රේටිං කියන්නේ බොරුවක්

සිටි හිට්ස් නාළිකා ප්‍රධානි සචින්ද්‍ර ලක්මාල්
ජුනි 27, 2019

නිර්මාණකරුවන්ට මම කියන්නේ ඔබලා මේ වන විට කරලා තියෙන නිර්මාණ තියෙනවා නම් ඒවා අපේ නාළිකාව ඔස්සේ විකාශය කරන්න අදහසක් තියෙනවා නම් අපිට භාර දෙන්න. අපිත් එක්ක අලුත් නිර්මාණ කරන්න අදහස් කරනවා නම් ඒ නිර්මාණයන් හි පිටපත් සමඟ අපිව මුණ ගැහෙන්න. අපි ලෑස්තියි කිසිදු භේදයකින් තොරව වානිජ පරමාර්ථයෙන් තොරව වෙළෙඳපොළ වටිනාකමක් ඔබට දෙන්න.

ගුවන් විදුලි කලාවේ නව විප්ලවීය වෙනසක් සිදු කරමින් රූපවාහිනී කලාවේ නවමු අත්දැකීම් සමුදායකට මංපෙත් විවර කළ නිමල් ලක්ෂපතිආරච්චි අප අතරින් වියෝ වී ගිය ද ඔහු විසින් ගුවන්විදුලි කලාවේත් රූපවාහිනී මාධ්‍යයෙත් ඇති කරන ලද විප්ලවීය මඟ අද ද විවිධ වු මංපෙත් ඔස්සේ දිග හැරෙමින් පවතී.

ලංකාවේ ප්‍රථම සැටලයිට් ටී. වී. නාළිකාව ඇරඹීමේ ගෞරවය ද හිමි කර ගනු ලැබුවේ නිමල් ලක්ෂපති ආරච්චිය. ඔහු මීට වසර දොලහකට පෙරාතුව ඇරඹි සිටි හිට්ස් රූපවාහිනී නාළිකාවට දැන් වසර දොළහක්. සිටි හිට්ස් නාළිකාවේ දෙලොස් වෙනි සංවත්සරයට සමගාමීව මෙතෙක් එම නාළිකාවේ විකාශය වූ වැඩ සටහන් හි නවමු අත්දැකීම් රැසක් සිටි හිට්ස් වටා එක්ව සිටින ප්‍රේක්ෂකයන්ට තිළිණ කිරීමට මේ වන විටත් සැලසුම් කරලා.

මේ පිළිබඳ අදහස් දැක්වීමට අපත් සමඟ එක් වුණේ සිටි හිට්ස් නාළිකාවේ නිර්මාණ අධ්‍යක්ෂ හා ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සචින්ද්‍ර ලක්මාල් සේනානායකයි.

මේ නාළිකාවේ ආරම්භකයා නිමල් ලක්ෂපති ආරච්චි මහත්තයා. ඔහුගේ දැක්ම තමයි අපි මේ වසර දොලහක් දක්වා අඛණ්ඩව රැගෙන ආවේ. එතුමාට මේ නාළිකාව පටන් ගෙන කටයුතු කරන්න ලැබුණේ අවුරුදු පහක් වගේ කාලයක් පමණයි. මේ නාළිකාවේ තිබෙන විශේෂත්වය තමයි උසස් ගණයේ කලා නිර්මාණ වෙනුවෙන් වෙන්ව තිබීම. ටෙලි නාට්‍ය වෙනුවෙන් වෙන් වූ එකම හා පළමු නාළිකාව වීම මෙහි විශේෂත්වයක්.

ටෙලි නාට්‍ය බලන්න පමණක් ප්‍රේක්ෂකයෝ මෙය නරඹනවාද?

