ඇඟේ ලේ වතුර කර තෛ‍්‍රලෝකා හැදුණු හැටි

දෙසැම්බර් 27, 2018

පුංචි තිරය අරක්ගෙන සිටින මෙගා නාට්‍ය ප්‍රමාණය මෙතෙකැයි කියන්නට බැහැ. ඊට නොදෙවෙනි ලෙසට හඬකැවූ නාට්‍ය විකාශය වනවා. මෙවැනි වාතාවරණයක් යටතේ කොටස් දහහතරකින් සමන්විත නාට්‍යයක් ස්වාධීන රූපවාහිනිය ඔස්සේ මේදිනවලදී ඔබට නැරැඹිය හැකිවෙනවා.

තෛ‍්‍රලෝකා ලෙසට නම තබා ප්‍රදීප් ධර්මදාස විසින් අධ්‍යක්ෂණය කළ එම ටෙලි සිතුවම සීමිත කොටස් ගණනකට නිර්මාණය කොට ඇත්තේ අසීමිත ප්‍රේක්ෂක රසවින්දනය උදෙසායි.

ජාතීන් වශයෙන් අප බෙදී සිටීම හේතුවෙන් විඳින්නට සිදුව තිබෙන ආදිනව පිළිබඳ තෛ‍්‍රලෝකා ඔස්සේ ප්‍රදීප් අප වෙත ගෙන එනවා. ඒ සඳහා ඔහු පාපන්දු කණ්ඩායමක් යොදාගෙන තිබෙනවා. සිංහල දෙමළ සහ මුස්ලිම් ජාතිකයින් ඊට අන්තර්ගතයි. ෂහීඩ් කියන්නෙ ඔවුන් අතර සිටින මුස්ලිම් කොලුගැටයෙක්. තරුණවිය ගෙවමින් සිටින නිසාමදෝ මන්දා ඔහු තුළ ඇති සෙල්ලක්කාර ගතිය ඕනැවට වඩා වැඩිද කියලත් හිතෙනවා. මේ චරිතයට පණපොවන්නෙ දසුන් පතිරණ.

දස්සාගේ දස්කම

දස්සා කියලා කෙටියෙන් අප ඔහුව අමතනවා. දසුන්ට ෂහීඩ් වෙද්දී එකතරා අභියෝගයකට මුහුණ දෙන්න වෙලා. ෂහීඩ්ගෙ වෘත්තිය ත්‍රිවීල් රස්සාව. දවසින් වැඩිහරියක් ඔහු ගතකරන්න වෙන්නෙ ඒ තුළ හිඳගෙනයි. ෂහීඩ් එහෙම වුණාට දසුන්ට ත්‍රිවිල් පදවන්න බැහැ. නමුත් ෂහීඩ් චරිතය බාරගත්තා කියන්නෙ නිශ්චිතවම දසුන්ට ත්‍රිවිල් පදවන්නම වෙනවා. දසුන් ලෙහෙසියෙන් අභියෝගයකට පයින් ගසන කෙනෙක් නෙවෙයි. කෙටිකලක් ඇතුළත දසුන් ත්‍රීවිලර් පදින්නට ඉගෙන ගත්තා. ඔහු ත්‍රීවිලරයක්ගෙන දර්ශනවලට මුහුණ දෙනවිට ඇගේ ලේ රත්කරගෙන කෙනෙක් බලා හිටියා. ඒ අධ්‍යක්ෂ ප්‍රදීප් ධර්මදාස කිහිපවරක්ම ත්‍රිවීලරය හප්පගන්න ගිය දසුන් චරිතය හොඳින් නිරූපණය කළා. වාසනාවට ෂහීඩ් නිසා දසුන් අනතුරක් කරගත්තේනම් නැහැ.

ශ්‍රියන්තට මහනකම් අකැපද?

තෛ‍්‍රලෝකා නාට්‍යය වෙනුවෙන් ප්‍රදීප් කෙනෙකුව මහණ කළා. සිවුරක් අන්දවලා බොහොම තේජාන්විත හාමුදුරුනමක් බවට එලෙස පත්කළේ ශ්‍රියන්ත මෙන්ඩිස්ව.

මං ඔය චරිතයට තට්ටෙ ගාන්නද. ඒක මට සුළු වැඩක්.

ශ්‍රියන්ත එහෙම කිව්වත් අවසනදී අංගරචනා ශිල්පී නාරද තොටගමුව ශ්‍රියන්තට කොණ්ඩය නොකපා මහන කළා. ශ්‍රියන්තට එවන් වූ චරිතයක් බාර දීම ගැන ඇතැමුන් වැඩිපුර ප්‍රශ්න කළේ ඔහුගේ ආගම කතෝලිකවීම නිසයි.

