මගේ ටෙලි නාට්‍යවල ප්‍රධාන චරිත නැහැ

මැයි 23, 2019

ජීවිතය ඇතිතුරා නමින් ටෙලි සිතුවමක් මේ දිනවලදී ස්වාධීන රූපවාහිනි නාළිකාවේ විකාශය වේ. එය ශාන්ත සොයිසාගේ අධ්‍යක්ෂණයකි. ඉතා ඉහළ ජනප්‍රසාදයක් ලැබූ පබා ඔහුගේ පළමු ප්‍රාසංගික ටෙලි නාට්‍ය නිර්මාණකරණයයි. එය කොතරම් ප්‍රේ්ක්ෂකයන්ට සමීප වූවාද කිවහොත් පබා ලෙස රඟපෑ උපේක්ෂා ස්වර්ණමාලි එකී චරිතය නිසා පාර්ලිමේන්තුවට තේරී පත්වීමට පවා වාසනාව ලද්දීය. එමෙන්ම පබා ටෙලි නාට්‍යයේ රඟපෑ සෑම චරිතයක්ම ජනප්‍රියත්වයට පත් විය. එය එසේ නිමාවීමෙන් අනතුරුව ශාන්ත නිර්මාණය කළේ පබළු ටෙලි සිතුවමයි. සඳා, අමා, පිණි, නෙතූ, රිතු, වරාමලී, මිතූ ආදි නාට්‍ය ගණනාවක් අධ්‍යක්ෂණය කළ ඔහු ජීවිතේ ඇති තුරා ගෙන එන්නේ සිය 11 වැනි ටෙලි නිර්මාණය හැටියටය. ශාන්ත එම නාට්‍ය සියල්ලම තැනුවේ මහේෂ් රත්සර මද්දුමආරච්චිගේ ටෙලි පිටපත් ඇසුරෙන් වීම විශේෂත්වයකි. ජීවිතේ ඇති තුරා පිළිබඳ වැඩි යමක් කතා කිරීමට ශාන්ත සරසවියට ගොඩ වැදුණේය. ඔහු මේ වන විට ස්වාධීන රූපවාහිනියේ නාට්‍ය අංශයේ ප්‍රධානියා ලෙසට කටයුතු කරයි.

දිගු කලක් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කළ ඔබව ආයුබෝවන් කියා අප පිළිගන්නවා?

ආයුබෝවන් ඔබටත්.

ඔබ දිගින් දිගටම තෝරා ගත්තේ මහේෂ් රත්සර මද්දුමආරච්චිගේ රූපවාහිනී පිටපත්. එයට හේතුව?

මහේෂ් එක්ක වැඩ කරන්න ඉතාම ලෙහෙසියි. කතාබහ කරලා අවශ්‍ය විදිහට දේවල් වෙනස් කරගන්න පුළුවන්. හැමෝගෙන්ම එහෙම බලාපොරොත්තු වෙන්න බැහැ. අනෙක් කාරණය තමයි මහේෂ්ව ඉක්මවා ගිය රචකයකු මට හමු වුණේ නැහැ. ඔහුව අතහැරලා වෙනත් කෙනෙකු වෙත යන්න නම් ඔහුට වඩා උසස් කෙනෙකු වෙන්න ඕනනෙ. එහෙම අය කෝ. අද පිටපත් රචකයින්ගේ ලොකු අඩුවක් තියෙනවා. ඒ අඩුව පිරවෙන්නේ ඉතාම හිමින්. මෙවන් වූ වකවානුවක මහේෂ්ලා වගේ පිටපත් රචකයෝ සිටීමත් එක අතකින් වාසනාවක්.

එක් පිටපත් රචකයකු සමඟ නිර්මාණකරණයේ යෙදීම නිසා ඔබට ඒකාකාරී බවක් දැනුණේ නැද්ද?

එහෙම වෙන්න විදිහක් නැහැ. මහේෂ්ගේ කතා එකිනෙකට වෙනස්. පබා වගේ නෙවෙයි පබලු. පබලු වගේ නෙවෙයි සඳා, මිතූ, වරාමලි වගේ නාට්‍ය ගත්තොත් ඒවා හාත්පසින්ම වෙනස්.

ඒ වුණාට බහුතරයක් ඔබේ නාට්‍යවල තේමාව ආදරය නොවේද?

ආදරය තියෙනවා නැත්තේ නැහැ. ජීවිතේ ඇතිතුරා නාට්‍යය දිහා බලන්නකෝ, ඒකේ ශ්‍රියන්ත අයියා රඟපාන්නේ බොහොම පොඩි තැන ඉඳලා ඉහළට ඇවිත් ජීවිතේ දිනපු චරිතයක්. එතැන තියෙනවා උත්සාහය මනුෂ්‍යත්වය, කැපවීම වගේ ගුණාංග. චරිත බහුතරයක් ගත්තොත් එහෙමයි. ආදරයම පමණක් නෙවෙයිනෙ.

