නාටක මාරයි, නවය හමාරයි හරහා එන රුක්මන්

නොවැම්බර් 8, 2018

දෙරණ රූපවාහිනි නාළිකාවේ වූ සුරංග සතරසිංහ නිර්මාණයක් වන 'නාටක මාරයි නවය හමාරයි' ප්‍රහසන නාට්‍ය මාලාවේ රංගනයෙන් දායක වන රුක්මන් තිලකරත්න මේ දිනවල බෙහෙවින් ජනප්‍රිය වී ඇත.

ඔබ අධ්‍යාපනය ලැබුවේ?

කෑගල්ල වරකාපොල තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයෙන්.

නාට්‍ය කලාවට පිවිසුණේ කොහොමද?

1997 වසරේ ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය සංචිතකයෙන්.

* නාට්‍ය හා රංග කලාව හැදෑරුවේ?

ජාතික තරුණ සේවා සභාවෙන් හා ටවර් හොල් නාට්‍ය රංග කලා පාසලෙන්.

මේ වන විට ලබා ඇති සම්මාන?

2009 වසරේ හොඳම නළුවා ලෙස යෞවන සම්මානයත් 2006, 2007, 2008, 2009, 2010, 2012 යන වර්ෂවල අඛණ්ඩව වසර 8 ක් හොඳම අංග රචනයට හිමි සම්මානයත් හිමි කරගෙන තිබෙනවා. ඒ වගේම 2006, 2007, 2010 යන වර්ෂවල හොඳම අංග රචනය වෙනුවෙන් රාජ්‍ය සම්මානත් හිමි කරගෙන තිබෙනවා.

ඔබ රංගනයෙන් දායක වූ නාට්‍ය ගැන සඳහන් කළොත්?

කොළඹ අහස, කොළඹ අපි ආවා, දියමත ලියමි, බෝංචි ගෙදර ඇතුළු ටෙලි නාට්‍ය රැසකම ඒ වගේම මා, සඳළු තලෙන් එහා ආදී රඟපෑ චිත්‍රපට අතර වෙනවා.

දෙරණ රූපවාහිනී නාළිකවේ නාටක මාරයි නවය හමාරයි හාස්‍ය නාට්‍යයට දායක වුණා. එය මගේ ජීවිතයේ වැදගත් අවස්ථාවක්. එහි ගෞරවය සුරංග සතරසිංහට හිමි විය යුතුයි.

හාස්‍ය රංගනය පිළිබඳව ඔබේ අදහස?

අවශ්‍යම වචන අවශ්‍යම වේලාවලට අවශ්‍ය තැනට යොදා ගැනිම අද වන විට ලංකාවේ කොතෙකුත් දක්ෂ නළුවන් හිටියත් හැමෝටම හාස්‍ය රංගනය කළ නොහැකියි. එය මනා ඉවසීමකින් කළ යුතු දෙයක්.

ඔබ පැමිණි මේ ගමන් මඟ ගැන සිහිපත් කළ යුතු විශේෂ දෙයක් තිබෙනවාද?

ඇත්තෙන්ම රුක්මන් තිලකරත්න නැමැති මල් වෙඩිල්ල සමහරු අතේ තියාගෙන වර්ණනා කළා පමණයි. රුක්මන් නැමැති මේ මල් වෙඩිල්ල පත්තු කරලා එය ප්‍රේක්ෂක ජනතාව වන හැමෝටම එහි ලස්සන අලංකාර බව දකින්නට සැලැස්සුවේ සුරංග සතරසිංහ අයියා. එම නිසා රටට ලෝකයට රංගනය තුළින් මාව හඳුන්වා දෙමින් ජනප්‍රියත්වයට පත්වීමට මේ අවස්ථාවේ හාස්‍ය නාට්‍ය තුළින් ඉඩ හසර ලබා දුන් සුරංග සතරසිංහ අයියාට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.

ඒ වගේම මාගේ පළමු නාට්‍ය ගුරුතුමා වන සෝමරත්න රිදියපාන මහතා. ආචාර්ය මංගල සේනානායක මහතා, නාලක තලගල, ශසික හේරත්, ඩබ්ලිව්. රවීන්ද්‍ර, ගයා රම්‍ය අල්විස්, සුරංග ලක්මාල්, වසන්ත මුහන්දිරම්, හෂිත රාජපක්ෂ, හේමන්ත බංඩාර යන මහතුන් ඇතුළුව නම් කියු නොකියූ හැම අතතින්ම උදව් කළ සියලු දෙනාටම විශේෂයෙන් ප්‍රේක්ෂක ජනතාවට මගේ හදපිරි ප්‍රණාමය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.

ඉදිරි බලාපොරොත්තු මොනවද?

මට ලැබෙන හැම නිර්මාණයකටම රංගනය තුළින් උපරිම සාධාරණත්වයක් ඉටු කරමින් එය සාර්ථකව කර ගැනීමට හැම දෙනාගේම සහයෝගය ඇතිව වැඩ කටයුත කිරීමටත් බලාපොරොත්තු වෙනවා.

දැනට අවුරුදු 10 ක පමණ කාලයක ඉඳලා මධ්‍යම, බස්නාහිර, සබරගමුව වැනි පළාත් මට්ටමින් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා පාසල්වල නාට්‍ය රංග කලාව හදාන දරු දැරියන් වෙනුවෙන් ප්‍රායෝගික අභ්‍යාස සහිත වැඩමුළු මා විසින් පවත්වනවා. ඒවා ද ඉදිරියට තවදුරටත් සාර්ථකව කරගෙන යෑමට මාගේ බලාපොරොත්තුවයි. ඒ වගේම ආයතනව මට්ටමින් ඒ හා සමාන දැනුවත් කිරීම් ආයතනික කටයුතු සාර්ථකව කරගෙන යෑමෙ අදාල විශේෂ වැඩමුළුවක් මා විසින් පවත්වනවා. ඒ සඳහා ඕනෑම ආයතයකට, පුද්ගලයෙකුට මා හා සම්බන්ධ විය හැකියි.

රුක්මන්ගේ දුරකථන අංකය - 072-3530281

හේමන්ත බංඩාර

ජයන්තිපුර සමූහ

ලේක්හවුස් මාධ්‍යවේදී

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.