ලංකා අන්දරය TV

ලංකාවේ තේ පෙට්ටියක් හා පිළියන්දල බෙලෙක්ක බාස්
පෙබරවාරි 21, 2019

පළමු රූපවාහිනී යන්ත්‍රය ලෝකයට හඳුන්වාදීම සඳහා ලංකාවේ තේ පෙට්ටියක්, අහක දැමූ බෙලක් කෑලි වැනි අබලි ද්‍රව්‍යයන් ජෝන් ලෝගී බෙයාර්ඩ්ට එසේ උපකාරී වෙද්දී මෙරට පළමු රූපවාහිනි සේවයේ පළමු විකාශය ජනතාව අතරට ගෙන යාම සඳහා බෙලෙක් බාස් කෙනෙකුගේ පිහිට පැතීමට ශාන් වික්‍රමසිංහයන් හට සිදුවීම ද තවත් එක් සුවිශේෂී කරුණක් වේ. තමන්ට අයත් රූපවාහිනී සේවයේ විකාශන කටයුතු නිසි පරිදි කරගෙන යාම පිණිස අවශ්‍ය වූ විකාශන කුලුණ සුදුසු ස්ථානයක ගොඩනැඟීම වික්‍රමසිංහයන් මුහුණ දුන් ප්‍රධාන ගැටලුවක් විය. එදවස කොළඹ නගරයේ උසම ගොඩනැගිලි දෙකක් වූ මහජන බැංකු මුලස්ථානය සහ සෙලින්කෝ මන්දිර ගොඩනැගිලි මේ සඳහා වඩාත් සුදුසු බව යෝජනා වී තිබිණ. එහෙත් පැන නැඟණු යම් යම් හේතු කාරණා උඩ ඒ අදහස අතහැර දැමීමට ඔහුට සිදු වූ අතර, අවසානයේදී එය පන්නිපිටියේ පෞද්ගලික ඉඩමකට අයත් වපසරියක ගොඩනඟන ලදී.

මංගල විකාශන කටයුතු ආරම්භ වන හෝරාව උදා වී තිබුණ ද, අඩි 145 ක් උස වූ කුලුණේ වැඩ කටයුතු ඒ වනවිටත් අවසන් වී නොතිබිණි. එබැවින් වැඩ නිම වී තිබුණ කොටසෙහි හරි අඩක උසින් විකාශන ඇන්ටෙනාව සවි කොට අත්හදා බැලීම් කරන විට වික්‍රමසිංහයන් හට පෙනී ගියේ සැතපුම් භාගයකට වඩා දුරකට රූපවාහිනී දර්ශන නොපෙනෙන බවය. විකාශන ඇන්ටෙනාව ගලවා බැලූ ඔහුට එය දෝෂ සහිත බව හැඟී ගිය ද, ඒවා අලුත්වැඩියා කිරිමේ උපකරණ ඔහු සතු නොවීය. රූපවාහිනී සේවයේ විකාශන කටයුතු පිළිබඳව දුන් පූර්ව ප්‍රචාරය හේතුවෙන් රූපවාහිනී දර්ශන නැරඹීම සඳහා ප්‍රේක්ෂක ජනතාවක් බලා සිටීම ඔහුගේ සිත දැඩිව පීඩාවට පත්කර තිබිණ. එයට උත්තර සොයා යෑමේදී පිළියන්දල පෙදෙසේ ජීවත් වූ බෙලෙක් බාස් කෙනෙකු පිළිබඳ මතකය ඔහුගේ සිතට ක්ෂණික ගලා ආවේය. කඩිනමින්ම ඔහු සොයා ගිය වික්‍රමසිංහයන් ඇන්ටෙනාවේ තිබූ අඩුපාඩු හරිගස්සන ආකාරය පිළිබඳව ඔහුට පැහැදිලි කරදීමෙන් පසුව බෙලෙක් බාස් වැඩේ තිතටම කළේය.

අහම්බෙන් මුණ ගැසුණු ගැමියෙකුගේ ප්‍රායෝගික අත්දැකීම් තාක්ෂණික දැනුමකට එසේ පර්වර්තනය විය. පළමු රූපවාහිනී වැඩසටහන ප්‍රේක්ෂක ජනතාව අතරට විකාශය කිරීම පිණිස ශාන් වික්‍රමසිංහ මහතාට එය මහෝපකාරී වීම දේශීය රූපවාහිනිය ආම්භයේදීම අපට හමුවන අපූර්ව කතන්දරයකි.

රූපවාහිනියේ මහ ගෙදර, ස්වාධීන රූපවාහිනී සේවය 1979 අප්‍රේල් මස 15 වන දින එසේ ආරම්භ කිරීමෙන් මාස දෙකක් ගිය තැන, එය රජයට පවරා ගන්නා ලදී. එහි නිසි බලධරයා වශයෙන් එවකට ගුවන් විදුලියේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර හෙබ වූ තේවිස් ගුරුගේ මහතා පත් විය. 1982 නොවැම්බර් 26 වන දින ස්වාධීන රූපවාහිනී සේවය වර්තමානයේ පිහිටුවා තිබෙන වික්‍රමසිංහ පුර ගොඩනැගිලි පරිශ්‍රයට ගෙන යාමට පෙර,එහි නිවහන වූයේ ගුවන් විදුලි සංස්ථා අභ්‍යාස ආයතනයට අයත් කුඩා ඉඩකඩක පිහිටි මැදිරියකි.

මුල් කාලයේදී ස්වාධීන රූපවාහිනි සේවය ඔස්සේ වැඩිපුර විකාශය වූයේ විදේශීය වැඩසටහන් වේ. ඒ අතුරින් ඉඥඵචථඥ ඉබපඥඥබ, ඍධරචඨඥඵ ධට ඛ්ඩචපතඥඵ ච්චපඹඪද, ර්‍ථතචරඵ ටපධථ ඉඩචඬඥඵනඥච වැනි වැඩසටහන් ඉතා ජනප්‍රිය විය. මෙම කාල වකාවනුවේදී ජාතික රූපවාහිනී නාළිකාවක අවශ්‍යතාවය රජයට දැනෙන්නට වූ අතර, මේ සම්බන්ධයෙන් ජපන් රජය සමඟ සාකච්ඡා වට කිහිපයක්ම රජය විසින් පැවැත්වීමෙන් අනතුරුව එවැනි ආයතනයක් ගොඩනැඟීම පිණිස තාක්ෂණික සහ මුල්‍යමය ආධාර සැපයීමට ජපන් රජය එකඟ විය. ඒ අනුව 1980 මාර්තු මස 04 වන දින ගුවන් විදුලි සංස්ථාවට මුහුණලා එතෙක් විවෘතව තිබූ ඉඩම ආවරණය කරමින්, ජාතික රූපවාහිනී ගොඩනැගිලි සංකීර්ණයට මුල්ගල තැබිණ. ඉන් හරියටම වසර දෙකක් ගත වූවායින් පසුව, එනම් 1982 පෙබරවාරි මස 15 වන දින ශ්‍රී ලංකාවට නව සංස්කෘතික දහරාවක ප්‍රවේශය නිල වශයෙන් සනිටුහන් කරමින් ජාතික (ශ්‍රී ලංකා) රූපවාහිනී සංස්ථාව ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනයන් විසින් විවෘත කරන ලදී.

 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.