ලංකා අන්දරය TV

ටෙලිවිෂන් ඇරඹූ වික්ටර් ගී ගායනය
පෙබරවාරි 14, 2019

රූපවාහිනි ආරම්භයට අයදුම්පත් 40 ක් පමණ ඉදිරිපත් කළ ද, 1978 දෙසැම්බර් 31 ට පෙර ලක්ෂයක මුදලක් බඳින ලෙසට රජය විසින් දෙන ලද නියෝගය අනුව එයට ප්‍රතිචාර දක්වමින් මුදල් බඳින ලද්දේ අනිල් විජේවර්ධන සහ ශාන් වික්‍රමසිංහ යන දෙපළ පමණි. 1979 අප්‍රේල් මස 15 වන දිනට ප්‍රථම රූපවාහිනී සේවයක් ආරම්භ කරන ලෙසට රජයෙන් උපදෙස් ලැබිණ. එයට අවනතව එම වසරේ අප්‍රේල් මස 14 වන දින මේ දෙදෙනා ස්වාධීන රූපවාහිනී සේවය ආරම්භ කළහ. පන්නිපිටිය මහල්වරාවේ පිහිටි නිවෙසක සිට විකාශන කටයුතු ආරම්භ කරන ලද ස්වාධීන රූපවාහිනී සේවයෙන් පළමුවෙන්ම විකාශය වූයේ ආචාර්ය වික්ටර් රත්නායකයන් විසින් ගායනා කරන ලද ගීතයකි. පාර්ශවකරුවන් අතර ඇති වූ මතභේදකාරී තත්ත්වයක් හේතුවෙන් ස්වාධීන රූපවාහිනී සේවය එම වසරේ ජූනි මස 09 වන දින රජයට පවරා ගන්නා ලද අතර එහි නිසි බලධරයා වශයෙන් එවකට ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා වූ තේවිස් ගුරුගේ මහතා පත් කරන ලදී. එම ඉතිහාසයට අනුව රූපවාහිනී මහගෙදර එනම් ස්වාධීන රූපවාහිනී සේවයට මේ වසරේදී වසර 40 ක් සපිරේ. අප රටේ පළමු රූපවාහිනී යන්ත්‍ර හිමිකරුවා වන්නේ ආචාර්ය ආතර් සී ක්ලාක් මහතාය. 1975 වසරේ අගෝස්තු මාසයේදී ඒ මහතාගේ නිවෙසේ සවි කරන ලද චන්ද්‍රිකා රූපවාහිනී තරංග ලබාගත හැකි උපකරණ කට්ටලයක් මඟින් ඒඊඉ-6 චන්ද්‍රිකාව ඔස්්සේ විකාශය වූ රූපවාහිනී වැඩසටහන් එතුමා විසින් පළමුවරට නරඹා ඇත. එමෙන්ම රූපවාහිනිය ලොවට හඳුන්වා දෙනු ලැබූ ජෝර්ජ් ලොගි බෙයාර්ඩ් විසින් නිර්මාණය කරන ලද පළමු රූපවාහිනී යන්ත්‍රයට ද අප රටේ සම්බන්ධයක් ඇති බව ප්‍රවීණ මාධ්‍යවේදී ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා ප්‍රකාශ කරයි. එතුමාට අනුව ජෝර්ජ් ලෝගි බෙයාර්ඩ් විසින් නිපද වූ පළමු රූපවාහිනී යන්ත්‍රයේ රාමුව සඳහා උපයෝගි කරගෙන ඇත්තේ ඔහුගේ ගබඩා කාමරයේ තිබී සොයා ගන්නා ලද ලංකාවෙන් යැවූ තේ පෙට්ටියකි. ජෝර්ජ් ලෝගී බෙයාර්ඩ් ස්කෝට්ලන්ත ජාතිකයෙකි. පළමුවන ලෝක සංග්‍රාමයේදී යුද සෙබළෙකු වූ බෙයාර්ඩ් එයින් ආබාධිතව නිවෙසට වී කාලය ගත කරන විට බ්ලේඩ් තල කර්මාන්තයට සිත යොමු වුණේය. ටික දවසක් යන විට එය අසාර්ථක වූ බැවින් රූපවාහිනි තාක්ෂණය වෙනුවෙන් පර්යේෂණ සිදු කරමින් එයින් ජයග්‍රහණය ලැබුවේය. බොහෝ සමාජ විද්‍යාඥයින්ගේ මතය වන්නේ ජෝර්ජ් ලෝගි බෙයාර්ඩ් එක් බ්ලේඩ් තල කර්මාන්තයක් වසා දමා රූපවාහිනිය සොයා ගැනීමෙන් පසු තවත් බ්ලේඩ් තල කර්මාන්තයක් ආරම්භ කළ බවය.

අනුර මාධව ජයසේකර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.