකිවයුතු පාර්ශවයන්ගෙන්.