ලංකා අන්දරය TV

පිපුණි ළා හිරු දහසක්
ජූලි 18, 2019

දිමුතු මුතු ජාතික රූපවාහිනියෙන් පරිබාහිර නිෂ්පාදනයක් වශයෙන් රූ ගැන්වෙද්දී ලූෂන්ලා, පරාක්‍රමලා ද තමන් ලද අනගි අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ටෙලි නාට්‍ය නිර්මාණයන් කිරීමට උත්සුක වූහ. කොටස් දෙකකට පමණක් සීමා වූ ‘සෝමාගේ සිහිනය’ ටෙලි නාට්‍යය රූපවාහිනී මාධ්‍යය සඳහා ලූෂන්ගේ පළමු නිර්මාණය වූ අතර, සිනමාව සහ වේදිකා නාට්‍යයට සම්බන්ධව සිටි විශිෂ්ට රංගධරයන්ගේ රංගන හැකියාවන්, ඔහු මෙම ටෙලි නාට්‍ය නිර්මාණය තුළින් උකහා ගැනීමට සමත්ව තිබීම එහි අන්තර්ගත එක් සුවිශේෂී ලක්ෂණයකි.

ජාතික රූපවාහිනිය තුළ දීර්ඝ ටෙලි නාට්‍යයක් නිර්මාණය කිරීම සඳහා පළමුවරට අත ගැසුවේ පරාක්‍රම නිරිඇල්ලය. ඒකක ප්‍රධානී ධම්ම ජාගොඩයන් විසින් පරාක්‍රම ගැන තබා තිබූ විශ්වාසයේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම අභියෝගය ඔහුට පැවරූ අතර, එය බොහෝ දුරකට ජයග්‍රහණයෙන් නිමා කිරීමට පරාක්‍රම සමත් විය.

දයා අල්විස්ගේ තිර රචනයක් වූ ‘ළා හිරු දහසක්’ නම් වූ මෙම ටෙලි නාට්‍යය නිර්මාණය කිරීමට පෙර, කෙටි චිත්‍රපටයක් සහ ඒකාංගික ටෙලි නාට්‍ය කිහිපයක් පරාක්‍රම විසින් නිර්මාණය කර තිබීම ඔහු අබිමුවෙහි ගොඩනැගී තිබූ නව අභියෝගයට සාර්ථකව මුහුණ දීම පිණිස ඔහුට විශාල රුකුලක් විය.

දිමුතු මුතු ටෙලි නාට්‍යයට මෙන්ම ළා හිරු දහසක් ටෙලි නාට්‍යය සඳහා ද ප්‍රස්තුත වී තිබුණේ ගැමි කතාන්දරයකි. ගමේ කෙළවරක පිහිටි වඩු මඩුවක වෙහෙස මහන්සි වී වැඩ කරන මිතුරන් දෙදෙනකුට අනන්‍ය වූ ආදර කතන්දර සහ එයට මැදිවන වඩු මඩුවේ ලොකු බාස් අතර සිදුවන මානුෂික ගනුදෙනුව රූපමය භාෂාවක් ඔස්සේ දිගහැරීමට පරාක්‍රම මෙහිදී සමත් වූ අතර, රූප රාමු තෝරා ගැනීම සහ රෝහිත සමරවීර, ජයරත්න රූපසිංහ, රමණී ෆොන්සේකා, දිලිප් රෝහණ වැනි රූපවාහිනී මාධ්‍යයට ආධුනික වූ නළු නිළියන්ගේ රංගන හැකියාව චරිතානුබද්ධව ඔපමටටම් කර ගැනීමට ද ඔහු සමත්ව තිබීම මෙම ටෙලි නාට්‍ය නිර්මාණයේ ඇති ප්‍රමුඛ සුවිශේෂතාවයන් ලෙස සැලකිය හැකිය.

විජය රූපවාහිනී සම්මාන උලෙළේ දී දිමුතු මුතු ජනප්‍රිය ටෙලි නාට්‍යය වශයෙන් සම්මානයෙන් පිදුම් ලබන විට, හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම ටෙලි නාට්‍යය වශයෙන් ළා හිරු දහසක් ටෙලි නාට්‍ය නිර්මාණය පිදුම් ලැබීමෙන් ඉහත සඳහන් කරුණු තවදුරටත් සනාථ වේ. මෙම ජයග්‍රහණයත් සමඟම නිර්මාණකරුවෙකු වශයෙන් ධම්ම ජාගොඩයන් විසින් තමා කෙරෙහි තබා තිබූ විශ්වාසය තවදුරටත් තහවුරු කිරීමට පරාක්‍රම සමත් විය.

ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනී සේවය එහි ආරම්භයේ සිටම පවත්නා වූ රජයන් යටතේ තමන්ගේ විකාශන කටයුතු කරගෙන යන අතරතුරේදී එයට සමාන්තරව සමහර අමාතා්‍යාංශ යටතේ රූපවාහිනී නිෂ්පාදන ආයතනයන් මුල් කාල වකවානුවේ සිටම බිහිවෙන්නට විය.

මේ අතුරින් සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය යටතේ ආරම්භ කරන ලද සැලසිනේ ආයතනය ප්‍රධාන වේ. අද වන විට බොහෝ අමාත්‍යාංශයන් යටතේ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදන ආයතනයන් පිහිටුවා තිබුණ ද, 80 දශකයේ අවසාන භාගය පසු කරන විට දී පවා විවිධ අමාත්‍යාංශයන්ට අදාල රූපවාහිනී වාර්තා සහ ප්‍රවෘත්තිමය වැඩසටහන් නිෂ්පාදනය කරන ලද්දේ සැලසිනේ ආයතනය මඟිනි.

දේශීය රූපවාහිනී ඉතිහාසයට සමාන කාල පරාසයක් තුළ පුරෝගාමී මෙහෙවරක නියැලී ඇති එම ආයතනය අද වන විට ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන්නේ සියයට සියයක්ම පුද්ගලික ආයතනයක මුහුණුවරට පරිවර්තනය වෙමිනි.

 

 

 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.