මා ඔබෙන් මෙහෙම ප්‍රශ්නයක් ඇහැව්වොත්. ටෙලි ක්ෂේත්‍රයේ දිගු කලක් සිටිය අයකු හැටියට ඔබට පුළුවන් වෙන වෙන මාතෘකා ඔස්සේ ටෙලි නිර්මාණ කරන්න?

මගේ ඊළඟ නිර්මාණය වෙනස්ම ආකාරයේ එකක් වේවි. සමහර විට පීරියඩ් කතන්දරයක් වෙන්නත් පුළුවන්. ජීවිතේ ඇතිතුරා නාට්‍යය වගේ නිර්මාණයන් ඊළඟට මං කරන එකකුත් නැතිවේවි. එහෙම දේ කතා නොකර ඉන්නවා කියලා නෙවෙයි මං කියන්නේ. අනික ප්‍රේක්ෂකයන් ඉල්ලන්නේ මේ වාගේ කතාන්දරනෙ. දැන් බලන්න පබා නොබලපු කෙනෙක් ඉන්නවද, නැහැනෙ. ඒකේ රඟපාපු හැමෝම ජනප්‍රිය වුණා. එවකට තිබුණු ඉන්දියන් රැල්ල කැඩුවා. අදටත් මාව හඳුන්වන්නේ පබා කරපු ශාන්ත සොයිසා කියලනෙ. වෘත්තිකයකු හැටියට මං රාමුවක ඉන්නේ. බොහෝ වෙලාවට නාළිකාවෙන් කියන දේ අපි කරනවා. එහෙම වුණා කියලා නාළිකාවෙන් බාල දේවල්වත්, නාළිකාවෙන් කියන දේවල් බාල විදිහටවත් අපි කරලා නැහැ. ඉදිරියේදී කරන්නෙත් නැහැ.

ඔබ රාමුවක කොටුවෙලා ඉන්නේ නාළිකාවක සේවය කරන නිසා නේද?

ඔව්. මෙතැන මගේ මහ ගෙදර. අනූව දශකයේ මුල භාගයේ මං ස්වාධීන රූපවාහිනියට එන්නේ සහාය නිෂ්පාදකවරයකු විදිහට. ඒකාංගික නාට්‍ය ගණනාවක් කළා. ඊට පරිබාහිරව කොතරම් දේවල් නම් මං මෙතැනදි ඉගෙන ගත්තද. මේ වෙනකම් මං ස්වාධීන රූපවාහිනියේ නැවතිලා ඉන්නේ මට ලබා දුන් දේවල්වලට කෘතගුණ දක්වන්න. ගොඩක් නාළිකාවලින් ඔෆර්ස් ආවා. මං ගියේ නැහැ. කළගුණ සැලකීමක් හැටියට මං මෙහි ඉන්නවා.

ඔබගේ නිර්මාණ සමඟින් අලුත් නළු නිළියන් කිහිප දෙනෙකුම කලඑළියට ආවා?

ජීවිතේ ඇතිතුරා නාට්‍යයෙනුත් එහෙමයි. චානුක ප්‍රබුද්ධ සහ සංජනා ගමආරච්චි කියන නළු නිළි යුවළ මා හඳුන්වා දෙනවා. ඔය විශ්ව කොඩිකාර, පැතුම් රුක්ෂාන්, ෂෙරිල් ඩෙකර් වගේ අය අද හුඟක් ජනප්‍රියයිනෙ. මේ අය ප්‍රධාන චරිතයම කළා කියලා කියන්න බැහැ. මගේ නාට්‍යවල ප්‍රධාන චරිත නැහැනෙ. ඒකනෙ පබා නැතුව පබා නාට්‍ය කළේ.

ඔබ කරපු බොහෝ නාට්‍යවල නම් අකුරු දෙකේ ඒවා. මං හිතන්නේ දිගම නමක් තියෙන නාට්‍යය ජීවිතේ ඇතිතුරා වෙන්න ඇති?

අකුරු දෙකේ නමක් තියෙන නිර්මාණ දැනටමත් විකාශය වෙනවා. ඔය අතරේ මමත් අකුරු දෙකේ නමක් දැම්මොත් ඒක ගැළපෙන්නේ නැහැනෙ. ඒක නිසා වෙනමම නමක් දාන්න තීරණය කළා.

ජීවිතේ ඇති තුරා නාට්‍යයේ රඟපෑ පිරිවර මතක් කළොත්?

ශ්‍රියන්ත මෙන්ඩිස්, ගයත්‍රි ඩයස්, පැතුම්, ගිරිරාජ් කෞශල්‍ය, ලාල් කුලරත්න. මේක නිෂ්පාදනය කළේ ස්වාධීන රූපවාහිනිය සමඟ මානෙල් පෙරේරා.

 

 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.