නාළිකාවක හිර වෙන්න

මම බයයි
සැප්තැම්බර් 5, 2019

 

නිවේදක සුසර යසස්

 

සුසර යසස්ගේ ජීවිතය සුසර වී නතර වූයේ නිවේදන කලාව අසලය. එතැන් පටන් ඔහු අරමුණක් ගොඩ නඟා ගත්තේ එකී ක්ෂේත්‍රය තුළින් ජීවිතයේ ඉදිරිය දැකීමටය. අද වනවිට සුසර යනු ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි චරිතයකි. සරසවිය සිනමා පුවත්පත මඟින් සංවිධානය කළ සංගීතමය සැඳෑවන් කිහිපයකටම ඔහු නිවේදනයෙන් දායක විය.

 

සුසර ඔබ මෙතෙක් ආ ගමන් මඟ ගැන කෙටියෙන් සඳහනක් කළොත්?

ඇඹිලිපිටිය මොරකැටිය කියන සුන්දර ගමේ තමයි මං ඉපදුණේ හැදුණේ වැඩුණේ. පල්ලෙබැද්ද පාසලෙන්, මොරකැටිය අපේ ගමේ පාසලෙන් වගේම රත්නපුර සීවලී විද්‍යාලයෙන් තමයි අධ්‍යාපනය හැදෑරුවේ. ඉස්කෝලේ උදෑසන රැස්වීමකදී ඒක මෙහෙයවන්න නියමිත කෙනා එන්නේ නැතුව ඒ වැඩේ මට පැවරුණා. ටිකක් බයෙන් බයෙන් තමයි එදා මයික්‍රෆෝනය ළඟට ගියේ. මට ඒ වැඩේ අල්ලලා ගියා. ඉන් පසුව පොඩි පොඩි වැඩවලට සම්බන්ධ වුණා. කාලය ගත වෙද්දි ගමේ ඔය උත්සව වගේ ඒවට මට කතා කළා. ක්‍රම ක්‍රමයෙන් ගමේ නිවේදකයා මා බවට පත් වුණා.

ඔබේ පළමු එළිමහන් ප්‍රසංගය?

ගමේම තිබුණු ඒක පුද්ගල ප්‍රසංගයක් තමයි පළමුව මෙහෙය වූයේ. ඔය අතරේ දෙදහස් අටේදී සන්ෆ්ලවර් බැක් කරපු ෂෝ එකක් ලැබුණා. ඒක තමයි ප්‍රසිද්ධ වේදිකාවක මං හා හා පුරා කියලා කරපු ලොකුම වැඩේ. ඊට පස්සේ මට ගොඩක් ආරාධනා ලැබුණා. ඔයාලගෙ ෂෝස් එහෙමත් කළානෙ.

චැනල් එකක වැඩ කරන්න ඔබට ආරාධනා ලැබිලා නැද්ද?

කතා කරලා තියෙනවා. විවිධ වූ නාළිකාවලින් කාලෙන් කාලෙට ඇරැයුම් ලැබෙනවා. මට හිතෙනවා එහෙම මං වැඩ කරන්න ගියොත් මා එකතැන කොටු වෙයි කියලා. ලක්හඬ නාළිකාවේ රෝඩ් ෂෝ එකනම් දිගටම කළා. නිදහස් නිවේදකයකු විදිහටයි ඒකේ වැඩ කළේ.

දැනට ප්‍රසංග කීයක් නම් මෙහෙයවලා තියෙනවාද?

අම්මේ . . . ගොඩක් තියෙනවා. ඕල්රයිට් බෑන්ඩ් එකේ ෂෝස් තමයි වැඩිපුරම කළේ. පර්පල්රේන්ජ් කණ්ඩායම සහභාගි වූ ෂෝස්වලටත් නිතරම මා එක් වුණා.

ප්‍රසංග වේදිකාව කියන්නේ විවිධාකාර වූ අත්දැකීම්වල තෝතැන්නක්?

ඔව්. නොයෙක් දෙනා, නොයෙක් තරාතිරම්වල අය ඔතැනට එනවනෙ. සමහර ආර්ටිස්ලා ඇවිත් ෂෝ එකේ ලිස්ට් එකෙන් පිට පනින්න හදනවා. රණ්ඩු තමයි එහෙම වුණාම. සමහර විට නිවේදකයා විදිහට මට තමයි ඒවටත් මැදිහත් වෙන්න තියෙන්නේ. සමහර කලාකරුවෝ ෂෝ එකට එනවා කියලා අන්තිම මොහොතේ පොලු තියනවා. ෆෝන් වැඩ කරන්නෙත් නැහැ. අහු වෙන්නේ මාව. එවැනි අවස්ථාවලදි ප්‍රකෝප වන සංවිධායකවරුන් මට ගහන්න හදපු අවස්ථා නම් අනන්තයි. වෙලාවට ෂෝ එකේ මුල ඉඳලා සිදුවන දුරකතන ඇමතුම් මම පටිගත කරගන්නවා. ඒවා අහන්න දීලා තමයි ගැලවෙන්නේ. ෂෝ එක ඉවර වුණාම ඇතැම් සංවිධායකවරුන්ව අල්ලන්න දැල් දාන්න වෙනවා. ලස්සනට එයාලා මාරු.

මේවට අමතරව ප්‍රසංග වේදිකාවේ මොනවද ඔබට ඇති වෙනත් අභියෝග?

අපි මෙහෙම කට්ට කාගෙන මෙතන ඉන්නවා. නමුත් අලුත් අයට එන්න තියෙන ඉඩප්‍රස්ථාව නම් හරිම අඩුයි. එන ඉඩ ඇහිරිලා වගේ තියෙන්නේ. මගේ වෘත්තීය නිවේදනය. මේකෙන් තමයි මං හම්බ කරගෙන කන්නේ. ඒ නිසා අපි අපේ මිල හදාගෙන තියෙනවා. නමුත් අද සමහරු නිවේදන කටයුතු නිකම් කරලා දෙන්න බාර ගන්නවා. මේ තත්ත්වය හරිම භයානකයි. ඔවැනි අය නිසා වෘත්තීය ගරුත්වයයි පහළ වැටෙන්නේ.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.