මෙතනදි අපි කරන්නේ ටෙලි නාට්‍යයක් කොටස් වශයෙන් පෙන්වීමක් නොවෙයි. එක දිගට කිසිම වෙළෙඳ දැන්වීමකින් තොරව කාට වුණත් අවසානය දක්වාම එය නැරඹීමට අවකාශ උදා කරලීම. හරියට කිව්වොත් ටෙලි නාට්‍යයක් කොටස් කීයද තියෙන්නේ ඒ සියලු කොටස් එකට හරියට චිත්‍රපටයක් වගේ එක දිගට නැරඹීමේ අවස්ථාව ඇති කරලීම.

මේ අදහස සාර්ථක මඟක් බව දැනටමත් ඔප්පු වෙලා තියෙනවාද?

ඔව්. මොන තරම් ප්‍රේක්ෂකයෝ අපි වටා රොක් වෙලා තියෙනවාද පරණ ටෙලි නාට්‍ය නරඹන්න. සමහරු එක ටෙලි නාට්‍ය තුන් හතර පාර නරඹනවා. උදාහරණයක් කිව්වොත් දඬුබස්නාමානය, වෙද හාමිනේ, ගිරය. අද වේගයෙන් මේ ආකර්ෂණය තරුණ තරුණියන් අතර විව් ඇප් එක හරහා ඔවුන්ට සමීපවෙලා ඉවරයි.

සිටි හිට්ස් වටා මේ වන විට වසර දොලහක් පුරාවට කොතරම් ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවක් රොද බැඳලාද?

අපේ සමීක්ෂණ අනුව ලක්ෂ හත අටක පිරිසක් ස්ථිරවම අපිත් සමඟ සම්බන්ධ වෙලා. මම කියනවා ඔය නාළිකාවල තියෙනවා නේද රේටින් කියලා, ඒක හදා ගන්න දෙයක්. ඒ ඒ නාළිකාව තමන් මුදුන කියල පෙන්වන්න එහෙම හදාගත්ත දෙයක් මිසක ඒකේ ඇත්තක් නැහැ. අපේ නාළිකාව කොළඹ වගේම පිට පළාත්වලත් වැඩි ප්‍රමාණයක් නරඹනවා කියලා අපිට ඔවුන්ගෙන් ලැබෙන අදහස්වලින් පෙනෙන්න තියෙන දෙයක්.

වෙළෙඳ දැන්වීම්වලින් තොරව නාළිකාව පවත්වාගෙන යන්නේ කොහොමද?

අපේ ප්‍රඩක්ෂන් හවුස් එකෙන් ලැබෙන ආදායමෙන් තමයි අපි මේ නාළිකාව පවත්වාගෙන යන්නේ.

මෙතෙක් ආ ගමන් මඟෙන් අත් මිදී නව දැක්ම තුළ මොන වගේ වැඩ පිළිවෙලක් ද ඉදිරියේදී ප්‍රේක්ෂකයා හමුවට රැගෙන එන්නේ?

අපි ප්‍රේක්ෂකයන්ට අලුත් දෙයක් දෙනවා වගේම නිර්මාණකරුවන්ටත් අත දෙන්න වැඩ පිළිවෙලක් සකස් කරලයි තියෙන්නේ. ප්‍රවීණ හා නවක අධ්‍යක්ෂවරුන්ගේ හොඳ ගණයේ ටෙලි නිර්මාණ සඳහා අපේ නාළිකාව හරහා විකාශය කරන අවස්ථාව සලසා දෙනවා. විවිධ වූ කතා මාලාවන් ඔස්සේ ටෙලි සීරියස් නිෂ්පාදනයන් වෙනුවෙන් අපි දායක වෙන්න අදහස් කරලා තියෙනවා. ප්‍රේක්ෂකයන් සඳහා වේදිකා, කෙටි චිත්‍රපට වගේම චිත්‍රපට පිටපත් තරඟ පවත්වා ඒ අයගේ හොඳ නිර්මාණයන් තෝරා එය අප විසින් නිෂ්පාදනය කිරීමේ වැඩ පිළිවෙලක් සකස් කිරීම. අප ආයතනය තුළ සකසා ඇති නිර්මාණ ගුණාත්මකභාවයේ රාමුවේ තිබෙන ටෙලි නාට්‍ය චිත්‍රපට ආදී කලා නිර්මාණ අපි අධ්‍යයනයක් කොට ඒ සඳහා අනුග්‍රාහකත්වයක් සපයමින් පේ‍්‍රක්ෂකයා වෙත ගෙන එන්න අපි වැඩ පිළිවෙලක් සකස් කරලා තියෙනවා.