මේ නාට්‍යයේ කතාවේ හැටියට කවුරුවත් ජාති ආගම් කුලභේද නැහැ. නාට්‍යයට ගන්න නළු නිළියොත් එහෙම තමයි. මං තේරාගත්තෙ.

ප්‍රදීප් ඒවාට පිළිතුරු බැන්දා.

ශ්‍රියන්ත හිමිනමක් විදිහට වෙස්ගෙන රෑගත කිරීම පටන්ගන්නට පෙර විහාර මළුවෙහි සක්මන් කරමින් සිටිනවා. පන්සලට ආව දායකයෝ කිහිපදෙනා අතරින් කෙනෙක් ශ්‍රියන්ත දිහා බලාගෙන ඉඳලා ඔහු ළඟට ආවා.

ගෞරවනීය විදිහට ශ්‍රියන්තට වැඳලා ඇහැව්වලු මෙහෙම.

ඔබ වහන්සේ කවදාද වැඩියේ?

ශ්‍රියන්තට හිතාගන්න බැරිවුණාලු. තමන්ව හඳුනාගත්තද නැද්ද නැතිනම් හාමුදුරු නමක් කියාගෙන ඇත්තටම කතා කළාද කියලා කල්පනා කළාලු.

කෝකටත් හරියන්න ළඟදී කියලා උත්තර දීලා ඔහු හිමිහිට මාරුවුණාලු.

උමයංගනාගේ අරුම පුදුම විවාහය

තෛ‍්‍රලෝකා නාට්‍යයේ ඇඳුම් නිසා වැඩිපුරම අපහසුතාවයට පත්වෙලා තියෙනනෙ උමයංගනා වික්‍රමසිංහ. දෙවැනි තැන ඉන්නෙ කලණ ගුණසේකර. කලණගෙ කතාව දෙවැනියට සඳහන් කරන්නට අවසර ගෙන උමයංගනාට වෙච්ච දේ ගැන කියන්නයි මේ හදන්නෙ. දිල්රුක්ෂි ලෙසට චරිත මවන ඇයට මනාලියක් වෙන්නට තෛ‍්‍රලෝකා නාට්‍යයේ අවස්ථාව උදාවෙලා. පාන්දර දෙකට විතර ඇහැරිලා අදාළ ඇඳුම් පැලඳුම් ඇඳගෙන පෝරුවට නඟින්න ගියාමයි උමයංගනාට තරු පෙනිලා තියෙන්නෙ. ඒක තියෙන්නෙ එළිමහනෙ. කිසිම ආවරණයක් නැතුව තියෙන පෝරුවට උමයංගනා නැගෙන උදේ ඉර නැග එද්දි අදාළ දර්ශන ටික රූපගත කරලා නිමවෙද්දි කට්ට අව්වත් විඳදරාගෙන ඇයට හවස්වෙනතුරුම එතැන රැඳී සිටින්නට සිදුවෙලා. පැය ගාණක් තිස්සෙ අරුම පුදුම අන්දමින් විවාහවූ උමයංගනා පෝරුවෙන් බැහැලා තියෙන්නෙ හොඳටම හවස්වුණායින් පසුව.

ඇඳුම් නිසා කලණ ගුණසේකරට වුණේ උමයංගනාට නොදෙවනි අකරතැබ්බයකි.

දඬුවමක් වූ ඇඳුම

එක්තරා ඥාති විවාහයකදී කලණට සිදුවෙලා දෙවැනි මනමාලයා ලෙසට ඉන්න. එදා ඔහුට අඳින්න තිබිලා තියෙන්නෙ නිලමේ ඇඳුම. කලණ නිළමෙ ඇඳුම ඇඳගෙන දවසම එහෙම ඉන්නකොට ඔහු හිතාගත්තලු ආයෙත් කවදාවත් නිලමේ ඇඳුම අඳින්නෙ නැහැ කියලා. කලන තෛ‍්‍රලෝකාහි රඟපාන්නෙ සමන්ත කියලා චරිතයක්. ඒකෙ තිබුණු විවාහයකදී කලණට අඳින්න ඕන ඇඳුම් ගැන කියද්දී ඔහු නිලමෙ ඇඳුම නෙවෙයි නේද කියලා ඇහැව්වලු. ඒත් තිබිලා තියෙන්නේ ඒ ඇඳුමම තමයි. කලණ නලලෙ අතගහගත්තලු. බැහැ කියන්නත් බැහැනෙ. නිලමෙ ඇඳුම ඇඳගෙන මූණත් සවුත්තු කරගෙන දර්ශනවලදි පමණක් හොඳට හිනාවෙලා කලණ තෛ‍්‍රලෝකා නාට්‍යයේ රඟපෑවලු.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.