ලංකා TV අන්දරය

මැයි 16, 2019

රවිනාථ ආරියසිංහ, අර්ජුන රණවන, විමලසේන හේවගේ, ඩඩ්ලි සේනානායක, මොහමඩ් යහියා, ආංජලී සෙනෙවිරත්න, සෝමා යං, සාරදා ද සේරම්, සොම්සේකරාම ඇතුළු නිෂ්පාදන කණ්ඩායම දිවයිනේ දස දෙස පීරමින් රැගෙන ආ පුවත් ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායකගේ සංස්කරණයෙන් පිටපත් වී ප්‍රවෘත්ති නිවේදක අතට පත් වූ අතර, එහි ඉංග්‍රීසි සහ දෙමළ පිටපත් සංස්කරණය සඳහා ද වෙනම කාර්ය මණ්ඩලයක් විය. මේ සියලු දේ උපේක්ෂාවෙන් යුතුව බලා සිටිමින් අවශ්‍ය තැනකදී උපදෙස් දෙමින් එදවස ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයට නායකත්වය ගෙන දුන්නේ ජේ. පී. පතිරණ නම් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා වේ. රටේ තොටේ සිදු වූ සිදුවීමක් එහි ජීව ගුණයට හානියක් නොවන අයුරින් රූපවාහිනී කැමරාව ඉදිරියේ පෙනී සිටිමින් ද්වි භාෂාවෙන්ම එය ව්‍යක්ත ලෙසට ප්‍රේක්ෂකයින් අතරට පළමුව ගෙන එමින්, රූපවාහිනී මාධ්‍යයේ පුරෝගාමී මෙහෙවරක යෙදුණු රවිනාථ ආරියසිංහ අද විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් පදවිය හොබවයි.

ලියුම්කරුට මේ සියලු දෙනා සමඟම රාජකාරි කටයුතු කිරීමේ වාසනාව උදා විය. මා ඇතුළු 24 දෙනකු නිෂ්පාදන සහකාරවරුන් වශයෙන් රූපවාහිනියට බඳවා ගත්පසු පළමුවෙන්ම මා අනුයුක්ත කරන ලද්දේ ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයට වේ. මා සමඟම රූපවාහිනියට බැඳුණු බොහෝ දෙනකු අද විශ්‍රාම ගොස්ය. ඒ අතුරින් දයාරත්න රටගෙදර, අතුල රන්සිරිලාල්, විමලරත්න අධිකාරි යන නිර්මාණකරුවෝ රූපවාහිනී මාධ්‍යයේ පුරෝගාමී මෙහෙවරක නියැළුණහ. මොවුනගේ සුරවිරුකම් පිළිබඳව ඉදිරියේදී වරින් වර කතා කිරීමට බලාපොරොත්තු වෙමි.

පුරෝගාමී රවිනාත්

රූපවාහිනී මාධ්‍යය ශාස්ත්‍රීය වශයෙන් ජනතාව අතරට ගෙනයාමේ යුග මෙහෙවරක නියැළී සිටිය අවධියකදී රිචඩ් ද සොයිසා, රවී ජෝන්, සුනිල් ජයසිංහ පසුව ප්‍රේමකීර්ති ද අල්විස් (රූපවාහිනී මාධ්‍යයේ ප්‍රේම්ගේ පෙරළිය ඉදිරියේදී කතා කරමි) යන දැවැන්ත චරිත අකාලයේ ප්‍රේක්ෂකයන්ගෙන් වියෝ වීම, ජාතික රූපවාහිනියට දරාගන්නට බැරි වූ ඛේදවාචකයක් විය. ඔවුනගේ නික්ම යාම වෙනුවෙන් ආදේශකයන් පිරවීමට රූපවාහිනී මාධ්‍යයට අදටත් නොහැකි වී ඇත. රිචඩ් සමාජයේ උසස් පන්තියකින් පැවැතගෙන ආවත් ඔහු ඉතා සරල මිනිසෙක් විය. රතුපාට එක්ස් එල් වර්ගයේ මෝටර් බයිසිකලය ඔහුගේ හිතවත් වාහනය විය. රබර් සෙරෙප්පු දෙකක් පයෙහි ලා ගෙන, ඩෙනිම් කලිසමට උඩින් දමා ගත් කළු කමිසය ඔහු වඩාත් ඇලුම් කළ ඇඳුම විය. සමහර දිනක රාජකාරී කටයුතු නිම වී රාත්‍රී 10 ට පමණ අප ගොඩ වදින්නේ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ උඩ තට්ටුවේ එදවස පිහිටා තිබූ අවන්හල වෙතටය. එය කලාකරුවන් අතර අතිශය ජනප්‍රිය නිවහනක් විය. රිචඩ් එම අවන්හල පවත්වා ගෙන ගිය සංගමයේ සභාපති වූ හේතුවෙන් ඔහුට එහිදී විශේෂ වරප්‍රසාද හිමි වී තිබිණ. එයින් අප ද ප්‍රයෝජන ගත් අවස්ථාවන් විය. සමහර අවස්ථාවලදී අප විවිධ මාතෘකාවන් පිළිබඳව රිචඩ් සමඟ දොඩමළු වුවද, දේශපාලනය සමඟ ඔහුගේ තිබූ සම්බන්ධතාවය පිළිබඳව එක වචනයක් හෝ අපට පවසා සිටියේ නැත. එහෙත් ඒ සියලු දේ සමාජයට විවර වූයේ ඔහුව ඝාතනය කළ පසුවය. රිචඩ්ගේ ඇතුළාන්තයෙහි පරාර්ථකාමී, සංවේදී, කලාකාමී පුද්ගලයකු සැමදා සැරිසැරූ බව ඔහුව ඇසුරු කළ ඕනෑම කෙනෙකුගේ හදවතෙහි සනිටුහන් වී තිබෙන බව නම් නොඅනුමානය.

අනුර මාධව ජයසේකර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.