සිටි හිට්ස් නරඹන්න පෙළ ගැහෙන්නේ කොහොමද?

අපේ නාළිකාව බලන්න පුළුවන් ඩයලොග් ටී වී හරහා පමණයි. ඩයලොග් ටී වී නාළිකාවේ අංක 19 ඔස්සේ අපේ නාළිකාව ප්‍රේක්ෂකයන් වෙනුවෙන් විවෘතයි. ඊට අමතරව My TV APP එක ඔස්සේ්ත් ඔබට අපිත් සමඟ සම්බන්ධ වෙන්න පුළුවන්.

ටෙලි නාට්‍ය වෙනුවෙන් පමණද මේ අනුග්‍රාහකත්වය ඔබේ නාළිකාවෙන් ලබා දෙන්නේ?

එහෙම කියල නෑ. මේ වෙනස් මඟේ පෙරළියත් සමඟ වේදිකා නාට්‍ය වගේම චිත්‍රපට වෙනුවෙනුත් අපේ දායකත්වය ලබා දෙනවා. මොන දේ කලත් අපි රසඥතාව අපේ අංක එක. ඒ දේ බිඳගෙන යන ගමනකට අපි ලෑස්ති නැහැ. අදත් අපෙන් ප්‍රේක්ෂකයෝ ඉල්ලන්නේ එදා නිර්මාණය වූ ටෙලි නාට්‍ය. ඒ ගුණාත්මක බවට තමයි ඔවුන් කැමති. සොඳුරු බෙලි කැපිලි තියෙන අපේ මේ කලා ක්ෂේත්‍රයේ අපි මේ හදන්නේ අංකුර නිර්මාණකරුවන්ටත් ප්‍රවීණ නිර්මාණකරුවන්ටත් තමන්ගේ නිර්මාණයට හොඳ ගුණාත්මක ප්‍රේක්ෂක රසඥතාවක් එක්කරලන්නයි.

සිටි හිට්ස් නාළිකාව හා අත්වැල් බැඳ ගන්න අදහස් කරන නිර්මාණකරුවන්ට වගේම ප්‍රේක්ෂකයන්ට ඔබ දෙන පණිවිඩය මොකක්ද?

නිර්මාණකරුවන්ට මම කියන්නේ ඔබ මේ වන විට කරලා තියෙන නිර්මාණ තියෙනවා නම් ඒවා අපේ නාළිකාව ඔස්සේ විකාශය කරන්න අදහසක් තියෙනවා නම් අපිට භාර දෙන්න. අපිත් එක්ක අලුත් නිර්මාණ කරන්න අදහස් කරනවා නම් ඒ නිර්මාණයන් හි පිටපත් සමඟ අපිව මුණ ගැහෙන්න. අපි ලෑස්තියි කිසිදු භේදයකින් තොරව වානිජ පරමාර්ථයෙන් තොරව වෙළෙඳපොල වටිනාකමක් ඔබට දෙන්න. ඒ වගේම තමයි ප්‍රේක්ෂකයින්ටත් අපි කියන්නේ ඔබ අපිත් සමඟ සම්බන්ධ වෙනවා නම් ඔබට ඩයලොග් ටී.වී සම්බන්ධතාවයක් තියෙනවා නම් ඒ ඕනෑම කෙනෙකුට අපේ නාළිකාව නරඹන්න පුළුවන් කියන දේ. ඔබේ මොබයිල් ෆෝන් එකෙන් වුණත් ටීවී ඇප් එක ඔස්සේ අපේ නාළිකාවට සම්බන්ධ වෙන්න ඔබට හැකියාව තියෙනවා කියන පණිවිඩයත් දෙන්න කැමතියි.

චන්දන 
නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.