චීන-ලංකා හවුල් චිත්‍රපට මාලාවක් ‘සදා ඔබ මා සමඟ’

නොවැම්බර් 8, 2018

You Are Always With Me

කලාත්මක හුවමාරු ව්‍යාපෘතියක් ලෙස චීනය හා ශ්‍රී ලංකාව අතර ප්‍රථමවරට නිර්මාණය කරනු ලබන  You Are Always With Me'  ටෙලි චිත්‍රපට මාලාවේ සියලු රූපගත කිරීම් පසුගියදා නිමාවට පත් විය. මෙම ටෙලි චිත්‍රපට මාලාවේ චීන අධ්‍යක්ෂවරිය ලෙස ස්වීයාලී කටයුතු කරන අතර මේ සඳහා සම අධ්‍යක්ෂක මෙන්ම විධායක නිෂ්පාදක ලෙසින් දේවින්ද කෝන්ගහගේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දායකත්වය එක් කරනු ලබයි.

මෙහි සියලු රූපගත කිරීම් චීනයේ හා ශ්‍රී ලංකාවේ සිදු කෙරුණු අතර ශ්‍රි ලංකාව ආශ්‍රිත සියලු රූපගත කිරීම් දේශීය සුන්දරත්වය, සංස්කෘතිය, පරිසරය ඉස්මතු වන ආකාරයෙන් සිදු කරනු ලැබීය. චීන රංග ශිල්පීන්ට අමතරව ශ්‍රි ලංකවේ ප්‍රවීණ රංග ශිල්පීන්ගේ හා කාර්මික ශිල්පීන්ගේ දායකත්වයෙන් නිර්මාණය වූ You Are Always With Me ටෙලි චිත්‍රපට මාලාව සඳහා හැට දෙනෙකුගෙන් සමන්විත චීන චිත්‍රපට කණ්ඩායමක් මේ සඳහා සහභාගි වූහ.

ටෙලි චිත්‍රපට මාලාව චීනයේ සියලුම ප්‍රධාන නාළිකාවල විකාශය කිරීමට නියමිත අතර වෙනත් විදේශීය රටවල ද ලංකාවේ ද මෙය රූපවාහිනී නාළිකා ඔස්සේ විකාශනය කිරීමට නියමිතය.

චීනයේ ජනාධිපති ශිජිං පිං මැතිතුමාගේ සංකල්පයකට අනුව ලොව පුරා ව්‍යාප්තව ඇති The Belt and Road Initiative  ව්‍යාපෘතියේ කලාත්මක දිගුවක් ලෙසින් තැනෙන මෙම අන්තර්ජාතික ටෙලි චිත්‍රපට මාලාව සඳහා ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ද පූර්ණ සහයෝගය හිමි වී ඇත.

ථෙරවාදී බුදු දහම ප්‍රචලිත ශ්‍රී ලංකාව තුළ ඇති සමාජ සංස්කෘතික ආගමික හා මානව හිතවාදී ආකල්පයන් එක් කොට චීනය තුළ ඇස් දන්දීමේ සංකල්පය ව්‍යාප්ත කිරීමේ අරමුණෙන් මෙම ටෙලි නිර්මාණය සකස් කර ඇති අතර එකී සාරධර්ම චීන රාජ්‍යයේ ජනතාව තුළ ප්‍රචලිත කර ඇස් දන්දීමේ උනන්දුව ඇති කරලීම මෙම කලාත්මක ව්‍යායාමයේ මූලික අරමුණ වී තිබේ.

ශ්‍රී ලංකාවේ අක්ෂිදාන ව්‍යාපෘතියේ නිර්මාතෘ වෛද්‍ය හඩ්සන් සිල්වා මහතාගේ මහඟු සේවාව පිළිබඳ චීන වෛද්‍ය ආචාර්ය ඕජයාමින් දැනුම්වත් වීමෙන් පසු ශ්‍රී ලංකාවේ ආදර්ශවත් ඇස් දන්දීමේ වැඩ පිළිවෙළ චීනය තුළ ක්‍රියාත්මක කිරීමට ගන්නා ප්‍රථම සිනමාරූපී අත්දැකීම  The Belt and Road Initiative ටෙලි චිත්‍රපට මාලාවෙන් දිගහැරෙනු ඇත.

Add new comment