ලංකා TV අන්දරය

මැයි 2, 2019

විවිධ වැඩසටහන් සහ අධ්‍යාපන යන ප්‍රධාන අංශ දෙක යටතේ වර්ගීකරණය වූ නාට්‍ය, සංගීත, ළමා, වාර්තා ඇතුළු විවිධ ඒකක මඟින් නැවුම් කුලුඳුල් වැඩසටහන් ලහි ලහියේ නිර්මාණය කිරීමට උත්සුක වෙමින් පැවතිණි. බාහිර 

සහ මැදිරි පටිගත කිරීම් යන වැඩසටහනට අදාළ ක්‍රමවේදයන් දෙක යටතේ මෙය සිදු වූ අතර, ඒ සඳහා තාක්ෂණික සහාය ද නිර්මාණකරුවන් හට නිර්ලෝභීව ලබාදීමට ඉංජිනේරු අංශය ඉදිරිපත් වී සිටියේය. එහෙත් මෙම නව්‍ය මාධ්‍යය වටා ජනතාව පළමුකොටම එක් රැස් වූයේ රටේ ලෝකේ සිද්ධ වෙන්නේ කුමක්දැයි ගුවන් විදුලියෙන් අසා දැන ගැනීමට වසර ගණනාවක් තිස්සේම රැකගෙන ආ පුරුද්ද, රූපවාහිනී යන්ත්‍රය වටා මුදා හැරීමත් සමඟිනි. ඒ හේතුවෙන්ම සෙසු අංශ සමඟ සමාන්තරව අලුතෙන් ස්ථාපිත කරන ලද ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශය මඟින් සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ යන භාෂා ත්‍රිත්වයෙන්ම විකාශය කරන ලද රූපවාහිනී පුවත් කෙටි කලකදීම ජනතා ආකර්ෂණය දිනාගන්නා ලදී. මැදිරි අංක 2 ඉදි වූ විශේෂ පීටිකාවක් මත තබන ලද පුටුවක වාඩි වී තමා ඉදිරියේ ඇති මේසය මත ඇති පිටපත් ක්‍රමානුකුලව මාරු කරමින්, දැකුම්කලු පසුබිමක සිට ප්‍රේක්ෂක ජනතාව විනාඩි 20 ක පමණ කාලයක් තමන්ගේ අත් අඩංගුවේ තබා ගැනීමට, රූපවාහිනී පුවත්වලට ප්‍රාණය ගෙන දුන් නිවේදක නිවේදිකාවෝ සමත් වූහ. එය භාෂා ත්‍රිත්වයටම පොදු ගුණාකාරයක් විය.

රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක භූමිකාවේ පුරෝගාමි මෙහෙවරට එසේ ප්‍රාණය ගෙන දුන් රූපකායන් කිහිපයක් සැනෙකින් අපගේ මතකයට එයි. සිංහල ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේදී ඩී. එස්. දයාරත්න, කේ. ඩී. කේ. ධර්මවර්ධන, සුනිල් ජයසිංහ, සුමනා නෙල්ලම්පිටිය, ශ්‍රිමා අධිකාරි යන නිවේදක නිවේදිකාවන් ද, ඉංග්‍රීසි අංශයෙන් එරික් ප්‍රනාන්දු, රිචඩ් ද සොයිසා, රවී ජෝන්, මාක් ඇන්ටනි ප්‍රනාන්දු, නොයෙලින් හොන්ටර්, අජිතා කදිරගාමර්, බර්නඩිට් ද සිල්වා යන නිවේදක නිවේදිකාවන් සහ දෙමළ ප්‍රවෘත්ති ගෙන ඒමේදී විශ්වනාදන් සහ කමලිනී යන නිවේදක නිවේදිකාවන් කළ පුරෝගාමී මෙහෙවර සදා අමරණීය වේ. ඔවුනගේ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම ඒ වකවානුව වන විට ද ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිතව තිබූ බී. බී. සී, සී. එන්. එන්. ඔස්සේ විකශය වූ ප්‍රවෘත්ති වැඩ සටහන් ප්‍රේක්ෂක අතරට ප්‍රාණවත්ව රැගෙන ගිය නිවේදක නිවේදිකාවන් සමඟ සාම්‍ය විය. බාහිර ඇඳුමේ සිටම ඔවුන් ජනතා ආකර්ෂණය දිනා ගත් රූපවාහිනියේ පුරෝගාමීන් වූ බව සහේතුකය. කුමන බසකින් ප්‍රවෘත්ති ඉදිරිපත් කළ ද, නිවැරැදි ලෙස වචන උච්චාරණයෙන් යුතුව බස හැසිරවීමට ඔවුහු සැම වග බලා ගත්හ. වචනයක් හෝ වැරැදී තිබුණහොත් තරාතිරම නොබලා එයට දඩයක් අය කර ගන්නා ලෙසට සභාපති ඇම්. ජේ. පෙරේරාගේ උපදෙස විය.

රූපවාහිනී පුවත් ඉදිරිපත් කළ මෙම නිවේදක කණ්ඩායම ඉතා කෙටි කලකින්ම ජනතාව අතර ජනප්‍රිය විය. ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේදී හෙළ සිරිතට අනුව සුමනා ඇන්ද ඔසරිය 

සහ ඇයගේ කොණ්ඩ මෝස්තරයට වශීකෘතව එය අනුගමනය කළ තරුණියෝ එකල බොහෝ වූහ. රවීගේ කොණ්ඩය, රිචඩ්ගේ රැවුල සේම නොයෙලින්ගේ කොණ්ඩ මෝස්තරය ද ප්‍රේක්ෂකයින් අතර ඉතා ජනප්‍රිය විය. මෙම කුලකයට ප්‍රවෘත්ති සැපයූ අති දක්ෂ නිෂ්පාදක කණ්ඩායමක් මොවුනගේ පසුබිමේ ක්‍රියාශීලීව කටයුතු කළේය.

අනුර මාධව ජයසේකර

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.