ලංකා අන්දරය TV

ජනවාරි 24, 2019

අප රටේ ස්ථාපිත පළමු රූපවාහිනී නාලිකාව වන ස්වාධීන රූපවාහිනී සේවයට වසර 40 ක් සපිරෙන්නේ මේ වසෙර්ය. එහි සංවත්සරය වෙනුවෙන් එම නාලිකාව ‘රූපවාහිනී මහගෙදරට 40 යි’ යන ශීර්ෂ පාඨය යටතේ පුළුල්් ප්‍රචාරයක් ලබාදෙන අයුරු මේ දිනවල දැකගත හැකිය.

ස්වාධීන රූපවාහිනිය ජනතාව අතරට පත් වූ මෙරට මුල්ම රූපවාහිිනී මාධ්‍යය වුව ද, අප රටට රූපවාහිනිය හඳුන්වාදීමේ පළමු ප්‍රයත්නය 1959 වසර දක්වා දිව යයි. එම වසරේදී RCA(Radio Coperation of America) ආයතනය ලංකාවේ රූපවාහිනී නාලිකාවක් ආරම්භ කිරීමට කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප විය. පසුව 65 - 70 අප රට පාලනය කළ රජයේ මුදල් අමාත්‍ය ධූරය ඉසිලූ ජේ. ආර්. ජයවර්ධන මහතා ජර්මන් සමාගමක් වන ඕධචඵඩ සමාගමේ මූල්‍ය අනුග්‍රහයෙන් රූපාවාහිනී නාලිකාවක් ආරම්භ කිරීම සඳහා වන කෙටුම්පතක් අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතා වෙත යොමු කළේය. ඔහු එයට ක්ෂණික ප්‍රතිචාරයක් නොදැක්වීය. කෙටුම්පත අග්‍රාමාත්‍යතුමාගේ මේසය මත දින ගණනාවක් තිබිණ. ඒ අතරතුරේදී එතුමා හදිසියේ රෝගාතුර විය. වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහුව ඉන්දියානු රජයේ රෝහලකට ඇතුළත් කරන ලදී. එහිදී ඔහුට දිවා රාත්‍රියේදී රෝහල් කාමරය තුළ ක්‍රියාත්මකව තිබූ රූපවාහිනිය නැරඹීමේ අවස්ථාව උදා විය. එම අත්දැකීමත් සමඟ අග්‍රාමාත්‍යවරයා නැවත ලංකාවට එන්නේ දැඩි තීරණයකට එළඹීමෙනි. ඔහු නැවත ඔහුගේ කාර්යාලයට ගිය සැනෙකින්ම ඔහුගේ මේසය මත තිබූ රූපවාහිනී නාලිකාවක් ස්ථාපිත කිරීම සඳහා වන කෙටුම්පතට තම අත්සන නොතබා, එහි සටහනක් තැබුවේය. රූපවාහිනී මාධ්‍යය ලංකාවට හඳුන්වා දීමට තවම කාලය නොවන බවත්, එය හඳුන්වා දෙනු ලැබුවහොත් අපගේ සාරධර්මවලට මරු පහරක් එල්ල වනු ඇති බව ද අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතාගේ සටහනේ තවදුරටත් සඳහන් විය.

රූපවාහිනී නාලිකාවක් අප රටේ ස්ථාපිත කිරීමේ තෙවැනි ප්‍රයත්නය සිදුවන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අග්‍රාමාත්‍ය ධූරය ඉසිලූ 70 - 77 සමඟි පෙරමුණ රජය කාලය තුළදීය. මෙහිදී තාවකාලිකව ස්ථාපිත වූ රූපවාහිනී සේවයක් දැක ගැනීමේ අවස්ථාව ජනතාවට උදා විය. 76 වසරේ දී චීන රජයේ පූර්ණ මුල්‍ය අනුග්‍රහයෙන් ගොඩනගන ලද බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර ශාලාවේදී පැවැති නොබැඳි ජාතීන්ගේ සමුළුවේ සජීවී විකාශයක් එම ශාලාව පරිශ්‍රයේ සහ ඒ අවට සැතපුම් දහයක් පමණ පරිශ්‍රයේ විකාශය විය. එතෙක් ගුවන් විදුලි සහ පුවත්පත් මාධ්‍යයෙන් දැන සිටි ලොවේ ප්‍රබල රාජ්‍ය නායකයින් කිහිප දෙනකුගේම රූපකායන් සජීවීව දැක ගැනීමේ අවස්ථාවක් එම විකාශය තුළින් සීමිත ජන කණ්ඩායමකට ලැබිණ. මේ සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කරන ලද්දේ 1967 දී රූපවාහිනී තාක්ෂණය පිළිබඳව හදාරා තම මවු රටට යළි පැමිණ සිටි ලංකාවේ ප්‍රථම රූපවාහිනී සේවය වූ ස්වාධීන රූපවාහිනී සේවය ස්ථාපිත කිරීම සඳහා තමන් උගත් දැනුම නොපිරිහෙලා පරිත්‍යාග කරන ලද ශාන් වික්‍රමසිංහ මහතා විසිනි.

ඔහු ඊව්ඹ් ආයතනයේ වත්මන් සභාපතිවරයා වන අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩිමහල් සොහොයුරා වේ. රූපවාහිනී සේවයක් තාවකාලිකව හෝ අප රටට හඳුන්වා දීමට මුල්‍ය සහ තාක්ෂණික අනුග්‍රහය ලබා දුන් යුගෝස්ලිව්යානු ජනරජයේ (දැන් මෙම රාජ්‍යය රාජ්‍යයන් කිහිපයකට කැඩී වෙන් වී ඇත) නායක මාෂල් ටිටෝ මහතා නොබැඳි සමුළුව අවසානයේදී අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට පවසා සිටියේ ඇය විසින් අනුමැතිය ලබා දෙන්නේ නම්, තම රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ ජාතික රූපවාහිනී සේවයක් ලංකාවට ලබාදීමට හැකි බව යන්නය. රූපවාහිනී මාධ්‍යය ඔරොත්තු දීමට තවමත් තම රටට හැකියාවක් නොමැති බව ප්‍රකාශ කරමින් ටිටෝ මහතා ගෙන එන ලද එම යෝජනාව අග්‍රාමාත්‍ය බණ්ඩාරනායක මැතිනිය විසින් කාරුණිකව ප්‍රතික්ෂේප කරන ලදී. එහෙත් එයින් වසරකට පසුව පිහිටුවන ලද ජේ. ආර්. ජයවර්ධන මහතාගේ එජාප රජය ජාතික රූපවාහිනී නාලිකාවක් ස්ථාපිත කිරීමේ ක්‍රියාදාමය කඩිනම් කළේය. එය එසේ සිදු වූයේ ඇයි ද යන්න පිළිබඳව විමසා බැලීමේදී තත්කාලීනව දේශීය වශයෙන් සහ ලෝක පරිමාණයේදී බල පැවැත් වූ සමාජ, ආර්ථික ගතිකත්වය පිළිබඳව ද මඳක් විමසා බැලිය යුතු වේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.