ලංකා TV අන්දරය

මාර්තු 28, 2019

රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයක් අලුතින් ස්ථාපිත කිරීමේදී සැණෙකින් හඳුනාගත හැකි ආකර්ෂණීය ලාංඡනයක් එම ආයතනය වෙනුවෙන් නිර්මාණය කිරීමට සැම විට උත්සුක වන්නේ නව ආයතනයෙන් සිදු වන කාර්යයන් හි සංක්ෂිප්ත රූපකයක් ලෙස එය ප්‍රදර්ශනය කිරීමට බොහෝ විට සැලකිලිමත් වෙමිනි. මෙම සම්ප්‍රදාය ඉදිරියට ගෙන යමින් අලුතින් ස්ථාපිත වූ ජාතික රූපවාහිනිය සඳහා ලාංඡනයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය පැන නැඟී තිබිණ. ඒ වන විටත් රූපවාහිනී සන්නිවේදන කාර්යය පටන්ගෙන සිටි ස්වාධීන රූපවාහිනි සේවය එහි ලාංඡනය පිළිබඳව විශේෂ අවධානයක් යොමු නොකර, එම ආයතනයේ අනන්‍යතාවය ජනතාව හඳුනා ගැනීම සඳහා ධ්ඊව් ඉපඪ ඹ්චදඬච යන සරල ලාංඡනයක් නිර්මාණය කර තිබිණ.

ජාතික රූපවාහිනී සේවය සඳහා නිර්මාණශීලී මෙන්ම අර්ථාන්විත ලාංඡනයක් එළිදැක්වීමේ ගෞරවය හිමි වන්නේ බන්දුල පීරිස් නමැති චිත්‍ර හා මූර්ති ශිල්පියාටය. කොළඹ හේවුඩ් ආයතනයේ ආචාර්යවරයකු වශයෙන් සේවය කරන සමයේදී නිර්මාණය කරන ලද මෙම ලාංඡනයෙන් පැරැණි සන්නිවේදන තාක්ෂණයක් නූතනත්වයට පත් කිරීමේ නිර්මාණශීලී අධ්‍යාශයක ඔහු නිරත වී ඇත. කෝට්ටේ යුගයේ රජකම් කළ සය වැනි පරාක්‍රමබාහු රජුගේ කණිටු දියණිය වූ ලෝකනාථ හෙවත් උලකුඩය දේවියට රාජ්‍ය භාරය සඳහා පුත් රුවනක් ලබාදෙන ලෙසට කැලණියේ විභීෂණ දෙවියයන්ගෙන් ආයාචනා කිරීමේ සන්නස, සැළලිහිණියකු මාර්ගයෙන් සන්නිවේදනය කිරිම, සැළලිහිණි සංදේශ කාව්‍යාවලියට ප්‍රස්තුත සංසිද්ධිය වේ. ෂඩ් භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල ස්ථවිරයන් විසින් විරචිත මෙම සංදේශ කාව්‍යය අපගේ සාහිත්‍ය ලෝකය පෝෂණය කිරීම පිණිස අතිමහත් වූ දායකත්වයක් සපයා ඇති බව අවිවාදිතය.

එම ඓතිහාසික නිර්මාණශීලීත්වය වර්තමානයට පරාවර්තනය කිරීමට බන්දුල සමත් විය. සැළලිහිණියකු තම හොටෙන් පුස්කොළ පොතක් රැගෙන යන අයුරු රූපවාහිනී තිරයක් මතට රාමු ගත කර, එයට පහළින් රූපවාහිනී යන වචනය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ලියා තිබීම ජාතික රූපවාහිනියට අනන්‍ය වූ ලාංඡනය වේ. මෙම නිර්මාණයේ අයිතිය පිළිබඳව පාර්ශ්ව කිහිපයක් නඩු මඟට ගිය අතර, ඒ සෑම නඩුවකින්ම ජයග්‍රහනය කිරීමට බන්දුල සමත් වන්නේ ඇම්. ජේ. පෙරේරා සභාපතිතුමාගේ පූර්ණ සහයෝගය ද ඇතිවය. අරුත්බර, ආකර්ෂණීය ලාංඡනයක් ජාතික රූපවාහිනියට නිර්මාණය කරදීම පිළිබඳව ජාතියේ ප්‍රණාමය බන්දුලට සැමදා හිමි වේ.

ජාතික රූපවාහිනියේ විකාශන කටයුතු ආරම්භ කිරීමට සියල්ල සූදානම්ව තිබුණ ද, කොළඹ නිදහස් චතුරශ්‍රයේ පිහිටි මැදිරි සංකීර්ණයේ සිට විකාශය කරනු ලබන වැඩ සටහන් දිවයිනේ සතර දිග්භාගයේ වෙසෙන ජනතාවට සන්නිවේදනය කිරීමේ අභියෝගය ජය ගැනීම පිණිස පිදුරුතලාගල කඳු මුදුනේ සම්ප්‍රේෂණ කුලුණක් ස්ථාපිත කිරීමට ජාතික රූපවාහිනියට සිදු විය. එය අති දුෂ්කර වූ ව්‍යායාමයක් විය. අඩි අට දහසක උසින් පිහිටි භූමියකට සම්ප්‍රේෂණ යන්ත්‍රයන් සහ විදුලිජනක යන්ත්‍ර ගෙන යාමේ භාරදූර රාජකාරිය අමෙරිකානු නාවික හමුදාවේ හත්වැනි බලඇණිය විසින් භාර ගන්නා ලදී. ඉන්දීය සයුරේ යුද අභ්‍යාසයක ඒ වන විට නියැලී සිටි මෙම බලඇණිය සතුව තිබූ ටොන් ගණන් බර උපකරණ ඔසවාගෙන ගෙන යා හැකි යෝධ හෙලිකොප්ටර්වල සහායෙන් මෙම ක්‍රියාන්විතය සාර්ථකව නිමා කරන ලදී.

අනුර මාධව ජයසේකර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.